02 June 2022

නයනතාරාවත - 1 කොටස - උත්පත්තිය

අදින් වසර ගණනාවකට පෙර අතීතයේ ලඞකාද්වීපය පාළනය කළේ සතුරු උවදුරකින් එක් ඇසක් අහිමි වූ පාතරට රදල කුළ කාන්තාවක් විසින් ය. ඈ එවකට සියනෑ කෝරලය නම් වූ පාළන ප්‍රදේශයක වූ හොරගොල්ල නම් වලව්වක ජීවත් උනා ය. 

මා පාඨක ඔබව ඒ එකැස් රැජිනගේ පාළන කාළය දක්වා කාළයේ ආපස්සට ගෙන යාමට කැමැත්තෙමි. මා ඔබට පෙන්වන්නට යන කතාන්තරය සිදු වූයේ මේ එකැස් රැජිනගේ පාලන සමයේ දීය. කතාන්තරයක් කියවා රසවිඳිනවාට වඩා එය සිදුවූ කාළ වකවානුවේ සිට සියැසින් දැක ගැනීම වටී යැයි මා සිතමි. එසේ නම් මා සමග අතීතයට ගමන් කිරීමට ඔබට ඇරයුම් කරමි.

ඈ රට පාළනය කළ සමයේ  ලඞකාදීපයෙහි කොලොම්තොටින් සිව් ගවුවක් දුරින්, එතෙර මෙතෙර යන්නාවූ මඟීහු කල්ප වෘක්ශයක් බඳු නුග ගසක් අසලින් එගොඩ මෙගොඩ වූ ග්‍රාමයක් වූහ. ලඹ නුග මුලෙහි වාරුවෙන් දිය කඳුරු වලින් එගොඩ වූ නිසා එ ගම නුගේගොඩ යැයි නම් ලදහ. නුගේගොඩින් තුන් හූවක් දුරින් විජයාරාමය නම් ග්‍රාම නාම ලත් කුඩා ගමක ගුරු කුළයක දෙමාපිය හට දා ව දුවණියක උපන්නා හ.

දෙනයන ජලයෙහි ඔබ මොබ පිහිනන තාරාවකුගේ අක්ෂි හැඩ ගත් වූ නිසා ඈ හට නයනතාරා යැයි නම් තැබූ හ. මැදින් මස අව පක්ෂයේ ගුරු දිනෙක උපන් නිසාත් ඕ ගුරු පැහැ ගනීවි යැයි තනයනතාරාගේ වේලාව බැලූ නැකැත්කරු  සිතූහ. එහෙත් පෙර භවයක මහණුන් හට කිරිපිඬු පිඳු පිනෙහි මහත් වූ ආනිශංශ බල මහිමය මේ භව ද පළ දුන් නිසා ඕ ගුරු පැහැ නොගෙන පඬු පැහැ ගත්තා ය.

ගුරු දෙමාපියෝ, දේවී බාලිකාවන් සිප් කරවන පාඨශාලාවකට මේ දුවණියව ගෙනත් ඇරලවුවෝ ය. ඒ සිප් සතර කර වීමට ය. කුඩා කළ ඇල්මෙන් අකුරු කරවූව ද වැඩි විය එළැඹුන කල්හි ඈ ශිල්ප හැදෑරීමට උකටලී වූවා ය.

ඈ සිප් සතර දෙවෙනි කොට සැලකුවා ය.

බෝ වූ ඉගැන්නුම් රාජකාරි කරණ කොටගත් හෙයින් ගුරු දෙමාපිය හට ඈ කෙරෙහි දෑස් දල්වා බලා ගැනීමට කාළයක් නොතිබුණි. ඈ එයින් වාසි ලබාගෙන තම යෙහෙළියන් සමඟ කෙලිදෙලෙන් කාළය ගත කළා ය.

කාළයාගේ ඇවෑමෙන් ඈ වැඩිවියට එලැඹී කාගෙත් කතාබහට ලක්වන අන්දමේ යුවතියක් වූවා ය. රූ සම්පත්තියක් ලැබීමට ඈ හට පින තිබුණ ද යම් පමණකින් ඈ මෝඩ ගති වලින් හෙබී ය.

ඈ කිසියම් වූ බයකින් ජීවත් වනහැඟීමක් ඈ සමග කතා බස් කරන අයට ඇති වේ. එහෙත් ඈ කිසිම බයකින් ජීවත් වන යුවතියක නොවේ. ඒ ඇගේ හැටි ය. ඈ කතා කරන්නේ බයින් ත්‍රස්ත වූ එකියක ලෙස ය.


-මතු සම්බන්ධයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.