08 June 2022

නයනතාරාවත - 7 කොටස - ඒරොප්පෙන් ලියමනක්

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුමපස්වන දිගහැරුම | සයවන දිගහැරුම

 දිනක්  සුපුරුදු පරිදි උදෑසන රාජකාරි හමාර කර ඒශාන් ගෙයි ඉස්තෝප්පු පඩියේ වාඩි වී පාරේ එන යන මිනිසුන් දිහා බලමින් සිටියේ ය. මෙසේ බලාගෙන සිටින විට ඈති මැදි වයසේ යුවලක් තමා සිටින දිශාවට එන බව ඔහු දුටුවේ ය.

"ආන් අම්මලා එනවා !" යැයි ඔහු ඔහුටම කියාගෙන දෙමාපියන් එන දිශාවට දුවගෙන ගියේ ඔවුන්ව දුරදීම පිළිගැනීමට ය.

"අම්මලා උදෙන්ම පිටත් උනාද ?" යැයි ඔහු ඇසුවේ ය.


"ඔවු. අපි පාන්දරින්ම එහෙන් පිටත් උනා !" යැයි මව පිළිතුරු දුන්නා ය.


"අම්මලා ආ එකත් හොඳයි. මං කම්මැලිකමේ හිටියේ" යැයි පවසා දෙමාපියන් ඔසොවාගෙන ආ බඩු බාහිරාදිය ඔහුගේ දෑත් වලට ගත්තේ ය. ඔහුගේ මව ආ හැටියේම ඉස්තෝප්පුවේ තිබූ වේවැල් පුටුවේ හරිබරි ගැසී වාඩි වූ අතර පියා බිත්ති කණ්ඩියට හේත්තු වී උරේ වූ රෙදි කඩින් ගෙල වටා රැඳි ඩා බිඳු පිස දමමින් සිටියේ ය.

ඉස්තෝප්පුවේ සිටි  අමුත්තන්ගේ කට හඬ ඇසී නයනතාරාගේ මවද ඉස්තෝප්පුවට ආවා ය.

"හානේ මිරිස්වත්තේ අක්කලා ඇවිදින්... මේ ඒයි.. ඇහුන ද ? මේ ඒශාන් දරුවාගේ අම්මලා ඇවිදින්. පොඩ්ඩක් ඉස්සරහට ආවා නං... !"  යැයි නයනතාරාගේ මව ආලින්දය දෙස බලාගෙන මොර ගෑවා ය.

කාමරයේ හුන් නයනතාරාගේ පියා දෑස් පිස දමමින් ඉස්තෝප්පුවට ආවේ ය.

"ඇඳේ හාන්සි වෙලා පොතක් කියව කියවා උන්නා. දන්නෙම නැතුව නින්දකුත් ගිහින්... අපේ උන්දෑ කතා කරන සද්දේ ඇහිලයි ඇහැරුනේ" යැයි කියමින් ඔහු ඇඳි පුටුවක හිඳ ගත්තේ ය.

"ඒයි ඔයා දුවත් එක්ක ගිහින් මේ කට්ටියට තේ වතුර ඩිංගක් සූදානම් කළා නම්.. දුර ඉදන් ඇවිල්ලා මහන්සිත් ඇතෑ... !" යැයි නයනතාරාගේ මව දෙසට හැරී ඔහු කීවේ ය.

එය හුදෙක් ආඥාවකට වඩා ආදරණීය ඉල්ලීමකි. දවසේ කොයි යම් වේලාවක උවත් නයනතාරාගේ පියා ඉල්ලන ඉල්ලීමක් නෑ බෑ නොකියා ඉටු කිරීම සිය දේව කාරියක යැයි ඈ සිතන්නී ය. මේ නිසා ඈ හනිකට කුස්සියට ගොස් කේතලය ලිප තැබුවා ය.

කේතලයේ වතුර නටන තෙක් ඈ කෝප්ප සෝදා ජෝග්ගුවට තේ කොළ දැමුවා ය. ඉන් පසු ඈ නයනතාරාගේ කාමරයට ගියා ය.

ඈ කාමරයට යන විට නයනතාරා නිදමින් උන්නා ය. නිදා සිටි නයනතාර ගේ ගවොම දනිහෙනුත් ඉහලට එසැවී තිබෙන දැක, 

"යසයි ගෑනු ළමේක් නිදාගෙන උන්නු අපූරුව ! " යැයි කීවා ය.

අම්මාගේ බැනුම් හඬ ඇසුනු නයනතාරා දනිහෙන් උඩ වූ ගවුම අතින් හදමින් ඇඳෙන් නැගිට්ටාය. 

"අන්න අර ළමයෑ ගෙදර කට්ටිය ඇවිත්... පොඩ්ඩක් ගිහින් කතා  කෙරුවා නම්.." යැයි නයනතාරාගේ මව ඉස්තෝප්පුව දෙසට දෑස් හරවමින් කීවා ය.

ඒ ඇසිල්ලේම නයනතාරා කැඩපතින් බලා කොණ්ඩය අතින් හදාගෙන ඉස්තෝප්පුවට හනිකට දිව ගියේ ඒශාන්ගේ දෙමාපියන් හමු වීමට ය. පාඨක ඔබවත් මා  අමුත්තන් හා දොඩමළු වීමට ඉස්තෝප්පුවට රැගෙන යමි. නයනතාරා හා ඒශාන්ගේ දෙමව්පියන් හමුවන පළමු අවස්ථාව මෙය වේ.

හෙල කුළ චාරිත්‍රයට අනුව නම් මෙවැනි හමුවීම් සිදුවන පිළිවෙළක් තිබේ. එහෙත් නයනතාරාගේ කූට උපාය නිසා  සාම්ප්‍රදායික හෙල චාරිත්‍රය කුණු මුල්ලට විසි කිරීමට ඒශාන්ගේ දෙමාපියන්ට සිදු විය. නයනතාරා ඉස්තෝප්පුවට ආ හැටියේම ඒශාන්ගේ දෙමව්පියන් කරමින් සිටි කතාව නවතා ඈ දෙස බැලුවෝ ය. නයනතාරා ද ඔවුන් දෙස මන්දස්මිතියක් පා ඒශාන් වාඩි වී සිටි පුටුවේ ඇන්ද මත වාඩි උනා ය.

නයනතාරාගේ මෙම ක්‍රියාව නිසා ඒශාන්ට ඇති වූයේ බලවත් අපහසුතාවයකි. ඔහුගේ දෙමව්පියන් ද මුහුණින් මුහුණ බලාගත්හ. නයනතාරාගේ පියාගේ සිතට ද්වේශයක් ද හට ගත් අතර ඔහු යටි තොළ විකා ගනිමින් ඒ ද්වේශ සහගත  සිතිවිල්ල මැඩ පවත්වා ගත්තේ ය. ඒශාන්ගේ මව නයනතාරාගේ පාදාන්තයේ සිට කේශාන්තය තෙක් සෙමින් බැළුවා ය. තමාගේ එකම පුතුට සරණ බන්ධනයට යාමට සිදු වන්නේ මෙවන් යුවතියක සමඟ දැයි ඒශාන්ගේ මවට සිතෙන්නට විය. ඒ සිතුවිල්ල ඈ ගේ දෑස් කෙවෙනි තෙත් කිරීමට සමත් විය. ඈ දෙතුන් විඩක් ඇහිපිල්ලම් ගසමින් වැටෙන්නට ගිය කඳුළු කැට මහත් ආයාසයකින් නවතා ගත්තා ය.


"දූ ගිහින් අම්මට තේ මේසේ ලෑස්ති කරන්න උදව් කරන්න !" යැයි නයනතාරාගේ පියා නයනතාරාට පවසූවේ තව දුරටත් නයනතාරා මෙතැන සිටියහොත් පවුලේ 'සායම' ඈ විසින් යවනු ඇතැයි සිතූ නිසා විය යුතු ය.

නයනතාරා බලවත් අප්‍රසාදයකින් යුතුව කුස්සියට ගියා ය. නයනතාරා කුස්සියට යෑමට කවදත් අකමැති තරුණියකි. නිය ආලෙපන තොල් ආලේපන නයනතාරාගේ අතට හුරු වූවත් හැන්ද වළඳ වැනි කුස්සියේ ආම්පන්න ඇගේ අතට හුරු නැත. ඈ ඒවාට හුරු වීමට ද අකමැති ය.

හදිසියේ උවත් කැවිලි වර්ග කිහිපයකින් ඒ තේ මේසය සමන්විත විය.

අමුත්තන් දෙදෙනා ද කරාමයෙන් මුහුණ කට සෝදාගෙන තේ මේසයට වාඩි විය. සියල්ලෝම සතුටු සාමිචියේ යෙදෙමින් කැවිලි කා තේ බීහ. ඉන් අනතුරුව නයනතාරාගේ පියා දවල් කෑමට උවමනා අඩුවැඩිය ගෙන ඒමට හන්දියට ගිය අතර නයනතාරා සිය මවත් සමඟ කුස්සියට ගියා ය.

සෙසු සියල්ලෝ නිවස ඉදිරිපස වූ ජෑම් ගස යට වූ බංකුවේ වාඩි වූහ. 

මද නිහැඬියාවක් ඔවුනොවුන් අතර පැවතියේ ය.

"අම්මලා හදිස්සියේම ආවේ...?" ඒශාන් නිහඩතාවය බිඳිම් කතාව ඇරඹීය.

"පුතාට ඒරොප්පෙන් ලියමනක් ඇවිදින්. ඒක ගෙනත් දෙන්නයි අපි මේ තකහනියෙන් ආවේ." යැයි කියමින් දෙකට තුනට නවා  හැඹිලියේ තැන්පත් කර තිබූ ලියමන ඒශාන් වෙත පෑවා ය.

ඒශාන් ද කවරයේ කෙළවරකින් කඩා ලියමන දිග හැරියේ ය. ඒ ලියමන ලියා තිබුනේ හෙළ බසට අලඟු තියන්නවටත් බැරි ඉරි කෑලි ගොඩකින් සමන්විත වෙනත්ම බසෙකින් ය.

ඔහු ඒ ලියමන හරහා ඉක්මනින් දෑස් මෙහෙය වූවේ ය.

ඉන්පසුව ඔහුගේ මුවට සිනහවක් ද මතු වූවේ ය. ඒ ලියමනේ තිබුනේ සකුරා දේශයේ රැකියාවකට යාමට ඔහු සුදුසුකම් සපුරා ඇති බවත්, ඒ රාජකාරිය බාර ගනීමට ඔහුට සකුරා දේශයට එන ලෙසත් ඉල්ලා එවූ ඉල්ලීම ය. ඔහුට ඒ රටට යාමේ දී දරන්නට වන සියළුම විය පැහැදම් එ රටින් දරන බවත් ලියමනෙහි තව දුරටත් සඳහන් වී තිබුණි.

මේ විස්තරය ඇසූ ඔහුගේ දෙමාපියන්ගේ ඉහේ මලක් පිපුණි. අඩුම තරමේ මේ උරචක්කර මාලයෙන් ගැලවී ඔහු නිදහසේ ඒ රටේ ජීවත්වේවි ය යන බලාපොරොත්තුව ඔවුනොවුන්ගේ සිත් වල තිබූ නිසා විය යුතු ය. ඔහු ලියමන තව වරක් කියවා තිබූ පරිද්දෙන්ම නවා ඉණේ ගසා ගත්තේ පසු දිනක නයනතාරාගේ දෙමව්පියන්ට කියා අවසර ගන්නා අටියෙන් ය.


කතාවෙන් කතාව දහවල් වූ බැවින් ඔවුන් නැවතත් ගෙට ගොඩ විය. මේ වන විට දිවා භෝජනය ද පිළියෙල වී තිබුණ බැවින් ඔවූහු යහමින් බත්  හා මාළුපිණි අනුභව කළෝ ය.බත් කා කලින් දාක නාවින්නේ වෙළෙන්දෙකුගෙන් මිල දී ගත්  කිරි හා පැණි ද අනුභව කළෝ ය.

දිවා අහරින් පසු ඒශාන්ගේ පියා ඉස්තෝප්පුවේ වූ හෙප්පුව අතට ගෙන විටක් ඒදන්නට විය. විටක් සපා කෙළ ගැසීමට පඩික්කම ද ගෙන ඔහු ඇඳි පුටුවක හේත්තු විය.

ඉර අවරට යා තිබූ වේලාවක් නිසා ඔවුන්ට නැවත ගම් බිම් වෙත යාමට කරත්තයක් සොයා ගැනීමට නොහැකි විය. මේ නිසාම ඔවුහු එදින නයනතාරාගේ ගෙදර රෑ පහන් කලහ. 

පසුදින උදෑසනම ඒශාන් ගංසභා හන්දියට දුව ගොස් දෙමාපියන්ට සිය ගමරට බලා යාමට කරත්තයක් සූදානම් කර දුන්නේ ය. ඒශාන් සිය දෙමාපියන්ට වැඳ සමු දුන්නේ ය. 

නයනතාරා මේ සියල්ල ඈතින් සිට බලා සිටියා මිසක තම අනාගත නැන්දම්මා හා මාමණ්ඩියට වැඳ ආචාර කිරීමට ඉදිරියට නාවා ය. දුර සිට තමන් දෙස බලා සිටින නයනතාරා දෙස ඒශාන්ගේ දෙමව්පියෝ බලා මද සිනහවක් පා කරත්තයට ගොඩ වූහ.


-මතු සම්බන්ධයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.