උත්සහයන් යුග්මයක පරාජයෙන් උමතු වූ නයනතාරා මෙවර ගැඹුරින් කල්පනා කොට තම සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙවූ වා ය.
ඒශාන් කුඩා කළ පටන් ගුරු ගෝල සබඳතාවයන් දේවත්වයෙන් සැලකූවෙකි. ගුරුවරයෙකු යමක් කියන්නේ ද, ඔහු ඒ හා විවාද කරන්නේ නැත. ගුරුවරයෙක් යමක් කියන්නේ තම ගෝලයින්ගේ අභිවෘද්ධිය උදෙසා බව ඔහු නිරන්තරයෙන්ම සිතයි.
මේ නිසා මෙවර නයනතාරාගේ සැලැස්ම ක්‍රියාවෙහි යෙදෙව්වේ සිය ගුරු දෙමාපියන් ය.
ඈ සිය මවු දෙමාපියන් ඉදිරියේ තම සිතැඟි ඉදිරිපත් කළා ය.
"මා ඒශාන් අයිය හා සරණ යනවා හැරෙන්නට වෙන කිසිම පිරිමියෙකුගේ හෙවනල්ලක්වත් වැටෙන්නට යන්නේ නෑ." යි එක හෙලාම සිය දෙමාපියන් පැවසූවා ය
එහෙත් එශාන්ගේ සිතෙහි නයනතාරා කරණ කොට උපන්නා වූ අංශු මාත්‍රීය ස්නේහයක් හෝ ආලවන්ත හිතක් හෝ නොමැති බව සිය ගුරු දෙමාපියෝ හොඳාකාරවම දැනගෙන සිටියෝ ය.
එශාන්ගෙ කැමැත්ත නොමැතිව මේ සරණ මංගල්ල සිදු කළ නොහැකි බව දෙමාපිය දෙදෙනා නයනතාරාට පසක් කළ සිටියත් නයනතාරා සිටියේ එය පිළි ගන්නා චිත්ත ඒකාග්‍රතාවයකින් නොවේ. ඈ සිටියේ 'කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි කමක් නෑ' යන සිතුවිල්ල පෙරදැරි කරගෙන ය.
"ඒශාන් අයියාගේ අතින් වතුර උගුරක් වැටෙනකන් මම කන්නෙත් නෑ.. බොන්නෙත් නෑ.." යැයි පවසා ඈ කාමරයේ අඳුරු මුල්ලකට වී සිටියා ය.
හිරු අවරට ගොස් පසු දාට පහන් විය. මෙසේ දින දෙකක් ගත විය. ඈ තවමත් අඳුරු මුල්ලේ ය. ඈ ආහාර ගැනීම ද ප්‍රතික්ශේප කළා ය. ස්නානය ද පිලිකෙව් කළා ය.
"මෙහෙම හිටියොත් මෑ මරු දකී !" යැයි සිතූ දෙමාපියෝ ඇලි ගොන් බානක් බැඳි ගැලක නැඟී ගම්පහ ගියෝ ය. ඒ යනෙන මඟ තැනින් තැන නයනතාරාගේ මව කඳුළු සැළුවා ය.
තම දෙනෙතින් නැගෙන දාරක ස්නේහයේ කඳුළු සිය ස්වාමි පුරුෂයා දකීවි යැයි බයෙන් ඔහුට හොරෙන් සාරි පොටෙන් පිස දැමුවා ය. බොහෝ දුරක් යන තෙක් දෙදෙනා එකදු වචන මාත්‍රයක්වත් පැවසූ වේ නැත. වැලි පාරේ ගමන් කළ රිය සකෙහි නැඟුනු කඨෝර කිරි කිරි හඬ ඇරෙන්නට දෙදෙනා අතර වූ නිහැඬියාව බිඳින්නට සමත් කිසිඳු හඬක් නොවී ය.
කැලණි මිටියාවත පසු කළ පසු,
"මදැයි දෑහේ මූනේ තියාගෙන දියණි කෙනෙක් හැදුවා !" යැයි නයනතාරාගේ පියා හිස් අහසට නෝක්කාඩු කීවේ ය.
ඈගේ මව ද "හ්ම්ම්" යැයි හූ මිටි තබනවා ඇරෙන්නට මුව විවර කොට වචනයක් පැවසුවේ හෝ නැත. ඒ සිය ස්වාමි පුරුෂයා උරණ වේ යැයි තිබූ සැකය නිසා ය.
නයනතාරගේ මව හා පියා අතර ඇත්තේ ආලයකට එහා ගිය වූ ගෞරවනීය බැඳීමකි.. "පති පත්නිකා දේවතා හේ." යන භාරත බමුණු පාඨය ඈ දෝත් මුදුන් දී පිළිගත්තා ය. ඈ පතිවෘතාව දිවි දෙවෙනිකොට සුරැකින තවත් එක් සාම්ප්‍රදායික ගැහැණියකි. ඔහු ද සිය ප්‍රාණය මෙන් තම පාදපරිචාරිකාව ව ආදරයෙන් රක්ෂණය කරන්නා වූ බොහෝ ස්ත්‍රීන්ගේ සිහිනයක් බඳු ආදරණීය ස්වාමි පුරුෂයෙකි.
මේ වූ දෙපළකට දා වූ මෙවන් දුවණියක් ලැබීම ඔවුන් දෙපල පූරුවේ කළ කර්මයක් පටිසන් දීමක් වැනි ය. එහෙත් තම ආදරණීය දුවණිය ගැන ගුරු දෙමාපියෝ එසේ සිතුවේ නැත. සිහිනිනුදු ඔවුන් දෙපල පැතුවේ තම දරුවන්ගේ සුඛ විහරණය පමණෙකි.
මඩ කඩිති වල එරෙමින් නොයෙක් වර ගැස්සෙමින් ඔවුන් දෙපල අවසානයේදි ගම්පහට පැමිණියෝ ය. එශාන් ජීවත් වූයේ ගම්පහ මිරිස්වත්තේ ය.
ග්‍රාම නාමය මිරිස්වත්ත වූ නිසා ඒශාන් අයියලාගේ ගෙදර යහමින් මිරිස් ඇතැයි සිතූ නයනතාරා, ලොකු ගෝනි කඩමල්ලක් මවගේ අතට දී "එද්දි මිරිස් අරන් එන්න." යැයි පැවසූවා ය.
"තී ට අමු කැවිල ද?" යි සිතු සිය මෑණියෝ තම අත වූ ගෝනි කඩමල්ල දියණියගේ මුහුණට දමා ගසා කරත්තයට ගොඩ විය. තී හැදූ මහන්සියට එළදෙනෙක හැදුවා නම් මේ කාළය වන විට කිරි කළයක්වත් දොවා ගන්නට තිබුණා යැයි නයනතාරාගේ මව සිතින් සිතුවා ය.
දෙමාපියෝ ඒශාන් අභිමුව නොයෙක් කාරණා ඉදිරිපත් කර නානාප්‍රකාර උපහැරණ ගෙන හැර පාමින් කරුණු කාරණා පැහැදිලි කළෝ ය. ඒශාන් ය ද ගුරු බහට අවනතව ඒ හැම කරුණක්ම බුදුන් අබිමුව දම් අසනා ශ්‍රාවකයෙකු මෙන් සාවධානව ඇහුම්කම් දුනි.
ඒ දෙසුම් අවසන ඔහු ගුරු දෙමාපියෝ හා කැටුව විජයරාමය කරා යාමට ගෙයි ඉදිපස පඩියට පා තැබී ය. එකනෙහිම සමන්පිච්ච මල් දැමූ පැණ් කෙණ්ඩිය සිය පා ඉදිරියේ පෙරැලී ගියේය. කරත්තයේ බැඳි ගොන් බාන ද කරත්තය ඇඳීමට මැලි විය. කෙතරම් උත්සහ කලද ගොනුන් අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත.
"අසුබ ලකුණු ! පොඩියක් ඉදලා යමු පුතා !" යැයි ඒශාන්ගේ පියාණෝ ගෙයි සිට හඬ තැළුවේ ය. ඕවා මනස්ගාත ඇයි සිතින් සිතා ඔවුහු විජයරාමය දක්වා ඒමට පාරට ආවේ ය.
ඔවුහු විජයරාමයට එනවිට මල හිරු බටහිර සයුරේ ගිලී තිබුණි. වටින් ගොඩින් අඳුර වැටීමට පටන් ගති. මා වවුලන් නොයේක ගස් වලට වී කරව් අල්ලන්නට ද උන් කෑ පළතුරු වල කොටස් බිමට දමන්නට ද විය.
ඒශාන් කැලණි ගඟ හරහා බැඳි පාලම් පාරු පැන කොළොම්තොටට පැමිණ ඇත්තේ සිප් සතර හැදෑරීමට පමණෙකි. එක් රැයක්වත් කොලොම්තොට අහස යට පහන් කළ අයෙකු නොවේ. එහෙයින් කොලොම්තොට ජීවිතය ඔහුට එතරම් හුරු පුරුදු නැත.
මේ ඔහු කොලොම්තොට ගෙවන පළමු රැය වේ.
ඔහුගේ හෘත් ස්පන්දනය ද කෙමෙන් වැඩි වේ. ඔහු හිස් ඔසවා වට පිට බැලීය. බලන බලන හැමතනම නොයේක ආලෝක එළි වේ. වටේටම ගෙවල් ය. ගහක් කොළක් පේන තෙක් මානෙක නැත. හමාගිය සුළඟේ ද කිසිදු සුවදායි බවක් නැත. එය නිකන්ම දූවිලි සුළඟකි.
ගමෙහි ඔහු සිහිළ විඳි වෙල් ඉපනැළි මෙහි නැත. ඒ සුළඟේ තිබූ සුවදායි බව කොළොම්තොට අහලකවත් නැත. තමා නාදුනන පිරිසක් මැද තනි වූවාක් බඳු හැඟීමක් ඔහුගේ සිත වෙලා ගත්තේ ය. විටෙක ඔහුට හැඬුම් ද ආවේ ය.
ඒ හැඟුම් සමුදාය හද පත්ලේම නාරින පෙට්ටගමක සිරකර අනාගතයට මුහුණ දීමට ඔහු ඉටා ගත්තේ ය.
ඔහු ගෙට ගොඩවන විටම නයනතාරා ඉදිරියට පැන ඔහුගේ බෙල්ලෙහි එල්ලුනා ය.
"පොඩ්ඩක් හිටින් දරුවෝ ! මේ දරුවා නිදහසේ හුස්මක් ගන්නකන් !" යැයි සිය පියා නයනතාරාට පැවසී ය. එසැනින් ඈ ඔහුගේ ගෙල අතහැරියා ය.
රෑ බෝ වූ නිසා ඔවුහු කා බී නිදාගත්තෝ ය. එහෙත් නින්ද, ඒශාන් අසලකටවත් පැමිණියේ නැත. නින්ද ගියා නම් ඒ පාන්දර ජාමයේ ය. ඒකත් සැවුල් නින්දකි.
කොතරම් රෑ බෝ වී නිදා ගත්තත් උදයෙම අවදි වීම ඔහු කුඩා කල පටන් පුරුදු පුහුණු කර ගන්නා ලද්දකි. ඒ නිසා ඔහු කොළොම් තොටදී ද උදයෙම අවදි වී කරාමයෙන් මුහුණ දොවා ගත්තේ ය.
ගමේ දි මෙන් වත්ත පල්ලෙහා ලිඳක් මෙහි නැත. ලිඳක් තබා වත්ත පහලක් ද මෙහි නැත. නයනතාරා ජීවත් වූයේ කුඩා ඉඩ ප්‍රමාණයක් තිබූ බිම් කොටසක ය. ඒ බිම් කොටස ම පිරෙන්නට ගේ තිබිණ.
ගේ ඇතුලටම වී සිටීමේ පුරුද්දක් ඔහු තුළ නැත. ඔහු නිදහස් වෙලාවට වත්ත පහලට වී කාළය ගත කරයි. ඒ පහසුකම මෙහි නැත. නිදහසේ පියා සැරි කුරුල්ලෙකු කූඩු කළාක් වැනි හැඟීමක් ඔහුගේ සිත තුළ නිරන්තරයෙන්ම පැණ නැගිණ.
කිසිම විටෙක තම සිතේ වූ දුක මුහුණින් ප්‍රකාශනය වීම වැලැක්වීමට ඒශාන් සිතා ගත්තේ ය. ඒ ගුරු බහට පිටු පෑමට ඔහු තුළ වූ අකමැත්ත නිසා ය.
නයනතාරාගේ නම් ඉහේ මලක් පිපුණාක් වැනි ය. ඈ නොයේක ගී ගයමින් ගේ පුරා දුව ඇවිදින්නට ද කණ්නාඩිය ඉදිරියට වී නොයේක ඇඳුම් ඇඟලා හැඩ බලමින් ද කාළය ගත කළා ය.
-මතු සම්බන්ධයි-
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.