07 June 2022

නයනතාරාවත - 6 කොටස - සකුරා දේශය

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුමපස්වන දිගහැරුම

 

 

 සෞම්‍යය හිරු කිරණ ඒශාන්ගේ කාමරයට එබිකම් කරමින් තවත් දිනක් උදා කළේ ය. 

ඔහු හනි හනිකට නැඟිට නිදාගත් පැදුර අකුලා පැදුරු ආනෙන් තැබී ය. රෑ සීතලට පෙරවාගත් රෙදි කඩමාල්ල ද හොදහැටි නවා ඉස්කිරිමේ නොපෙනෙන කෙළවරක තැන්පත් කළේය. ඔහු මේ සියල්ලම කළේ යාන්ත්‍රිකව ය. නිදාගත් තැන අස්පස් කිරීම ඔහු කුඩා කළ සිටම පුරුදු පුහුණු වූවකි. ගෙදරදී පුරුදු වූ හොඳ පුරුදු ඔහු නයනතාරාගේ නිවසේ ද ක්‍රියාවට නැංවීය. මේ හොඳ පුරුද්ද නයනතාර පුරුදු වී නැත. ඈ නිදාගත් තැන අස්පස් කිරීමට වෙන කෙනෙකු යා යුතු ය. බොහෝ විට ඇගේ පැදුර අස් කරන්නේ සිය මව ය. යම් හෙයකින් මව කාමරයට නො ආවොත් ඈ කලින් දා නිදාගත් පැදුර පසු දින ද එලෙසින්ම කාමරයේ එලා තිබෙනු දකින්නට පුලුවන.

ඔහු නිදිගැට කඩමින් ජනේලය වෙත ආවේ ය. අගුල මුදා හැර ජනේලය විවෘත කර මද හිරු එළිය ගෙතුලට එන්නට සැලැස්වී ය. ඔහු ජනෙල් කූරු  දෑතින් අල්ලා  හිරුත් සමඟ අවදි වන ලෝකය දෙස මොහොතක් බලා සිටියේ ය. ඔහු විජේරාමයට වී දැනට පොහොය තුනක් පමණ ගෙවෙන්නට ඇත. මේ ගෙවෙන හැම පොහොයක්ම තම ජීවිතයේ හොඳම කාළයෙන් ගෙවෙන පොහොය දිනයන් ය.

තම ජීවිතයේ හොඳම කාළය මෙලෙස කුඩා බිම්කඩක වූ නිවසක් තුළ ගෙවා දැමීමට සිදු වේ යැයි ඔහු කෙදිනකවත් සිතුවේ නැත. මුළු ජීවිතයම මේ බිත්ති හතරට කොටු වී ගෙවා දමන්නට සිදු වේ දැයි සිතට නැඟුණු අනිසි බිය වරින් වර ඔහුගේ හදවත පෙලා දම්මේ ය. එලෙස සිතෙන හැම වාරයකම ඔහු සිතින් හඬා වැටිණ. ඔහු කුඩා කළ සිට පැතුවේ සත් සමුදුරෙන් එපිට වූ සකුරා මල් පිපෙන දේශයට යාමට ය.

ඔහු කුඩා කළ කියවූ පොතක සකුරා දේශය ගැන නොයෙක් කතා තිබී ය. සකුරා මලින් පිරෙන වීදී, සුදෝ සුදු හිමෙන් වැසෙන ගෙවතු, ඒ සුදෝ සුදු හිම මත තාලෙට පා තබා ඇවිදින සුන්දර යුවතියන්, ඒ යුවතියන්ගේ සියුමැලි මුහුණු මෙන්ම කලින් කලට විදාරණය වන යමහල් ද ඔහුගේ සිත් ගත්තේ ය. මේ සියල්ලම පියැවී ඇසින් දකින දින තෙක් ඔහු ඇඟිලි ගන්නේ ය.

ඔහුගේ ජීවිතයේ තිබූ එකම බලාපොරොත්තුව ද එය ම ය.

සකුරා දේශයේ ජීවත් වන ජනයා සකුරෝ නම් වේ. සකුරන් හා සකුරියන් බෙහෙවින්ම නූ උස් ජාතියකි.එසේම ඔවුන්ගේ අවයව ද දිගින් මද ය. එය ලඞකාදීපයේ ජනී ජනයාට මහත් වූ ගැටළුවක් වූවත් සකුරන්ට එය එතරම් සැලකිය යුතු කරුණක් නොවේ. ඔවූහු ලද දෙයින් සෑහීමට පත්වීමේ ගුණාංගය බෙහෙවින්ම ප්‍රගුණ කළ අයවළුන් ය.

ඔවුන්ගේ සමේ වර්ණය කහ පැහැයට ආසන්න වූ වර්ණයක් ගනී. එයට මූලිකවම හේතු සාධකය වන්නේ වසර පුරාම හිරු රශ්මිය අඩුවෙන් ලැබීම ය. ඒ අතින් බලන කළ නොමිලේ ලැබෙන්නා වූ හිරු කිරණවත් ලබන්නට බැරි අවාසනාවන්ත ජාතියකි.

මොවුන්ට ලෝකයේ ලස්සන දැකීමේ වාසනාව ද සීමා සහිත ය. අපට පුළුල් පරාසයක් දර්ශනය වූවත් ඔවුනට පෙනෙන්නේ රියනක පළලින් යුතු වපසරියක භූමි දර්ශනයන් පමණකි.  ඒ මොවුන්ට උත්පත්තියෙන්ම දෑස් පුළුල්ව විවර කිරීමේ අපහසුතාවය නිසා ය.

අපේ රටේ එක කාසියක් සකුරන්ගේ කාසි දෙකකට මාරු කර ගත හැකිය. ඒ අතිනුත් ඔවුහූ අපට වඩා බෙහෙවින්ම පසු පසින් සිටින ජාතියකි.

මොවුන්ගේ සම්පූර්ණ රටම කොදෙව් හතරකට කැඩී ගොසින් ය. කොදෙව් හතරේම සකුරෝ අඩු වැඩි වශයෙන් ජීවත් වෙයි. එක කොදෙව්වක ජීවත් වන සකුරෙක්ට අනෙක් කොදෙව්වක ජීවත්වෙන සකුරෙක් බැලීමට යාමට නැව් නැගිය යුතු වෙයි.

එසේම සකුරන්ගේ සමහර අසමජ්ජාති වැඩ නිසා කලින් කලට පොලොව ද කම්පා වේ. මේ නිසා මොවුන්ගේ නිවාස කම්පා වන පොළවට ඔරොත්තු දෙන පරිදි නිර්මාණය කළ යුතු වේ.

පොලෝ කම්පා වීම් වලට අමතරව යමහල් වලින් සිදුවන ලෝදිය ගැලීම් වලින් ද ඔවුහු පීඩා විඳියි. භූ විදාරණයන් සුලභ නොවූව ද කෙදිනක හෝ ඒ යමහල් සක්‍රීය වී මුළු ප්‍රදේශයම ලෝදියෙන් නැහැවී යාවි ය යන අනියම් බියකින් ඔවුහු දින ගත කරති. අද හෙටම ලෝදිය ගලන්න එපා ය කියමින් පසඟ පිහිටුවා වඳින තරම් පූජනීයත්වයකින් සමහර යමහල් පිඳුම් ලබයි. උක්ත කරුණු සලකා බලන කල වැලි කුණාටු හැරෙන්නට අනෙක් හැම ස්වබාවික ආපදාවකින් ම සකුරා දේශයේ සකුරෝ පීඩා විඳියි.

මෙවන් වූ ස්වබාවික ආපදා ගහණ රටක ජීවත් වනවාට වඩා  ලඞකාදීපයේ ජීවත් වීම දාහෙන් සැපතකි. ඒශාන් සකුරා දේශයට යාමට ප්‍රිය වන්නේ දෙවුලියන් පරදවන රූ සපුවක් හෙබි සකුරියක් හා සරණ බන්ධනයේ වෙලීමට ය.

දෙවුලියන් ලබන නියාවෙන් මහණ දම් පිරූ නන්ද කුමරු මෙන් සකුරියක් ලබන නියාවෙන් ඒශාන් ද සකුරා දේශයේ සිත පිහිටුවාගෙන සිටී. දිනෙන් දින ඔහු සකුරා දේශය ගැන සිහින ද දකියි.

කල්පනා සයුරේ නොයෙක් දිශාවට පාවෙමින් සිටි ඔහුගේ දැහැන එක්වරම බිඳුනේ දොර රෙද්ද  මදක් මෑත් කරමින්  "ඒශාන් !" යැයි නයනතාරාගේ මව ඇමතූ නිසා ය.

කහට කෝප්පය සාලයේ කණප්පුව මත තබා ඇති බව ඈ හිසෙන් සන් කරමින් කුස්සියට ගියා ය.

වෙන දා නම් ඔහු පිළිකන්නේ තබා ඇති මැටි කළයෙන් වතුර පොල් කටුවක් ගෙන කට සෝදන සද්දෙට නයනතාරාගේ මව තේ සාදා මිරිස් ගල කෙළවර කෝප්පය තබා යයි. අද ඔහු අවදි වීමට බෙහෙවින්ම පමා වූ නිසා මෙලෙස තේ කෝප්පය සාලෙට ගෙන එන්න ඇතැයි ඔහු සිතුවේ ය.

නයනතාරාගේ මව කවදාවත් ඒශාන් ට තේ කෝප්පය අතට දී නැත.

ඊට හේතුව වන්නේ ඈ තුල ඒශාන් කෙරෙහි පවතින සියුම් තරහාව නිසා ය. සියුම් තරහවක් සිත තුල තිබුනත් ඈ කවමදාකවත් ඒශාන්ගේ සිත රිදවන අන්දමේ වදනකින් බැන වැදී නැත. ඒශාන් ද කවදා හෝ තම නැන්දම්මාගේ මේ 'ගතිය' වෙනස් වේවි යැයි සිතුවේ ය.

කහට කෝප්පය එක හුස්මට බී ඉතිරි වූ තේ මණ්ඩි ටික පිලිකන්නේ සිටුවා තිබූ කොහිල ගාල වෙත විසිකර දැමුවේ ඉක්මනින්ම ගෙදර වැඩ ටික හමාර කළ යුතු බව සිතාගෙන ය.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.