16 April 2025

වාහනයක් විකුණනවා නම්...

 අද නිවාඩු දවසේ ඔයාලගේ දැන ගැනීම පිණිස පොඩි දෙයක් ගැන දැනුම්වත් කරන්න හිතුනා. මම මීට මාස දෙක තුනකට ඉහතදී මගේ මෝටර් බයිසිකළය විකුණලා දැම්මා. පොඩි පොඩිලෙඩ ටිකක් ආපු නිසා ඒක හද හද ඉන්න ඕනැ නැති හන්දා ඔන්නොහේ ඒක අඩු ගානකට විකුණලා දැම්මා.

ඔයගොල්ලෝ මොකක් හරි වාහනයක් විකුණනවා නම් කරන්න ඕන දේවල් ගැනයි අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ. ලංකාවේ ඉන්න කෙනෙකුට නම් වටීවි. පිටරටක ඉන්න කෙනෙක්ට නම් මේ ලිපියෙන් තඹ සතේකවත් වටිනාකමක් නැති වේවි.


මෙන්න මෙහෙමයි කරන්න ඕන.


වාහනයක් විකුණන්න කොහේහරි සේල් එකකට හරි දැන්වීමක් හරි දානවනේ. ඔන්න එතකොට අටෝරාසියක් කෝල් එන්න ගන්නවා. ගොඩක්ම එන කෝල් වලින් මිනිස්සු වාහනේ මිල කේවල් කරන්න හදනවා. තමන්ට වාහනේ විකුණගන්න හදිස්සියක් නැත්නම් හෝ කේවල් කරන මිලට කැමති නැත්නම් කෙලින්ම ඒ මිනිස්සුන්ට කියන්න ඒ මිලට කැමති නෑයි කියලා. 


මොකද එහෙම ගොඩක් කතා කරන්නේ සේල් කාක්කෝ. එයාලා හදන්නේ ඔයාගේ වාහනේ අඩු මිලකට අරගෙන වෙන කාටහරි වැඩි ගානකට දෙන්න. ඒ නිසා හදිස්සි වෙන්ඩ එපා. වාහනේට හොද ගැනුම්කාරයෙක්ව හොයාගන්න පුලුවන්.


ඔහොම ගිහින් ගිහින් වාහනේට ගැනුම්කරුවෙක් හොයාගත්තා කියමුකෝ. එතකොට ඒ මනුස්සයා වාහනේ බලන්ඩ ඇවිත් සේරම බලලා වාහනේ ගන්ඩ කැමති උනයි කියමු.



ගොඩක් අය කරන්නේ වාහනේට අත්තිකාරම් මුදලක් දීලා සතියක් ඇතුලත මුළු මුදලම දීලා වාහනේ මිලදී ගන්න එක. සතියක් යන්නේ වාහනේට ලීසිං එකක් එහෙම දාගන්ඩයි. අත්පිට මුදලට ගන්න එක්කෙනෙක් නම් කෙලින්ම ඒ වෙලාවෙම සල්ලි ගෙවලා අරගෙන යයි.


වාහනේට අත්තිකාරමක් ගන්නකොට අදාල ගැනුම්කරුවාගේ අත්සනින් ලියුමක් ගන්න මේ මුදල මේ වාහනය විකිණිම වෙනුවෙන් මේ දිනයේදි ලබා ගත්තයි කියලා. ඒත්තෙක්කම ඒ අදාල මුදල සතියක් හෝ දවස් 10ක් ඇතුලත වාහනය මිලදී ගත්තේ නැත්නම් ආපසු ගෙවන්නේ නෑයි ලියලත් ඒ ලියමනේම ලියන්න.


ගැනුම්කරුවගෙන් ලියමනක් ගත්තා වගේම ගැනුම්කරුටත් ලියමනක් දෙන්න අදාල මුදල භාරගත්තයි කියලා සදහන් කරලා. එතකොටයි ගනුදෙනුවේ විනිවිදභාවයක් තියෙන්නේ.


ඊට පස්සේ ගැනුම්කරු සතියක් හෝ දවස් 10ක් ඇතුලත මුළු මුදලම ගෙවලා වාහනය ගන්න එන දවසට වාහනයට අදාල ආදායම් බලපත, වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත) ඇතුළු සියලුම ලියකියවිලි එක්ක නිවැරදිව පුරවන ලද පැවරුම් ලියවිලි පිටපත් (MTA6 පෝරම්) ලබා දෙන්න. ඒත් එක්කම ඔයාගේ (විකුණුම්කරුගේ) හැදුනුම්පතේ ඡායාපිටපතකුත් ගැනුම්කරුට ලබා දෙන්න.



පැවරුම් ලේඛන වලට අත්සන විතරක් දාපු හිස් ලේඛන ලබා දෙන්න එපා. ඒකෙන් වෙනම නීතීමය ගැටළු ඇතිවෙන්නත් ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඒ ගැන වැඩි දුරට වෙනම ලිපියකින් කියන්නම්.


පැවරුම් ලේඛන ලබා දුන්නට පස්සේ සියළුම ලියකියවිලි එක්කම වාහනය භාරගත්තා කියලා ගැනුම්කරුවගෙන් අත්සන් යෙදූ ලිපියක් ගන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම ගැනුම්කරුවගේ හැදුනුම්පතේ ඡායාරූපයක් හෝ ඡායාපිටපතක් ලබාගන්න.


මේ සේරමත් කළාට පස්සේ අදාල ලියකියවිලි භාරදෙන අවස්ථාවේ ඡායාරූපයක් ගන්න. පස්සේ ඒකත් ගැනුම්කරුට යවන්න. මෙහෙම පින්තූරයක් ගන්න එකේ වාසියකුත් තියෙනවා. ගැනුම්කරු මොනවාහරි හේතුවක් උඩ වාහනය නීතිවිරෝධි දෙයකට භාවිතා කරනවා නම් පොලීසියට අදාල පුද්ගලයාව සොයා ගැනීමට පහසුවක් වෙනවා ඒ පින්තූරය නිසා.


ඔන්න ඔය ටික තමා මූලිකවම කරන්න ඕන. තව මොනාහරි අමතක උනොත් පස්සේ මේ ලිපිය යාවත්කාලීන කරන්නම්.


එහෙනම් ජය වේවා !! සුබ නව වසරක් වේවා !

4 comments:

  1. පිටරට ඉන්න කෙනෙකුට වැඩකට නෑ කියන්නමත් බැ.

    ඔය mt6 කොල ටික මොටර් රෙජිස්ටාර් දෙපාර්තමේතු වෙබ් සයිට් එකෙන් ඩවුන්ලෝඩ කරගෙන මම පිටරට ඉදන් මගෙ වාහනයක් විකුණලා තියෙනවා ලංකාවේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. මම කිව්වේ පිටරටක වාහන විකුණන ක්‍රමවේදය වෙනස් ඇතිනේ. ඒකයි

      Delete
  2. කාටත් හොද තොරතුරු ගොන්නක් . පිට රටවල නියාමනය වැඩි හින්ද හොර කරන්න තියෙන පාරවල් අඩුයි. ඒත් අන්තර්ජාලය හරහා පෞද්ගලිකව විකුණන වාහන ගැන ප්‍රශ්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ රටේ නම් එහෙම නෑනේ. මිනිස්සු හොරාට දේවල් කරන දේවල් ගොඩක් වැඩියි.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.