24 April 2026

දුම්රිය අනතුරකට මුහුණ පෑමට සිදු උනෙමි

 වෙනදා වගේම මම පුතාව ඉස්කෝලේට ඇරලවන්න ආවා. උදේ නිකන් වහින්න වගේ අහසේ කළු වලාකුළු තිබ්බ නිසා මම බයිසිකළය පනදුරෙන් දාලා බස් එකේම කළුතරට ආවා. උදෙන්ම හම්බ වෙච්ච මාතර බස් එක නිසා 6:30 වගේ වෙනකොට කළුතරට ඒ ගන්ඩ පුළුවන් උනා.

පුතාව ඉස්කෝලෙන් තියලා මම ආයෙම පානදුරේට එන්ඩ කළුතර ටවුම දිහාවට පයින් ආවා. කළුතර ස්ටේශන් එකට ඇවිත් ටිකට් ගන්නකොටම කළුතරින් පටන් ගන්න කෝච්චිය එන බව දැනුම් දුන්නා. මම ඒ කෝච්චියට නගින්ඩ පළමුවෙනි වේදිකාවට වෙලා ඉන්නකොට තමයි දෙවෙනි දැනුම්දීමක් ලැබුනේ. ඒ බෙලිඅත්තේ ඉදලා එන සාගරිකා කෝච්චිය දෙවෙනි වේදිකාවට එනවයි කියන එක. ඉතින් ස්ලෝ එහෙක යනවට වඩා එක්ස්ප්‍රස් එහෙක ඉක්මනට යන්ඩ පුලුවන් නිසා මාත් දෙවෙනි වේදිකාවට මාරු වෙලා සාගරිකා කෝච්චියට ගොඩ උනා.

උදේ ඔෆිස් ටයිම් එක නිසා ටිකක් සෙනග වැඩියෙන් හිටියා. මාත් බැහැගන්ඩ ලෙහෙසි නිසාම කෝච්චියේ ඇතුලට හිරවෙලා යන්නේ නැතිව දොර කිට්ටුවෙන්ම වගේ උන්නා.

ටික වෙලාවකින් කෝච්චිය කළුතරින් පිටත් උනා.මාත් ඔහේ මනෝපාරක් ගහගෙන හිටියේ. කෝච්චියත් සෑහෙන වේගයෙන් යනවා. හරියටම වාද්දූව ස්ටේශන් එක පහු උනා විතරයි. එක සැරේටම කෝච්චිය උඩ පැන්නා වගේ උනා. අර බස් එකක් ස්පීඩ් බම්ප් එකකින් හයියෙන් ගියහම උඩ යන්නේ.... ආන්න ඒ වගේ කෝච්චිය උඩ ගියා. ඊට පස්සේ මොකවත් හිතන්ඩ වේලාවක් උනේ නෑ. නොහිතන තරම් වේගයකින් කෝච්චිය දෙපැත්තට පැද්දෙන්ඩ ගත්තා.

02 March 2026

අද දවසේ ගණිත ගැටළුව

 අද මම පොඩි ගණිත ගැටළුවක් අරගෙන ආවා. විවේකයක් තියෙනවා නම් පොඩ්ඩක් මේක විසඳලා බලන්න. එච්චර ලොකු අමාරු ගැටළුවක් නෙමේ. සාමාන්‍ය පෙළ දැනුමෙන් විසදගන්න පුළුවන් තරමේ ගැටළුවක්.

ඔන්න මේකයි ගැටළුව... !

මේ ටිකේ ලියන්ඩ දේවල් මොකුත් මතක් වෙන්නේ නැති නිසයි මෙහෙම දකින ගණිත ගැටළුවක් එහෙම අරගෙන එන්නේ. විසදලා උත්තරේ පහලින් කොමෙන්ට් කරගෙනම යන්නකො.

එහෙනම් මම ගියාවේ.

ඉක්මනින් මේ තෙල් පෝලිම් නැති වේවා කියලා පතනවා !

01 March 2026

අපේ රටේ ගව සම්පත

 අද ඉරිදා දවසේ පුතාවත් වාහනේ දාගෙන දහම් පාසලට ඇරලවන්න පාරට ආවා.  යන ගමන් පුතාට කිය කියා ආවේ පෙට්‍රල් ටිකක් ගහගෙනම යමුද කියලා. පුතාත් ඔලුව වනලා හා කිව්වා. 

කොහොමහරි කතාවෙන් කතාවේ ටවුන් එක කිට්ටුවටත් ආවා. මෙන්න බොලේ ආයෙම පෙට්‍රල් පෝලිමක්.... !

13 February 2026

The Gorge (2025)

 2026 අවුරුද්ද උදාවෙලා මාසයකට වැඩි කාළයක් ගෙවිලා ගිහිනුත් එක්ක. ඒත් බ්ලොග් එකට තවම හරිහැටි එක පෝස්ටෙකක්වත් දාගන්න උනේ නෑ. අද ඒකටත්තෙක්ක හරියන්ඩ කියලා පොඩි දෙයක් ඔන්නොහේ කොටලා දානවා.

දැනට දින කිහිපෙකට උඩදි ලස්සන හොලිවුඩ් චිත්‍රපටියක් බලන්ඩ හම්බ උනා. ඒ චිත්‍රපටියේ නම තමයි The Gorge කියලා කියන්නේ. මේ චිත්‍රපටියේ එන කතාව පොඩිපහේ ආදර කතාවක් උනත් සාමාන්‍ය ආදර කතාවක් වගේ දෙයක් නෙමේ. නිකන් අමුතු කොන්සෙප්ට් එකක් හන්දා අහම්බෙන් හම්බවෙන දෙන්නෙක් අතරේ සිදුවෙන ආදර කතාවක්.

මම කතාව ගැන වැඩි යමක් නන් කියන්ඩ යන්නේ නෑ. එහෙම උනොත් කතාවේ රසයට බාධා වෙන්ඩ ඉඩ තියෙයි. ඩවුන්ලෝඩ් කරගෙන බැළුවට පාඩු වෙන්නේ නෑයි කියලා හිතෙන තරමේ රසවත් කතාවක්.

01 January 2026

සුබ නව වසරක් වේවා !

 2025 අවුරුද්දත් ගෙවිලා ගිහින් 2026 අවුරුද්දත් උදාවෙලා තියෙන්නේ. ඔයාලා අළුත් අවුරුද්දේ ප්ලෑන් එහෙම සෑහෙන්න හදාගෙන ඇති නෙව. සමහර අය නම් නිව් ඉයර් රෙසලූෂන් කියලා පොතක එහෙම ලියාගෙන ඉන්නවා ඇති.  

එහෙම රෙසලූෂන් තියෙන අයගෙයි, බලාපොරොත්තු තියාගෙන ඉන්න අයගෙයි බලාපොරොත්තු ඉටු වෙන්ඩ කියලා පතනවා මම.

25 December 2025

සුබ නත්තලක් වේවා !

ලක් වැසි සියළුම කිතුණු බැතිමතුන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා. !!!

02 December 2025

Pray for Sri Lanka

 


14 November 2025

මළවුන්ගේ මාසය

 කිතුණු බැතිමතුන්ගේ ආගමික දින දර්ශනයේ නොවැම්බර් මාසය වෙන් වී ඇත්තේ මළා වූ අය සිහිපත් කිරීම වෙනුවෙනි. ඒ සඳහා ඔවුන් පෙර සූදානම් වීමක් වශයෙන් කනත්ත සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරයි. තම තමන්ගේ මිය ගියාවූ ඥාතීන්ගේ මිනී වලවල් සුද්ධ කර සුදු වැලි අතුරා මල් වැවීමද සිදු කරයි.

වසර පුරාම අමතකව ගිය කනත්ත දෙස බැලෙන්නේ මේ මාසයේදි ය.

26 October 2025

කළුතරට පෙනෙන සමනොළ ගිර

 එදා අහස ඉතාමත් පැහැදිලි දවසකි.

එදින මා කළු පාළම පසුකර කළුතර නගරයට ඇතුළු වෙමින් සිටියෙමි. පානදුර දෙස සිට කළුතරට ඇතුළු වන්නේ නම් පාළම් දෙක පසු කර බෝධියද පසු කළ යුතු ය. සතියේ සෑම දිනකම කළුතර පාලම් මතින් බෝධිය දෙසට ගමන් කරන සැහැදැවතුන්ගෙන් අඩුවක් සිදු නොවේ. එදින ද එසේම ය.

මල් අතින් ගත් පිරිසක් පාලමෙන් බෝධිය දෙසට ගමන් කරන අතර තවත් පිරිසක් පාළම මත සිට ඈත කළු ගඟ දෙස බලා සිටී.

මාද ඒ දෙස බැළීය. ඈත වළාකුළු අතරින් කන්දක සේයාවක් පෙනේ. සැබවින්ම එය සමනල කන්ද විය යුතු ය. බොහෝ දෙනෙක් සිතූ හ. මාද සේම සිතුවේ ඒ කන්දේ හැඩය ද සමනළ කන්දේ හැඩයට සමීප වූ නිසා ය.

13 October 2025

රයිෂන්බාක් ඇල්ල

 මනඃ කල්පිත රහස් පරීක්ෂක චරිතයක් වෙච්ච ෂර්ලොක් හෝම්ස්ගේ කතාන්දර ස්ට්‍රැන්ඩ් සඟරාවට ලිය ලියා උන්නු සර් ආතර් කොනන් ඩොයිල්ට මේ රහස් පරීක්ෂක චරිතය නිසා සෑහෙන කරදරෙන් හිටියේ. ඒ ෂර්ලොක් හෝම්ස් කතා දිගින් දිගටම ලියන්න කියලා පාඨකයින්ගෙන් ආපු ඉල්ලීම් නිසා.

මේ වෙනකොට ෂර්ලොක් හෝම්ස් කතා 24ක් විතර සර් ආතර් කොනන් ඩොයිල් ලියා තිබුනා. ඉතින් තමන්ගේ වෛද්‍ය වෘත්තියයි ලේඛන කළාවයි දෙකම එකට කරගෙන යන්ඩ බැරි නිසා ඔහු මේ රහස් පරීක්ෂක  චරිතය මරන්න ක්‍රමයක් හෙව්වා.

12 October 2025

අද දවසේ ගණිත ගැටළුව

 අද ඉතින් ඉරිදා දවසේ කට්ටියම ගෙදරට වෙලා විවේකි සුවයෙන් ඉන්න ඇති කියලා හිතනවා. ඉරිදා දවස විවේකි සුවයෙන් ගතකරලා හවස් වෙනකොට තමයි ටික ටික මතක් වෙන්නේ හෙට සඳුදා නේද කියලා.

දුර බැහැර පලාත් වල ඉඳලා කොළඹට වැඩට එන අයට හෙට උදේම්ම ඇහැරිලා බස් වලට දුවන්ඩ ඕන කියලා මතක් වෙනකොට කේන්තිත් යනවැති. මොනවා කරන්නද ඉතින් ජීවත් වෙන්ඩ රස්සාවකුත් කරන්ඩ එපෑ.

සති අන්තයේ ගම්බිම් වල ගියපු අය උදෙම්ම වැඩට එන්න පිටත් වෙන නිසා වාහන තදබදයත් ටිකක් විතර වැඩි දවසක් තමයි හෙට....!

ඒවයින් කාරි නෑ...

11 October 2025

කෝපි

 අද උදේ සිට ම කඩින් කඩ වසින වැස්සක් පවතින දිනකි ය. වැස්සට මිතුරුව හමන සුළඟ නිසා ගස් වැල් ද ඇඹරීගෙන යන්නේය. ඒ මදිවට සිරුර විනිවිද යාමට තරම් සීතලද දැඩි ය.සුළඟ නිසා වැහි බිදු පොලවට ආනතව පතිත වේ. මේ ආනතිය නිසා ඉස්තෝප්පුව මුළු මනින්ම හිරිකඩ වලින් නැහැවී ගොස් ය.

වැස්ස පර යා සුපුරුඳු සුවඳකින් නැහැ පුඬු පිරී යයි. ඒ වෙන සුවඳක් නොවේ... උණු උණුවේම කබලේ බදින කෝපි ඇට වලින් එන සුවඳකි. කොච්චරවත් කෝපි ඇට වියලා බෝතල් කර තිබුණට ඒවා බැද කුඩු කිරීමට ගෙදර මිනිස්සුන්ට මතක නැත.

08 October 2025

මේස් දෙකක්

මේක මේ මුහුණුපොතේ මම දැක්ක ගැටළුවක්.

මේකයි කතාව.... !

අඳුරු කාමරයක ලාච්චුවක එක වර්ගයක මේස් දහයකුයි තවත් වර්ගයක මේස් දහයකුයි තියෙනවා. අපි අඳුරේම ලාච්චුව ඇරලා එක වර්ගයක මේස් කුට්ටමක් දාගෙන යන්න ඕන කියලා කියමු. 

06 October 2025

දස වසරක් !

 මේ දිනවල අන්තර්ජාලය පුරා පින්තූර කිහිපයක් ඉතාම සීග්‍රයෙන් හුවමාරු වෙයි. ඒ ඉන්දුනීසියාවේ ජීවත් වන වයස්ගත යුවලක් වන කාටෝ හා වර්සිනීගේ ය.

මේ ඡායාරූප පෙල මෙලෙස කා අතරත් ජනප්‍රිය වන්නේ එකම තැනකදී ගත් ගූගල් ස්ට්‍රීට් විව් ඡායාරූප පෙලක් ලෙසය.

පහලින් ඇත්තේ ඒ ඡායාරූප පෙළයි.

05 October 2025

ජේම්ස් මොරියාටි

 රහස් පරීක්ෂණ ශානරයේ පොත් කියවන කෙනෙක් නම් ජේම්ස් මොරියාටි එහෙම නැත්නම් ජිම් මොරියාටි. නිකන්ම නිකන් මොරියාටි නෙමේ. ඔහු මහාචාර්ය ජේම්ස් මොර්යාටි... !

ගණිත විෂයය සම්භන්ධ මහාචාර්යය කෙනෙක් විදිහට තමයි ජේම්ස් මොරියාටිව ලන්ඩනයේ ජනතාව හඳුනා ගන්නේ. එහෙත් රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්ට නම් ඔහු පාතාලයෙ සෑහෙන්න නමක් දිනාගෙන ඉන්න කුප්‍රකට අපරාධකරුවෙක්.

04 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි - දෙවැනි කොටස

 කලින් ලියමන නවත්තපු තැනින් තමයි අද පටන් ගන්නේ. මම කලින් ලිපියේ කිව්වා නේ පැල් රකින්න යන්ඩ ඕන කරන කලමනා ටික මල්ලට දාගත්තයි කියලා. මම ඇත්තටම මල්ලට දාගත්තේ මේ ටික.

  1. කලින් දවසක චාර්ජ් කරපු ලයිට් එකක්.

  2. පොඩි බඩගින්නක් එහෙම ආවොත් කන්න කියලා බිස්කට් එකක්.

  3. රෑ සීතල මැකෙන්න කියලා ජැකට් එකක්.

  4. වතුර බෝතලයක්.

  5. පරණ මදුරු දැලක්.

  6. මදුරු කොයිල් ජෝඩුවක්.

  7. චාර්ජ් කරන්න පුළුවං ජාතියේ පොඩි රේඩියෝ එකක්.


ඔය වගේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි මගේ මල්ලේ තිබුනේ. මම ඔය ටිකත් දාගෙන ලැහැස්ති උනා. ඊට පස්සේ අපේ මලයා බයික් එකකින් හේන තිබ්බ හරියටම ඇරලවලා යන්ඩ ගියා. 


හේන තිබ්බ ඉසව්ව හරිම ලස්සනයි. එක පැත්තක බඩ ඉරිඟු හිටවලා තිබුණා. අනිත් පැත්තේ වම්බටු එහෙම දාලා තව පැත්තක ඔය වගේ වියළී කළාපයේ වැවෙන එළවලු ජාති කිහිපයක් තිබුණා. බඩ ඉරිඟු ටික නම් කිරි වදින කාලේ නිසා වල් ඌරන්ගෙන් එහෙම පරිස්සම් කරන්ඩ ඕන කියලා තමයි හේනේ අයිතිකාර මාමා කිව්වේ. හේන් බෝග ටික බලාගෙන අඩි පාර දිගේ මම පැල් කොටේ තිබ්බ හරියට ආවා. 

03 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි

 ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව මග හැර ගන්න කවි කියන හැටි එහෙම පණ පිහිටුවලා රසට කියලා දුන්නා. ඔය හන්දම ඒ කාලේ මගේ හිතේ ලොකූ උණක් තිබුනා කවමදාක හරි ගහක් උඩ අටවපු පැලක රෑක් ගත කරලා ඒ අත්දැකීම කොහොමද කියලා රසවින්දනය කරන්ඩ ඕනයි කියලා.

ඒ දවස්වල මම ඕක අපේ තාත්තට කිව්වේ මේ පැති වල කුඹුරු තිබ්බට පැලක් අටවගෙන පරිස්සම් කරන්න ඕන තරම් සත්තුන්ගෙන් කරදර සිද්ද වෙන්නේ නැති හන්ද පැල් ගහගෙන ඉන්ඩ ඕන නෑයි කියලා. මේ පැති වල නම් රෑකට මීයෙක් දෙන්නෙක් පැනලා වක්කඩවල් වල ගුල් හාරන ඒවයි දවාලට මී හරක් පැනලා කුඹුරු කෑලි මඩ කරලා දාන ප්‍රශ්නයි ඇරුනහම වෙන සත්තුන්ගෙන් හාකි වෙනවා අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්.

මීයන්ට නියරවල් උඩින් අමු ගස්ලබු කෑල්ලක් හරි මීපාසානම් ටිකක් හරි තිබ්බොත් මී කරදරේ ඉවර කරගන්ඩ පුලුවන්. හරකුන්ගේ කරදරේට නම් හරක් අයිතිකාරයන්ට සද්දයක් දාලා ආවහම නිස්කාරනේ කුඹුරුවලට හරක් පනින කරදරේ අඩු කරගන්ඩ පුලුවන්.

27 September 2025

ගණිත ගැටළුවක්

 අද නිවාඩු දවසේ කරන්ඩ කියලා විශේෂ දෙයක් තිබුනෙත් නැති නිසා කම්මැලිකමට පොතක් කියවන්ඩත් හිතුවත් හරි හමන් පොතක් තිබුනෙත් නැති නිසා ෆෝන් එක අරගෙන අන්තර්ජාලයේ එහෙට මෙහෙට හක්කලං කරනකොට හම්බ උනා පොඩි ගණිත ගැටළුවක්. 

ඒ ගණිත ගැටළුව ඔයාලටත් අරගෙන ආවොත් හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්ඩ හිතුවා. එහෙනම් පහල තියෙන ගණිත ගැටළුව විසදලා උත්තරේ කමෙන්ට් කරගෙනම යන්නකෝ.

14 September 2025

බෙලිහුල් ඔය තානායමේ දිනක්

 අප බෙලිහුල් ඔය තානායමට එනවිට වේලාව හවස 4ට ආසන්න වී තිබුණද දිවා ආහාරය සඳහා සූදානම් ව තිබූ බුෆේ එක අවසන් වී තිබුණේ නැත. අප කුසගිනි නිව්‍ර්න තෙක් බුෆේ එකෙන් දිවා ආහාරය ගත්තෙමු. දිවා ආහාරය අවසන් වනවත් සමගම තානායමේ පිළිගැනීමේ නිළධාරි තැන අපට සූදානම් කර තිබූ කාමරයේ යතුර ලබා දුනි.

අප නැවතී සිටින කාමරයේ බැල්කනියට අසලින් ගලා යන බෙලිහුල් ඔයේ වතුර ගලන හඩ ද කදුකර දර්ශනයන් ද මනාව දිස් වේ. වතුර ගලායන හඩ මුලදි මුලදි ඝෝෂාකාරී ලෙස සිතුන ද අපේ කන් ඒ හඩට ඉතා ඉක්මනින් අනුවර්තනය වී ය.එය අපට මහත් අස්වැසුමකි.  ගමනේ වෙහෙස නිසා අප කාමරයට වී මදක් විවේක ගත්තෙමු. හවස අප පහන්තුඩාවට යාමට කතිකා කර ගත්ත ද පුතුගේ බලවත් අකමැත්ත උඩ අප ඒ ගමන අමතක කර දැමී ය. ගමන් මහන්සිය නිසාම ඔහු ඒ ගමනට අකමැත්තක් දැක්වූ බව අපට සිතුණි.

12 September 2025

සමුගැනීම, අවසානය නොවේ

ඔරලෝසුවේ පාන්දර දෙකේ කණිසම වැදුනි.

එහෙත් නින්ද ඈ අසලට නාවාය වෙනදාට නම් මේ වෙලාව වන විට සුව නින්දක නිදන ඈ, අද නින්දත් නොනින්දත් අතර මැද ඇඳෙහි ඒ මේ අත පෙරලෙමින් සිටියාය.


බැරිම තැන ඈ ඇඳෙන් නැගිට වතුර ඩිකැන්ටරයෙන් වතුර වීදුරුවක් නවාගෙන එක හුස්මට පානය කළාය. වතුර වීදුරුව පානය කළ ඈ, කාමරයේ පසෙක වූ ඇඳුම් බෑගය දෙස මද වේලාවක් බලා සිට නැවතත්  ඇඳට ගොඩ වූයේ කෙසේ නිදන්නෙමි යන බලාපොරොත්තුව ඇතුව ය. ඉන් තවත් පැයකට පමණ පසු ඈ නින්දට වැටුනාය.


එහෙත් ඇගේ නින්ද ඉතාමත් කෙටි එකක් විය. ඒ උදේ හතරට පමණ ඈව අවදි කරනු පිණිස සිය මව විසින් දොරට තට්ටු කිරීම නිසාය.


මව විසින් අවදි කිරීමත් සමඟ ඈ හනි හනිකට නාන කාමරයට දිව ගියාය. නාන කාමරයේ වතුර මලෙහි සීතල දිය නා ගත් පසු නාන කාමරයෙන් එලියට පැමිණ මේසේ මත වූ කිරි තේ එක අතට ගෙන උගුරක් බීවාය. ඉන්පසු ඈ කලින්දා ස්තිරික්ත කළ ඇඳුම් ඇඟලා ගත්තාය. කොණ්ඩය ද පීරා ගත් පසු ඈ මඳ වේලාවක් තමාගේම රුව කණ්ණාඩිය තුළින් බලා සිටියාය.