06 June 2022

නයනතාරාවත - 5 කොටස - රහසක්

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුම

 

 කේන්දර බැලීමේ ගමනින් දින කිහිපයකට පසු ගෙයි ඉස්තෝප්පුවට පැමිණි මවු දෙමව්පියෝ සතුටු සාමිචියේ යෙදෙන්නට විය. ඔවුන් නොයේකුත් මාතෘකා අරබයා කතා කලහ.

හදිසියේම කතාව නයනතාරාගේ කසාදය දෙසට යොමු විය.

"කෙළීගේ කටයුත්තට පංකාදු  නැකතක් හම්බ උනා. හැබැයි හාමිනේ, පොඩි පරහක් තියෙනවා."

"ඒ මොකද්ද අපේ මහත්තයා? " යැයි නයනතාරාගේ මව ඇසුවා ය.

"නැකත තියෙන්නේ පසලොස්වක පෝය දාක"

"ඉතින් ඒක හොඳයි නේ. එතකොට අළුත බැඳපු ජෝඩුවට රෑට පන්සල් යන්ඩත් පුලුවන් නේ !"

"මේ ගෑනිට පිස්සු හැදීගෙන එනවා ද ! යකෝ පෝය දාට අපේ කෙළී හඳ දිහා බලාගෙන හූ තියනවා කියලා බොට අමතක උනා ද ගෑනියේ ?" යැයි නයනතාරාගේ පියා අඩි පොළොවේ හප්පා පැවසුවේ ය.

"අනේ මහත්තයෝ.. මට හාංකවිස්සියක්වත් මතක නැති උනා නේ. තරහා ගන්න කාරි නෑ. අපි වෙන දවසක් බලමු" යැයි පවසා සිය ස්වාමි පුරුෂයාගේ තරහා නිව්වා ය.

නයනතාරාගේ මව කිසිම විටෙක සිය ස්වාමි පුරුෂයා හා වාද කරන්නේ නැත. ඈ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ කාව්‍යශේකරයෙ හි සඳහන් අන්දමේ කුළ කාන්තාවකි.


තමා හිමි සිතුලෙ ස

දුටුවොත් වෙනත සෙනෙහ ස

නුවන් කඳුළෙන් මි ස

යළිත් නොකියන් බසින් පිළිවි ස

ඇය ද දෙනෙත් කඳුලින් මිස පිළි බසින් උත්තර නොදේ. ඒ ඈ සතු උසස් කුළ කාන්තා ගතියකි. එයින් අල්ප මාත්‍රයක්වත් නයනතාරා සතු වී නැති වීම විටෙක ඇඟේ කනස්සල්ලට හේතු  ද වේ.

උක්ත කී පරිදි හැම පසලොස්වක පෝ දාකම රෑ හඳ දකින නයනතාරා හඳ දෙස බලා හූ තියන බව මවු දෙමාපියෝ ඒශාන්ගෙන් වසන් කළ රහසකි. තවම එය රහසක් පමණි. මේ රහස දන්නේ මවු දෙමාපියනුත් නයනතාරාගේ නැන්දනියත් පමණි. පෝ දාට නයනතාරා නැන්දාගේ ගෙදර යන්නෙත් මේ හේතුව නිසා ය.

නැන්දාගේ වත්ත සැලකිය යුතු ලෙස විශාල ය. නයනතාර හඳ දිහා බලාගෙන නොව ඔලුවෙන් හිටගෙන හූ කිව්වත් වත්තෙන් පිට කිසිවෙකුටවත් නො ඇසේ. දිනක් හොරෙන් පොල් කැඩීමට ආ අයෙක් නයනතාරාගේ හූව ට බිය වීම නිසා ගස් පල්ලේ වැටී සිටිය දී ගම්මුන් සොයාගත් නිසා කිසිවෙකු හෝ හොරෙන් නයනතාරාගේ නැන්දනියගේ වත්තට ඇතුළුවීමට බිය වේ. මෙය නයනතාරාගේ හූවෙන්  සිදුවූ එකම හා අවසාන වාසිය වේ.

පෝ දාට නයනතාරාව එළියට එක්කගෙන එන සිය නැන්දනිය "උඹට ඇති වෙනකන් හූ කියලා වරෙන් ! " යැයි සිතා ඈට නිදහසේ හූ තියන්නට ඉඩ ලබා දී අසල ගල්තලාවට වී ඈ කොස් මඳුළු ගලවයි.

නයනතාරා ගම දෙවනත් වෙන්නට හූ තබා මහන්සි වූ විට නැවතත් කාමරයට වැදී හොඳ හැටි නිදා ගනී. නින්දට වැටෙන ඈ අවදි වන්නේ පසුදා පහන් වී හෝරා දෙක තුනක් ගෙවී යාමෙනුත් පසුව ය.

නැන්දනිය ද නයනතාර හූ තබා අවසාන වන විට ලොකු කොස් ගෙඩි තුනකවත් මඳුළු ගලවා දියෙහි පෙඟෙන්නට දමා අවසන් කරයි. පසු දින නයනතාරාට උදේට කන්නට දෙන්නේ ද මේ "හූ කොස්" ය.

ඈ උදේම කොස් කා දහවල් වන විට නිවසට පැමිණේ. මේ සුමේ හැම මාසෙකම පසලොස්වක දිනකදී ම සිදු වන නිසා මවු දෙමාපියන්ටත් නැන්දනියටත්  මේ "හූ" කීමේ අරුමයක් නැත.

නයනතාරාගේ හූ කීමට හේතුව සෙවීමට සිය මවු දෙමව්පියෝ කේන්දරය ද රැගෙන නැකැත්කරු හමු වීමට ද ගියෝ ය. ඔවුන් පැවසුවේ පූර්ව ආත්මෙක ඈ නරිදෙනක ව ඉපැදී ඇති බවත්, පුන් සඳ ඇති රෑක සඳ දෙස බලා හූ කීමට පුරුදු වී ඇති බවත්, ඒ පුරුද්ද මේ ආත්මයට ද පැමිණ ඇති බවත් ය.

ජන්මයෙන්ම එන හූවක් නිසා මෙය නවතාලිය හැකි දෙයක් නොවන බව නැකැත්කරුවා නයනතාරාගේ මවු දෙමාපියන්ට අවබෝධ කරවී ය. මෙම හූ කීම ඊළඟ ආත්මයටත් ගෙන යා ම වලක්වාලීමට මේ ආත්මයේ ඇති වනතුරු හූ කීමට ඉඩ ලබා දී මතු ආත්ම භාවයන් මේ හූවෙන් ගලවා ගත හැකි බව ඔහු තව දුරටත් පැවසී ය. මේ නිසාම දෙමාපියන් ද නයනතාරාගේ හූ කීම නවත්වන්නට උත්සහ නොකරයි.

යම් හෙයකින් හූ කීම නැවැත්තුවොත් මේ ආත්මයේ කියන්නට බැරි වූ හූව ඊළඟ ආත්මෙදි කියන්නට බැරි නැතැයි ඔවූහු ඉර හඳ සේ විශ්වාස කළෝය.


-මතු සම්බන්ධයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.