21 July 2018

හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -4 කොටස (අවසාන කොටස)

යකාගේ පඩි පෙළ සංචාරය කරන එක මගේ හීනයක් වෙලා තිබ්බ සංචාරයක් කියලා මම කලින් ලිපියකින් කිව්ව මතක ඇතිනේ. ඒ හීනය අවුරුදු හතරකට පස්සේ ඉශ්ට වෙලා අපි ඔහියේ ඉදලා කළුපහනට පයින්ම ආවයි කියල කට්ටියම දන්නවනේ. අන්න ඒ ටික කියවන්න ලැබුණේ නැත්නම් මේ ලිපි තුන කියවලා එන්න.

පළමු ලිපිය | දෙවෙනි ලිපිය | තුන්වෙනි ලිපිය

අපි ලංකා ඇල්ල බලලා අඩිපාර දිගේම ඉදිරියට ආවා. ඒ අඩිපාර හැදිලා තිබ්බේ පයිනස් වනාන්තරයක් හරහා. සෑහෙන ප්‍රපාතාකාර බෑවුමක් හරහා වැටිලා තිබ්බ පයිනස් වනාන්තරයක්.

බෑවුම නිසාම අපි ඉතාම පරිස්සමින් තමා මේ අඩිපාරේ ගමන් කලේ. පොඩ්ඩක් හරි මිස් උනොත් සහෙන පල්ලෙහාකට වැටෙනවා. අනික පයිනස් කොළ උඩින් අඩිය තියන එක අපි හිතන තරම් සුන්දර නෑ. පයිනස් කොළ සෑහෙන්න ලිස්සනවා.


ඔය පල්ලෙහා පින්තූරෙන් පේන්නේ අපි ගමන් කරපු බෑවුම් පාර.


අපි පයිනස් කොළ එහාට මෙහාට කර කර පාර හදාගෙන ඉදිරියටම ගමන් කලා.පයිනස් වනාන්තරයේ විනාඩි විස්සක් විතර යනකොට අපිට ඈතින් බඹරකන්ද දිය ඇල්ල දිස් උනා. එතකොට අපේ ගමනේ මහන්සිය අමතක උනා. අපි ඒත් හිමින් අඩිය තියලා දිය ඇල්ල කිට්ටුවට ආවා.
අපි ගියේ පායන කාළයක නිසා දිය ඇල්ල සෑහෙන්න හිදිලා තිබ්බා. ඒ නිසා දිය ඇල්ල යටටම ගිහින් බය වෙන්නේ නැතුව නාගන්න පුලුවන් කමක් තිබ්බා. අපි ඉතින් කලින්ම නාලා ආපු නිසා ආයෙම දිය ඇල්ලෙන් නාන්න ගියේ නෑ.


දිය ඇල්ල කිට්ටුවටම යනකන් පඩි පෙළක් හදලා තියෙනවා. ඒ නිසා කරදරයක් නැතුව දිය ඇල්ල බලන්න පුලුවන්. ඒ වගේම දිය ඇල්ල ලඟම නැරඹුම් වේදිකවක් හදලා තියෙන නිසා සංචාරකයින්ට දිය ඇල්ල පසුබිම් කරගෙන පින්තූරයක් දෙකක් ගන්න පහසුකම ලැබිලා තියෙනවා.

දිය ඇල්ලේ පින්තූර දෙක තුනක් බලලා ඉම්මුකෝ එහෙනම්.





දිය ඇල්ල උසින් වැඩි හින්දම තනි පින්තූරයකට ගන්න බැරි තරම් !

දිය ඇල්ල ගාව ඉදලා මාත් පින්තූර කෑල්ලක් ගත්තා. ඒක තමා පහලින් තියෙන්නේ.


බඹරකන්ද දිය ඇල්ල නැරඹීමත් එක්කම අපේ යකාගේ පඩිපෙළ සංචාරයත් ඉවර වෙනවා. මෙතන ඉදලා බදුල්ල - කොළඹ පාරේ කළුපහන හන්දියට කිලෝමීටර් 4ක දුරක් එන්න ඕන. ඒ ටික යන එක නම් කරදරයක් නෑ.

මොකද බඹරකන්ද ඇල්ල ගාවින් කළුපහනට යන ත්‍රීවීල් එකක් හොයා ගන්න එක අමාරු නෑ.දිය ඇල්ල නරඹන්න එන සංචාරකයින්ට පරිසරයේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලන ඉල්ලීම් පුවරු කිහිපයක් දිය ඇල්ල ගාව දකින්න පුලුවන්. ඒ නිසා මම ඒ ඉල්ලීම ආයෙම ඉල්ලන්න යන්නේ නෑ.
මේ දිය ඇල්ල ගාවත් අපි පැයක් විතර හිටියා. මේ වෙනකොට පාන් කියාගන්න බැරි තරමට මහන්සියි. මොකද මේ වෙනකොට අපි කිලෝමීටර් 15ක් විතර ඇවිදලා තියෙනවා. ඊටත් වඩා කලින් දා රෑ නයිට් මේල් එකේ ආපු නිසා නිදිමතකුත් දැනෙන්න ගත්තා.

අපි පය ඉක්මන් කරලා කළුපහන හන්දියට එන්න දිය ඇල්ලට සමු දුන්නා.
අපි විනාඩි විස්සකින් විතර කළුපහන හන්දියට ආවා. කළුපහන හන්දියේ දිය ඇල්ලට එන පාර සදහන් කරලා පුවරුවක් තියෙනවා. ඒ නිසා යකාගේ පඩිපෙළ සංචාරය නොකරන කෙනෙකුට උනත් කළුපහන ඉදලා කිලෝමීටර් 4ක දුරකින් තියෙන බඹරකන්ද දිය ඇල්ල බලලා එන්න පුලුවන්.

ඕනම නං ලංකා ඇල්ලත් බලන්න පුලුවන් !

කළුපහනෙන් අපි කොළඹ බල දිවෙන නගරාන්තර සීඝ්‍රගාමි බස් රථයකට ගොඩ උන. මහන්සිය හින්දම හොදහැටි නිදාගෙන ආවා. ඇහැරෙනකොට අවිස්සාවේල්ලත් පහු වෙලා.

ඊට පස්සේ අපි ගෙවල් බලා පිටත් උනා. !!

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.