ඔරලෝසුවේ පාන්දර දෙකේ කණිසම වැදුනි.
එහෙත් නින්ද ඈ අසලට නාවාය වෙනදාට නම් මේ වෙලාව වන විට සුව නින්දක නිදන ඈ, අද නින්දත් නොනින්දත් අතර මැද ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් සිටියාය.
බැරිම තැන ඈ ඇඳෙන් නැගිට වතුර ඩිකැන්ටරයෙන් වතුර වීදුරුවක් නවාගෙන එක හුස්මට පානය කළාය. වතුර වීදුරුව පානය කළ ඈ, කාමරයේ පසෙක වූ ඇඳුම් බෑගය දෙස මද වේලාවක් බලා සිට නැවතත් ඇඳට ගොඩ වූයේ කෙසේ නිදන්නෙමි යන බලාපොරොත්තුව ඇතුව ය. ඉන් තවත් පැයකට පමණ පසු ඈ නින්දට වැටුනාය.
එහෙත් ඇගේ නින්ද ඉතාමත් කෙටි එකක් විය. ඒ උදේ හතරට පමණ ඈව අවදි කරනු පිණිස සිය මව විසින් දොරට තට්ටු කිරීම නිසාය.
මව විසින් අවදි කිරීමත් සමඟ ඈ හනි හනිකට නාන කාමරයට දිව ගියාය. නාන කාමරයේ වතුර මලෙහි සීතල දිය නා ගත් පසු නාන කාමරයෙන් එලියට පැමිණ මේසේ මත වූ කිරි තේ එක අතට ගෙන උගුරක් බීවාය. ඉන්පසු ඈ කලින්දා ස්තිරික්ත කළ ඇඳුම් ඇඟලා ගත්තාය. කොණ්ඩය ද පීරා ගත් පසු ඈ මඳ වේලාවක් තමාගේම රුව කණ්ණාඩිය තුළින් බලා සිටියාය.
අදින් පසු ඈට හුරුපුරුදු ඇගේම කාමරය හිස්වන බවත්, සිය හුරුපුරුදු පරිසරය ඈට අහිමිවන බවත් සිහි වී, සිහින් කඳුළු බිඳුවක් නෙත් කොනින් මෝදු වී සිය දෙකොපුල් තෙත් කළාය. ඒ කඳුළු බිඳුව පිටි අත්ලෙන් පිස දැමූ ඈ දෙමව්පියන් සමග පහත මාලයට පිවිසියාය.
සිය මව සමඟ මඳක් සතුටු සාමිචියේ යෙදෙන අතරතුර සිය පියා විසින් ඇගේ සියලුම ගමන්මලු මෝටර් රථයට පැටවීය. රථයට නැගීමට පෙර ඈ නැවත වරක් සිය අත්බෑගය ඇර ගුවන් ගමන් බලපත්‍රය තිබේදැයි සැක හැර දැනගත්තා ය. ඉන් අනතුරු ඈ කැටුව සිය දෙමව්පියන් පවනට බඳු වේගයෙන් ගුවන් තොටුපොළ කරා ගමන් කළෝය.
ගුවන් තොටුපොළෙහි පර්යන්ත දෙකක් වෙයි.
එක පර්යන්තයක් දුක්ඛ දෝමනස්සයන්ගේ හා ප්‍රියයන්ගෙන් වෙන්වීම් වලින් පිරී ඇත. ඒ පිටවීමේ පර්යන්තයයි. කඳුලත් දුකත් පිටවීමේ පර්යන්තයේ මිතුරන් වේ.
අනෙක් පර්යන්තේ ඊට හාත්පසින්ම වෙනස් වූවකි. එහි කිසිදු දුකක් නැත. එහි සතුටත්, බලාපොරොත්තුවත්, නො ඉවසිලිමත්කමත් පිරී පවතී. තම ආදරණීයන් දැන් දැන් ඒවි ය යන බලාපොරොත්තුවෙන් සියල්ලෝම දෑස් දල්වා බලා සිටියි. ඒ පැමිණීමේ පර්‍යන්තයයි.
අපේ කතා නායිකාව සිටින්නේ මේ පර්යන්තයන් දෙකෙන් දුක පර්යන්තයේය. සියල්ලෝමය කෙටි අඩි තබමින් ඉදිරියට ඇදෙයි. ඈතින් පෙනෙන සුදු යකඩ වැට ප්‍රියයන්ගෙන් වෙන් වීමේ සීමාවය. ඒ දක්වා සියල්ලෝම දෙපා අද්දමින් හිමිහිට ගමන් කරයි. ඈද සිය දෙමව්පියන්ට මැදිව මේ සුදු යකඩ වැට වෙත ආවාය. දෙමව්පියන්ගේ මුහුණ සිඹ සමුදුන් ඈ සිය ගමන් මලු රැගෙන සුදු යකඩ වැටෙන් එහා පැත්තට ගමන් කළාය.
ඈ නොපෙනී යන තෙක් සිය දෙමව්පියන් කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටියාය. ඇගේ නොපෙනී යාමෙන් පැය දෙක හමාරක් ගත වීමෙන් පසු UL-503 දරණ ශ්‍රී ලන්කන් එයාර්ලයින් ආයතනට අයත් ගුවන් යානය, ඈව ද රැගෙන ලන්ඩනයේ හීතෲ ගුවන්තොටුපොල කරා පියාසර කළාය.
ඉන් අනතුරුව මතු දිනෙක ඈ දැකගනිමියි යන බලාපොරොත්තුවෙන් යුතුව සිය දෙමව්පියන් නැවතත් සිය ගම්බිම් කරා පිය නැගුවේය.
යාම හොඳය. ගොස් ඊමද හොඳය. ලොවැ ඇත්තේ යාම් ඊම් ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය. සරත්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා පොතේ එලෙස සඳහන්ව ඇත.
අවසානයක් නොවේ….
---------------------------------------------------------------------------
පසුව ලියමි. -: 2025ක් වූ සැප්තැම්බර් මස 12 වන දින මෙරට වේලාවෙන් පස්වරු 1:15 ට ගුවන් ගත වූ ගුවන් යානය, එරට වේලාවෙන් රාත්‍රී 7: 38 ට පමණ ගොඩ බාන ලදී.
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.