04 February 2023

වස්ගමු වන අසිරිය

 කදුරුපිටිය බංගලාවේ කාමරයක නින්දට වැටුන අප පසුදින සතුන්ගේ හා නානාවිධ පක්ෂීන්ගේ කූජනයන්ගේ හඬින් අවදි වූවෙමු. මා අවදි වන වේලාවටම වාගේ තව යහළුවෙක් අවදි වී තිබුණි. මා ඔහු සමග මදක් ඉදිරියට ඇවිද ගියෙමි.

අපට වැඩි දුරක් යාමට අවසර නැත.

ඊට හේතුව වන්නේ නිදහසේ ජීවත්වන වන සතුන්ගෙන් අපට හානියක් වීම වලකාලීම සදහා ය. සමහර දින වලදී වන අලින් කදුරුපිටිය ඉසව්වටම එන බව බංගලාවේ ඉවුම් පිහුම් කරන කෙනෙකුගෙන් අසා දැන ගත්තෙමි. එය ඇත්තක් යැයි අපටත් වැටහුනේ මඩ ගොඩවල් වල තිබූ අලින්ගේ අඩි සටහන් හා ඔවුන් දැමූ වසුරු ගොඩවල් නිසා ය.

අප කදුරුපිටිය බංගලාවේදී උදෑසන ආහාරය ලබා ගතිමු. ඉන් පසු අප රෑ පාටියට අවශ්‍ය කෑම බීම පිළියෙල කිරීමට සූදානම් වූවෙමු. පාටියක් ය කීවාට කෑකෝ ගැසීම් හා උස් හඬින් වැයෙන සංගීත රාවයන්ට මෙහිදී අවසර නැත. එය වන සතුන්ගේ නිදහසට බාධාවකි.

ඔවුන්ගේ නිදහසට බාධා නොවන අයුරින් අපට සාද පැවැත්විය හැක. මදුවිතෙන් මත් වීමට ද කිසිදු බාධාවක් නැත. එහෙත් වටපිටාවේ කිසිදු අපද්‍රව්‍යයක් දැමීමට අවසර නැත.

 ඉර හැරී දෙහෝරාවක් ගිය තැන අප වන අසිරිය නැරඹීමට ගියෙමු. එහිදී අපට නොයෙක් වන සතුන් දැක ගත හැකි වූවත් ඔවුන්ව කැමරා කාචයක සටහන් කර ගැනීමට නොහැකි විය. එයිනුත් මා ලබා ගත් පින්තූර කිහිපයක් පහලින් පළ කරමි. 



මෙම ප්‍රදේශය තුළ වලසුන් බහුලවම ජීවත් වූ බව සලකෙන නිසා වලස්ගොමුව වූ බව සැලකේ. පසු කලෙක භාවිතයේදී වලස්ගොමුව වස්ගමුව වී යැයි අපහා ගමන් කළ සංචාරක මගපෙන්වන්නා අප හා පැවසී ය. ඊට අමතරව වලසුන් සිටි විවිධ ගුහා ද අපට ඔහු විසින් පෙන්වී ය.

නමුත් එදින අපට එකදු වලසෙකුවත් පියවී ඇසින් දැකගත නොහැකි විය.

වන අසිරිය විඳ නැවතත් අප කදුරුපිටියට එනවිට රෑ බෝවී තිබුණි. අපි ලහිලහියේ බාබකිව් දැමීමට ගෙන ආ උදුන ද සූදානම් කර පදම් වන්නට දැමු කුකුළු මස් ද ඉස්තෝප්පුවට ගෙන ආවෙමු. මද වේලාවකින් රත් වූ යකඩ දැළ මත කුකුළු මස් ගින්නෙන් පිලිස්සෙන්නට විය.

ගින්නෙන් පලහා ගත් මස් සමග අප හීනියට මදුවිතෙන් ද සප්පායම් වූවෙමු.මදුවිතෙන් සප්පායක් වන අතරතුරදී නොයේක රස කතා ද එකිනෙකාගේ විනෝදය පිනිස අප කීවෙමු.

මදුවිත බෝතල එකිනෙක හිස්වී අවසානයේ අප වැටුන වැටුන තන්හී නිදා ගත්තෙමු. එලෙස අපේ වනය තුල ගත කළ දෙවන දවස නිමා විය.

3 comments:

  1. නිදහස් උත්සවයත් තියන්න එපා, මිනිස්සුන්ට බස් එකේ යන්නත් සල්ලි නැහැ කියලා කෑගහන අයට දින ගණන් මත්පැන් බී ඇවිද ඇවිද විනෝද වෙන්න සල්ලි තියෙනවා වගේ. විනෝද ගමන් ගන්න ඉන්ධන, කෑම බීමත් හිගයක් නැතුව තියෙනවා වගෙයි. හොදයි හොදයි.

    ReplyDelete
    Replies
    1. තමන් සල්ලි උපයනවා නම් තමන්ට කැමති විදිහට වියදම් කරන්න නිදහස තියෙන්න ඕන මිත්‍රයා...මම මේ කතා කරන්නේ රටේමිනිස්සුන්ගේ බදු මුදල් මෙහෙම නිරපරාදේ වියදම් කරන එක ගැන.

      Delete
    2. ගණන් ගන්න එපා. ඔය ටෝබයියෝ හිතේ අමාරුවට කියන කතා

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.