28 January 2014

දඹදෙණිය මාලිගාගලට ගිය ගමන

මතකනේ මම දඹදෙණිය විජයසුන්දරාරාමය වැදපුදාගෙන පල්ලම් බැස්සේ මාලිගාගල නගින්ඩ කියලා. මුලින්ම මම මාලිගාගල් නැග්ගේ ඉස්කෝලේ හතේ පංතියේ ඉන්නකොට. ඒ නිසා මාලිගාගලට යන පාර ඒ හැටි මතක නෑ.

යාන්තමට මතකයි  කුඹුරක මහනියරක් උඩින් දුවලා ගියා කියලා. කොයික උනත් කමන් නෑ කියලා පන්සලේදි හම්බ උන කෙනෙක්ගෙන් ඇහුවා මාලිගාගලට යන්නේ කොහොමද කියලා. උන්දෑ කියපු විදිහට පාරට බැස්සා.

පාරේ ඇවිදලා ටික දුරක් එනකොට ඈතින් මාලිගාගල පේනවා මෙන්න මේ වාගේ ! ආස්සාවේ බෑ.

ඒත් ගලට නගින තැන තව ඈතයි වගේ. කොයික උනත් කමන් නෑ කියලා පාරේ ඉදිරියටම ගියා. ඒ පාරේ ගිහිං ගිහිං නැවතුනේ තුම්මං හන්දියකිං ! එක පැත්තක් ගාමන්ට් එහෙකට යන පාරක්. අනිත් පැත්ත කොහාට්ටද දන්නෑ. ඒ පැත්ත මේ පැත්ත පොල පොලා ඉන්නකොට කහ පාට බ්ලවුස් එහෙකුයි කළුපාට සායකුයි ඇඳගත්තු අක්කා කෙනෙක් මගෙං ඇහැව්වා කොහාට්ටද යන්ඩ ඕන කියලා. මං කිව්වා මාලිගාගල් යන්ඩ ඉන්නේ කොයි පාරද දන්නේ නෑයි කියලා.


එතකොට ඒ උන්දෑ "මේං මේ පාරේ ටික දුරක් ගියහම හරි. එතන කාරියාලයකුත් තියෙනවා " කියලා. උන්දෑ අත දික් කරලා පෙන්නපු පාරේ ටික දුරක් ගියා. එතකොට මං හොය හොයා උන්නු තැන හම්බ උනා.
එතැන ඉදන් තියෙන්නේ කන්ද නගින්ඩ !
නිවාඩු දවසක් නිසා පුරාවිද්‍යා කාර්යාලයේ කවුරුවත් උන්නේ නෑ. මම කන්ද නගින්ඩ පටං ගත්තා.

ඔය ඉහලින් තියෙන්නේ කන්ද නගින්ඩ තියෙන පඩිපේලිය ! ඒක දිගේ නැගගෙන නැගගෙන ආවා. මිනිස් පුලුටක්වත් උන්නේ නෑ
                                                                                    කන්ද නගින පඩිපෙල්

යාන්තං මනුස්ස පරාණයක් ඉන්නවා....

කන්ද මැදක් නගිනකොට යාන්තන් කොල්ලෝ දෙතුන් දෙනෙක් උන්නා. උන්ට පිං සිද්ධ වෙන්ඩ මයේ පින්තූර කෑලි දෙක තුනකුත් ගත්තා.හැබැයි ඉතිං උං මගේ වතුර බෝතලෙන් සෑහෙන කොටසකට වග කිව්වා. ඒත් කමන් නෑ පින්තූරු ටිකක් ගත්තා නෙහ්.

ඕං ඔය හරියට එනකොට තමයි මම ඒ කාලේ ඉස්කෝලෙන් එනකොට කන්ද ගාවට ආපු පාර දැක්කේ. ඔය පහලින් තියෙන්නේ ඒ පාර !
එතකොටම දැක්ක තව දෙයක් තමා කන්ද නගින්ඩ තව පාරක් තියෙනවාය කියලා.

කන්ද නගින්ඩ තිබ්බ පඩි පෙලේ පටුම තැනක්
ඊටත් පස්සේ තවත් ටික දුරක් කන්ද නගින්ඩ තිබුනා.  ඒ ටිකත් නැගගෙන නැගගෙන එනකොටතමා දඹදෙණිය මාලිගාවේ නටබුන් දැක්කේ. ඔය පහලින් තියෙන්නේ මාලිගේ නටබුන්. මේ දවස්වල මාලිගාවේ කැණීම් කටයුතු කරන බවත් පෙනෙන්ඩ තිබුනා.

 ඊට පස්සේ මම ගියේ බැලුම්ගල බලන්ඩ.මතකද සිරි පැරකුම් චිත්‍රපටියේදි අන්තඃපුරයේ බිසෝවරු පැන්න තැන. එතනට තමයි මම ඊළඟට ගියේ. ශා.. එතන මරු තැනක්. ඔය පහලිං තියෙන්නේ මම බැලුම්ගලට ආපු පාර. ගල් උඩිං පැන පැන තමා එන්ඩ තියෙන්නේ.

බැලුම් ගලට ආවට පස්සේ මම මහන්සියට වාඩිවෙලා උන්නා. ඈතින් තවත් කන්දකුත් පෙනුනා. ඕං එතකොටම වාගේ රිසර්ච් එකක් කරන්ඩ නෝනා කෙනෙක් එයාගේ මහත්තයාත් එක්ක ආවා. එයාගේ මාර්ගෝපදේශකයා ලස්සන ලස්සන ජනප්‍රවාද කතා දෙකතුනකුත් කිව්වා. ඒවා කිව්වේ මටත් ඇහෙන්ඩ.

මේ පහලින් තියෙන්නේ බැලුම්ගල ! ඔය ඈතින් පේන්නේ වඩුවා කෙටූ ගල !
ඔය ඈතින් පේන ගල වඩුවාකෙටු ගල කියලා මම කිව්වා නෙහ්. ඔතන ඒ කාලේ තිබිලා තියෙන්නේ රාජධානියේ හිරගෙයලූ. කන්ද උඩ හිරගේ තිබිලා පහල මුරකාවල් දාලාලු තිබිලා තියෙන්නේ.ඔය හිරගෙදරට නියම උනාලු වඩුවෙක්. උන්දෑ කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා දිව්වාලු.

ඒකලූ වඩුවා කෙටූ ගල කියන්නේ !

කන්දේ පඩිපෙලක් කොටාගෙන පැනලා ගිය වඩුවා ගියේ ගමකටලූ. "වඩුවා ආව" ගම පස්සේ කාලෙක වඩුවාව උනාලු. තව දෙයක් තමා මේ වඩුවා සෑහෙන ශක්තිමත් කෙනෙක්ලූ. උන්දැට කට්ටියක් එක්කම පොර බදන්ඩ පුලුවන්ලූ. ඒ කියන්නේ මඩුල්ලක් එක්කම පොර බදන්ඩ පුලුවන් ලූ. උන්දෑ මඩුල්ලක් එක්ක පොර බදපු තැන පස්සේ කාලේක පොරමඩුල්ල උනාලු.

ඔය වඩුවට පැනලා යන්ඩ කන්දේ පැත්තකින් පිඳුරු ගෙනත් ගොඩ ගැහුවා කියලා කතාවකුත් තියෙනවාලු. ඒ පිදුරු ගෙනත් තියෙන්නේ පිඳුරුවැල්ල කියලා ගමකින්ලු. නමුත් ඒ කතාව පිලිගන්ඩ සාධක මදියි කියලා තමා ඒ මාර්ගෝපදේශකයා කිව්වේ.

ඔය පඩිපෙල බලන්ඩ තරම් මගේ කැමරාවේ පහසුකම් නෑ.මෙන්න මේ අඩවියේ තියෙනවා ඒ පඩිපෙලේ පින්තූරයක්.

පහලින් තියෙන්නේ වඩුවා කෙටූ ගල මගේ කැමරා ඇසින් ගත්තු පින්තූරේ. මොකෙක් නමුත් එකෙක් ඔය ගලේම සීනුවක් කොටලා සුදු තීන්තෙන්.
ඔය වඩුවා කෙටූ ගලට ඈතින් තියෙනවාලු ඇන්නරුව කියලා ගමක්. එහේ තියෙනවාලු ඇන්නරුව රජමහා විහාරය !

දෙවන පරාක්‍රමබාහු රජ කාළයේදි ලංකාවේ වයඹදිග මුහුදෙන් ඒ කියන්නේ මාතොටින් ආවලු ජාවක චන්ද්‍රභානු කියලා ආක්‍රමණිකයෙක්. ඒ ආක්‍රමණිකයාව ඇනලා මරපු තැන ලු ඔය ඇන්නරුව කියන්නේ. ඇන්න අරුව පස්සේ කාලෙක ඇන්නරුව උනාලු. අද වෙනකොට ඒ හරියේ රජමහා විහාරයක් ඉදිවෙල තියෙනවලු.

මෙන්න මෙතනින් සම්පුර්ණ විස්තරේ කියවන්ඩ !

 ඔය කතන්දර සේරෝම අහගෙන ඊළඟට මම ගියේ රත්මල් පොකුණ බලන්ඩ. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
මාලිගාගලේ වරුවක්ම ගත කරලා පහල යන්ඩ පුලුවන් හැම පාරකම වාගේ ඇවිදලා කන්ද බහිනකොට ඉරත් හැරිලා හතර පැයකුත් ගිහින්. ආයෙම දඹදෙණිය ටවුමට එනකොට හතරාමාරයි. ඊට පස්සේ ආපු කොළඹ බස් එකක නැගලා ගෙදර ආවා !

නියම දවසක් ගත කලා කියන සංතෝශය ඒ සතිය පුරාම තිබුනා... වෙලාවක් ලැබුනොත් ගිහින් බලන්ඩලා !

-------------------------------------------------------------------
ප.ලි. - ඔන්න කට්ටියට පහසු වෙන්ඩත්තෙක්ක පොඩි සිතියම් කෑල්ලකුත් පෝස්ටෙකට ඇමුණුවා. සිතියමේ නිල් පාටිං තියෙන්නේ මම ගියපු පාර !

 ප.ප.ලි. - මේ පෝස්ටෙකත්තෙක්ක තරඟයට පෝස්ට් ලිවිල්ල ඉවර වෙනවා. දැං තියෙන්නේ මට අයිති තෑග්ග ගන්ඩ... ! මගේ පෝස්ට් කියවපු කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි !

27 January 2014

දඹදෙණියට ගිය ගමන

එදා සෙනසුරාදා දවසක්... හරියටම දිනය කිව්වොත් මේ මාසේ දාහතර වෙනිදා. ගෙදර ඉන්ඩත් කම්මැලියි. ඔන්නොහේ කොහේහරි රවුමක් දාලා එන්ඩ ඕන කියලා හිතුනා. ඊට පස්සේ කල්පනා කෙරුවා කොහේද යන්ඩ හොඳ කියලා.

එතකොටම තමා මතක් උනේ මම  දඹදෙණි යන්ඩ හිතාගෙන උන්නා නේද කියලා. අම්මවත් දැනුවත් කරලා ලෑස්ති උනා දඹදෙණි යන්ඩ. මුලදි නම් හිතාගෙන හිටියේ ගෙදර කට්ටිය එක්ක යන්ඩ. ඒත් අම්මට කඳු නගින්ඩ බැරි නිසා ආවේ නෑ. මලයට විභාග නිසා හෙල්ලෙන්ඩවත් වෙලාවක් නෑ.ඒ නිසා තනියෙන්ම ගමන ආවා.

 උදේට කාලා වතුර බෝතලකුයි කැමරාවයි බැටරි කෑලි හතරකුයි දාගෙන ගෙදරින් පිට උනා දඹදෙණි යන්ඩ. මගදි කඩයක් අල්ලගෙන බිස්කට් පැකට් දෙකකුත් ගත්තා. ඇයි ඉතිං කොයි වෙලේ බඩගින්නක් ඒවිද දන්නවා යෑ.

ඔය සේරම කරගෙන හැඳල හන්දියට ආවා මීගමු පාරේ යන කොළඹ-කුරුණෑගල බස් එකක් අල්ලගන්ඩ. විනාඩි විස්සක් විතර බස් හෝල්ට් එකේ ලැග්ගට පස්සේ කුරුණෑගල බස් එකක් ආවා. ඒකේ නැගලා දඹදෙණියට ටිකට් ගත්තා. පෑ දෙකක් යනකොට බස් එක දඹදෙණියට ආවා.

බස් එකෙන් බහිනකොට වෙලාව දහයාමාරට එකොලහට විතර ඇති...

ඊට පස්සේ පාර පැනලා දකුණු අත පැත්තේ තිබ්බ පාර දිගේ දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයත් පහුකරගෙන ඇවිදගෙන ආවා. එතකොටම ඈතින් පෙනුනේ දඹදෙණිය විජය සුන්දරාරාමය !
                                                                              විජයසුන්දරාරාමයට ඇතුල් වෙන දොරටුව

කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් රාජධානි නිරිත දිගට මාරු උනාට පස්සේ නිරිත දිගින් පටන් ගැනිනු මුල්ම රාජධානිය තමයි දඹදෙණිය කියන්නේ. එතකොට දඹදෙණිය විජයසුන්දරාරාමය ප්‍රසිද්ධ වෙන්නේ මේ රාජධානි සමයේදි දළදා වහන්සේ තැන්පත් කරලා තිබ්බ පුරාණ දළදා මලිගය මේ විහාරයේම තිබීමයි.

ඒ ගැන අපේ සයුරි අක්කා විස්තර කියයි.

ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුල් උනහම විජය සුන්දරාරාමයේ ධර්මශාලාවත්තෙක්ක පැරණි බුදුගෙට යන්ඩ තියෙන පඩිපෙල තියෙනවා. පල්ලෙහා රූපේ සුදු පාටින් පේන්නේ ධර්මශාලාව.
                                                                                විහාරයට ඇතුල් වෙන පඩිපෙල්

ඒ පඩිපෙලින් නැගලා වැලිමලුවට ආවහම තියෙන ගොඩනැගිලි තමා පහල රූපෙන් පේන්නේ. වම් පැත්තෙන්ම තියෙන්නේ පැරණි බුදුගේ. මැදින් තියෙන්නේ අළුත් බුදුගේ. කෙලවරේම තියෙන්නේ චෛත්‍යයත්තෙක්ක වටදාගෙය.
                                                                       ඝාණ්ඨාර කුළුණ, පැරණි අළුත් බුදුගෙවල්

ඊළඟට මම පැරණි බුදුගෙට ඇතුල් උනා. බුදුගෙට ඇතුල් වෙන තැනම නා රජු ඇතුලත් මුරගල් දෙකක් තියෙනවා. ඒත්තෙක්කම බල්ලෙකුත් සැපට නිදි...
                                                      පරණ බුදුගෙට ඇතුල් වෙන දොරටුව. (නා රජුන්ගේ දෙපලක් සහිතව)

බුදුගෙයි දොරෙන් ඇතුළු උනහම පේන්න තියෙන්නේ මකර තොරණකින් අලංකාර වෙච්ච සමාධි බුදු පිළිම වහන්සේ.

                                               මකර තොරණ සහිත සමාධි පිළිම වහන්සේ

පැරණි බුදුගෙයි වැඳපුදා ගත්තට පස්සේ මම ඊලඟට ඇතුල් උනේ මැදින් තිබ්බ අළුත් බුදුගේ බලන්ඩ. ඒ බුදුගෙයි අළුත් චිත්‍රත් විශාල සැතපෙන පිළිම වහන්සේ කෙනෙකුත් වැඩ උන්නා. පහලින් තියෙන්නේ අළුත් බුදුගෙයි තිබ්බ චිත්‍ර වලින් කොටසක්.
                                                    අළුත් බුදුගෙයි සැතපෙන පිළිම වහන්සේ හා චිත්‍ර

අළුත් බුදුගෙයින් එලියට ඇවිත්  පරණ බුදුගෙයි පැති පෙනුම පින්තූර ගත්තා.සියල්ල අනිත්‍යයි කියන ධර්මතාවය කියාපාන්න වගේ ටිකක් විතර ගරාවැටීගෙන එනවා.

                                                         පරණ බුදුගෙයි පැති පෙනුම

මම ඊලඟට ඇතුල් උනේ චෛත්‍යය තිබ්බ වටදාගෙට . පහලින් තියෙන්නේ ඒ වටදාගෙයි පින්තූරයක් !
                                                                 වටදාගේ සමඟ චෛත්‍යය

පහල පින්තූරෙ තියෙන්නේ වටදාගෙයි කැණිමඩල. දන්නවනේ ලංකාවේ දර්ශනීයම කැණිමඩල තියෙන්නේ ඇම්බැක්කේ දේවාලෙයි කියලා. :)
                                                                                       වටදාගෙයි කැණිමඩල

ඊට පස්සේ මම ගියේ බෝධීන් වහන්සේ වැදපුදාගන්ඩ. පහල පින්තූරේ තියෙන්නේ පන්සලේ බෝධීන් වහන්සේ !
                                                                                         බෝධීන් වහන්සේ

බෝධීන් වහන්සේ වැදපුදා ගත්තායින් පස්සේ ඒ ළඟින්ම තිබ්බ පඩිපෙලෙන් බැහැලා  පන්සලෙන් පිට උනා. ඒ.. මාලිගාගල නගින්ඩ. ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ මම බැහැගෙන ආපු පඩිපෙල. වම් පැත්තට වෙන්ඩ තියෙන ගොඩනැගිල්ල කෞතුකාගාරයක්. මම ගිය දවසේ කවුරුවත් හිටියේ නැති නිසා කෞතුකාගාරය වහල දාලා තිබ්බේ.

ඒක මගේ වෙලාව... :(
                                                                                             කෞතුකාගාරය

ඊට පස්සේ තියෙන්නේ මලිගාගල නගින්ඩ යන්ඩ.. ඒකට ටික දුරක් ගම මැද්දෙන් යන්ඩ සිද්ධ වෙනවා.

ඊලඟ පෝස්ට් එකෙන් හම්බ වෙමු එහෙනං !


25 January 2014

සර් කන්ඩ ගිහිං

ඔන්න එකමත් එක සර් කෙනෙක් උගන්න උගන්න ඉන්නවලූ.

"ළමා...යි පොඩ්ඩක් ඔය ගාන හැදිල්ල නවත්තලා මේ පැත්තට හැරෙන්ඩ !"

"දැං මට කියන්ඩ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළට පාඩං කරන්ඩ පටං අරගෙනද තියෙන්නේ කියලා ??? "

සියල්ලෝම " නෑ..ඈ... සර් !"

"මුලිංම කරන්ඩ තියෙන්නේ පාඩං කරනෙක නෙමේ. පැයක් එකදිගට පොතක් දිහා බලාගෙන ඉන්ඩ හිත හදාගන්නෙක. දැම්මතියා ඒකට හුරු වෙන්ඩ ඕන. ඒ නිසා අද හෙටම තමන්ගෙම කාටසටහනක් අනුව වැඩ පටන් ගන්ඩ. පස්සේ පස්සේ පාඩං කරන කාලේ වැඩි කරන්ඩ පුලුවං ! "

"හරි එහෙනං ගණන් ටික හදන්ඩ පටං ගන්ඩ !"

"නිකන්ම ඉලක්කං ටික වැඩි කරලා උත්තරේ දාලා නිකා ඉන්ඩෙපා."

"කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය, සමානයි කියලා දාලා පටං අරන් ගාන හදාගෙන යන්ඩ. අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ."

"අනිත් කොටසත් ඒ වගේම තමා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය, සමානයි කියලා දාලා ගාන හදාගෙන ගිහින් අන්තිම උත්තරේට ඉරි දෙක ගහන්ඩ !"

"ඔය ඉතිං.... කියලා කට ගන්ඩ හම්බුනා යෑ.... උත්තරේට ඒකක දාලා නෑ.... හොඳට මතක තියා ගන්ඩ ඒකක දාලා නැත්තං විභාගෙදි ළකුණු කපනවා. ඒ නිසා උත්තරේ ඒකකත් එක්ක තියන්ඩ පුරුදු වෙන්ඩ."

"හරි ළමයි... මං එහෙනං කාලා එනකං ඔය ගොල්ලෝ ඔය ගණන් ටික හදන්ඩ. "

එහෙම කියපු සර් උදේට කන්ඩ ගියා ලූ.

කවුරු වෙන්ඩ පුලුවන් ද ඒ සර් ??? :)

එහෙනං මං ගියාවේ. හැමෝටම සතුටින් පිරුණු සති අන්තයක් !

---------------------------------------------------------------------
ප.ලි. - හොඳම යාළුවා ගැන ලියන දෙවෙනි ලිපිය තාම ලියන්ඩ බැරි උනා.  ඒක ඉක්මනටම ලියන්ඩ ඉන්නේ.

23 January 2014

මගේ හොඳම යාළුවා

මගේ ජීවිතයට සම්බන්ධ ගොඩ දෙනෙක් ගැන බ්ලොග් අඩවියේ ලියලා තියෙනවා. ඒත් මගේ හොඳම යාළුවා ගැන තාම පෝස්ට් එකක් ලියලා නෑ. අද ඒ අඩුව සම්පූර්ණ කරන්ඩ ඕන කියලා හිතුනා.

අසංක සංජීව ! ඌ තමා මගේ හොඳම යාළුවා !

මූව මට මුන ගැහුනේ එකේ පන්තියේදි. එදා ඉස්කෝලේ එකේ පංතියට අළුතෙන් ළමයි භාර ගත්තු දවස. පළවෙනි දවස නිසා හැම ළමයම අම්මලාත් එක්ක ඉස්කොලෙට ඇවිත් හිටියා. එක ශ්‍රේණියේ ටීචර්ලා තම තමන්ගේ පංතියට ළමයි භාර ගත්තට පස්සේ අම්මලා ගෙවල් වලට ගියා.

අම්මලා පංතියන් එලියට ගිය හැටියෙම ගොඩක් ළමයි කෑමොර දීලා අඩන්ඩ ගත්තා. ඒ අතරේ මූත් ඉස්කෝලේ කොට බිත්තිය බදාගෙන ඇඬුවා මට තාම මතකයි. මම පොඩි කාලේ ඉදලා හැදුනේ ආච්චි අම්මා ගාව නිසා අම්මා දාලා ගිය එක මගේ පොඩි හිතට ඒ තරම්ම දැනුනෙ නෑ. ඒ නිසා ඇඬුවෙත් නෑ.

ළමයින්ගේ ඇඬිල්ල අඩු උනාට පස්සේ අපේ පංතිය භාර ටීචර් පංතියේ ළමයි ටික කණ්ඩායම් වලට බෙදුවා. ඒ ඒ කණ්ඩායම් වාඩි වෙන්ඩ ඕන ඩෙස්ක ටිකත් පෙන්නුවා. මගේ කණ්ඩායමට වැටුනේ මායි අසංකයායි රිචඩ් හැරිසනුයි නුවන් චාමරයි. ආහ් තව පොඩ්ඩඩෙං කියන්ඩ අමතක වෙනවා අමන්දා ප්‍රියදර්ශනීයි පුබුදු සුගන්ධිකායි කියලා ගෑල්ලමයි දෙන්නෙකුත් හිටියා !

ඔය කෙල්ලෝ දෙන්නා නං කසාඳ බැඳලා පොඩි ළමයිනුත් ඉන්නවා !

 එකේ පංතියට ඇවිත් මාස කීපයක් ගත උනා කියමු.  ඉස්කෝලේ නාට්ටියක සුළු චරිත වලට අපේ පංතියෙන් කට්ටිය තේරුවා . ඒකට මාවයි අසංකයාවයි තේරුනා. මාව තේරුනේ කුරුල්ලෙක්ට.. අසංකයාව තේරුනේ මුවෙක්ට !

මම තටු ගහනවා කැතයි කියලා මාව හාවෙක් කෙරුවයි කියලා මතක ඇතිනේ. අරූ නම් මුවා විදිහටම උන්නා. ඔය නාට්ටිය තමා මගේ පාසල් ජීවිතයේ එකම වේදිකාගමනය !

දෙක තුන හතර පංති වලදි කට්ටියම අල්ලං සෙල්ලං කලා මතකයි. ඒ වගේම කොළ ගුලි කරල හදාගත්තු බෝලයකින් එල්ලේ ගැහුවාත් මතකයි. ඒ ඇරෙන්න කියන්න තරම් විශේෂයක් තිබ්බේ නෑ.

ඊට පස්සේ මගේ මතකයේ තිබ්බ හොඳම පංතිය තමා පහේ පංතිය කියන්නේ !

ඒ අවුරුද්දෙදි මාව අපේ අම්මා එඩේරමුල්ලේ තක්සලාව කියලා අමතර පංතියකට  දැම්මා. ඒකේ උන්නු සර් මහ අමාරුකාරයෙක්. ළමුන්ට සෑහෙන්ඩ වේවැල් කසාය දුන්නු සර් කෙනෙක් !

මාව ඒ පංතියට දාලා ටික දවසක් යනකොට අසංකයාත් ඒ පංතියට ආවා.

තක්සලාවේ උන්නු වසවර්ති සර් නිසා මම ඒ අමතර පංතියට යන්න ආස උනේ නෑ. ගෙදරින් පෙරැත්ත කරලා එලෝන නිසා පොත් ටිකත් අරගෙන එනවා. ගෙදරින් පිටවෙලා මම ඊලඟට එන්නේ අසංකයාලගේ දිහෑවට. ඌ ගෙදර නැත්නං ඉන්නේ වෙලට ගිහින්.

ඒ වෙනකොට උන්ගේ අම්මා රට ගිහිං නිසා ඌ පංති ආවේ අවාරෙට පොල් වැටෙන්නා වාගේ. මොකද ඉතිං මට වාගේ පංති පල කියලා ගෙදරින් එලවන්ඩ කවුරුත් නෑ නේ. අම්මා රට නිසා ඌ හරි ජොලියෙන් උන්නේ. මොකද රට ටොපි චොක්ලට් එහෙමත් ලැබෙනවා නෙහ්.

උන්ගේ ගේ ගාවට ගිහින් කෑ ගහලා කෑ ගහලා  සද්දයක් නැත්තං මං ඊලඟට බලන්නේ වෙල ගාව ඉන්නවද කියලා. ෂුවර් ඇන්ඩ් ෂොට් ඌ වෙල ගාව ඉන්නවා. ඌ වෙලේදි කරන එකම වැඩේ තමා වලවල් හාරන එක. ලොකු වලක් හාරලා ඒකට වතුර පුරවලා, ඉස්ගෙඩි අල්ලලා දානවා  ඊට පස්සේ වතුර හිදෙන්ඩ හිදෙන්ඩ තව තවත් වතුර පුරවන එක තමා මූ හවස් වෙනකංම කරන්නේ !

" උබ අද පංති එන්නේ නැද්ද බං ! " මම උගෙන් අහනවා.

"අද බෑ බං... උබ පලයං.. සර් ඇහුවොත් කියහං මට සනීප නෑ කියලා" හොර හිනාවකුත් දාලා ඌ එහෙම කියනවා.

මම පංති ගිහිං එනකන්ම මූ වෙලට වෙලා ඌ හාරපු වලට වතුර පුරව පුරවා ඉන්නවා !

පහේ පංතියේදි අපිට තිබ්බ ලොකුම හිසේ ඇම්ම තමා සිස්සත්තේ ! ඕක පාස් වෙන්ඩ තමා ලොකුම උත්සහය දැම්මේ. ඒ දවස්වල ගණන් වලටත් ලකුණු 15 ගත්තු නිසා මම නං කලිංම දැනං උන්නා මම නං මේ කපේදි පාස් වෙන්නේ නෑයි කියලා. අරූත් පාස් උනේ නෑ.
 
නමුත් අපි දෙන්නටම ලකුණු 100ට උඩින් තිබ්බා. 

මට තාම මතකයි උමඟකින් දුවන මීයෙක්ගේ ගානක් තිබිලා වරුවක්ම ඒක ගැන කල්පනා කර කර හිටිය නිසා රචනාව ලියන්ඩ බැරි උනයි කියලා. මීයා කීවතාවක් බිත්තියේ හැප්පෙනවද කීවතාවක් හැරෙනවද කියලා ප්‍රශ්නත් තිබ්බා. :)

---------------------------------------------------------------------
ප.ලි. - නිදිමතයි වාගේ... හෙට ඉතුරු ටික ලියනවා.  සුබ රාත්‍රියක් ! :)

22 January 2014

බිත්තරේ

මගේ බ්ලොග් අඩවිය කියවන අය දන්නවා ඇතිනේ අපේ හරබර සාකච්ඡා සේරම කෙරෙන්නේ තේ වෙලාවටයි කියලා. හරි දන්නේ නැත්තං අද දැනගත්තා නෙහ්. අදත් අපි පුරුදු වෙලාවට තේ බොන්ඩ ගියහම සාකච්ඡා උනේ බිත්තරේ ගැන. !

මතකයිනේ අපි දෙගොල්ලෝ කලිං දවසක බිත්තරේ කඩන්න ඕන පැත්ත වෙනුවෙං මරාගත්තා කියලා.  ඒ ප්‍රශ්නය දවස් කීපයකින් විසද ගත්තා !

 ඒ එදා නේ... අද බිත්තරේ ගැන කතාවට මුල් උනේ ඉංග්‍රීසියේ එන යෙදුමක් නිසා. ඒ යෙදුම තමා,

 "can't make an omelette without breaking eggs"
"බිත්තරේ නොකඩා ඔම්ලට් තැනිය නොහැක"

ඔය යෙදුමෙන් කියවෙන්නේ දෙයක් ලබා ගන්න නම් දෙයක් නැති කර ගත යුතු ය කියන එක ! යම්කිසි දෙයක් ලබා ගන්න නම් තවත් දෙයක් කැපකල යුතු ය කියන අදහසත් ඕකෙන්ම ගත්තෑකි.

බිත්තර කිව්වහම තමා මතක් උනේ  ගං බිත්තර පාං බිත්තර කියලා ජාති දෙකක් තියෙනවා නෙහ්. අපේ පැත්තේ මිනිස්සු ගං බිත්තර ලොකු වෙනවට ආස නෑ. එතකොට ගමේ මිනිස්සු  හිතන්නේ පාං බිත්තර, ගං බිත්තර කියලා හොරට විකුණනවයි කියලා. ඒ නිසා කිකිළියන්ට කියන්ඩ ඕන ලොකු බිත්තර දාන්ඩ මහන්සි වෙන්ඩ එපා කියලා.

ඒ උනාට පාං බිත්තර වලට වඩා ගං බිත්තර ලේසියෙන්ම වික්කෑකි. මොකද පාං බිත්තර වලට වඩා ගං බිත්තර ගුණයෙන් වැඩි නිසා මිනිස්සු කීය උනත් දීලා ගන්නවා.

හරි ඒවයිං කාරි නෑ.. කතාවට එමුකෝ.  ඔහොම කතාව දිගටම ඇදුනා...

"ඒක නෙමේ බං බැරිද බිත්තරේ කෙලින් අතට තියන්ඩ ? " එකෙක් ඇහුවා...

"බැරි නෑ පුලුවං.."

"ඒ කොහොමද ? බිත්තරේ කෙලින් හිටින්නේ නෑ නේ !"

ඇත්ත තමා. බිත්තරේ කෙලින් හිටවලා බැලන්ස් කරන්ඩ බෑ නේ. බෑ නෙමේ අමාරුයි. මාත් ගෙදරදි උත්සහ කරලා බලලා තියෙනවා. වැඩේ ලේසි නෑ.

"බිත්තරේ ලේසියෙන්ම කෙලින් කරලා බැලන්ස් කරන්ඩ පුලුවං දවසක් තියෙනවා..."

ඌ එහෙම කිව්වහම කට්ටියගේ ඇස් බෝල ටික එලියට පැන්නා... ඒත්තෙක්කම කට්ටියගේ මූනු වල තිබ්බේ ඒ කවදාද කියන ප්‍රශ්නේ. කට්ටිය වෙනුවෙන් ඒ ප්‍රශ්නය මම ඇහුවා.

"ඒ කවද්ද ?"

ඒ දවසට කියෙන්නේ වසන්ත විෂුවය කියලා.වසන්ත විෂුවය දවසේ විශේෂත්වය තමා එදාට දවල් කාළයේ දිගයි රාත්‍රී කාළයේ දිගයි එක සමානයි ලූ. තවත් විදිහකින් කියනවා නං එදාට අඳුරයි ආලෝකයයි එක සමානයි ලූ.
එදාට අඳුර පෑ දොළහයි රාත්‍රිය පෑ දොළහයි වගේ බැලන්ස් වෙනවා ඇති !

වසන්ත විෂුවය දවසට බිත්තරේ ලේසියන්ම කෙලිං අතට බැලන්ස් කරලා තියන්ඩ පුලුවං ලූ. වසන්ත විෂුවයට ඉංග්‍රීසියෙන් කියන්නේ vernal equinox කියලා.

ඒ දවස යෙදෙන්නේ හැම අවුරුද්දකම මාර්තු 20 වෙනිදට !

එදාට බිත්තරේ ලේසියෙන්ම බැලන්ස් කරන්න පුලුවන් කියලා චීන්නු හිතුවට අපට ඕන් නං මේ නියමය බොරුයි කියලා ඔප්පු කරන්ඩ පුලුවං. ඒකට පලපුරුද්දකුයි ලොකු ඉවසීමකුයි ඕන වෙනවා. 

හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් කලොත් බොහොම ලේසියෙන් බිත්තරේ කෙලිං කරලා තියන්ඩ පුලුවං වෙයි.. උත්සහ කරලා බලන්ඩ.. ඉවසීම පුරුදු කරගත්තෑකි. :)

හරි... තේක හදාගෙන ඉවරයි... පුටුවට ගිහිංම බොනවා.
එහෙනං හැමෝටම සුබ දවසක් !
--------------------------------------------------------------------
ප.ලි. - දැං කට්ටිය හිතයි උබලා තේ බොනකොටත් කතා කරන්නේ බර දේවල් කියලා. අපෝ නෑ.. මේ ඉදලා හිටලා කතා වෙන දෙයක් මිසක් හැමදාටම මෙහෙම දේවල් නෑ.

21 January 2014

කොම්පීතරේ ලෙඩ වෙලා

අද නම් මහ එපාම කරපු දවසක්. කිසිම වැඩක් කරගන්න බැරි උන දවසක්. ඒකට මූලිකම හේතුව උනේ මම වැඩ කරන කොම්පීතරේ ලෙඩ වීම. මුලදි මුලදි ටික ටික ලෙඩේ තිබ්බට ඒ හැටි ගනන් ගත්තේ නෑ. දිගටම වැඩ කරගෙන ගියා.

ඔන්න අද හොඳටෝම ලෙඩ වෙලා. !

මේක ලෙඩක් කිව්වට ලෙඩ දෙකක් තියෙනවා. පලවෙනිම ලෙඩේ තමා වැඩ කරගෙන යනකොට එක වතාවෙම නිල් පාට තිරයක් ඇවිත් කොම්පීතරේ හිරවෙනවා. නිල් පාට තිරයේ තියෙන පණිවිඩයෙන් කියවෙන්නේ කොම්පීතරේ රැම් එකේ ප්‍රශ්නයක් කියලා.

අනිත් ප්‍රශ්නේ තමා  නෙට්වර්ක් එක හිටිහැටියේ අතුරුදහන් වෙලා යනවා. එතකොට ඉන්ටර්නෙට් නැතිව යනවා විතරක් නෙමේ මෙච්චර වෙලා වැඩ කරගෙන හිටපු සර්වර් ටිකත් එක්ක තිබ්බ සම්බන්ධතාවය නැතුව යනවා. මුලදි හිතුවේ මෙහේ නෙට්වර්ක් අවුලක් කියලා. පස්සේ හොයලා බලනකොට ඒක මගේ කොම්පීතරේ විතරක් තියෙන ලෙඩක්.

ඔය දෝශ දෙකෙන් කෝක ඇති උනත් තාවකාලික පිළියම විදිහට කරගෙන උන්නේ  කොම්පීතරේ පවර් බටන් එකෙන් ඕෆ් කරලා ඔන් කරන එක !

ඒත් ඒ වැඩේ වැඩි කාලයක් අල්ලලා හිටියේ නෑ. මුලදි ඔය මම කියපු දෝශ දෙක ඇති උනේ සතියට දෙතුන් පාරයි. ඔන්න දැන් දවසට හය හත් පාරක් ඇති වෙනවා. බල බල ඉන්න එක ඇඟට ගුණ නැති හන්දා මම අපේ ලොක්කාත්තෙක්ක මේ ගැන කතා කලා. උන්දෑ ගත් කටටම ඒ වැඩේ තව කෙනෙක්ට පංගනාතු කරලා බේරුනා.

ඊට පස්සේ ඒ මනුස්සයා හිටපු තැනට ගියහම උන්දෑ කිව්වේ ලොක්කට කියන්ඩ කියලා.

ලොක්කා ගාවට ගියහම කිව්වේ මම එහෙනම් බලලා පිළියමක් කරන්නම් කියලා. ඔය කිව්වට ඕක අද හෙටම සිද්ධ වෙන පිළියමක් නෙමේ. මුලදි මුලදි නං කිව්වේ ටික දවසකින් ලැප්ටොප් එකක් දෙන්නං එතකං ඕකෙං වැඩ කරන්ඩ කියලා. එහෙම කියලා දැං අවුරුදු දෙකකටත් වැඩියි.

කීපවතාවක් මතක් කලත් වැඩක් උනේ නෑ.. !

මතක් කරන වෙලාවට විතරක් "හරි ලඟදිම ලැප්ටොප් දෙනවා " කිව්වට දෙන දවසක් නං නෑ. මැටි පූසා උනත් කමන් නෑ මීයෝ අල්ලනවා නං කියලා කතාවක් තියෙනවා නෙහ්. අන්න ඒ වාගේ ලෙඩ කොම්පීතරෙන් හරි කමන් නෑ දීලා තියෙන වැඩේ වෙලාවට කරලා දෙන නිසා කිසි අගයක් නෑ. ඒ නිසාමද මන්දා මේ ගැන සලකල බලන්නේ නැත්තේ !

ඔවුවා හිත හිත ඉන්නවට වඩා හොඳයි බේකරියට ගිහිං පැටිසක් කාලා ප්ලේන්ටියක් ගහනවා !
එහෙනං මං ගියාවේ.... 

20 January 2014

මොනරෙක් වෙලා ඉපදෙයි ඈ

අද උදේ වරුවම වාගේ කරන්ඩ වෙලා තිබ්බේ අපේ ලොක්කත්තෙක්ක එකඟතා ගිවිසුමක් ගහන එක. ලොක්කාගේ ඉල්ලීම් වලින් ඉටු කරන්ඩ පුලුවන් මොනවද බැරි මොනවද කොච්චර කාලයක් යයිද වගේ දේවල් කතා කරන්ඩ සිද්ධ උනා.

ඔය දේවල් ටික කතා කරලා ඉවර වෙනකොට දවල් දොලහාමාරත් පහු වෙලා. බඩේ පණුවෝ කෑ ගහන වෙලාව. ඊට පස්සේ කෑම එකත් අරගෙන අපේ කන්තෝරුවේ උඩම තට්ටුවේ තිබ්බ කෑම කාමරයට ගියා.

අපේ කෑම කාමරයට ලස්සනට නුගේගොඩ නාගරික තෙත්බිම් උද්‍යානය පේනවා.

 තෙත්බිම් උද්‍යානය කියන්නේ නුගේගොඩ නගරාසන්නයේ තිබ්බ වෙල් යායක පැත්තක් ගොඩ කරලා හදපු  ව්‍යායාම් මං තීරුවක් එක්ක තියෙන ලස්සන උද්‍යානයකට. උදේට උදේට ඇවිදීමේ ව්‍යායාම්වල යෙදෙන්නත් මේ තෙත්බිම් උද්‍යානය බොහොම ප්‍රයෝජනවත්. ඒ උදේටනේ. දවල් වෙනකොට මේ තෙත්බිම් උද්‍යානය ආදරවන්තයන්ගේ තොටුපොලක් බවට පත් වෙනවා.

අපි කට්ටිය කෑම කාලා ඉවර වෙලා ඈතින් පේන ආදරවන්තයින් දිහා බලාගෙන විහිලු කර කර උන්නා. ඔහොම විහිලු කර කර ඉන්නකොට අපේ කන්තෝරුවේ උන්නු කටකාර ගෑල්ලමේක්,

"විහිලු කරන්ඩෙපා... ඊලඟ ආත්මේ මොනරු වෙලා ඉපදෙයි ඈ.." කියලා හිනා වෙලා යන්ඩ ගියා. මේ ගෑල්ලමයා කටකාර උනාට හරි හිත හොඳයි. ඕන කෙනෙක් එක්ක හිනා වෙලා කතා කරනවා. හරිම සුහදශීලියි.

අපිත් හිතුවා මේ ගෑල්ලමයා අරම කිව්වේ විහිලුවට කියලා. ඒත් අපේ මූනු වල ප්‍රශ්නාර්තයක් තිබුනු නිසා උන්දෑම කිව්ව,

"හේතුව මොකද්ද කියලා අහන්ඩෙපා.. ඒක මට ප්‍රසිද්ධියේ කියන්ඩ බෑ..." කියලා.

අපිත් හේතුව අහන්ඩ ගියේ නෑ. අපේ එකෙක් යාන්තමට වාගේ කිව්වා උන් මහකාරිය කරන්නේ වෙනස් විදිහටයි. ඒ නිසාලු අර ගෑල්ලමයා එහෙම කිව්වේ කියලා. ඉතිං අපි කලේ සාමූහික ප්‍රයත්නයක් විදිහට මොනරා අහවල් වැඩේ කරන හැටි ගූගල් දෙයියාගෙන් අහපු එක. ගූගල් දෙයියා අපිට හේතු දුන්නා.

පලවෙනි හේතුව ආගමික හේතුවක්.

මොනරු  ප්‍රජනන කාර්යය කරන්නේ අමුතු විදිහකටලු. මොනරායි මොනරියි (සෙබඩ) එකතු වෙන්න ඕන උනහම ප්‍රේම ආලිංගනයක යෙදෙනවා. ඒ කියන්නේ මොනරා පිල් විදහා නටනවා. ඊට පස්සේ මොනරා ඇස් වලින් ධාතු පිට කරනවාලු කඳුළු විදිහට. ඒවා මොනරී බීවහම ලූ බිත්තර හට ගන්නේ. ඒ කියන්නේ උන් දෙන්නා අතර ශාරීරික එකතු වීමක් නෑ... (පවු නේද)

ඒකලූ මොනරා දෙවියන්ගේ වාහනය විදිහට සලකන්නේ. ඕක හින්දු ආගමත් එක්ක එන අදහසක්. හින්දු ආගමට අනුව ධාතු ගැන කතාවක් නෑ. මොනරාගේ කඳුළු, මොනරී බීවහමලූ බිත්තර හට ගන්නේ.


දෙවෙනි හේතුව මේකයි.

අනිත් ගොඩක්  කුරුල්ලන්ට වාගේම මොනරාටත් පිරිමි ගැජට් එකක් පිහිටන්නේ නෑ ලූ. ඒ වෙනුවට තියෙන්නේ ගුද විවරයක්ලූ.

Cloaca (ක්ලෝ-ඒ-කා) කියලා තමා ඉංග්‍රීසියෙන් කියන්නේ. සිංහල නමක් හම්බ උනේ නෑ.මුං මේ විවරය බිත්තර දාන්ඩ, මලපහ කරන්ඩ, ලිංගික එකතු වීමට පාවිච්චි කරනවාලු.

ඉතිං මොනරුත් ලිංගිකව එකතු වෙන අවස්ථාවලදි කරන්නේ දෙන්නගේම මේ විවර දෙක ලං කරලා ගාවන එකලූ. ඒකට කියන්නේ ක්ලෝඒකල් කිස් (Cloacal Kiss) එකක් කියලා. ලං කරලා ගෑව්වට පස්සේ මොනරා තමන්ගේ ධාතු ටික මොනරිගේ විවරයට නිකුත් කරනවාලු.

ඔහොමලූ මොනරියි මොනරයි එකතු වෙන්නේ.

ඒත්....ප්‍රශ්නේ තාමත් ඉතුරුයි.
ඒ කෙලී මොන අදහස හිතේ තියාගෙන ඒක කිව්වද කියල දන්නේ නෑ. මොක උනත් කමන්නෑ අපිට අදාලත්වයක් නෑ නෙහ්.

එහෙනම් ඉතිං මං ගියාවේ.. සුබ සැන්දෑවක් හැමෝටම !

18 January 2014

අඟුරුකාරමුල්ල පන්සලේ චිත්‍ර

මතකනේ මම කලින් දවසක මීගමුවේ අඟුරුකාරමුල්ල පන්සල බලන්ඩ ගියා කියලා. ඒ පන්සලේ ලස්සන ලස්සන චිත්‍ර ටිකක් තිබුනා. චිත්‍ර වලට අමතරව පිළිමත් ගොඩක් තිබ්බ පන්සලක්. අද නිවාඩු දවසේ කතාවක් නොලියා ඒ පින්තූර ටික දාන්ඩ ඕන කියලා හිතුනා.

එහෙනං චිත්‍ර ටික බලලා ඉම්මු.

චිත්‍ර බලන්ඩ නම් විහාර ගෙට යන්ඩ ඕන. ඒකට යන්ඩ තියෙන්නේ සිංහ කටක් ඇතුලෙන්.ඔය පල්ලෙහා පින්තූරේ තියෙන්නේ සිංහ කට.

                                                                                       පිළිම ගෙයි ඉදිරිපස දර්ශනය

සිංහ කට ඇතුලෙන් විහාරගෙට ගියහම ඉස්ස ඉස්සෙල්ලහම දකින්න තියෙන්නේ මෙන්න මේ පිළිම ටික.මේ පිළිම වලින් කතාවක් කියැවෙනවා. ඒ රේවතී ප්‍රේත වස්තුව !

                                                                                              රේවතී ප්‍රේත වස්තුව

කතාව කෙටියෙන් මෙහෙමයි.

මේ ඉන්නේ රේවතී කියල ඉස්සර බරණැස් නුවර හිටපු ගෑනු කෙනෙක්. මෙයා බැඳලා හිටයේ නන්දික කියල උපාසක කෙනෙකුට. ඒ උපාසකය ගොඩක් පිනට ලැදි, දාන මාන ගොඩක් දුන්න එක්කෙනෙක්. ඒ උනාට එයාගේ භාර්යාව ඒ වැඩේට කැමති උනේ නැහැ. එයා දැක්කේ ඒක මහා නාස්තියක් විදිහට. ඉතින් එයා ඒක හින්ද භික්ෂුන් වහන්සේලාට පරිබ්‍රව කරා, මේ ශ්‍රමනයන් නිසා මට සැප විඳින්න තියන ධනය නාස්ති වෙනවා කියල. 
නන්දික උපාසකය මිය ගියාට පස්සේ, මේ රේවතී කියන ගෑනු කෙනාට නන්දික උපාසකයාගේ සේරම ධනය උරුම උනා. ඒ උනත් නන්දික උපාසකයා නොකඩවා කරගෙන ආපු දාන මාන කිසිදෙයක් මෙයා ඒ ධනයෙන් කරේ නැහැ. එවෙනුවට එයා භික්ෂුන් වහන්සේලාට පරිබ්‍රව කරමින් කාලෙ ගෙව්වා. ඒ කරපු පව් වලට පන පිටින්ම සංසවක නම් අපායට ඇදගෙන යන එක ඔය නිරූපනය කරන්නේ.

ඒ අපායට ඇදගෙන යන ගමනෙදි දකිනවා ලස්සන දිව්‍ය විමානයක්. රේවතී අහනවා ඒ මොකක්ද කියලා. යමපල්ලෝ කියනවා නන්දක දිව්‍ය පුත්‍රයාගේ විමානය කියලා. එතකොට රේවතී කියනවා ඒ මගේ හිටපු ස්වාමියා, ඒ නිසා ඒ විමානයට මටත් යන්නෝන කියලා. ඒ වුණාට යමපල්ලෝ කියනවා ඒ බැඳීම් දැන් වැඩක් නැහැ, කල කර්ම වලට විපාක විඳින්න ඕන කියලා සංසවක  කියන නිරයට ඇදගෙන යනවා..
 
ඔය කතාව කියලා දුන්න රුචිර අයියාටයි ලහිරුටයි පින් !

ඊට පස්සේ ඇතුල් වෙන්ඩ තියෙන්නේ බුදු ගෙට. එතන සත් සතිය එහෙමත් තිබුනා.

                                                                                                සත් සතිය

ඒ ටිකත් බලාගෙන ඊලඟට ඇතුලු වෙච්ච කුටියේ තිබ්බේ ධර්මය අහන්ඩ දෙවිවරු වඩින දර්ශනයක්. ඒක චිත්‍රයක් නෙමේ. පිළිම ගොඩක් තිබ්බේ.
                                                                            ධර්මය ශ්‍රවණය කිරීමට වැඩිය දෙවිවරු

ඒත් එක්කම තිබ්බා රාහුල පොඩි කුමාරයාට දායාදය දෙන්ඩ ගන ගමන ඇතුලත් පිලිම ටිකක්.

                                                                          රාහුල කුමාරයාට දායාදය දීමට රැගෙන යාම

ඊට පස්සේ තිබ්බ කුටියේ තිබ්බේ සම්බුද්ධ පරිනිර්වාණය.. බුදු හාමුදුරුවන්ගේ දෙපා කිට්ටුව ඇන තියාගෙන ඉන්න හාමුදුරුවෝ ඇත්ත කෙනෙක් කියලයි මං මුලින්ම හිතුවේ. ලඟට ගියාමයි දැක්කේ ඒ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක් කියලා.
                                                                                       සම්බුද්ධ පරිනිර්වාණය

මේ තියෙන්නේ ඒ කුටියේ වහලේ ඇඳලා තිබ්බ චිත්‍රයෙන් කොටසක්.

                                                                                            වහලේ තිබ්බ චිත්‍රයක්

සම්බුද්ධ පරිණිර්වාණය බැලුවට පස්සේ ඒ කුටියෙන් එලියට ආවා. ඊට පස්සේ දැක්ක සිත්තර ටික තමා පහලින් තියෙන්නේ.

පහලින් තියෙන චිත්‍රේ මොකද්ද කියලා නං දන්නේ නෑ.. ආලවක දමනයද මන්දා.. :O



පල්ලෙහා පින්තූරේ තියෙන්නේ සිළුමිණි සෑය. ඒක තව්තිසා දිව්‍යලෝකයේ තියෙන සෑයක් කියලා දන්නවත් ඇති නෙහ්.. අර සිංදුවකත් තියෙන්නේ "සිළුමිණි සෑය වඳිමු රම්‍ය තව්තිසා භවනේ..." කියලා.


                                                    සිළුමිණි සෑය

සිදුහත් උපත තමයි පහල චිත්‍රයෙන් නිරූපණය වෙන්නේ.

                                                                                                    සිදුහත් උපත
පල්ලෙහා සිත්තරෙන් කියවෙන්නේ සිදුහත් කුමාරයා ගිහිගෙය හැර යාම. ඔය බෝඩ් එකත් ගහලා තියෙන්නේ.
                                                                                              ගිහිගෙය හැර යාම
පහල සිත්තරෙන් කියවෙන්නේ සිදුහත් කුමරුගේ පැවදි වීම. ඔය පැත්තකින් ඉන්නේ කණ්ඨක අස්සයා එහෙම..
                                                                                      සිදුහත් කුමරුගේ පැවදි වීම
මහින්දාගමය නිරූපණය වෙන පිළිම ටික තමා පහලින් තියෙන්නේ.

                                                      මහින්දාගමය

තව ච්ත්‍ර ටිකක් තියෙනවා. අයියෝ රුපියල් පහ කියලා හිතෙන නිසා පෝස්ට් එකට දාන්නේ නෑ. එහෙනම් චිත්‍ර බලලා මේ සති අන්තයේ සිත පහන් කරගන්ඩ !

-----------------------------------------------------
ප.ලි. - මම මගේ අත්සන ෆොටෝෂොප් වලින් ඇඳගත්තා. දැං දිගට හරහට ෆොටෝ වලට මගේ අත්සන දැම්මෑකි.. හික්ස් :) 

16 January 2014

ගුරුතුමාගේ තෑග්ග

එදා ඉස්කෝලේ ගුරු දිනය සමරපු දවසක්.ගුරු උපහාර වැඩසටහන ඉවරවෙලා ළමයි ඔක්කොම පංති වලට ගියා. මේ කතාවේ කතා නායකයා වෙච්ච ගුරුවරයත් එයාට භාරව තිබ්බ පංති කාමරයට ගියා. අපි ඒ ගුරුවරයට ජනක කියලා කියමු. ජනක කියලා කියන්නේ සංචාර වලට ගොඩක්ම කැමති ගුරුවරයෙක්. මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න වටින තැන් ගැන කියලා දුන්නෙත් මේ ගුරුවරයාම තමයි.

සර් පංතියට ආවට පස්සේ,

"සර්!!!! අපි ගුරු දිනය හන්දා සර්ට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා. මේ තියෙන්නේ ඒ තෑග්ග !!!" පංතියේ නායකයා ඉස්සරහට ඇවිත් කිව්වා.

"මම් තෑගි නම් බලාපොරොත්තු උනේ නෑ.කමක් නෑ. ආසාවෙන් දෙන දේ නේ !!!!" සර්රුත් තෑග්ග දිහා කෑදර බැල්මක් දාලා තෑග්ග පිලිගත්තා. කට්ටියම තෑග්ග දීලා සර්ට වැඳලා තම තමන්ගේ තැන් වලින් වාඩි උනා. පීරියඩ් එකත් එහෙම්මම ඉවර උනා.

අර තෑග්ගත් අරගෙන සර් ගුරු විවේකාගාරය පැත්තට ගියා.

"හා....නේ !!!!! ජනකට තෑග්ගකුත් ලැබිලා තියෙන්නේ" සර්ව දැකපු ගණිතය මිස් එහෙම කිව්වා.

"එහෙම තමයි මම උගන්වන ළමයි !!!! අපට සලකනවනේ" සර්රුත් කට කනේ තියාගෙන කිව්වා.කොහොමහරි මේ තෑග්ග ගුරු විවේකාගාරයේ මේසය උඩින් එහෙම තියලා. කට්ටියට පේන්නත් එක්කම තෑග්ග ලිහන්නයි කල්පනාව. විවේක කාලය හන්දා ගුරු විවේකාගාරය, ගුරුවරුන්ගෙන් පිරිලා තිබ්බා.

ජනක සර් තෑග්ග විවෘත කළා.

"චී....යා ජනක !!!!! මේක ලන්කට් එකක් නේ. ඒ මදිවට මේකේ හිල් ගොඩකුත් තියෙනවා !!!!!"

ටීචර් කෙනෙක් එහෙම කියාගෙන ගුරු විවේකාගාරයෙන් එලියට ආවා. ඉතුරු කට්ටිය තෑග්ග තිබ්බ පෙට්ටියට එබුනා. ජනක සර්ට කෙන්ති ගිහින් මූනත්තෙක්ක රතු උනා.
(තෑග්ගේ තිබ්බේ ඔය කියපු හිල් හිල් ජොකෙකුයි බාගෙට ඉවර වෙච්ච සෙන්ට් කුප්පියකුයි.)

ජනක සර්රුත් ගුරු විවේකාගාරයෙන් එලියට ඇවිත් අර පංතියේ හිටපු ඔක්කොම අව්වේ දන ගස්සවලා තිබ්බා. ඊට පස්සේ මේ සිද්ධිය ප්‍රින්සිපල් සර්ට ආරංචි වෙලා කොනක ඉදන් මේ වැඩේ කරපු එවුන්ව හෙව්වා.

අන්තිමේදි ඒ වැඩේට අහු වෙච්ච කට්ටියට මාසයක් විතර පංති තහනම් කලා. සිද්ධියෙන් පස්සේ ජනක සර්රුත් සතියක ලෙඩ නිවාඩුවක් අනුමත කරගෙන තිබුනා.

උගන්වන ගුරුවරුන්ට මෙහෙම දේවල් කරන එක නං අනුමත කරන්න බෑ. ඒ කාලේ සර් කරපු කියපු දේවල් හන්දා සර්ට අකමැති වෙලා හිටපු පිරිස කරපු වැඩක් කියලයි පස්සේ ආරංචි උනේ.

මේ සිද්දිය වෙනකොට මම හිටියේ නමයේ පංතියේ. මම නං මේ සිද්ධියට ඉඳිකටු තුඩකින්වත් සම්බන්ධ නෑ.

------------------------------------------------------
ප.ලි. - ගොඩ කාලෙකට කලින් බාගයක් ලියලා තිබ්බ පෝස්ට් එකක් අද තමයි සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කලේ.

15 January 2014

ඇයි ද කලූ පින් නොකලේ !

අද දවසම වාගේ කලේ අම්මා ගෙදර වැඩ කරනකන් කලිසම් වගයක් මහපු එක.ඊයේ නම් මම දඹාදෙණිය ටවුමේ කරක් ගැහුවා. අද ගෙදර...!

සාක්කු අල්ලලා තිබ්බ හන්දා වැඩේ ලේසියි.කලිසං විසි ගානක් පෑ හතරකින් විතර මහ ගත්තට පස්සේ යන්තං විවේකයක් ලැබුනා. ඒ විවේකයේදි කලේ කලින් ගෙනත් තිබුනු පොතක් කියවපු එක. ඒ පොතේ තිබුනු එක කතාවක් කියෙව්වට පස්සේ අපේ අම්මා අපි පොඩි දවස්වල කියලා දීපු කතාවක අග මුල ගැට ගහ ගන්ඩ පුලුවං උනා.

කතාව කෙටියෙන් කියනවා නං මේකයි !

දඹදෙණි රාජධානි කාළයේදී එක තරුණයෙක් දඹදෙණියයි කුරුණෑගලයි අතර ගමන් කරනවාලූ. ගමන් මහන්සියට මේ තරුණයා අම්බලමක නැවතුනාලූ. අම්බලමේ නැවතුනාට පස්සේ තවත් කට්ටියක් අම්බලමට ආවා ලු මේ ආපු කට්ටිය කතා වෙනවලු විජයබාහු රජතුමා මියෑදුනා ය. ඊට පස්සේ එයාගේ මරක්කල බිසවගේ කුමාරයාට රජකම ලැබුනා ය. නමුත් රජකම හම්බ වෙන්ඩ තිබුනේ අග බිසවගේ පුතාට ය. වත්හිමි කුමාරයා ඇමති මණ්ඩලය රවට්ටලා රජකම ලබා ගත්තා ය කියලා.

මේ කතාව අහපු තරුණයා බය උනාලු.මේ තරුණයා වෙන කවුරුවක්කත් නෙමේ ලූ අගබිසවගේ පුත් කුමාරයාලු. මොකද මේ දෙන්නා කතා වෙච්ච විදිහට තමන්ගේ ජීවිතයටත් තර්ජනයක් එල්ල වේගෙන නේ එන්නේ. !

ඊට පස්සේ කුමාරයා යන ගමන නවත්තලා ඒ පැත්තේ තිබුනු ගෙයකට ගොඩ උනා. ඒ බඩගින්නට මොනවාහරි හොයාගන්ඩ. මේ ගෙදර ගෑල්ලමයි දෙන්නෙක් ඉන්නවාලූ කළු එතනායි සිරිමල් එතනායි කියලා. ලොකු කෙලී කළු එතනාලූ. පොඩ්ඩි සිරිමල් එතනා ලූ. කළු එතනා මේ කොල්ලව දැක්කට පස්සේ හිඟන මල හෝන්තුවක් කියලා ගස්සගෙන යන්ඩ ගියා ලූ.

ඒත් සිරිමල් එතනාට දුක හිතිලා කන්ඩ කෑම ටිකක් ගෙනත් දුන්නා ලූ. මේ ගෙදර ගමරාල මේ තරුණයව දැකලා තමන්ගේ කුඹුරු වැඩවලට  උදව්වට ගෙදර නවත්ත ගත්තාලු. කොල්ලාත් හරි දස්සයා ලූ. කුඹුරු වැඩ හොඳින් කරගෙන උන්නා ලූ. මේ කොල්ලා නිසා ගමරාලගේ අත මිටත් සරු උනාලූ.

අන්තිමේදි ගමරාල තීරණය කලා ලූ මේ තරුණයාව තමන්ගේ දුවෙකුට විවහා කරලා දෙන්ඩ. අක්කා ගෙදර ඉන්නැද්දි නංගිව දෙන සිරිතක් නැති හන්දා කළු එතනාව ගෙන්නලා ඇහුවලූ මේ කොලුවට කැමති ද කියලා. උන්දෑ ගත් කටටම කීවේ මම කොහොමද අපේ ගෙදර හිටපු වැඩකාරයාව කසාද බඳින්නේ කියලා.

සිරිමල් එතනගෙන් මේ ගැන ඇහුවට පස්සේ ඒකි කැමති උනාලූ මේ තරුණයාව කසාද බඳින්ඩ. මේ තරුණයා සිරිමල් එතනව කසාද බැන්දට පස්සේ වී අමුණකුත් හම්බ උනාලු වගා කරගෙන ජීවත් වෙන්ඩ.

දවසක් මේ තරුණයා කුඹුරේ වැඩ කරලා දවල් බත කෑවට පස්සේ සිරිමල් එතනාගේ උකුලෙන් ඔලුව තියාගෙන උන්නාලූ. ඔහොම ඉන්නකොට නින්ද ගියා ලූ. නිදාගෙන ඉන්නකොට හීනයක් දැක්කා ලු.මේ තරුණයාගේ බඩවැල් බොකු කටින් එනවාලු හීනෙට දැක්කේ.

සිරිමල් එතනත් විහිලුවට වාගේ කිව්වා ලූ. එහෙනං ඔයාට රජකම හම්බෙන්ඩයි යන්නේ කියලා.

එතකොටම වාගේ රජතුමාගේ මඟුල් ඇතා පිරිවරත්තෙක්ක පාරේ යනවා දැක්කා ලූ.මේ තරුණයාත් දුවලා ගියාලු ඒ මගට. එතකොට මඟුල් ඇතා අසල තිබ්බ ගලකට හොඬවැලෙන් ඇනලා කුමාරයා ඉදිරියේ දන නැමුවාලු.

අන්තිමේදි රාජ පුරුෂයෝ කුමාරයාව අඳුනගෙන නාවලා පිරිසිඳු කරලා රාජකීය ඇඳුම් අන්දවලා සිරිමල් එතනාවත්  රාජකීය ඇඳුමින් සරසවලා රාජ මාලිගාවට එක්ක යන්න සූදානම් උනාලු. මේ දෙගොල්ලෝ යන්ඩ කලින් සිරිමල් එතනාගේ මහ ගෙදරට ගොඩ උනාලු සිරිමල් එතනාගේ තාත්තව මුන ගැහෙන්ඩ.

එතකොටම වාගේ කළු එතනාව දැක්කා ලූ මේ කුමාරයා. කුමාරයා ගත් කටටම වාගේ,

"ඇයි ද කලූ පින් නොකළේ !!" කියලා කිව්වා ලූ.

කළු එතනාට "පින් නොකලේ" කියලා කියපු ගම පස්සේ කාලේක පින්න පොලේ උනාලු. පස්සේ පින්නපොල උනා කියලා තමා කතාව.

මම ඔය කතාව කියෙව්වට පස්සේ අපේ අම්මගෙන් ඇහුවා අම්මා ඒ දවස්වල මෙහෙම කතාවක් කියලා දුන්නා නේද කියලා. :)

දැන් මේ කතාව කියෙව්වට පස්සේ ඕගොල්ලෝ දැන ගන්ඩ ආස ඇති මම කියෙව්ව පොත මොකද්ද කියලා. මේ පොත තමා ඩී.පී. වික්‍රමසිංහ මහත්තයා ලියපු "මගදිගට ජනකතා" පොතේ දෙවැනි කොටස. පළවෙනි කොටස කියවලා මම කුණ්ඩසාලේ ගැන ලිපියක් ලිව්වා මතකනේ.

මේ පොතේ මේ ජාතියේ කතා 26ක් තියෙනවා. පොතේ තියෙන අනිත් කතා ටික මම ලියන්ඩ යන්නේ නැති හන්දා පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්ඩ.

මේ පොත සූරිය ප්‍රකාශනයක්. මිල රු. 200/= ක් වෙන්නේ.


14 January 2014

ඕලන්ද බලකොටුව සොයා ගිය ගමන

කාළයක් තිස්සේ ආසාවක් තිබ්බා මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සල බලන්ඩ යන්ඩ. ඔය ආසාව මුලින්ම ඇති උනේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මට ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්ඩ වටින තැන් ටික විස්තර කරපු දවසේ. එදා ඒ ආසාව ඇති උනාට යන්ඩ අවස්ථාවක් ලැබුනේ නෑ.

ගිය සතියේ තමා ඒ අවස්ථාව උදා උනේ !

අපේ කන්තෝරුවේ මලයෙක් එක්ක තමයි ගමනට සෙට් උනේ. අපේ එකාට මේ ටිකේ විභාග නෙහ්. මගේ ගමන් සගයා වෙච්ච මේ මලයා බස් එකට නැගලා,

"අයියේ, මම සීටීබි බස් එකකට නැග්ගේ. ඔයා වත්තලිං එල්ලෙන්ඩ. බස් එකේ අංකය NA 3061 !" කියලා කෝල් එකක් දුන්නා.මාත් වත්තල බස් නැවතුමට වෙලා බලාගෙන උන්නා ඔය කියන බස් එකේ එල්ලෙන්ඩ. ඊට ටික වෙලාවකට පස්සේ බස් එක ආවා. අපි දෙන්නා පැයකට විතර පස්සේ මීගමුවේ ඉස්පිරිතාලේ නැවතුමෙන් බැහැගත්තා.

බැහැපු හැටියෙම බඩගිනියි !

පන්සල ගාවටම ගිහින් ඒ ලඟ තිබ්බ කඩේකින් උදේ කෑම ගත්තා. කට්ටම කට්ට චූටි නංගි කෙනෙක් උන්නු කඩයක් ඒක. කෑම වල බිල ගෙවලා ඊට පස්සේ පන්සල පැත්තට ආවා.

ඔය පහලින් තියෙන්නේ පන්සලේ නාම පුවරුව !

                                                                                                 පන්සලේ නාම පුවරුව

අඟුරුකාරමුල්ල පන්සල කියලා කිව්වට ඔය පන්සලේ හරිම නම "බෝධිරාජාරාම මහා විහාරය" !

                                                                                   පන්සලේ ඉදිරිපස දර්ශනයක්

                                                                                        හිඳි බුදු පිළිම වහන්සේ

                                                                                          බුදු ගෙයි ඇතුලත දර්ශනයක්

                                                                                 චෛත්‍යය වටා ඉදිකර ඇති වටදාගෙය

                                                                              වටදාගෙයි ඇතුලත ඇති චෛත්‍යය රාජයා

මේ පන්සලේ ලස්සන චිත්‍ර ගොඩක් තියෙනවා. චිත්‍ර වගේම පිළිමත් ගොඩක් තිබුනා. ඒවා වල ෆොටෝ පස්සේ දාන්නම්.

පන්සල බලාගෙන ඊලඟට අපි මීගමු-පුත්තලම් පාරට ඇවිත් මීගමු බස් නැවතුම්පොලට යන බස් එකක එල්ලුනා. බස් නැවතුම්පොලෙන් බැහැලා කලපුව පැත්තට පයින් ගියා. ඒ වෙනකොට උදේ මාළු අල්ලන්ඩ ගියපු බෝට්ටු සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තිබුනා.අපි කලපුවේ ටික වෙලාවක් ගත කරලා යන්ඩ අමතක කලේ නෑ.

                                                                                   කලපුවෙන් පිටත්වන බෝට්ටු

                                                                                          කලපුවේ දර්ශනයක්

කළපුවේ ටික වේලාවක් ගත කරපු අපි ඊළඟට ගියේ මීගමුවේ ඕලන්ද බලකොටුව පැත්තට. පහලින් තියෙන්නේ ඕලන්ද බලකොටුවේ රූපයක්. ඒක දැන් මීගමුව බන්ධනාගාරය විදිහට පාවිච්චි කරනවා. ඒ නිසා ඇතුලට යන්ඩ අවසර නෑ. !

                                                                                            ඕලන්ද බලකොටුව

ඕලන්ද බලකොටුව ගාව ලස්සන පල්ලියකුත් තියෙනවා. ඒක පිටරටවල් වල තියෙන පල්ලි වල හැඩේට හදලා තියෙන පල්ලියක් !

                                                                              ඕලන්ද බලකොටුව ලඟ තිබුනු පල්ලිය

පල්ලියත් බලාගෙන අපි ඊළඟට ගියේ පොළ පැත්තට.එතන ටික වෙලාවක් ඉදලා අපි මූදට ගියා.  මූද කිට්ටුව කරෝල වාඩියකුත් තිබ්බා. ඒ අව්ව නං කරෝල වේලන්ඩම හොඳා.. මහ කට්ට අව්වක් !

                                                                           කවුද ඩෝ ෆොටෝ ගහන්නේ !

මේ සේරම බලාගෙන අපි ඊළඟට ගියේ මූදේ නාන්ඩ. කලපුව පන්නලා මූදේ නෑවා ඇස් රතු වෙනකන්ම. නලා ඉවර වෙලා ගොඩට ඇවිත් ටික වෙලාවක් යනකොට ඇඟේ ලුනුත් මිදිලා. මූදේ නාපු අපි ඊළඟට කඩයක් අල්ලගෙන දවාලට බත් කෑවා. බත් කාලා ටික වෙලාවකින් ගෙවල් බලා පිටත් උනා. !

මගේ ගමන් සගයා එහෙම්ම ගෙදර ගියා. මම පුරුදු විදිහට මීගමුවෙන් කොළඹ එන කෝච්චියට ආවා. කෝච්චියෙන් එඩේරමුල්ල ස්ටේෂමෙන් බැහැ ගත්තා.

                                                                                      අපේ ගමේ ස්ටේශම

එඩේරමුල්ල තමා මගේ ගමනේ අවසානය ! ඔහොම තමා එදා සති අන්තය ගෙවුනේ.