03 October 2025

හේන් පැලක රෑක් ගත කළෙමි

 ඉස්කෝලේ යන කාලේ සිංහල සාහිත්‍යය විශයයට ජන ගී එහෙම ඉගෙන ගන්නකොට අපිට නොයේක වර්ගවල ජන ගී හම්බ වෙලා තියෙනවා. පාරු කවි, පතල් කවි, කරත්ත කවි, ගොයම් කවි, පැල් කවි වගේ අටෝරාසියක් වර්ගවල කවි ඉගෙන ගෙන ඇති. ඒ කාලේ ඕවා උගන්නපු ටීචර් ඔය එකේක රාජකාරියේ තියෙන භයානක කමයි ඒ රාජකාරිය කරන කොට තියෙන කම්මැලිකම සාංකාව මග හැර ගන්න කවි කියන හැටි එහෙම පණ පිහිටුවලා රසට කියලා දුන්නා. ඔය හන්දම ඒ කාලේ මගේ හිතේ ලොකූ උණක් තිබුනා කවමදාක හරි ගහක් උඩ අටවපු පැලක රෑක් ගත කරලා ඒ අත්දැකීම කොහොමද කියලා රසවින්දනය කරන්ඩ ඕනයි කියලා.

ඒ දවස්වල මම ඕක අපේ තාත්තට කිව්වේ මේ පැති වල කුඹුරු තිබ්බට පැලක් අටවගෙන පරිස්සම් කරන්න ඕන තරම් සත්තුන්ගෙන් කරදර සිද්ද වෙන්නේ නැති හන්ද පැල් ගහගෙන ඉන්ඩ ඕන නෑයි කියලා. මේ පැති වල නම් රෑකට මීයෙක් දෙන්නෙක් පැනලා වක්කඩවල් වල ගුල් හාරන ඒවයි දවාලට මී හරක් පැනලා කුඹුරු කෑලි මඩ කරලා දාන ප්‍රශ්නයි ඇරුනහම වෙන සත්තුන්ගෙන් හාකි වෙනවා අඩුයි. අඩුයි කියන්නේ නැතිම තරම්.

මීයන්ට නියරවල් උඩින් අමු ගස්ලබු කෑල්ලක් හරි මීපාසානම් ටිකක් හරි තිබ්බොත් මී කරදරේ ඉවර කරගන්ඩ පුලුවන්. හරකුන්ගේ කරදරේට නම් හරක් අයිතිකාරයන්ට සද්දයක් දාලා ආවහම නිස්කාරනේ කුඹුරුවලට හරක් පනින කරදරේ අඩු කරගන්ඩ පුලුවන්.

ඉතින් මෙහෙම දේවල් තියෙද්දි මට පැලක රෑක් ඉන්ඩ හම්බ වේවි යෑ... ?

පැලක රෑක් ගත කරන්න තිබ්බ ආසාව එහෙම්ම කාළයත් එක්කම යටපත් වෙලා තිබුනා. නැති උනා නෙමේ.... යටපත් වෙලා තිබුණා...

ඒ ආසාව යටපත් කරං මම සති මාස අවුරුදු ගණන් ජීවත් උනා. යාන්තමට ඒ ආසාවට වතුර පොදක් වැටුනේ අපේ මලයට පළමුවෙනි පත්වීම මොණරාගලට හම්බ වෙච්ච වේලාවේ. ඔන්න මං ආයෙම උත්සහ කළා මොණරාගල හරියෙන් හේනක පැලක් හොයාගන්ඩ. ඒත් ඒකත් ඒ තරම්ම ලෙහෙසි වෙන එකක් නෑ. මොකද සීමාවාසික පත්වීමක් නිසා මලයට නිවාඩු එහෙම තිබ්බේ නෑ.

අවුරුද්දකට සැරයක් දෙකක් මොණරාගල ගිහින් ආවට ගමකට රිංගලා හේනක් හොයාගෙන පැලක රෑක් ඉන්ඩ තරම් විවේකයක් ඒ දවස්වල හම්බ උනේ නෑ. ඌට ඉහ ගහගෙන ඉන්ඩ බැරි තරම්ම වැඩ තිබුණා...

මොණරාගල පත්වීමෙන් පස්සේ අපේ මලයට සිංහලේට පත්වීම හම්බ උනා. සිංහලයේ යනවයි කියලා මාර්ටීන් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ අම්පාරේ යනවට. මලයා අම්පාරේ ගියා.

අම්පාර කියන්නේ හේන් විමානේ !

බලන බලන ගම් වල හේන් ! ගම් වලට හිටන් අලි එනවා. ඒ මදිවට වල් ඌරෝ ! මගේ ඉහේ මලක් පිපුනා වාගේ උනා !

සීමාවාසික පුහුණුවෙන් පස්සේ හම්බ උන පත්වීම නිසා අර තරම්ම වැඩ තිබුනේ නෑ. රාජකාරි වේලාවෙන් පස්සේ හවස විවේකයක් එහෙම තිබුනා. නිවාඩුත් අතරින් පතර තියෙනවා. ඒ නිසා මට හේනක් හොයාගන්ඩ පුලුවන් උනා.

ගානට හේනක් හොයාගෙන ඉවර වෙලා මලයා මට කිව්වා මෙහෙම හේනක් තියෙනවා ඒකේ පැලේ ඕන නම් රෑක් හමාරක් ඉන්ඩ පුලුවං කැමති නං වරෙන් කියලා.

මමත් පටස් ගාලා නිවාඩු ටිකක් එහෙක් මෙහෙක් කරලා දාගෙන අම්පාරේ ගියා.

මෙච්චර වේලාවක් පඳුර වටේ තැළුවේ මේ අම්පාරේ හේනේ වරුණේ කියන්ඩ. 

මං අම්පාරේ ගියේ, 

රත්නපුරේ -> පැල්මඩුල්ල -> තණමල්විල -> වැල්ලවාය -> මොණරාගල -> ඉඟිනියාගල -> අම්පාර 

වඩිනාගලින් කෙලින්ම අම්පාරට යන්ඩ පුලුවං කම තියෙද්දිත් ඉඟිනියාගලට හැරෙව්වේ සේනානායක සමුද්‍රය බලාගෙනම යන්න ඕන හන්දා. ගෙදරින් උදෙම්ම පිටත් උනත් සේනානායක සමුද්‍රය කිට්ටුවට එනකොට සෑහෙන්න හවස්ව වෙලා තිබ්බා. අවුව එහෙම බැහැලා යන වේලාව හන්දා පරිසරයේ ලොකු රස්නයක් නම් නෑ. 

ඒ උනාට දවල් අවුවට රත් වෙච්ච පොළව හරහා ආපු ගිණි පිඹින හුළඟේ තිබ්බ රස්නේ ගතිය නම් ගොඩක්ම අඩු වෙලා තිබ්බේ නෑ. හවසට සේනානායක සමුද්‍රයේ අමුතු ලස්සනක් තිබ්බා. ඒකට ලොකුම හේතුව වෙන්ඩ ඇත්තේ පරිසරයේ තියෙන හුදකලා බව වෙන්ඩ ඕන. අපේ පැති වගේ අඩියෙන් අඩියට ගෙවල් තියෙන තත්පර දහයෙන් දහයට හෝන් ගහගෙන යන වාහන එහෙම මේ පරිසරයේ ගොඩක්ම අඩුයි. ඒ නිසා පොඩිම කුරුල්ලෙක් කෑ ගෑවත් ඒ හඬත් හරි අපූරුවට අහගෙන ඉන්න පුළුවං තරම් නිදහසක් පරිසරයෙන්ම උත්පාදනය වෙලා තියෙනවා.

බොරු නං ඔය උඩ තියෙන පින්තූරේ බලන්ඩකෝ. පරිසරය හරිම ලස්සනයි. හවස ආපු නිසා අපිට ජලාශයෙන් වතුර බොන්ඩ ආපු අලි කිහිප දෙනෙක්ව බලාගන්ඩ හම්බ උනා.  පල්ලෙහා පින්තූරෙන් තියෙන්නේ එහෙම ආපු අලියෙක්ව මම කැමරාවට අහුකරගත්තු හැටි. මම ඒ තරම්ම දක්ශ කැමරාශිල්පියෙක් නං නෙමෙයි. පුලුවං හැටියට අලියවත් පින්තූරේට දාගත්තා.

ඔය පල්ලෙහා පින්තූරේ ඈතට පේන්නේ ඉඟිනියාගල කන්ද. ඔය කන්ද නිසයි ගමට නම වැටිලා තියෙන්නේ. සමහරු ඔය කන්ද නගින්නත් එනවා. මට නම් ඒ කන්ද නගින්න යන්න බැරි උනා.

ඉඟිනියාගල ඉඳලා කිලෝමීටර් 20ක් විතර ඇති අම්පාරටම මං ඒ කිලෝමීටර් 20ත් ගිහින් අම්පාරේ මල්ලිලෑ ගෙට ගොඩ උනා. ගමන් මහන්සිය හින්දා ඇඟපත හෝදගෙන රෑ කෑමත් කාලා එහෙම්මම ඇඳට වැටුනා විතරයි මතක. නින්ද ගියාද සිහි නැති උනාද කියලා මතක නෑ. උදේ එළි උනාට පස්සේ තමයි ඇහැරුනේ.

උදේ ඇහැරුනාට පස්සේ මට වෙනදට ඇහෙන හුරුපුරුදු හඬවල් වලට වඩා වෙනස් හඬවල් ගොඩක් පරිසරයෙක් ඇහෙන්න ගත්තා. විටින් විට ඈතින් කෑ ගහන මොනරෙක්ගේ හඬක් එහෙමත් ඇහෙනවා. හරි අපූරුයි.

දවාලට ගිනියම් උනත් උදෑසන සිසිල් සුවදායක බවකුත් මේ පරිසරයේ නැත්තෙම නෑ. වත්ත පහල දිවුල් ගස් කිහිපයක් තියෙන බව මලයා කලින් දාක කියපු නිසා උදෙම්ම මම වත්ත පහලට ගියා දිවුල් ගෙඩියක් දෙකක් අහුලං එන්ඩ කියලා. අහුලං ආපු දිවුල් ටික මං මගේ මල්ලට දාගත්තා. ගෙදර ගිහින් දිවුල් කිරි හදන් බොන්ඩ පුලුවන් නේ කියලා හිතාගෙන.

දවල් දවසේ අම්පාරේ ටවුමෙයි ඉඟිනියාගල පැත්තෙයි කරක් ගහලා හවස් වේගෙන එනකොට මම මලයලෑ ගෙදරට ආවා. හවස තේක මලයලෑ ගෙදරින්ම බීලා පැලේ රෑ ගත කරන්ඩ ඕන කරන දේවල් ටික මල්ලට දාගත්තා.

මේ පෝස්ටෙක සෑහෙන්න දිග වැඩි වෙන හන්දා එතැනින් එහාට මම ඊළඟ ලිපියෙන්ම කියන්නම්. 

එහෙනං ජය හා සතුට !

2 comments:

  1. ගණිත ගැටලුවට උත්තර දෙන්න සංඛපාල

    ReplyDelete
    Replies
    1. ඔයාගේ උත්තරේ හරි. කිලෝග්‍රෑම් 4යි තමයි

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.