08 June 2022

නයනතාරාවත - 8 කොටස - අතුරුදහන් වීම

පළමු දිගහැරුම | දෙවන දිගහැරුමතෙවන දිගහැරුමසතරවන දිගහැරුමපස්වන දිගහැරුම | සයවන දිගහැරුම | සත්වන දිගහැරුම

 දෙමාපියන්ගේ ආගමනයෙන් පසු ඒශාන් සිටියේ පස්වනක් ප්‍රීතියෙන් ඉපිළ ගොසිනි. මේ සා වූ ප්‍රීතියට හේතු සාධකය වූයේ සකුරා දේශයෙන් ආ ලියමන විය. ඔහු ආයෙත් වරක් ලියමන අතට ගෙන අකුරින් අකුර කියවා බැළීය. මේ ලියමන ඔහුට දිව්‍ය ලෝකයට වෙත ඒමට ලැබූ ඇරයුම්පතක් මෙන් වටී.

ඔහු මේ ලියමන සුරක්ෂිතව ඔහුගේ කොට්ට උරය තුල තැන්පත් කළේ ය. සෑම රාත්‍රියකම ලියමන එළියට ගෙන කියවා නැවතත් පරිස්සම් සහිතව කොට්ට උරය තුලට දැමුවේ ය.

නයනතාරාගේ පියාගෙන් සකුරා දේශයේ ගමනට අවසර ගැනීමට හොඳ වේලාවක් එනතුරු ඔහු කල් යැවී ය. යම් හෙයකින් ඔහු මේ ගමනට අකමති වුවහොත් ඔහුට සිදු වන්නේ තම හීන පොදියම කිරුලපන ඇළේ පා කර හැරීමට ය. එය එසේ සිදු නොවේවායි ඔහු නිදි පැදුරේම ඉශ්ට දේවතාවුන්ට යැදුවේ ය.

දිනක් උදේ ආහාරයෙන් පසුව නයනතාරාගේ පියා ගෙයි ඉස්තෝප්පුවට වී නිදහසේ සිටින අවස්ථාවක දී ඔහු මේ ගැන විමසුවේ ය. ඔහු තම අදහස පවසා නයනතාරාගේ පියාගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නිහඩ වී සිටියේ ය.

නයනතාරාගේ පියා කිසිවක් නොකියා හිස් අහස දෙස මද වේලාවක් බලාගෙන සිටියේ ය. ඒශාන්ගේ හදවත දියෙන් ගොඩ දමු පෙතියෙකු මෙන් වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ ය. ඔහුගේ තොල් පොටවල් වියැලී ගොසින් ය. දිවෙහි කෙළ ද සිඳී ගියේ ය.  මුහුණ ද අඳුරු වී ගොසින් ය. දෙකනස්සෙන් දහඩිය මුගුරු දැමීමට ද පටන් ගෙන ඇත.

ඔවුන් අතර පැවතියේ දැඩි නිහඩතාවයකි. අල්පෙනිත්තක් වැටුනත් ඇසෙන අන්දමේ නිහඩතාවයක් ඔවුන් අතර තිබුණා යැයි කීවොත් නිවැරදි ය. අඩ හෝරාවකට ආසන්න කාළයක් කල්පනාවක නිමග්න වී සිටි නයනතාරාගේ පියා නිහඩතාවය බිඳිමින්,

"කමක් නෑ.. පුතාගේ කැමැත්ත නේ. හැබැයි මේ කටයුතු එකලාසයක් කරලා යනවා නම් තමා මම කැමති." යන අවසන් තීරණය දී ඔහු කාමරයට වැදුනේ ය.

ඒශාන්ගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ දැන් ය.

ඔහුගේ සතුට දෙගොඩතලා ගියා සේ ය. ඔහු ඔහුගේ ජීවිතයේ මෙවන් සතුටක් කිසිම දිනක විඳ නැත. මෙවන් සැහැල්ලුවක් ද සිතට දැනී නැත. එක අතකට ඒශාන් පවු ය. නයනතාරා කලේ හිස් අහසේ පියා සැරූ කුරුල්ලෙකුගේ තටු සිඳ දැමුවාක් වැනි වූ ක්‍රියාවකි.

එදින හවස් වන විට ගුරු පවුලම මේ සිද්ධිය දැන ගත්තෝ ය. වෙනදාට තමා දෙස යටැසින් බලා ආලවන්ත සිනහවක් පාන නයනතාර, අද තමාගේ මුහුණ දෙසවත් නොබැළුවා ය. ඔහු වෑයමෙන් ඈ දිහා බලා සිනාසුනද නයනතාරා ගස්සාගෙන කාමරයට වැදුනා  මිසක සිනහා වූවේ වත් ඔහු දිහා බැළුවේවත් නැත.

ඒශාන් මේ සියල්ල අමතක කිරීමට උත්සහ කළේ ය.

තම සිත සතුටින් පිරී ඇති නිසා එදින රෑ නින්ද ඒශාන් අසලටම නො ආවේ ය. ඔහු පැදුරේ ඒ මේ අත පෙරලී උන්නේ ය. රෑ පාලොස් පැයක් ගත වූ පසු ඔහුට තිබහක් ආවේ ය. ඔහු දිය බිඳක් පානය කිරීම සඳහා කුස්සියට යන විට නයනතාරාගේ කාමරය දෙසින් සිහින් ඉකි බිඳුමක් ඇසෙන්නට විය.

ඔහු නයනතාරාගේ කාමරයේ දොර රෙද්ද අසලට ගොස් මදක් නැවතී මේ ඉකිබිඳුම අසා සිටියේ ය. පසුව ඔහු කුස්සිය දෙසට යාමට හැරුනේ ය. ඈ මුළු රෑම හඬමින් සිටින්නට ඇත. එක අතකට ඈ පවු ය. ඈ මේ සියල්ලම කරන්නේ තමාට ඇති ආලය නිසා ය.

තමා සකුරා දේශයට ගොස් ටික කලෙකින් ඈව ද ඒ දේශයටම ගෙන්නා ගත යුතු යැයි ඔහු මේ මොහොතේම ඉටා ගත්තේ ය. ඔහු දිය බී කර නැවතත් පැඳුරේ වැතිරුනේ ය. පහන් තරුව බටහිර ක්ෂිතිජයේ ගිලෙන යාමය වන විට නින්ද ඔහු අසලට ආවේ ය. නයනතාරාට නම් නින්ද යනවිට වටින් ගොඩින් එළිය ද වැටී තිබුණි.


කෙතරම් රෑ බෝ වී නින්දට ගියත් ඔහු උදයේම අවදිවන අයෙකු බව පාඨක ඔබ මේ වන විට දන්නා කරුණකි. ඔහු වෙනදා මෙන් සුපුරුදු වැඩ කටයුතු වල නියැලී සිටියේ ය. මෙදින නයනතාර කිසිම අවස්ථාවක කාමරෙන් එළියට ආවේ නැත. එළියට ආවා නම් ආවේ වැසිකිලි කැසිකිලි යාමට පමණි.

ඒ ආ එක් අවස්ථාවක ඔහු නයනතාරා දෙස බැලීය. රෑ පුරාම හැඬූ නිසා දෝ ඇගේ දෑස් තඩිස්සි වී තිබුණි. හිසකේ ද අවුල් ව ගොසිනි. වෙනදට ලතාවකට පා තබා ඇවිද යන ඈ අද ඇවිද්දේ ඕනෑවට එපාවට ය. වෙනදාට ගේ දෙවනත් වන්නට ඇසෙන ඇගේ සිනා හඬ අද නැත ය.

දහවල් කෑමට පවා ඈ කාමරයෙන් එළියට ආවේ නැත.

ඈට බෙදූ බත්පත, මේසය මත බොහෝ වෙලාවක් තිබී හීතල වූ පසු  ඇගේ මව විසින් බල්ලෙකුට කන්නට දැමුවා ය. ඒශාන් මේ බව දන්නේ නැත. ඔහු දන්නේ නම් නයනතාරට පෙරැත්ත කර හෝ කෑමට ආරාධනා කරයි. 

හෝරා ගෙවුණි ය. රැය නැගිණි ය.

ඒශාන් ඇතුළුව සියල්ලෝම නින්දට වැටුනාහ. එහෙත් නයනතාරාට නින්ද ගියේ නැත. කෙමෙන් කෙමෙන් රෑ මැදියම උදා විය. ඇය සෙමින් පා තබමින් සිය දෙමාපියන් නිදන කාමරයේ දොර අසලටම පැමිණි යා ය.

ඔවුන් දෙපල සුව නින්දේ පසුවන බව සැක හැර දැනගත් ඈ ඒශාන් අයියාගේ කාමරය වෙතට ආවා ය. රෙදි කඩමල්ලත් පෙරවාගෙන පැදුරේ නිදා ඉන්නා ඒශාන් අයියා ලඟට අවුත් ඔහුගේ හිස පිරිමැද්දා ය.


එකෙණෙහි ම ඔහු අවදි ව,

"නයන..." යැයි පමණයි ඔහුට කීමට ලැබුණේ. ඈ ඔහුගේ කට තදින්ම වැසුවා ය.

ඉන්පසු ඈ ඔහුගේ පැදුර අසලින් වාඩි වුවා ය. ඔහු ද බිත්තියට පිට දී හිඳ ගත්තේ ය.

"මොකද නංගි මේ ? අම්මලා දන්නවා නම් මට විසුමක් වෙන්නේ නෑ !" යැයි ඇසෙන නෑසෙන තරමට ඔහු කීවේ ය.

"ඇයි අයියේ මාව දාලා යන්න හදන්නේ ? මගෙන් ඔයාට මොන වරදක් සිද්ද උනාට ද මාව දාලා යන්ඩ හදන්නේ ?" යැයි කී ඈ නැවතත් හඬන්නට වූවා ය.

ඇගේ හැඬුම දිග් ගැස්සුනොත් ගුරු මා පිය දෙපල ඇහැරේවි යැයි සිතූ නිසා ඔහු ඈ සැනසූවා ය.

සකුරා දේශයට යාම, තමාගේ කුඩා කල සිට තිබූ ආසාවක් බවත්, තමා එහි ගිය සැනෙන් ඈව ද එහි ගෙන්නා ගැනීමට කටයුත් සම්පාදනය කරන බවත් තමා ඈ ට තම හඳ පත්ලෙන්ම ආලය කරන බවත් හෝරා දෙකකට වඩා වැඩි කාළයක් පැහැදිලි කලේ ය. දම් දෙසුම අවසානයේ සියළු සත්වයෝ නිවී සැනසෙන්නාක් මෙන් ඈ ද නිවී සැනසුනාය.

ඈ ඔහුගේ වචන ඉර හඳ සේ විශ්වාස කළා ය.

ඈ ඔහු දිහා ටික වේලාවක් එක එල්ලේ බලා උන්නා ය. ඒ දෑස් දිහා එක එල්ලේම බලන්නට ඈ ට බැරි ය. පසුව ඈ සඳ එළියෙන් නැහැවුන ජනෙල් කණ්ඩිය දෙස බැළුවා ය. එවෙලෙහි ම හැමූ සීත පවන් රැල්ලක් ඇගේ ගතේ හී ගඩු නැංවූවා ය.  මේසය මත වූ ලාම්පුවේ දැල්ල ද සුළඟින් ඒ මේ අත සෙලැවුණි. විටෙක නිවෙන්නට ද ආවේ ය. රැය තවමත් තරුණ ය. සඳ රැසිනුත් මේසය මත වූ ලාම්පු එළියෙනුත් ආලෝකමත් වූ ඇගේ මුහුණ දිව්‍ය විමානයෙන් බට සුරදූතියක සේ දිස් වුනා ය. එහෙන් ඔහුට ඇගේ සුන්දරත්වය රස විඳිනවාට වඩා ඔහුට උවමනා වූයේ ඈ ව ඉක්මනින් මෙතනින් යවා ගන්නට ය.

මද වේලාවකින් ඈ යන්නට හැරුනා ය.

ඈ ආපසු හැරී අඩි දෙකක් ගොස් නැවතත් දිව විත් ඔහුගේ උරහිස බදාගත්තා ය. ඔහු සියුම් හාදුවක් ඇගේ ගෙල මත තැබුවා ය. ජීවිතයේ ප්‍රථම වරට පිරිමියෙකුගේ සුසුමක ගැඹුරු බව ඈ අත් වින්ඳේ එදා ය. ඔහුට ද මේ හැඟුම නුහුරු ය. නුපුරුදු ය.

ඈ හට ඔහුගේ උරහිසෙහි හිස හොවාගෙන සිටිය හැකි වූයේ මද වේලාවක් පමණි. දෙමාපියන්ගේ කාමරය දෙසින් හඬක් ආ බැවින් ඈ හනිකට තම කාමරයට දිවුවා ය. 

කාමරයට වැදී ඈ සැහැල්ලු සිතින් නිදා ගත්තා ය.

පසුදා අවදි වී කුස්සියට ආ නයනතාරාට ඒශාන් හමු වූයේ නැත. වෙනදාට නම් මේ වේලාවට ගෙයි පිලිකන්නට වී තේ බොන ඒශාන් අද නැත.

"අම්මේ කෝ ඒශාන් ?" නයනතාරා සිය මවගෙන් විමසී ය.

"දන්නේ නෑ දරුවෝ !" යැයි සිය මව උත්තර දුන්නා ය.

නයනතාර ඒශාන්ගේ කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් බැළුවේ ඒශාන් කාමරයේවත් සිටී ද යන අවිනිශ්චිත සැකයෙනි. කලින් දා රාත්‍රියේ හැරෙන්නට කිසිම දිනක නයනතාරා ඒශාන්ගේ කාමරයට ඇතුළු වී නැත. ඒ නයනතාරාගේ  මව නයනතාරාට ඒශාන්ගේ කාමරයට යෑම තහනම් කර තිබීම නිසාය. ගින්දරත් පුළුනුත් එක ලඟ තිබෙන්නට හැරියහොත්  කිසියම් මොහොතක ගිනි ඇවිලෙන්නට පුළුවන් බව නයනතාරාගේ මව සිතුවා ය. කිසියම් ස්ත්‍රියයක් සරණ බන්ධනයට පෙරාතුව අන්‍ය පුරුෂයෙකුගේ  හෙවනැල්ලවත් පයට පෑගෙන මානයක තරම් දුර පමණකින්වත් ලං නොවී සිටිය යුතු ය යන නීතිය නයනතාරාට ද සිය මව විසින් පනවන ලැබුවේ ඇයගේම හොඳට ය.

පෙරදා රෑ ඈ කළ 'වීර ක්‍රියා' සිය මව දන්නේ නම් මෙලහට නයනතාරාව ගෙදරින් ද එලවන්නට බැරි නැත.

ඈ අනවසරයෙන් ඒශාන්ගේ කාමරයට ඇතුළු වී ඔහුගේ ඇඳුම් තිබේදැයි බැලුවා ය. ඒවා නැමූ අයුරින්ම රාක්කවල තබා ඇත. ඈ ඉන් එක ඇඳුමක් ගෙන තම නැහැ පුඩු වෙතට ලං කර ඉන් නික්මෙන පිරිමි සුවඳ ආඝ්‍රාහණය කළා ය. ඉන් අනතුරුව ඈ ඒ ඇඳුම තිබූ පරිද්දෙන්ම රාක්කය මත තැන්පත් කර කාමරය පුරාම දෑස් මෙහෙයවූවා ය. 

පසුව ඈ ඉස්කිරිමේ කොණක තබා තිබූ කොට්ටය ගෙන එහි උරය තුළ ද පරික්ෂා කර බැළුවේ ඉන්වත් ඒශාන් ගැන හෝඩුවාවක් ලැබේද යන සැකයෙනි. කොට්ට උරය තුලට අත යැවූ විට ඈ ට 'ලියමන' හසු විය. ඒ ලියමන දුටු ඇඟේ දෙනෙත තෙත් විය. උණු කඳුළු කැට ඇගේ කොපුල් තල තෙමන්නට විය.

ඈ ඒ ලියමන තිබූ පරිද්දෙන්ම කොට්ට උරය තුළ සඟවා කාමරයෙන් පිට විය.

ඒශාන් තමාව දාලා ගියාවත් ද ? එතකොට කලින් දා රෑ ඔහු දුන් පොරොන්දු වලට මොකද උනේ ? 

ඇගේ සිතේ සියුම් ඉකිබිඳුමක් නැගී ආවා ය. එක අතකට නො ලැබෙන දේකට කෙතරම් හැඬුවත්  පලක් නැත. ලැබීමක් තිබේ නම් ඈ ට ඔහු හමු වේ.  තවත් අතකට මෙවන් බොරු කාරයෙක්ට අහු වනවාට වඩා බේරීමට ලැබීම යහපතක් යැයි ඈ සිතුවා ය.

දහවල ද උදා විය.

එහෙත් ඔහු ගෙදර නාවේ ය. විටින් විට ඈ ඉස්තෝප්පුවට වී පාර දෙස ද බලා උන්නා ය. ඉර කෙමෙන් කෙමෙන් බටහිර අහසින් බැස යන්නට විය. ඇඳිරි වැටීමට ආසන්න වන විය ඔහු නැවතත් ගෙදර ආවේ ය.

නයනතාරාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ දැන් ය.

"කොහෙද දරුවෝ උදෙන්ම අපිටත් නොකියා ගිහින් උන්නේ ?"

ඒ ඇසුවේ නයනතාරාගේ පියා ය.


"නෑ තාත්තේ මම උදෙම්ම වරායට ගියා. සකුරා රටට යන නැවක් තියෙන දවසක් බලන්ඩ. තව පෝ දෙකකින් නැවක් මෙහෙන් පිටත් වෙනවා. ඊට පස්සේ තුන් මාසයක් යනකන් නැවක් මෙහෙන් යන්නේ නෑ" ඔහු උත්තර දුන්නේ ය.

ඔහුගේ පිළිතුරෙ නයනතාරාගේ පියා කල්පනාවක නිමග්න විය.

"මං දන්නවා තාත්තා කල්පනා කරන්නේ මොනවද කියලා. ඒ පෝයට කලින් එන නැකැත් දවසක අපි මේ කසාදේ කරමු. " යැයි ඔහු පවසී ය.

"එහෙනම් පුතේ එහෙම කරමු." යැයි කී ඔහු පහලට හෙලූ සුසුමකින් ලය සැහල්ලු කර ගත්තේ ය.

දුවණි කෙනෙකව යහපත් කුළ කුමරෙක් හා සරණ බන්ධනයට පමුණු වා පෝරු මස්තකාරූඨ කරවීම හැම පියෙකුගේම උර මත පැටවී ඇති වගකීමකි. නයනතාරාගේ පියාගේ උර මතත් මේ වගකීම එලෙසින්ම පැවතිණි. ඔහුගේ දිවියේ ගතවන හැම දිනකම සිතන්නේ මේ වගකීම් වලින් නිදහස් වන්නට ය. 


-මතු සම්බන්ධයි-

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.