16 January 2023

රාගම බස් එක

 අද එලකිරියේ කරක් ගහනකොට පල්ලෙහා තියෙන පින්තූරේ එක්කම එලකිරි ත්‍රෙඩ් එකක් දකින්න හම්බ උනා. මේම මේ කඳුකර පැත්තක සෙනග එහා මෙහා කරවන්න පාවිච්චි කරපු වෑන් එකක්. වෑන් එකක් කිව්වට මේක ඒ පැත්තේ බස් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා.



මේ පින්තූරේ දැක්කහම මටත් මේ වගේ මතකයක් තියෙනවා. ඒ කාලේ රාගම-වත්තල (මාර්ග අංක 900) පාරෙත් දිව්වේ මේ ජාතියේම වෑන් බස් එකක්. එකක් නෙමෙයි දෙකක් විතර තිබ්බා.

ඒ දවස්වල මේ වෑන් බස් දෙක අපට හරි ප්‍රයෝජනවත් උනා. කොටින්ම මේ බස් එකේ ගියේම රාගම ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්න යන ලෙඩ්ඩුයි,  ඉස්පිරිතාලේ නැවතිලා ඉන්න ලෙඩ්ඩුන්ව බලන්ඩ කෑම බීම අරගෙන යන උදවියගෙනුයි විතරක් කිව්වොත් එක අතකට වැරදිත් නෑ.

මොකද මේ කියන පාරේ දුවන වෙන බස් එකක් ඒ දවස්වල තිබ්බේ නෑ. මම මේ කියන්නේ වැඩි ඈතක අතීත කතාවක් නෙමේ. මේක මේ අනූ ගනන්වල අපි ඉස්කෝලේ යන කාලේ අපි මුහුණ දීපු සිදුවීමක්.

දැන් වගේ පාරට ආ හැටියෙම විනාඩි දහයක් පහලොවක් ඇතුලත බස් එකක් ආවේ නෑ. ඒ කාලේ පැයක් විතර බලාගෙන ඉන්න ඕන බස් එකක් එනකන්.

අපි ඉතින් කනත්ත හන්දියෑඉ තිබ්බ අම්බලමට වෙලා බස් එකක් එනකන් වාඩි වෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපි ඒ කිට්ටුවම තියෙන බුලත්විඩ කඩේ හිටපු ආච්චි අම්මගෙන් බස් එකක් දැන් ගියාද කියලා අහලා තමයි අම්බලමට ගොඩ වෙන්නේ. මම ගොඩක් වෙලාවට රාගම යන්නේ ආච්චි අම්මා එක්ක. ආච්චි අම්මත් ඉතින් ඒ කඩෙන් බුලත් විඩක් එහෙම අරගෙන ඒක හපන්න ගන්නවා. ඒක හපලා බුලත් හපෙත් විසි  කරලා කට හෝදලා තව ටිකක් වෙලාවක් යනකන් බස් එකක් ආවේ නෑ කියලා දැන් මතක් වෙනකොටත් හිනා යනවා.

පොඩි දවස්වල අම්බලමේ ඉන්න එකත් බය හිතෙන වැඩක්. මොකද කනත්තේ මිනී සොහොන් කරන තැන තියෙන්නෙත් අම්බලමට කිට්ටුවෙන්. කලින් දාක සොහොන් කරපු මිනියක අළු එහෙම දකිනකොට බයත් හිතෙනවා අපට.

කොහොමින් කොහොමහරි අපි පැයක් විතර ඉන්නකොට කට කපලා සෙනග ලෝඩ් කරපු වෑන් බස් එකක් එනවා. අපි පොඩි නිසා කවදාවත් දොර කිට්ටුව යන්න වෙන්නේ නෑ.

අපිව කොහොමහරි හිර කරලා බස් එක ඇතුලට රිංගවනවා. ඊට පස්සේ බස් එකට රිංගවන්නේ බවලත් උදවියයි මහළු අයවයි. ඒ කට්ටියවම බස් එකට දැම්මට පස්සේ තරුණ උදවිය දොර කිට්ටුවෙන් එල්ලිලා රාගම් යනවා. දැන් වගේ ඒ දවස්වලත් කොරෝනා එහෙම තිබ්බා නම් රාගම බස් පොකුර කියලත් කොරෝනා පොකුරක් හැදෙන්න ගොඩක් දුරට ඉඩ තිබ්බා. ඒ තරමටම ඒ බස් එකේ හිර වෙලා යන්න වෙනවා. මොකද ඉතින් ආයෙම බස් එකක් එන්න තව පයක් විතර යනවා නෙව.

අම්මෝ එහෙම අතීතයක් !

ඊට පස්සේ තනි දොරේ ටාටා බස් එකක් මේ පාරට වැටුනයින් පස්සේ මෙහෙම එල්ලිලා යන එක ටිකක් අඩු උනා. දැන් නම් එහෙම කරදරයක් නෑ. රාගම - වත්තල පාරේ බස් 3-4ක් දන් කොහොමත් දුවනවා. ඒ නිසා හිරවෙලා තැම්බිලා එහෙම යන්න වෙන අවස්තා ගොඩක් දුරට මඟ ඇරිලා තියෙන්නේ.

එහෙනම් මම ගියාවේ. ජය වේවා !

---------------------------------------------------------------------------

සටහන - කවුරු උනත් පින්තූරේ ගත්තු කෙනාට මගේ ස්තූතිය පුද කරනවා අතීත මතකයන් ගොඩක් මතක් කරලා දුන්නට..


3 comments:

  1. මට නං බස් වල යන අයව පේන්න බැහැ. මොකද එයාල ගාව ගඳයි. ඇයි මේ මිනිස්සුන්ට බස් ටිකෙට්ස් වලට යන සල්ලි එකතු කරලා හරි කාර් එකක් ගන්න බැරි?

    ReplyDelete
  2. අනේ මන්දා මටත් බස් මතක වැඩිද මන්දා . ඉස්සර රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ ඉදන් ස්ටේෂන් එක ගාවට ගියෙත් ඔය වගේ වෑන් දෙකක් තමයි . හරිම ලස්සන සටහනක් .

    ReplyDelete
  3. බස් මතකනම් මගෙත් බොහෝයි. ඒත් ඔය වගේ බස් වෑන් එහෙක යන්න හම්බුවෙලාම නෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.