11 September 2025

කල්තොට හා බෙලිහුල් ඔය

 දීර්ඝ සති අන්ත නිවාඩුවක් යෙදී තිබුණ සැප්තැම්බර් මාසයේදි මාත් අපේ ගෙදර සියළුම දෙනා පවුලේ චාරිකාවක නිරත වීය. මෙවර අපේ ගමනාන්තය වූයේ කල්තොට සංචාරය කිරීම ය. 

දිනය හරියටම කිවහොත් 2025 වසරේ සැප්තැම්බර් මස 5 වනදා ය. අප කලින් දවසේ ගමනට උවමනා කරන සියළුම දෑ ලක ලැහැස්ති කරගෙන එක තැනකට ගොඩ ගසා තැබීමු. එසේ කළේ කුමන හෝ අත්‍යවශ්‍ය දෙයක් මඟහැරීයාම අවම කිරීම පිණිසය. අවම කරනවා යැයි මා සදහන් කරන්නේ කොතරම් දේවල් කලින් ලැහැස්ති කළද ගමන යන දිනට කුමන හෝ දෙයක් අමතක වී යාමේ පුරුද්දක් මා ඇතුළු නිවැසියන්ට තිබෙන නිසා ය. 


ගමන යන දින සුපුරුදු පරිදි උදෑසනින්ම අප අවදි වූවෙමු. අළුයම පහ පමණ වන විට ගෙදරින් පිටවීම අරමුණ කරගත් නිසා කඩිමුඩියේ අප ලක ලැහැස්ති වීමු. දින දෙකක ගමනක් වන නිසා අමතර ඇඳුම් ද කෙටි ආහාර වර්ග කිහිපයක් ද උදේ ආහාරය පිණිස කලින් දිනයේදි පිළියෙළ කරගත් සීනි සම්බලයද ඒ අතර විය.


අප උදේ 5:10 වන විට ගෙදරින් පිටවීමු. උදෑසන ඇඳිරිය අතරින් මා රිය ධාවනය කලෙමු. අප හොරණ නගරය පසු කරන විටත් වටින් ගොඩින් එළිය වැටී නොතිබුණි. දීර්ඝ සති අන්ත නිවාඩුවක් වූ බැවින් අප මෙන්ම චාරිකා සදහා ගෙදරින් පිටත් වූ කාණ්ඩ කිහිපයක් ද බයිසිකල් වල සංචාරය කරන කාණ්ඩ කිහිපයක් ද විටින් විට අප නෙත ගැටුනි. ඉංගිරිය පසු කරන විට වටින් ගොඩින් එළිය වැටී තිබුණත් උදෑසන මිහිදුම පහව ගොස් තිබුණේ නැත. 


මීදුම අතරින් මා රිය පැදවුයේ අවට පරිසරයේ සිරි නරඹමින් ය. පානදුර-රත්නපුර මාර්ගයේ වංගු නමමින් අප ඉදිරියටම ගමන් කර උදෑසන 8 පමණ වන විට රත්නපුර නගරයට පැමිණුනෙමු. 


සෙනග අඩු තැනකදී වාහනය නවතා අප උදෑසන ආහාරය ගත්තෙමු. උදෙන්ම අවදි වූ නිසාත් සීතල මැදින් ගමන් කළ නිසාත් අපේ බඩගින්න දෙගුණ තෙගුණ වී තිබුණි. කලින් දවස මිලදී ගෙන තිබූ පාන් සමග ගෙදරින් ගෙනා සීනි සම්බලය දවටා කුස පුරවා ගත්තෙමු. උදේ ආහාරයෙන් පසුව අප නැවතත් ගමන පිටත් වූවෙමු. අප බලංගොඩට පැමිණෙන විට උදෑසන නමයට ආසන්න වී හෝ නමය පසුවී තිබුණි. 


අපි බලංගොඩින් කල්තොට මාර්ගයට රිය හැරවූවෙමි. බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 30ක් පමණ කල්තොට දෙසට අප යා යුතු ය. ඒ දූවිලි ඇල්ල නැරඹීම සදහා ය. ගමන පටන් ගත්  තැන පාර කාපට් දමා තිබුණ ද ගමනේ අවසන් භාගය වන විට පාර අබලන් වී තිබුණි. අප කෙසේ හෝ දූවිලි ඇල්ල වෙත ආවෙමු.


කල්තොට පාරේ දූවිලි ඇල්ලට හැරෙන හන්දියේ සිය දිය ඇල්ලට කිලෝමීටර් 3-4ක් පමණ ආ යුතු ය. අන්තිම කිලෝමීටර් දෙකට පෙර ටිකට් කවුන්ටරයක් හමු වේ. එතැනින් වාහනයට වෙනමත් අදාල පුද්ගලයින් ගණනට වෙන වෙනමත් ටිකට්පත් මිලදී ගත යුතු ය. වැඩිහිටි අයෙක්ට රු. 50ක මුදලක් ද පොඩි අයෙකුට නොමිලයේ ද ඇල්ල නැරඹිය හැකි ය. වාහනය සදහා රු. 100ක ටිකට්පතක් ලබා ගත යුතු ය.



මෙතැන් සිට ඉදිරියට පාර පටු ය. දළ බෑවුම් හා සීග්‍ර නැග්මක් සහිත කඳු හමු වේ. පාර එතරම්ම අමාරු නැත. අප රථගාලෙන් වාහනය නවතා එතැන සිට පයින්ම දිය ඇල්ල වෙත ආවෙමු. වචනයේ පර්සමාප්ත අර්ථයෙන් ම දුහුවිල්ලක් සේ පහලට කඩා හැලෙන දූවිලි ඇල්ල අප නැරඹීමු.





දූවිලි ඇල්ලේ සුන්දරත්වයෙන් වශීවූ අප නැවතත් වාහනයට ගොඩවූයේ උදෑසන 11ට පමණ අප සමනලවැව විදුලි බලාගාරය බැලීමට යා යුතු නිසා ය. බලාගාරය මැරඹීම සදහා ඔන්ලයින් ක්‍රමයට දිනයක් හා වෙලාවක් වෙන්කරවාගෙන අවසර ලබා ගත යුතු ය. බලාගාරය ඇතුලත ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම් වලට කිසිදු අවසරයක් නැත. ඒ නිසා ඒ ගමනේ කිසිම ඡායාරූපයක් මා සතුව නැත.


බලාගාරය නැරඹූ අප නැවතත් වාහනයට ගොඩ වූවෙමු. මේ වෙන විට වේලාව දවල් 12ට ආසන්න වී තිබුණි. අප ආ සැප්තැම්බරයේ බලංගොඩ ප්‍රදේශයට සැරටම නියඟය අල්ලා තිබුණි. පාර දෙපස තිබූ රජවක රක්ෂිතය ද බොහෝ වියළී ස්වබාවයක් ගෙන තිබුණි. අව්වද සැරටම අප දවාලීය. අප අතරින් හමාගිය සුළඟේද කිසිදු සුවදායක ගතියක් නොවුණි. 


කෙසේ හෝ අප සමනලවැව බලාගාරයෙන් කිලෝමීටර් දෙකක් පමණ කල්තොට පැත්තට ගමන් කර දියවිණි ඇල්ල දෙසට ආවෙමු. දියවිනි ඇල්ලට නම් නියගය සෑහෙන්න දැනී තිබුණි. ඇල්ලේ වතුර සෑහෙන අඩු ගතියක් තිබූ නිසා අප ඇල්ල අසලට නොගියෙමු. දුර සිට ඇල්ල නැරඹීමු. දුර සිට ඇල්ල නරඹා අප ඉතිරි වූ පාන් සමග සීනි සම්බලය ද කුස් තුලට යවා ගත්තේ දහවල් කෑම තවත් පමා කරන්නට  සිදුවන නිසා ය.


දියවිනි ඇල්ලෙන් කපුගල හන්දියට පැමිණ එතැන් සිට පඹහින්න දෙසට මා රිය හැරවී ය. ඒ සමනලවැව ජලාශය නැරඹීම සදහා ය. හුදකලා පාරක පල්ලම් බසිමින් හා කඳු නගිමින් අප සමනලවැව ජලාශය ආසන්නයට ආවෙමු. අප ජලාශය ආසන්නයට එන විට පාර මැද වූ මාර්ග බාධකයකින් අපව නවතා ආරක්ෂක අංශයේ අයෙකු විසින් වාහනයේ අංකය ලියාගත්තේ ය. ඒ මෙහි නීතිය වේ. මෙහිදී අප ආරක්ෂක හේතුන් මත ක්‍රියාත්මක වන නීතී රීති වලට යටත් විය යුතු ය.


දැඩි හිරු රැසට හා ගමන් වෙහෙසට මැදිවූ අප, සමනල වැව ජලාශයේ වේල්ල අසල වූ ඇල මාර්ගයට බැස නා ගත්තෙමු. කෙතරම් සැඩ හිරු රැස් වැටී තිබුණද ඒ වතුරෙහි තිබුණේ සුවදායික සිහිල් ගතියකි. අප පැයක් පමණ වතුරේ බැස නා ගත්තෙමු. අප මෙන්ම සංචාරයට පැමිණි තවත් කාණ්ඩ කිහිපයක් ද ඒ වන විට දියෙහි ඒ මේ අත පිහිනමින් දිය නාමින් සිටියෝ ය. අප ද පැයක් පමණ දියෙහි සිට හොද හැටි නා ගත්තෙමු.




නා ගැනීමෙන් පසුව අපේ බඩගින්න ද තීව්‍ර වී තිබිණ. අසල වු බඩ ඉරිඟු වෙලෙන්දෙකුගෙන් තම්බන ලද බඩ ඉරිඟු කරලකින් කුසගිනි නිවාගත් අප නැවතත් සබරගමු සරසවිය හරහා පඹහින්න ඔර්ලෝසු කණුව අසලට ආවෙමු. එතැන් සිට කොළඹ දෙසට කිලෝමිටර් කිහිපයක් ගමන් කර අපේ අද දවසේ ගමනාන්තය වූ බෙලිහුල් ඔය තානායමට ආවෙමු.


ගමනේ ඉතිරිය දෙවන ලිපියෙන් බලාපොරොත්තු වන්න.

1 comment:

  1. හසුකරගෙන ඇති දර්ශණ ලස්සනයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.