පළමු දිගහැරුම | දෙවන දිගහැරුම | තෙවන දිගහැරුම
ඔහු කොළොම්තොට අහස යට ජීවත් වීමට හුරු වී පෝය දෙක තුනක් ගෙවී ගොසිනි.
ඒ ගත වූ හැම පෝය දිනකම නයනතාරා සිටියේ සිය නැන්දනියගේ නිවසේ ය. නැන්දනියත් නයනතාරා මෙන් අත්භූත එකියකි. ඈට වත්තේ ඕනම ගසකට නැගිය හැක. ඈ වඩාත්ම ප්‍රිය කරන්නේ කොස් ගසට හෝ දෙල් ගසට නැගීමට ය.
ගසට නගින නැන්දනිය ගසින් බසින්නේ කොස් හෝ දෙල් ගෙඩි අතින් කටින් එල්ලාගෙන ය.
සුපුරුදු පරිදි ඔහු අළුයම අවදිව මුහුණ දොවා ගේ දොර වැඩ පටන් ගත්තේ ය. නයනතාරා අවදි වන විට ඉර මුදුන් වීමට ආසන්න වේ. ඈ රෑ පුරාම නොයෙක් විසූක දස්සන කරමින් සිටින නිසා නිදා ගැනීමට බොහෝ ප්‍රමාද වන්නී ය. සමහර දාට රෑ පාලොස් පැයක් වන තෙක් සිය කාමරයේ එළි දැල් වෙමින් පවතින බව ඔහු ට දකින්නට ලබේ.
නයනතාරාගේ පියා උදයේම අවදි වී යම්කිසි කටයුත්තකට එළියට යන බව ඔහු දුටුවේ ය. නමුත් ඔහු ඒ ගැන නයනතාරාගේ පියාගෙන් ඇසුවේ නැත. ඔහු කොස්සට බර වී නයනතාරාගේ පියා දෙස බලාගත් වනම බලාගෙන සිටියේ ය. ගේ දොර ඇමඳීම කාන්තාවක් අතින් විය යුතු කාර්යයක් වූවත් ඒශාන්ගේ ගෙදර නම් එය වෙනස් ය. බොහෝ දින වල ගේ අතුගෑම සිදුවන්නේ ඒශාන් අතින් හෝ ඔහුගේ පියාගේ අතින් ය.
ඒශාන් තවමත් නයනතාරාගේ පියා දෙස බලා සිටින බව ඔහු දුටුවේ ය.
"පුතා මං ඔය දෙන්නගේ කේන්දර දීලා හොඳ වෙලාවක් බලවන්ඩ යනවා. මේ වගේ කටයුතු ඉක්මනටම එකලාසයක් වෙන්ඩෝන. නැත්තං කොල්ලෙක් ගෙයි අස්සේ තියන් හිටියා කියලා රට්ටු අපිට කයි කතන්දර හදන්ඩත් බැරි නෑ." යැයි පවසා ඔහු ගෙයින් පිටත් විය.
නයනතාරාගේ පියා එසේ පැවසුව ද ඔහු පැවසූවාට වඩා වැඩි යමක් ඔහුගේ දෑස් තුළ ලියැවී තිබූ බව ඒශාන්ට තේරුණත් ඔහු "එහෙමයි !" යැයි පැවසීම ඇරෙන්නට වෙන දෙයක් ඇසුවේ නැත. එලෙස අසන්නට ඔහුගේ දිව අවනත කරවා ගැනීමට ද ඔහුට නුපුලුවන.
නයනතාරාගේ පියා ගෙයින් නික්මී ගියාට පසු ඔහු කුස්සියට වැදුනි. ඒ උදේ ආහාරය කිස නිමා කිරීම සඳ හා ය. නයනතාරාගේ ගෙදර බොහෝ දිනවල මස් මාංශ වර්ග පිසීම සිදු කරයි. මුල් දිනවල මේ මාංශ භක්ෂණය කෙරෙහි ඒශාන් තුල අපුලක් ඇති කලත් හැමදාම කුසගින්නේ නිදාගන්නවාට වඩා තියෙන දෙයකින් සප්පායම් වීම යහපතක් බව සිතා ඔහුද මාංශ භක්ෂණයට හුරු විය.
මෙහි ආ මුල් දින වල ඔහු මේ පිළිබඳව සිය මවට ද ලියා යැවූ විට මවද පැවසුවේ තියෙන දෙයක් කනවා ඇරෙන්නට වෙන දේවල් ඉල්ලලා ගුරු දෙමාපියන්ගේ හිත් පාරවන්න එපා ය කියා ය.
මේ නිසාම ඔහු රස විඳීමකට නොව කුස පුරවා ගැනීමට පමණක් මේ මාංශ අනුභව කරයි. තමා විසින් සතෙකුගේ උවත් පණක් නසන්නේ නැත්නම් පණ නැසුන සතෙකුගේ මසක් කෑමෙන් පවක් සිදු නොවන බව ඔහු දහම් පාසලේ දී උගත්තේ ය.
ගෙදරදී නම් ඔහු මස් මාංශ අනුභව නොකරයි. ඔහුගේ ගෙදර කිසිවෙකු ද සත්ව මාංශ අනුභව කරන අය නොවේ. ඔවුහු දැහැමෙන් ජීවත් වන අයවළුන් ය.
මේ නිවසේ තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය.
ගුරු දෙමාපියෝ මාංශ ආහාරයට එතරම් රුචි නොවූවත් නයනතාරා නම් සැවුල් මසට ගිජු කමක් දක්වයි. ඈ ගෙදරදි උයන්න දන්නේ සැවුල් මාංශ පමණකි.
ඈ එම ආහාරයට "චිකැන් ඩැවැල්" යැයි ද කියා පවසයි. කොයි නම කිවුවත් ඒ සැවුල් මාංශ වේ. තවද කම්බි දැලක් මත තබා ගින්නෙන් පළහා ගන්නා ලද සැවුල් මාංශ කෑමට ද ඈ ගිජු කමක් දක්වයි. එසේ පළහා ගන්නා ලද මස් බුදින නයනතාර දිහා බලා සිටීම ද අපුලක් දනවයි. ඈ මස් වැදැල්ල දෑතින්ම අල්ල ඉදිරි පෙළ දත්වලින් ඇද ඇද කන අයුරු දකින ඕන අයෙක් සිතන්නේ ඈ නම් 'යක්ෂණියක්' යැයි කියා ය.
පණ නැසූ කරදිය මසුන්, සැවුල් මාංශ හෝ යහමින් වියළා ගන්නා ලද කරදිය හෝ මිරිදිය මසෙකුගේ මාංශයක් මේ ගෙදර වරදින්නේ නැත. වියලන ලද මසුන් හදුන්වන්නේ කරවල කියා ය. මා කරවල වලට වඩා කැමති කරවිල වලට ය.
"කරවිල උනත් ආදරෙන් හදනවා නම් කන්න බැරි යෑ ගෝනියක් උනත්" යැයි ඒශාන්ගේ පියා නිතරම පවසයි.
මීට අමතරව මස් වලින් සාදා ගන්නා ලද කොහු මිටකට වඩා හීනි, මැදෑඟිල්ලට වඩා ටිකක් දිග හින්නිකිතර ප්‍රමාණයේ කූරු විශේෂයක් තෙලෙහි බැද ආහාරයට ගැනීමටත් නයනතාරා කැමති ය. ඈ ඒවාට "සොසේජස්" කියා කියයි. සොසේජස් තෙලෙහි බැඳ "සෝස්" නමින් හඳුන්වන මිරිස් දියරයක ගිල්වා තළු මරමින් බුදීමට ඈ වඩාත් ප්‍රිය වේ.
මේ නිවසට මොන මාංශය ගෙනාවත් සූකර මාංශ ගෙන එන්නේ නැත. සූකර මාංශ ගෙට වද්දා ගැනීමට සුදුසු නැති බව ඔවුන් තරයේම සිතයි.
කලින් දිනක රෑ පිසින ලද සැවුල් මසක හොද්දක් සමග "පාන්" යැයි කියා ගන්නා හතරැස් හැඩයෙන් යුක්ත මොලොක් කෑමක් බොහෝ දිනවල උදේට ඒශාන් ට කන්නට සිදු වේ. අදත් එසේම ය.
ඒශාන් 'පාන්' කෑමට කැමති නැත. පාන් කෑ පසු වතුර කළ ගෙඩියක් පමණ බිව යුතු ය. නැත්නම් පවස නොනිවේ. තවද පාන් කෑ දවසට විටින් විට කෑම උගුරට ඒමක් සිදුවේ. මේ නිසා ඔහු පාන් කෑමට මනාප නැත.
ගෙදරදී මෙන් උදේට බත් ටිකක් බඩට වැටෙන්නේ එහෙමත් දිනක ය. ඒ කලින් දා රෑ බත් උයා ඉතිරි වූ දවසට ය. කලින් දා රෑ ඉතුරු වූ බත් හීතල පෙට්ටියක් තුල බහා පහුවදාට රත් කර කෑමට ගනී.
උදේ ආහාරය ගෙන නිමා වී ගෙයි ඉස්තෝප්පුවට වී ඒශාන් පාර දිහා බලාගෙන සිටීමට කලක සිට පුරුදු වී සිටී. නයනතාරාගේ තොදොල් බස් අසමින් සිටිනවාට වඩා පාර දිහා බලා සිටීම හොඳ යැයි ඔහුට අනේක වර සිතී ඇත.
ගමේදී මෙන් නොව කොලොම්තොට පාරවල් කිසිම විටෙක හිස් වන්නේ නැත. හැම විටම බක්කි කරත්තයක්, අත් කරත්තයක් හෝ පරණ මොරිස් මයිනර් කාර් එකක් හෝ ගමන් කරයි. එබැවින් පාර දිහා බලා සිටීම කම්මැලි රාජකාරියක් නොවේ.
කොලොම්තොට දහවල් කාළයේදි අධික රශ්නයකින් යුක්ත ය. චණ්ඩ හිරු රැස් පොලෝ තලය සිප ගන්නේ රුදුරු වේශයකිනි. සියල්ල දවා හළු කරන්නාවූ උනුසුමක් ඒ චණ්ඩ හිරු කිරණෙහි ඇත. හමන සුළඟත් හිරු හා එක්ව මේ රළු බව තීව්‍ර කරවයි. අධික උණුසුමත් සමඟ හමන සුළඟ සමඟ මිතුරු වන දූලි ධාරාවන් අවීචි මහ නරකාදිය සිහි කරවයි.
සුළං රැල්ලක තිබිය යුතු සුවදායි බව කොලොම්තොට දී අත්විඳිය නොහැක. මෙවැනි පරිසරයක සිටින මිනිසුන්ගේ ගතිගුණ ද එසේම ය. ඔවුන්ගේ ද කිසිම සුවදායි ගතියක් නැත. ඔවුහු උදේ සිට හවස් වන තුරු එක විදිහටම මුදල් පසුපස හඹා යයි. බල්ලෝ මරා හෝ සල්ලි හොයන ගතියක් ඔවුන්ගේ හිත් වල කැකෑරෙමින් තිබේ. තමා ද මේ පරිසරය හා මිනිස්සුන්ගේ ජීවිත වලට හැඩගැසිය යුතු බව සිතෙද්දි ඔහුට ගමට දුව ගොස් කොහේ හෝ සැඟවෙන්නට සිතුන වාර ගණන මෙතෙකැයි කියා නිම කළ නොහැක.
දීර්ග සිතුවිලි දාමයක වෙළී හුන් ඒශාන්ට පාරේ ඈතින් නයනතාරාගේ පියා රැගත් බක්කි කරත්තය එන බව දැකගත හැකි විය. ඔහු වහා වහා ඉස්තෝප්පුවෙන් නැගිට කුස්සිය කරා දිවී ය. ඒ ගුරු පියාණන්ට තේ දීමට කේතලය ලිපේ තැබීමට ය.
බොහෝ වෙලාවට නයනතාරා නම් කාමරයට වැදී කාන්තා පුවත්පතක් කියවන්නට පුරුදු වී ඇත. එහි ඇති රස සරණිය අතිරේකය ද කියවා කෑම හදන්නට පුරුදු වේ. අතිරේකය කියෙව්ව ද ඈ හදන උලව්වක් නැත. හැදුවත් වනේ වන සතෙකුටවත් කටේ තැබිය නොහැකි කෑමක් ය.
එහෙමත් දවසක ඈ කෑමක් හදයි. ඒ හදපු දවසට කෑම ටික 'කර' කර ගනී. අඟුරු සේ කරවූ කෑම ටික එකතු කොට ඒශාන් බෝතලයකට දමා එකතු කරයි. ඒ පහුවදාට දත කට මැදීමට අඟුරු ලෙස පාවිච්චි කිරීමට ය. මේ නිවසේ කෑම උයන්නේ දර වලින් නොවන නිසා අඟුරු කෑල්ලක් හොයා ගැනීමට නම් නයනතාරා කෑම උයන තෙක් සිටිය යුතු ය. නයනතාරා කෑම ඉව් දාට පසුදා ඒශාන්ගේ දසන් දෙපල මුතු ඇට මෙන් දිස් වේ. ඒ නයනතාරාගේ කෑමට පින් සිදු වන්නට ලැබුණු අඟුරු කැබලි නිසා ය.
තේ එක ගෙනැවිත් ගුරු පියාගේ අතට දුන් පසු වතුර වීදුරුවක් ද දිය යුතු ය. ඒ ගුරු පියාගේ කට සෝදා ගැනීමට ය. තේකත් වතුර වීදුරුවත් දුන් පසු ඔහු කුස්සියට වී සිටියි. ඒ වැඩිහිටියන්ගේ කත වලට සවන් දීම නුසුදුසුය යන සිතුවිල්ල නිසා ය. ඔහු කට සෝදා තේ එක බී ටික වේලාවක් හන්සි පුටුවේ දිගා වී හිස් අහස දෙස බලා සිටී.
ගිමන් නිවුන පසු ඔහු කතා කරන්නට පටන් ගනී.
"ඕං හාමිනේ දෝනියැන්දගේ කටයුත්තට දිනයක් දාගෙනම ආවා." යැයි සිය බිරිඳ දෙස බලාගෙනම නයනතාරාගේ පියා පැවසී ය.
නයනතාරා ද බිත්තියට කන තියාගෙන මේ කතාවට සවන් දී ගෙන සිටින බව මව් දෙමාපිය යුවල නොසිතුවා ය.
හඬ බාල කොට සිදු වූ මේ සතර කන් මන්ත්‍රණය හොඳින් ශ්‍රවණය කිරීමට බිත්තියට තව තවත් ලං වූ නයනතාරා ගේ පය වැදී පිත්තල පඩික්කම මහා හඬක් නඟමින් බිම පෙරැලී ගියේ ය.
පඩික්කමේහි වූ බුලත් කෙළ සාලය පුරා සතර දිශාවට ම ගලා ගියේ ය.
"දැන් තාත්තා ආවොත් හොඳ බැනුමක් අහගන්ඩ වෙන්නෙ" යැයි සිතූ ඈ වහා වහ බුලත් කෙළ මතින් අඩිය තබමින් කාමරය වැදී දොර වසා ගත්තා ය.
සාලය දෙසින් ඇසුන හඩ කුමක්ද කියා දැන ගැනීම මව් දෙමාපියෝ වහා වහා සළයට පැමිණියෝ ය.
"මේකිව උල තියලත් මදිනේ හාමිනේ මේ කරපු නොසණ්ඩාල වැඩේට !" යැයි හිස මත ත තබාගත් ගුරු පියානෝ පඩික්කම දෙස බලාගෙනම පැවසූ හ.
"පූසෙක් පඩික්කම පෙරලලා දාන්ඩ ඇති මයෙ හිතේ !" යැයි නයනතාරාගේ මෑණියන් දෑ පැවසූව ද සාලයේ සිට කාමරය තෙක් වූ පා සටහන් වලින් අසරණ පූසා නිදොස් කොට නිදහස් විය.
නැත්නම් මේ අසමජ්ජාති වැඩේත් පූසාගේ ගිණුමට බැර වේ.
-මතු සම්බන්ධයි-
No comments:
කමෙන්ට් එකක් දාලම යමු ද ?
ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.