12 June 2022

නයනතාරාවත - 11 කොටස - අවසානය

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුමපස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම | අටවන දිගහැරුම | නවවන දිගහැරුම | දසවන දිගහැරුම

 පරිච්ඡේද කිහිපයක් පුරාවටම පාඨක ඔබත් කතුවර මා සමඟ එකට එක්ව නයනතාරාගේ ජීවිතයේ සිදුවීම් සමුදායක් සියැසින් දුටුවෙමු. අප දැන් එලැඹ සිටින්නේ ඒ කතාවේ අවසානයට ය.

ඒශාන් සකුරා දේශයට වී පුරා වසරකට ආසන්න කාළයක් ගතවී ඇත. ඒ ගතවූ කාළය නයනතාරාට නම් බුද්ධ කල්පයක් වැනි ය. ගෙවෙන හැම මොහොතක්ම ඈ සිතුවේ කෙසේ හෝ තමා ඒශාන් වෙත යන බව ය. තමා අතින් සිදුවෙන හැම කාර්යයක් ගැනම ඈ ඒශාන් අයියාට ලියා යැවී ය. මුලදී නම් ඒශාන්ට නයනතාරා එවන ලියුම් වැල් බයිලා වැනි ය. ඔහු ඒ ලියමන් උඩින් පල්ලෙන් කියවා  ගිනි උදුන වෙත විසි කර දැමුවේ ය.

පසු කලෙක නයනතාරා පවු යැයි සිතූ නිසා ඔහු  ඒවාට පිළිතුරු ලීවේ ය.  කාළයත් සමඟ ඔහුගේ හිත තුල නයනතාරා කෙරෙහි අනුකම්පාවක් ඉපැදිණ.

අනුකම්පා සහගත හැඟිම් ඇතිවීම සැබෑ ආලයක පෙර නිමිති ය. බොහෝ ආලයන් හි මූල බීජය අනුකම්පාවකි. මේ ආදරයටත් එසේම ය. ඔහු තුලත් නයනතාරා කෙරෙහි  උපන් අනුකම්පා සහගත හැඟීම් සියල්ල කාලයාගේ ඇවෑමෙන් යටපත්ව ගොස් ආදරයේ ප්‍රථම අංකුර  සිත තුළ රෝපණය වෙමින් පැවතුණි.

එකළ ඒශාන් මෙන් නයනතාරා ද කෙසේ හෝ සකුරා දේශයට යමි ය යන තිර අදිටනින් කල් යැවුවා ය. ඈ ඒ සඳහා සකුරන්ගේ බස ද හැදෑරුවා ය. සකුරන් ආහාර ගන්නා ආකාරයටම කූරු දෙකකින් බත් කෑමට ද උගෙන ගත්තා ය.  නයනතාරා රාත්‍රියට අඳින්නේ ද ඔවුන්ගේ රටේ ස්ත්‍රීන්ගේ ජාතික ඇඳුම වන කිමෝනාව ය. දැන් ඇත්තේ එහි යාම පමණකි.

අහෝ අවාසනාවක මහත ! ලොවම විශාලාවක් වෙමින් පවතී. !

ඇහි පිය දිගැටි කොට පර චීන්නුන්ගෙන් ආ වසංගතයක් ලොවම ගිල ගනිමින් පවතී. රට රාජ්ජ අතර නාවුක ගමන් අහෝසි වී ඇත. ඒ දේශයෙන් මෙරටටත් මෙරටින් ඒ දේශයටත් ගමන් බිමන් නැත.

මුළු ලෝ වැසි ජනයෝ වසංගතයට බියෙන් මුව ආවරණය කළෝය. ඇතැම් හු වසංගතයට හසුව මියෑදුනෝ ය. තවත් සමහරු වසංගතය වැළඳී ලෙඩ ඇඳට වැටුනෝ ය.

වසංගතයේ ආගමනයත් සමඟ  ඈ ලියන හැම ලියමනක්ම අවසන් වූයේ පරිස්සමින් ඉන්න කියා ය. ඔහු ද එසේම ය. ඔහුද ඈට පැවසුවේ තමා වෙත එන දින තෙක් ආරක්ෂා වී ජීවත් වන්න කියා ය. පාඨක ඔබද මේ යුවතිපතීන්ට ඉහත ප්‍රාර්ථනයම කරනු ඇතැයි මා සිතමි. ඒ නැතත් කම් නැත.

එක පිට එක බාධක පැමිණේවි. නපුරු වූ වසංගත රජ කරාවි. එහෙත් නයනතාරා රට යනවා සත්තකයි.

තමා ගැන හිතේ කොණකවත් ආලයක් නොතිබි ඒශාන් අයියාව  කෙසේ හෝ අයිති කර ගත්තා නම් මේ කාර්යය ඈට සුළු දෙයකි. නයනතාරා තුල ඇති අප්‍රතිහත ධෛර්යය කවරදාක හෝ ජය ගනු ඇත. එතෙක් කතුවර මා ඈ ජය ගන්නා තුරු බොල්ගොඩ ගං කොමළියේ මෙහා ඉවුරේ සිට බලා සිටින්නෙමු.

ඈ ජය ගන්නා දින කොමාවකින් තාවකාලිකව නවතා තැබූ ආදර අන්දරය සකුරා දේශයේ හිමෙන් පිරුණ වීදි පුරා දිවෙනු ඇත.

එතෙක් ලක් ජන රසවින්දනය උදෙසා ලියූ ඒශාන් නයනතාරා ආදර අන්දරයට තාවකාලික විරාමයක් තබමි.


-අවසානයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.