11 June 2022

නයනතාරාවත - 10 කොටස - සයොනාරා

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුමපස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම | අටවන දිගහැරුම | නවවන දිගහැරුම

 ඔවුන් රැගත් කාරය කොලොම්තොට නොයෙක් වීදී පසු කරමින් වරායට ළඟා විය. මේ වනවිට ඔහු ගමන් ගන්නා නෞකාව වරායට පැමිණ ඇති බව නයනතාරාගේ පියා කළ විමසුමකින් දැනගන්නට ලැබුණි. 

ඉන් පසුව ඔවුන් වරායේ ජැටිය වෙත ලඟා විය.

ඔවුන් ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේ සුවිසල් නෞකාවකි. මෙවන් වූ සුවිසල් යාත්‍රාවක් ඔවුන්ගේ සියැසින් දකින පළමු අවස්ථාව මෙය වේ. සියල්ලෝම විශ්මයෙන් ඇළලිනි. මොහොතක් යනතෙක්ම සියල්ලොම මුව අයාගෙන මේ විශ්මයෙන් මුසපත් විය.

මේ නැව නමින් 'සයොනාරා'  වී ය.

එහි අරුත 'සුබ ගමන් !' නම් වේ. වචනයේ පරිසමාප්ත අරුතින්ම ඒශාන්ට මෙය සුබ ගමනක් වූවත් නයනතාරාට නම් මේ ගමනේ කිසිම සුබදායි බවක් නැත. ඈ දුක හා සතුට මුසු වූ හැඟීමකින් ඒශාන් දෙස බළා සිටියා ය. නයනතාරාගේ දුක කියාපාන්නට මෙන් පරිසරයද මලානික බවක් ඉසිලී ය. හිරු ද ගිලෙන්නට ඔන්න මෙන්න ය. සියොතුන් ද සයුර ඉහලින් පියාසැරුවේ ඕනෑවට එපාවට ය. ඈට සිතුනේ පරිසරය ද තමා සමඟ හඩන්නට සූදානම් වන බවකි.


මලවුන්ගේ අවුරුදු දා ලියූ සරත්චන්ද්‍රයන් වරෙක මෙසේ කියා ඇත.

"ලොව ඇත්තේ යාම් ඊම ය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය."

ඒශාන් අයියා තම ජීවිතය තුලට ආවේ ය. මතකයන් සමුදායක් තම ජීවිතයට ලබා දුන්නා ය. අද ඔහු තමාගෙන් සමු ගනීමට යන්නේ ය. මේ සමුගැනීම තාවකාලික වූවත් එය නයනතාරාට දරා ගැනීමට අපහසු ය. ඇත්තෙන්ම ලොව ඇත්තේ යාම් හා ඊම් පමණෙකි. 

එහෙත් යළි ඔහු හමුවීමට නම් අද ඔහුට සමු දිය යුතු ය. එහෙත් ඔහුට සමුදීමට නයනතාරාගේ සිත අවනත කරවා ගැනීමට නොහැකි ය.

ඒශාන් නයනතාරාගේ දෙමව්පියන්ට දන නමා වැන්දේ ය. ඔවුන් ද මේ ගමනට ඉත සිතින් ආශිර්වාද කළෝ ය. ඉන් පසුව ඔහු නයනතාරා අසලට ආවේ ය. 

මෙතෙක් වේලාවක් දෑස් කෙවෙනි මත පොපියමින් තිබූ කඳුළු කැට දෙකොපුල් හරහා රූ රා වැටිණි. ඈ ඔහුගේ ලයට බරව සිතෙහි උපන් දුක කඳුළින් සෝදා හැරියා ය. අඩ හෝරාවකට ආසන්න කාළයක් ඈ හඬන්නට  ඇත. ඉන්පසුව තම අත්ලෙන් කඳුලැලි පිසදා ඈ ඔහුගේ ගමනට සුබ පැතුවා ය. ඔහු ඇගේ හිස දෑතින්ම අල්ලා සියුම් හාදුවක් නළල මත තැබුවේ ය. පතිනියකව ඈ ලද මුල්ම හාදුව එය විය. ඒ කෙටි හාදුව ඇගේ සර්වාංගය පුරාම  අමුතු හිරියක් නංවාලී ය.

සියල්ලන්ගේම ආශිර්වාද මැද ඔහු නැවට ගොඩ විය.

නළා හඬක් නගමින් සයොනාරා නම් වූ නෞකාව ඈත දි‍යඹට ඇදී ගියේ ය. නෞකාව දියඹේ බොහෝ දුරක් ගමන් කරන තෙක් සියල්ලෝම දෑස් දල්වා බලා සිටියෝ ය. නැව ඈත දියඹට යනවාට වඩා වැඩි වේගයකින් මල හිරු බැස ගියේ ය. වටින් ගොඩින් අඳුර වටෙන්නට ද පටන් ගත්තේ ය.

මේ වනවිට නයනතාරා අරමුණකින් තොරව ජැටියේ ඔබ මොබ ඇවිදිමින් සිටියා ය. 

හාත්පසම අඳුර වෙලා ගති. පුන් පෝ දාක් වූ බැවින් සඳ ද රන් තැටියක් සේ පායා තිබිණි.සයුර මත සඳ එලිට වැටී අමුතුම සුන්දරත්වයක් දෑස් ඉදිරියේ මැවී ය. ප්‍රේමවන්තයන්ට නම් මෙවන් වූ සුන්දර රාත්‍රීන් ප්‍රේමණීය හැඟීම් මවයි. සඳ ඇති රාත්‍රියක තම සහකාරුගේ අත අල්ලා ඇවිඳින්නට ඕනෑම ප්‍රේමවන්තියක් සිහින මවයි. නයනතාරා ද එසේම ය.

ඈ ද ඒශාන්ගේ අතින් අල්ලා සඳ එළිය දෝර ගලා ගිය රැයක ඇවිදින්නට ආසා කරයි. එහෙත් ඈට තවමත් ඒ වාසනාව උදා වී නැත. සඳ කිඳුරු දා කවෙහි එන කිඳුරු යුවල මෙන් සඳ එළියේ රඟන ප්‍රේමාලිංගන රැඟුම් නයනතාරා ට තව දුර ය.

මෙවන් වූ සිතුවිලි සමූදායක ගිලී උන් නයනතාරා එකවරම කළු වලා අතරින් පායා ආ සඳ දෙස බැළුවා ය.  ටිකෙන් ටික නයනතාරාගේ ගති ස්වභාව වෙනස් වන්නට විය. ජන්ම ගති ඉස්මතු වන්නට පටන් ගති.

ඈ හඳ දිහා බලාගෙන හූවක් තැබුවා ය.

ඒ හූ හඬින් ඇයගේ දෙමාපියන් තිග්ගැස්සුනෝ ය.

"ඒයි කෝ අපේ දුව ?" යැයි නයනතාරාගේ පියා සිය බිරිඳගෙන් ඇසුවේ ය.

"මේ දැන් මෙතැන හිටියා.... ආන් අර දුවන්නේ... !" යැයි ඈ ඈත දිව යන නයනතාරාව පෙන්වූවාය.

නයනතාරා හූ තබමින් මහ මඟ දිව යන්නට වූවාය.

පියා ද ඈ පසුපස දිව ගියේ කෙසේ හෝ නවනතාරාව අල්ලා ගැනීමේ අභිප්‍රායෙනි. ඈ ආදුරුප්පු වීදිය දිගේ හූ තබමින් දිව යන්නට විට.

නයනතාරාගේ හූ හඬ මුළු ආදුරුප්පු වීදියම දෙවනත් කළෝ  ය. හූ හඬෙහි වූ භීතියෙන් ඇලලී ගිය ආදුරුප්පු වීදියේ ජීවත් වූ ඕලන්දක්කාරයෝ දොර ජනෙල් තදින් වසා ගත් හ.  ඔවුහු ඉටි පන්දම් දල්වමින් ද නළලතෙහි කුරුස ලකුණ සටහන් කර ගනිමින් ද සිටියෝ ය. ඇතමෙක්  දෙවියන්ට යාච්ඥා ද කළහ. 

ඔවුන් සිතුවේ ආදුරුප්පු වීදියට වෘකයින් පැමිණ ඇති බව ය. වෘකයන් යනු යක්ෂයාගෙත් නපුරෙත් සලකුණක් බව ඕලන්දක්කාරයෝ සිතූහ. තමුන් සාතන්ගේ ග්‍රහණයට නතු වී ඇති බව සිතූ ඔවුහු මේ නපුරෙන් තමන්ව ගලවා දෙන ලෙස ඉල්ලමින් තව තවත් දෙවියන් යැද්දෝ ය.

නයනතාරාගේ පියා වේගය මදක් වැඩි කළේ නයනතාරාව කෙසේ හෝ අල්ලා ගත යුතු නිසා ය. ආදුරුප්පු වීදිය අවසාන හරිය වනවිට ඔහු නවනතාරාව අල්ලාගත්තේ ය. එකණෙහිම ඇගේ මුව ඔහුගේ අතින් වැසුවේ ය. ධර්මායතනයේ නායක උන්නාන්සේ දුන් පිරිත් පැන් බෝතලය සාක්කුවෙන් ගෙන ඇගේ මුහුණ පුරා ඉස්සේ ය.

මද වේලාවකට පසු නයනතාරා ප්‍රකෘති සිහිය ලැබුවා ය. ඈට මේ කිසිවක් මතක නැත. අවසන් වරට මතක තිබුණෙ ඈ සඳ දෙස එක් වරක් බලනවා පමණි.නයනතරට සිහිය එන විට ඇඟේ මවද ඈ අසලම සිටියා ය. සියල්ලෝම වාහනයේ නැඟී නිවෙස් බලා ආහ.

නයනතාරාගේ හූවෙන් බියපත් වූ සමහර ඕලන්දක්කාරයෝ ගෙවල් දොරවල් විකුණා මවු රටටම ගියෝ ය. සමහරුන් පල්ලියේ ස්වාමි ලවා තම නිවෙස් ආශිර්වාද කර ගත්හ. 

එදා සිදුවීමෙන් පසු ආදුරුප්පු වීදිය පසු කලක 'වෘකයින් බහුල තැන්න' යන අරුත ඇති වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්1  ලෙස ප්‍රකට විය. අදටත් බොහෝ ජනයා වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් කියනවා මිසක ආදුරුප්පු වීදිය යැයි භාවිතා කරන්නේ නැත. නයනතාරාගේ හූවක් කල හදියක මහත... !


-මතු සම්බන්ධයි-




1. වුල්ෆන්ඩෝල් යන වචනයේ අරුත වෘකයන්ගේ තැන්න යන අරුත රැගත් පෘතුගීසි වචනයක් වූ (ඇගුවාඩි ලුප්) යන වචනයේ ලන්දේසි පරිවර්තනයකි.  - කතෘ

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.