21 July 2018

හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -1 කොටස

මීට අවුරුදු හතරකට විතර උඩහදී මම ලක් දසුන් වෙබ් අඩවියේ තිබ්බ ලිපියක් දැක්කා. ඒ ලිපියේ තිබුණේ යකාගේ පඩිපෙළ කියල පාරක සංචාරය කරපු සංචාරක සටහනක් ගැන. ඒ ලිපිය කියවලා පින්තූර ටික දැක්කට පස්සේ මගේ හිතෙත් පොඩි පහේ දොළ දුකක් උපන්නා මේ පාරේ සංචාරය කරන්න. ඒක ඒ තරමටම සුන්දර පාරක්.

මම ඉතින් ඒ ආසාවට අන්තර්ජාලය පීරලා කරුණු හෙව්වා. ඒත් එක්කම ගූගල් සිතියමෙන් පාරේ දුර ප්‍රමාණයත් බැලුවා. ඒ පාර පටන් ගන්නේ ඔහියෙන්. අවසන් වෙන්නේ කළුපහන හන්දියෙන්. මුළු දුර කිලෝමීටර් 15ක් විතර වෙනවයි කියලා තමා ගූගල් සිතියමේ සදහන් උනේ.

ඒ එක්කම ගමන යන විදිහයි යන්න ඕන බස් එක මොකද්ද කෝච්චිය මොකද්ද යනාදී නානාප්‍රකාර විස්තර හොයා ගත්තා.

ඊට පස්සේ තමා කට්ටිය හොයාගන්න ගේමට බැස්සේ. ට්‍රිප් එකකට කට්ටියක් හොයාගන්න එක අපි හිතනවටත් වඩා අමාරු වැඩක්.ට්‍රිප් එකක් යමුයි කියලා කිව්වහම අපේ කට්ටියගේ ප්‍රතිචාර කොටස් තුනකට වර්ග කරන්න පුලුවන්. පළවෙනි සෙට් එක ගත් කටටම හා කියනවා. හා කියලා ගමන යන්න අනිවාර්යයෙන්ම එනවා. දෙවෙනි සෙට් එක හා කියලා කිව්වට දිනය ලං වෙනකොට බෑ කියනවා. තුන්වෙනි සෙට් එක අදාල දවසේ උදේ එන්නේ නැතුව පොලු තියනවා.


ඉතින් ඔය ආකාර කට්ටිය ඉන්න නිසා මම මගේ යෝජනාව කට්ටියට දැම්මා. ට්‍රිප් එකේ විස්තර කියාගෙන යනකොට ඇවිදින්න තියෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 15ක් කියලා කිව්වහම එක පාරම බෑයි කියලා කිව්වා. ඒ නිසා අවාසනාවට එකෙක්වත් හොයාගන්න බැරි උනා.

මේ හින්දම මගේ හීනයට නැවතීමේ තිත තියන්න සිද්ද උනා.

මම කීයටවත් හිතුවේ නෑ ඒ හීනය ආයෙම හැබෑ වේවි කියලා. ඒ හීනය හැබෑවෙන්න අවුරුදු හතරක් විතර ගත උනා. මම දැන් වැඩ කරන ආයතනයේ සෙට් එකක් ඔය ගමන යන්න ලෑස්ති උනා. ඒ නිසා මාත් එක පයින්ම මේ ගමන යන්න එකතු උනා.

දිනය හරියටම 2018 අවුරුද්දේ ජූලි 21 වෙනිදා. මේ කාලය වෙනකොට ඔහියට වැස්ස නැති පායන කාළයක්. ඒ වගේම තදින් හුලං හමන හරි අපූරු කාළයක්. වැහි කාළයේදී මේ ගමන යන්න ටිකක් අමාරුයි. මොකද වැස්සත් එක්ක තදේට සීතල දැනෙන්න ගන්නවා. ඒ නිසා ගමන ටිකක් දුශ්කරයි. නමුත් යනවා නම් යන්න පුලුවන්. මීදුම තියෙන කාළයට නම් මේ ගමන තවත් සුන්දරයි.

අපි ගියේ පායන කාළයක නිසා සෑහෙන තදින් හුළං හමනවා. ඒ හමන හුළඟින් සමහර ගස් ඇඹරිලා යන තරමට මේ සුළං හැමිල්ල තදයි. ඒ නිසාම පයිනස් ගස් වවලා තියෙන වතු මැදින් යන පාරේ ඇවිදින එක ටිකක් භයානකයි. ඒ උනාට කිසිම වෙහෙසක් දැනෙන්නෙ නෑ.

මේ ගමන යන්න අපිට මහ ගොඩක් කට්ටිය සෙට් උනේ නෑ. සෑහෙන කට්ටියකට කිව්වට අන්තිමේදි ගමන යන්න සෙට් උනේ හතර දෙනෙක් විතරයි. අපි හතරදෙනා කොටුව ස්ටේශන් එකෙන් රෑ 8ට තියෙන බදුල්ල නයිට් මේල් එකට ආවා. කලින් සීට් වෙන් කරලා තිබ්බේ නැති නිසා අපිට කොටුවේ ඉදලා වාඩිවෙලා යන්න සීට් හම්බ උනේ නෑ.

මුලින්ම කියන්න තියෙන්නේ මේ ගමන යනවා නං බදුල්ල නයිට් මේල් එකේ ටිකක් බුක් කරලම වැඩේ පටන් ගන්න කියලා. නැත්නම් පේරාදෙණිය වෙනකන් වගේ හිටගෙන යන්න වෙනවා. දීර්ඝ සති අන්තයක් නොවෙන්න සාමාන්‍යය සති අන්තයකදී නම් පේරාදෙණිය ගම්පොල පහු වෙනකොට සීට් එකක් හොයා ගන්න බැරි වෙන්නේ නෑ. ඒ නිසා සීට් එකක් බුක් කරගන්න බැරි උනා කියලා දුක් වෙන්න ඕන නෑ.

අපි නයිට් මේල් එකෙන් ඔහියට එනකොට උදේ පහ මාර විතර උනා. වටින් ගොඩින් එලිය වැටීගෙන ඇවිත් තිබුනා. යාන්තමින් එළිය වැටිලා තිබ්බට මීදුම් ගතියයි සීතලයි නම් අඩු වෙලා තිබුනේ නෑ.

සීතල නිසාම යකෙක් කන්න තරම් බඩගින්නක් දැනෙන්න ගත්තා. ඔහිය කියන්නේ කදුකරයේ හුදකලාව පිහිටි දුම්රිය නැවතුම් පොළක් නිසා කෑම කන්න හෝටල් එහෙම බලාපොරොත්තු වෙන්න බෑ. කෑම කඩ දෙකයි තිබ්බේ. ඒකෙනුත් එකක් ඒ වෙනකොට ඇරලා තිබ්බේ නෑ.

ඇරලා තිබ්බ එකම කඩේ "පැටියගේ කඩේ" විතරයි. පැටී කියන්නේ ඒකේ වැඩ කරන කොල්ලා. අපි පැටියාගේ කඩේට ගොඩ වෙනකොට පැටියා රොටි කබල ලිපේ තියලා පිටි මෝලියක් අන අනා හිටියා. අපි ගිහින් එක්කෙනාට දෙක ගානේ රොටී අටක් ගත්තා. උණු උණු රොටී එක්ක කන් වලින් දුම් පිටවෙන තරමේ සැර ලුණු මිරිසක් කියන්නේ සීතලට කියාපුම කෑමක්.

ලුණු මිරිස් තලියක් එක්ක උණු රොටියක් කාලා ඉඟුරු ප්ලේන්ටියක් ගහන්න තියෙනවා නං දිව්‍ය භෝජන මොකටද කියලා හිතෙනවා. 

අපි රොටී අරගෙන ගමන පිටත් උනා. 

පල්ලෙහා පින්තූරයෙන් පේන්නේ අපි ගමන පටන් ගන්නකොට ඔහිය දුම්රිය ස්ථානය පෙනෙන විදිහයි.
ඔහියේ ඉදලා යකාගේ පඩිපෙළ යන අය වගේම සමහරු හෝර්ටන් තැන්න බලන්න යන අයත් ඉන්නවා. ඒ හින්දම ඔහියෙන් ත්‍රීවීල් එකක් එහෙම හොයාගන්න බැරි නෑ. එහෙම උනොත් මුළු ගමනෙන් කිලෝමීටර් 4ක් විතර දුරක් අඩු කරගන්න පුලුවන්. එහෙම උනා කියලා ගමනේ සුන්දරත්වයට හානියක් වෙන්නේ නෑ. ගමනේ සුන්දර හරිය තියෙන්නේ තව ඉස්සරහට !!!

මිනිස් පුළුටක්වත් නැති හුදකලා පාරක ගහගෙන යන තරමේ හුළගකට එරෙහිව ඇවිදලා යන එකත් අපූරු අත්දැකීමක්.
මෙතැන ඉදලා තමයි ගමන පටන් ගන්නේ.
මෙතනින් එහාට විස්තර ටික ඊළඟ ලිපියෙන් ලියන්නම්.

තව දෙයක් කියන්න තියෙනවා. ඒත තමා මේ ගමනට ඕන කරන දේවල් ඒ කියන්නේ කෑම බීම වතුර වගේ දේවල්, මස්පිඩු වේදනාවට ගාන්න ඕන කරන ආලේපන වගේ දේවල් කලින්ම අරගෙන යන්න. මොකද ඔහිය කියලා කියන්නේ අපි හිතන විදිහේ ටවුමක් නෙමේ. කඳුකරයේ හුදකලා වෙච්ච ගමක්.

මේ ගමනට බස් එකේ එනවා නම් කොළඹ ඉදලා මාර්ග අංක 79 වැලිමඩ බස් එහෙක ඇවිත් වැලිමඩෙන් බහින්න. එතැන ඉදලා ඔහිය දුම්රිය ස්ථානයටම එන බස් එකක් තියෙනවා. ඒක අල්ල ගත්තොත් කිසි කරදරයක් නැතුව ඔහියට එන්න පුලුවන්.

මේ ගමනම කළුපහන ඉදලා ඔහියට එන එක කරන්නත් පුලුවන්. කොළඹින් බදුල්ල - කොළඹ (මාර්ග අංක 99) බස් එකකින් කළුපහනට ඇවිත් යකාගේ පඩිපෙළේ යන්න පුලුවන්.

නමුත් මම නම් කළුපහනේ ඉදලා ඔහියට යන එක අනුමත කරන්නේ නෑ. එතකොට දිගටම තියෙන්නේ කන්ද නගින එක. ඒක වෙහෙස වැඩියි. ඊටත් වඩා ලංකා ඇල්ල, බඹර කන්ද ඇල්ල වගේ ජල මූලාශ්‍ර තියෙන්නේ කළු පහනට කිට්ටු කරලා නිසා අපිට ගානේ වෙහෙස නිවාගන්න නාගන්න එහෙමත් පුලුවන්.

ඔහිය ඉදලා එනකොට ගමනේ අන්තිම හරියට දිය ඇළි හමු වෙන නිසා ගමනේ මහන්සිය නිවෙන්න නාගෙනම කොළඹ එන බස් එකකට ගොඩ වෙන්න පුලුවන්. කළුඵනේ ඉදලා ගමන පටන් ගන්න අයට ඒ චෑන්ස් එක ලැබෙන්නේ නෑ. අමාරුවෙන් කන්ද නැගගෙන ඇවිල්ලා දහඩිය පිටින් කෝච්චියට ගොඩ වෙන්න සිද්ධ වෙන්නේ. :)

2 comments:

  1. අඩේ මං ගියෙත් ඔය දින ආසන්නයේ. කරුමෙට දිනේ මතක නෑ දැං. හැක්.

    නියමයි. පිළීවෙලට ලියල තියේ. ඉතිරි කෙටසත් බලා ගෙන ඉන්නේ. ජය වේවා

    ReplyDelete
  2. කුඩා කණ්ඩායමකට යන්නට නියම ගමනක් !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.