17 October 2018

අසනීප වූ සති අන්තය

පසුගිය සති අන්තයේ අපේ ගම් පලාතට කඩින් කඩ වැසි ඇද හැළුණි. විටෙක මල් වැහි සීතල මල් වැසිද තවත් විටෙක නා කපනා වැහි වැටෙන වෙලාවල් ද නැතුවාම නොවේ. මොන වැස්ස තිබුණත් අපේ උන්දෑට පශ්චාත් උපාධි දේශන වලට යාමට ඇත්තේ වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ පුදුමාකාර උනන්දුවකි. නමුත් මේ උනන්දුව මට හෙන හිසරදයකි. කොටින්ම සති අන්තයේ දවස් දෙකම උදේට ගෙදර ඉදන් ස්ටේශමටත්, හවසට ඉස්ටේශමේ ඉදන් ගෙදරටත් මා ඈව ගෙනත් ඇරලිය යුතු ය.

පායනා කාළෙදී නම් විජය කුමාරතුංගයන් මාලනීයව මෝටර් බසියිකලයේ නංවාගෙන යන උජාරු ගමනට නොදෙවෙනි සිංහ සෙයියාවකින් මා ඈව ඉස්ටේශමට ගෙනත් ඇරලවයි. නමුත් පසුගිය සති අන්තයේ තිබූ කඩින් කඩ වැසි නිසා මේ උදාරතර කර්තව්‍යය දියාරූ කර හැරීමට මා මාන බැලිමි. එහෙත් බසයක නැග පානදුරෙන් බැසීමට ඈ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ නිසාවෙන් කඩින් කඩ ඇද හැලෙන වර්ශාපතනයේ  යම්කිසි විරාමයකදි මා බයිසිකලය ස්ටාර්ට් කල යුතුය. ඒ ස්ටාර්ට් කල ක්ෂණයේ සිට තත්පරයෙන් දහයෙන් පංගුවකදී ඈ බයිසිකළයට ගොඩවේ. එතැන් සිට මා වලවල් බේරමින්, අඩු වේගයකින්, ආරක්ෂාකාරීව අවම කාලයකදී පානදුරට ගෙනත් ඇරලවිය යුතු ය. වැසි දිනක මේ යන ගමන මට කොයිතරම් හිසරදයක් වූවත් ඈ මේ ගමනට බොහෝ සෙයින්  ඇළුම් කරයි. බ්‍රිතාන්‍ය මහ රැජිණ ලංකාවේ වීදී සංචාරය කරන්නාක් මෙන් ඈ උජාරුවෙන් ගම්මු දෙස යටැසින් බලමින් ගමන රසවිඳින්නී ය. මා දුක් විඳින්නේය.

අසුරු සැනින් එක මොහොතකදී විරාමගතව තිබූ වර්ශාපතනය  යළි ඇරඹුනහොත් මා අසල කඩ පිලක බයිසිකලය නතර කළ යුතුය. පෙනෙන තෙක් මානයක කඩ පිලක් නැති තැනක් වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේ නම් මා චිත්ත ශක්තියෙන් කඩපිලක් මැවිය යුතු ය. අපේ උන්දෑගේ ටකරමට බොරළු ගසන අඬෝවැඩියාව අසා සිටිනවාට වඩා කඩයක් මවන එක ලේසි පහසු වැඩක් යැයි මට කිහිප වාරයක් සිතී තිබුණි.

 සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ වර්ෂාපතනයකට හසු වුවහොත් උන වෛරසයක් ඇද ගැනීමේ අපූරු ආකර්ශන හැකියාවක් අපේ උන්දෑ සතු වේ. ළඟ පාතක උන වෛරසයක් තිබුනේම නැත්නම් කැස්සක් හෝ හෙම්බිරිස්සවක් හෝ සාදා ගත යුතුම ය. වාසනාවකට මෙන් ඈට වෛරසයක් හමු වූ නිසා උන හදාගත්තා ය. මට ද බෝ කළේ ය. අපි දෙදෙනාම අපේ උන්දෑගේ මහ ගෙදර ගියෙමු.

මා ලෙඩ ඇඳට වැටුනි. ඈ ඒ ඇඳේම අනිත් පැත්තට වැටුනි !

හිසරදය, කැරකිල්ල, උන, හෙම්බිරිස්සාව, කැස්ස, ඇඟපත රුදාව මා වෙලා ගත්තෝය. මෙතැන් සිට මා ආදරණීය නැන්දම්මාගේ පුද සත්කාර වලට නතු වීමට සිදුවි ය. නැන්දම්මා ඈත වනයට ගොස් පළවැල නෙලා ගෙනවිත් මා ඇඳ අසල තබා, කන්න.. කන්න.. කාපන් යැයි පෙරැත්ත කරන්නී ය. කටේ තිත්ත ගතියට ඔය මොකවත් කන්නට බැරි බව මා කොතෙක් පැවසුවත් ඈ ඊට කන් නොදේ. හූ යන්නෙන්ම පද දෙකක් උගුරේ තිබූ සෙම තලියක පටලැවුන නිසාම මා ඇද අසල බාල්දියට සෙම පිඩක් හෙලීය. එම පද දෙක වචන ලෙස එලියට නො ආවේ මා පූර්ව ආත්මයක කළ පිනකට බව මට සිතුණි. කන්න බැරි නම් දිව්‍ය භෝජන උනත් වළදන්නේ කොහොමද දෙයියනේ  !

නැන්දම්මා කාමරෙන් පිට වුනාය.

නැන්දම්මාගේ කරදරය එතනින් නිමා වූයේ නැත. ඈ තොල් ඇලවෙන තරමේ නෙස්ටොමෝල්ට් කෝප්ප දෙකක් අප දෙදෙනාට පිළිගැන්නුවෝය. මා අල්ප-සීනි භක්ෂකයෙක් බව කොතෙකුත් පවසා ඇතත් තේ හදන වෙලාවට මා කෙරෙහි ඈගේ මාතෘක ස්නේහය දෝරේ ගලයි. ඒ නිසාම ඈ ඒ පරම පවිත්‍ර නිමල නිර්මල සුරම්‍ය සුනිමල මධුර මනෝහර (වචන ඉවරයි.) දාරක ස්නේහය සීනි වලට හරවා කිරි වීදුරුවේ දියකර හරියි.

ඈ නැවතත් කාමරෙන් පිටවූ සැනින් මා නින්දට වැටුනි.නින්ද යන්නේ ද නැත. නැගිට ගන්නටද අමාරු ය. මොන කරුමයක්ද මන්දා !

ඉන්පසු ඈ කඩිමුඩියේ දවල් බත පිසින බව මා ඉවෙන් මෙන් තේරුම් ගතිමි. නැන්දම්මගේ කෑම නම් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම අපූරු ය. ඕනෑම කෑමක පෝෂ්‍ය ගුණය නොමරා රස මරන්නට ඈ උපන් හපන්කම් දක්වන්නියකි. අප පංචේන්ද්‍රියයන් පිනවමින් මේ මනුස්ස ලෝකයේ දුක් විඳ විඳ ඊලඟ ආත්මයට උපාධාන සකස් කර ගන්නවාට ඈ තුල ඇති අකමැත්ත නිසාම ඈ හිතාමතාම හොදි වෑංජන වල රස මරන බව මට සිතේ.

අපේ අම්මා, අපේ තාත්තා හා දීග ආ  දිනයේ පටන් ඈ පිසින බතට ලුණු ස්වල්පයක් එක් කරයි.. මේ නිසාමට වසර විසි ගණනක් අම්මගේ බත කා තිබූ මට බතට ලුණු දැමිය යුතුමය යන උදාරතර වාක්‍යය ජාන වලටම කා වැදී තිබේ. මේ නිසාම බතට ලුණු ඇති නැති අඩුව හොඳින්ම දැනේ. ලුණු නැති අඩුව බතේ මාලු පිණි වලින් නොමැකුණ විටදී බත් කන්නේද එහෙමත් දිනක ය. කෑවත් කන්නේ ආසාවකින් නොවේ.

නැන්දම්මා උයන බතට ලුණු දමන්නේ නැත. ඒ ඈට කොලෙස්ටරෝල් යන ධනවතුන්ගේ රෝගය ඇති නිසා ය.

මට මේ හැදුන උන ඇරෙන්නට ඉහෙන් බහින රෝගයක් නම් නැත. ඒ නිසා මට කෑමට ලුණු ඕනේ ම ය.

මෙවැනි කෑම වලින් මා සප්පායම් වී මදක් හිස ඔසවා ගන්නට හැකි වූ විගසම මම ගෙදර ආවෙමි. ඇවිත් අපේ අම්මා උයන බත ද හොද්ද ද රස වින්දෙමි.

06 October 2018

මහා වැස්සේ 'අප්පච්චි ඇවිත්'

අද උදේ ඉදන් මේ වෙනකන් නොකඩවාම වහිනවා. එලියටවත් යන්න හිතෙන්නේ නැති තරම් කම්මැලිකමක් හිතෙනවා. මේ වෙලාවට ඉතින් පොතක් කියවන්න තියෙනවා නම් ආයේ ඉතින් වෙන මොනවද නෙහ්... ?

ඔන්න ඔය හන්දා මම පහුගිය මාසේ ගත්තු පොත් දෙක තුනකින් එක පොතක් තෝරගත්තා කියවන්න කියලා. පහුගිය මාසේ තිබ්බ පොත් ප්‍රදර්ශනයට නම් යන්න බැරි උනා.

යන්න බැරි උනාමත් නෙමේ. යන්න ඒ හැටි උනන්දුවක් තිබ්බේ නෑ. මොකද ගොඩක් අය කියලා තිබ්බා පොත් ප්‍රදර්ශනයේ හැම තැනම දෙන්නේ 20%ක වට්ටමක් කියලා. මේ වට්ටම ගන්න ඕනකමට පොත් ප්‍රදර්ශනයට ගිහින් වැඩක් නෑ.

මරදාන ගොඩගේ, සුරස, දයාවංශ, සූරිය, විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය වගේ පොත් කඩවල් වලට ගියා නම් ඔය වට්ටමට පොත් ගන්න තිබ්බා. මේ වට්ටම අවුරුද්ද පුරාම දෙන හන්දා ආයේ සාහිත්‍යය මාසේ වෙනකන් ඉන්න ඕනකමක් නෑ.

25 September 2018

පිදූ රං ගල පිදුරන්ගල වීය

කාලෙකට උඩදි අපි සීගිරියෙයි පිදුරංගලයි ගියා. පිදුරංගල විහාරය වැඳලා කන්ද නගින කොට මැදකදී මගේ දනිහ පැන්න. ඒ නිසා මට ගල මුදුනටම යා ගන්න බැරි උනා.

පිදුරංගලින් පහලට බැස්සෙත් අපේ දෙන්නෙක්ගේ වාරුවෙන් වත්තම් වෙවී. ඒ නිසා මට හරියාකාරව පිදුරංගල බලාගන්ඩ බැරි උනා. ආයෙම දවසක නම් අනිවාර්යෙන්ම යන එක යනවාමයි.

පිදුරංගල වැඳලා සීගිරියට එනකොට සීගිරිය ගල නගින පඩිපෙල කිට්ටුවම වගේ ඉන්නවා අමරේ මාමා කියලා මැදි වයසත් පැනපු මනුස්සයෙක්. උන්දෑ එතැනින් යනෙන අයට සීගිරිය හා අවට වැදගත්කම ගැන හරි අපූරුවට කියලා දෙනවා.

උන්දෑ ගොඩාක් ලොකු විස්තරයක් කියලා දුන්නට මට මතක හිටියේ නෑ. මට මතක තිබ්බ ටික පහලින් කොටන්නම්.

22 July 2018

තුඩුගල ඇල්ලේ සුන්දරත්වය

පොසොන් පෝය දවසට කලින් දා ඉදලා මම කල්පනා කර කර උන්නේ පොසොන් පෝය දවසේ දන්සල් වඳින්න කොහේද යන්නේ කියලා. මුලින්ම හිතුවේ වරකාගොඩ පන්සල් යනවයි කියලා. නමුත් පන්සලක් හොඳටම වැඳපුදාගෙන එන්න නම් පෝය දාක යන එක හරි නෑ කියලා හිතුනා. පෝය දාට පන්සලේ සීල් ගන්න එන දායකයන්ගෙන් පිරිලා යන නිසා මම පෝය දවස්වල පන්සල් යන්න කැමති නෑ.

ඒ නිසා මම වෙන කොහේ හරි යන්ඩ ඕන කියලා හිත හිතා උන්නා.  සතියේ මැද නිවාඩු දවසක් නිසා වැඩිය දුර නැති තැනක් ගැන කල්පනා කරනකොට තමයි තුඩුගල ඇල්ල බලන්න යන්න ඕන කියලා හිතුනේ.

මේ ගමනට මම විතරක් නෙමේ මගේ යාළුවෙකුයි එයා යාලුවෙලා ඉන්න ගෑල්ලමයයි සැට් උනා. අපි මේ ගමන ගියේ බයිසිකල් වල. ඒ දෙන්නා උදේ 8:30 වෙනකොට බණ්ඩාරගමට එනවයි කියලා කියපු නිසා මම උදේ ලැහැස්ති වෙලා උන්නා. උදේ නමය වෙනකොටවත් මුන් දෙන්නා ආවේ නෑ. මම කෝල් එකක් දීලා බලනකොට මුන් තාම කොළඹින් පිටත් වෙලාවත් නෑ.

මුන් දෙන්නා බණ්ඩාරගම කිට්ටුවට එනකොට උදේ 11:30ත් පහුවෙලා. මට බලන් ඉදලා ඉදලා ඇති උනා. ඇයි වදේ මුන් එනවයි කියන වෙලාවට නෙමේ නෙහ් එන්නේ.

21 July 2018

හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -4 කොටස (අවසාන කොටස)

යකාගේ පඩි පෙළ සංචාරය කරන එක මගේ හීනයක් වෙලා තිබ්බ සංචාරයක් කියලා මම කලින් ලිපියකින් කිව්ව මතක ඇතිනේ. ඒ හීනය අවුරුදු හතරකට පස්සේ ඉශ්ට වෙලා අපි ඔහියේ ඉදලා කළුපහනට පයින්ම ආවයි කියල කට්ටියම දන්නවනේ. අන්න ඒ ටික කියවන්න ලැබුණේ නැත්නම් මේ ලිපි තුන කියවලා එන්න.

පළමු ලිපිය | දෙවෙනි ලිපිය | තුන්වෙනි ලිපිය

අපි ලංකා ඇල්ල බලලා අඩිපාර දිගේම ඉදිරියට ආවා. ඒ අඩිපාර හැදිලා තිබ්බේ පයිනස් වනාන්තරයක් හරහා. සෑහෙන ප්‍රපාතාකාර බෑවුමක් හරහා වැටිලා තිබ්බ පයිනස් වනාන්තරයක්.

බෑවුම නිසාම අපි ඉතාම පරිස්සමින් තමා මේ අඩිපාරේ ගමන් කලේ. පොඩ්ඩක් හරි මිස් උනොත් සහෙන පල්ලෙහාකට වැටෙනවා. අනික පයිනස් කොළ උඩින් අඩිය තියන එක අපි හිතන තරම් සුන්දර නෑ. පයිනස් කොළ සෑහෙන්න ලිස්සනවා.