මට සහෝදර සහෝදරියන් රාශියක් පිරිවරාගත් පවුලක අයෙකු නොවේ. සහෝදරියන්ටත් සහෝදරයන්ටත් සිටියේ මල්ලී පමණි. අප අතර ඇත්තේ වයසින් අවුරුද්දක පරතරයකි. බොහෝ සහෝදරයින් සේම අපද කුමන හෝ කරුණක් අරභයා රණ්ඩුවක් ඇති වූ කලෙක අපේ අම්මා හෝ තාත්තා විසින් අපව බිය ගැන්වීමට භාවිතා කරන ලද ග්රාම නාමයක් වූයේ මග්ගොන ය.
“ ආයේ ගහ ගත්තොත් මග්ගොන ගිහින් දමනවා” යැයි බොහෝ දිනවල අපේ රණ්ඩු අවසන් කිරීමට භාවිත විය.
“මොකද්ද මේ මග්ගොන තියෙන්නේ?” යන පැනය අප විසින් නැගූ විට බොහෝ විට අපට ලැබෙන්නේ එකම ආකාරයේ පිලිතුරකි.
මග්ගොන වනාහී අකීකරු දරුවන්ට දඩුවම් කිරීමට ඇති තැනක් වන අතර, එහි ඇති කළුවර කාමර වල දින ගණන් ලැගීමටත්, මඩු වලිග කැඩෙනකන් කෝටුමස් කරන බවත්, හරිහැටි කෑමක් බීමක්වත් නොදෙන බවත් ඒ පිළිතුරු වල තිබිණ. ඒ නිසා මටත් මල්ලීටත් මග්ගොන ගැන තිබුණේ අනියත බියකි. ඒ බිය, අපේ ගහමරා ගැනීම් බැන ගැනීම් නතර කරවීමට අම්මාට ලොකු උදව්වක් ලබා දුනි.
දින සති මාස ගෙවී අප වැඩිමහලු වියට එලැබෙන විට මග්ගොන ගැන බිය කෙමෙන් කෙමෙන් පහවී ගියේ ය. එපමණක් නොව මග්ගොන අපේ වාග් කෝෂයෙන් ද භාවිත නොකරන වචන ගොන්නට ද එකතු විය.
පසු කලෙකදී මග්ගොන නැවතත් මගේ මාතෘකාවටඑකතු විය. ඒ මගේආමණ්ඩිය මග්ගොන ගමේ ජීවත් වූ අයෙක් නිසාය. ඉතින් මම ඔහුගෙන් මේ මග්ගොන ගැන හා එහි වූ ‘වදකාගාරය’ ගැන අසා සිටියෙමි.
ඔහු කී පරිදි මග්ගොන, වදකාගාරයක් නොමැත. එහි ඇත්තේ මඩමකි. සරලව කිවහොත් විවිධාකාර කර්මාන්ත ගැන උගන්වන ආයතනයකි. බොහෝවිට මේ තැනට යන්නේ ගෙවල් වල දී දඩබ්බර ගති පෙන්වන ඉගැනුමට අකමැති අයවළුන් ය. ඔවුන්ට විවිධාකාර කර්මාන්ත ගැන දැනුමක් ලබා දීම මග්ගොන මඩමෙන් සිදුවන්නකි. මගේ මාමණ්ඩි ද මග්ගොන මඩමෙන් ඉගෙන ගත් අයෙකි. ඔහු එහිදී පින්තාරු ශිල්පය ඉගෙන ගත් නිසා පසු කලෙක ඔහුගේ රැකියාවද වූයේ පින්තාරු කටයුත්ත ය.
මට මග්ගොන මඩම ගැන සුබවාදී ආකල්පයක් නැති අතර මගේ මාමණ්ඩිය නම් මග්ගොන මඩම ගැන කතා කරන්නේ ඉමහත් සතුටකිනි. අද වන විට ද මග්ගොන මඩම ක්රියාත්මක වන අතර එය එකළ තිබූ අයුරින්ම ක්රියාත්මක වන්නේදැයි මා නොදනිමි.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.