03 June 2022

නයනතාරාවත - 2 කොටස - ඒශාන්

පළමු දිගහැරුම 


මේ කාළයේ  කැලණි ගඟින්  ගවු ගණනක් එතෙර ගම් පහක් එක්කොට සැදුම් ලද ගම්පහ නම් වූ ගමක අප්‍රකටව ජීවත් වූ තරුණයෙක් කොළොම්තොටට ආහ. ඔහු නමින් ඒශාන් නම් විය. 

දෙමාපියන් ඔහුට නම් තැබුවේ ශාන් කියා ය. එහෙත් පුද්ගල නාම ලේඛනගත කරන කරන නිළධාරී තැන, ඈතින් පියා සමඟ හුරතල් වන දරුවා දැක "අර කවුදැ යි ?" විචාලේ ය.

ඔහුගේ මව විසින් "ඒ ශාන් !" යැයි පෙරළා පිළිතුරු බැන්ඳා ය. ඔහුගේ මව පැවසූවේ ඒ ඈතීන් සිටින්නේ ශාන් බව ය. එහෙති නිලධාරි තැන සිතුවේ දරුවාගේ නම ඒශාන් බව ය. ඉනික්බිති ඔහු කටු පෑනෙන් එක හුස්මටම ඒශාන් යැයි නම ලියූ ලියවිල්ල මවගේ අතට දී ඒ පවුල පිටත් කලෝ ය.

එශාන්ගේ පියා නිවසේදි ලියවිල්ල කියවන විට දරුවාගේ නම ලියූ තැන දැක,  ඔහුගේ හිස වටා  හත්දින්නත් තරු පඞක්තියම බමන්නා සේ දැනෙන්නට විය.

"දැන් ඉතින් අපි මොනවා කරන්න ද ? මූ එශාන් උනාදෙන්." යැයි හිස් අහසට පවසා නම ලියූ අයවලුන්ගේ අම්මා මෝ මතක් කර පුරා පැයක් දෙස් දෙවොල් තබන්නට වුහ.

ඉනික්බිති ඔහු නමින් ඒශාන් ලෙස ගම් නියම් ගම් සිසාරා අතර ප්‍රකට වන්නට වූහ

ඔහු ප්‍රියමනාප ය. අක්ඹමරු කේශයත්, තඹ පැහැ ගත් සිරුරත්, කාන්තිමත් දෙනෙතත් ඔහුගේ කඩවසම් බව තීව්‍ර කරවූහ. දුටු දුටු තරුණියන් ඔහු කෙරෙහි ආලයෙන් වෙලෙන්නට දෙවතාවක් නොසිතුවෝ ය. ඔහුගේ නේත්‍ර කැල්මෙන් මිදෙන්නට මිහිපිට කිසිඳු තරුණියක් සමර්ථ වී නැත්තේ ය. බාඳුරා මලට ඇඳෙන කෘමි සමූහයා මෙන් දිනෙන් දින ඔහු හා ආලයෙන් වෙලෙන තරුණියන්, ගණනින් වැඩි විය.

එහෙත් ඔහු ඒ නෙත් හී සර පහර අළුයම ලූ කෙළ පිඬක් මෙන් ඉවත දැමුවේ දෙමාපියෝ පෝෂණය කිරීමත් තම අරමුණු මුදුන්පත් කර ගැනීමත් ගුරු කොට සැලකූ නිසා ය.

එක දිනෙක මේ තරුණයා, නයනතාරාගේ ඇස ගැටුනා ය. ඈ බිතක ඇඳි සිතුවමක් වන් නොසෙල්වී ඇසි පිය නොහෙලා ඔහු දිහා බලා සිටියා ය. ඔහු සිය උවමනාවෙන් ම නයනතාරාගේ නෙත් මඟ හැරියේ ය.

එහෙත් ඒ පිරිමි රුව නයනතාරාගේ සිතෙහි තදින්ම වැද ගත්තා ය. මොහුව කෙසේ හෝ දපනේ දාගනිමියි සිතා ඈ දිවා රෑ වෙහෙස වූවා ය.


එතැන් පටන් ඈ, දිවා රෑ ඔහු කෙරෙහිම සිතන්නට වූවා ය. ඔහු කෙරෙහිම සිතමින් කල් යවන නිසාවෙන් ඕ  දිනෙන් දින කෘෂ වූවා ය. රස මසවුලෙන් හෙබි භෝජනය වුවත් ඈ කටකට දෙකකට වැඩි ප්‍රමාණයක් කුසට දමා ගත්තේ නැත. දිය පොදක් පවා බීවා නම් ඒ ඉක්කාවක් ආ විට එය මැඩලීම සදහා පමණෙකි. ගුරු දෙමාපියෝ රාජකාරි බොහෝ ඇත්තවුන් නියාවෙන් දියණියගේ සිතෙ හි වූ රෝගයට පිළියම් සොයන්නට නොහැකි වූහ


කෙසේ හෝ ඔහු සරණ පාවා ගනිමියි ඈ දිවා රෑ සිතන්නට වූවා ය. ඔහු සමඟ සරණ මංගල්ලයක හිඳින හීනයෙහි නිබඳවම කල් යැවී ය.

ස්ත්‍රී වර්ගයා ජන්මයෙන්ම සූ සැටක් වූ මායම් ඇත්තෝ වෙති. සූ සැට මායමින් බේරෙන්නට සමර්ථ වන්නෝ මේ ධරණී තලයේ නැත. අනන්තාපර්යන්ත විශ්වයේ ද නැත. නාරි චිත්‍රය නිසාවෙන් බමුණන්ගේ ශීලය පවා බිදෙන්නේ ය.


ඔහු හා දොඩමළු වී මිසක මා අද ගෙදර නොයමි යි තිර අදිටනින් යුතු ව දිනක් ඈ ඔහු ගමන් ගත් මඟ අවුරුවා පවුරක් ව නැඟී සිටියා ය. එහෙත් නයනතාරා තම මඟ අවුරා සිටින බව දුර තියා දැක, ඈ මඟහැර වෙනත්  මඟකින් ඔහු  ගමන් ගත්තේ ය.


ඉර අවරට යනතෙක් දෑස් දල්වා බලා සිටිය ද ඈට එදින ඔහු හා දොඩමළු වීමට නොහැකි විය.


කොකාට සියක් වර තිබේ නම් තිත්තකඩයින්ට එකදු වරක් හෝ තිබේවි යැයි සිතා තරහින් පුපුරමින් පයින් පොළොවේ දූලි ද අවුස්සා රෑ අඳුර මැදින් ගෙට ගොඩ වූවා ය. එදින රාත්‍රි ආහාරය ද නොගෙන පැදුරේ  ඒ මේ අත පෙරළෙමින් නිදි වර්ජිතව රෑ පහන් කළා ය.

කොතෙක් මඟ අවුරා සිටියත් තමා දුටු කලෙක ඔහු මඟ හරින නිසා තව දුරටත් ඔහුගේ ගමන් මඟ අවුරා සිටීම මුනින් නැවූ කළයක් දිය පිරෙන තෙක් බලා සිටීමට සම බව ඈ සිතුවා ය. සැට පැයකින්වත් නොපිරෙන කළයක් දිහා බලා සිටීමෙන් පලක් නැත.


ඒ නිසා ඈ ඔහුගේ මිතුරෙක් හා හාදව ඔහුගේ ගෙදර ලිපිණයලබා ගත්තා ය. එතැන් පටන් දිවා රෑ නොතකා ඈ ඔහුට ලියන්නට විය. ඈ අටෝරාශියක් ලියමන් ලිව්වද ඔහු ඒ එක් ලියමනකටවත් පිළිතුරු ලීවේ නැත. ඒ එන හම ලියමනක්ම ඈ ගුලිකොට විකි ක්ළේ ය.


නයනතාරාගේ ලියමන් ‘කෙළිය’ උත්සන්න වූ කල, ඔහු ඇගේ ලිපි හරවා යැවූවේ නයනතාරාගේ දෙවන උත්සහය ද ව්‍යර්ථ කරමිනි. ඇගේ දෙවන වෑයම  ගං දියට කැපි දඬු සමූහයා ගං දියේ ගසා යන්නාක් මෙන් නිශ්පල විය.


සිය දෙවෙනි වෑයමද ව්‍යර්ථ වූ නිසා සියුම් විළියක්, ඇගේ සිත දවන්නට වූහ. 


ස්ත්‍රී වර්ගයා කොයියම්ම කලෙකදීවත් පරාජය භාර ගැනීමට කැමැත්තක් දක්වන ජීවි කොට්ඨාශයක් නොවේ. තම හස්තය මත වූ වැරැද්ද, පියවි නේත්‍ර යුග්මයට පෙනුනත් වැරැද්ද පිළිගන්නේ නැත. සිය ස්වාමියා විශයෙහි ඇතිවන ගැටුමක දී වත් පවුලේ සමඟිය සුරකීම සඳහා වැරැද්ද පිළිගෙන පරාජය සුරතට ගන්නා උත්තුංග පුරුද්ද පුහුණු වී නැත.


නයනතාරා ද එවැනි තවත් එක් නාරි රූපයකි. ඈ ද පරාජය බාර නොගනී. !


-මතු සම්බන්ධයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.