20 March 2014

උතුවන්කන්ද තරණය

එදා (මාර්තු දෙවෙනිදා) අපි බතලේගල නැගලා ඒ සුන්දරත්වයත් විඳගෙනම ඉක්මන් ගමනින් පල්ලම් බැස්සා.  ඒ ලංකාවේ රොබින්හූඩ් කියලා විරුදාවලිය ලබපු උතුවන්කන්දේ සූර සරදියෙල් හැංගිලා උන්නු උතුවන්කන්ද නගින්ඩ.. !

කන්ද බැහැලා වාහනේට ගොඩ වෙලා පැයක් ඇතුලත අපි මාවනැල්ල ටවුමට ආවා. ඒ එනකොට දවල් දොළහා පහුවෙලා. සෑහෙන්ඩ ලොකු බඩගින්නක් තිබුනේ..ඒ නිසාම අපි වැඩි ඈතක යන්නේ නැතුව මා ඔය පේන මානෙක තිබුණු කෑම කඩයක් අල්ලගෙන කෑම පැකට් ගත්තා.කෑම අරගෙන වාහනේට නගින්ඩ හදනකොටම කට්ටිය කිව්වේ මහන්සිය යන්ඩත්තෙක්ක මාඔයෙන් නාලා බතුත් කාලාම යමුයි කියලා.

අපිත් ඒ යෝජනාව එක හෙලාම  ස්ථිර කරගෙන මා ඔයේ නාන්ඩ ලෑස්ති උනා. මා ඔයේ උන්නු අපිට මාවනැල්ල ගඩොල් පාළම පෙනුනේ මෙන්න මේ වගේ...


අපි ගියේ වැස්ස අඩු කාලෙක හන්දා මාඔයේ වතුර සෑහෙන අඩුවෙන් තිබ්බේ. ඒත් අපට නාගන්ඩ පුලුවන් තරමට වතුර නං තිබ්බා.

අපි මා ඔයෙන් නාලා ගල්තලාවක් උඩ බත්පත දිගෑරලා කන්න ගත්තා. එදා බත් එකේ තිබ්බේ පරිප්පුයි පොල් සම්බෝලයි තලනබටු මාළුවයි... මදි පාඩුවට අම්මා හදා දීපු සීනි සම්බෝලයෙන් ටිකකුත් තිබ්බා. සෑහෙන බඩගින්නේ උන්නු හන්දමද මන්දා ඒ බත්ටික සෑහෙන රහක් දැනුනා.

බඩ පුරා බත් කෑවට පස්සේ අපි කොළඹ නුවර පාරේ කොළඹ පැත්තට පල්ලම් බැස්සා.

පාරේ බස් එහෙකින් උතුවන්කන්ද නගින්ඩ එනවා නං කොළඹ-නුවර බස් එහෙක හරි කොළඹ-මාවනැල්ල බස් එහෙක හරි ඇවිදින් උතුවන්කන්ද ඔර්ලෝසු කණුව ගාව හෝල්ටෙකන් බැහැගන්ඩ.. හෝල්ටෙකෙන් බැහැලා කොළඹ පැත්තට ටික දුරක් පයින් ආවහම දකුණත පැත්තේ කොංක්‍රීට් පාරක් හම්බ වෙනවා. ඒ පාරේ කිලෝමීටරේක දුරක් පයින් එන්ඩෝන කන්ද නගින තැනට එන්ඩ.

එහෙම ආවහම උතුවන්කන්ද නගින තැනටයි සරදියෙල් ගම්මානයටයි ඒ ගත්තෑකි. බෝඩ් ගහලා තියෙන හන්දා පාර වරදින්නේ නෑ.

අපි උතුවන්කන්ද ගාවට එනකොට ඉරත් හැරිලා පෑ තුනක් විතර ගිහින්. ඒ වෙනකොට අපේ රජා මල්ලිත් ඇවිදින් උන්නා.අපි ඒයැයිත්තෙක්ක කන්ද නගින්ඩ පටං ගත්තා.


කන්ද නගින්ඩ පටන් ගන්න තැනට උතුවන්කන්ද පේන්නේ මෙන්න මේ වාගේ.
 


 උතුවන්කන්ද ගැන කියනවා නං ඒ තරම්ම ලොකු කන්දක් නෙමේ. පැයක් විතර යනකොට කන්ද නැගලා ඉවර කරතෑකී.මුහුදු මට්ටමේ ඉදලා මීටර් 400කටත් වඩා අඩු උසක් තියෙන්නේ. පහල ඉන්නැද්දි කන්දේ මුදුන පේන්නේ මෙන්න මේ වගේ.



 අපි කඳු පාමුල තිබ්බ පාර දිගේ  ගමන පටන් අරගත්තා.පේනවා නේ..? වැහැපු පාටක්වත් නෑ... !

මේ පාර කෙළවර උනේ ගේකින්.. ඊට පස්සේ තියෙන්නේ අඩිපාරක් දිගේ කන්ද මුදුනට යන්ඩ..

මේ පේන පාරත් මගක් දුරකදි ඉවර වෙලා අඩිපාරක් විතරයි තිබුණේ.. ඒ අඩිපාර දිගේ කන්ද මුදුනට නැග්ගා.


සමහර තැන් වලදි කන්ද නගින්ඩ අමාරු උනා. නැග්ම ටිකක් දරුණු තැන් නැතුවමත් නෙමේ. ලොකුම හේතුව තමා පොලොව ලිස්සන එක.
මේ ටිකත් නැගගෙනතව ඉහලට ගියහම කන්ද මුදුන ලස්සනට පේනවා. ඒක හරියට අතක ඇඟිලි දිග ඇරගෙන ඉන්නවා වාගේ. මේ දැක්ක ද ?

අපි ඒ කිට්ටුවට ගියා. ඒක නං සෑහෙන බය හිතෙන ගමනක්. අපි ගස් බදාගෙන තමා ඉතුරු ටික බඩගෑවේ.. බැරිවෙලාවකවත් අත ලිස්සුවා නං ගලපල්ලේ.... !!!

මේ ටිකත් නැගගෙන අපි තව ඉහලට නැග්ගහම පලාතම ලස්සනට පේනවා.ඒත්තෙක්කම අපි එදා නැගපු අලගල්ල කඳුවැටියත් ලස්සනට පේනවා. ඒක නං ඇහින් විඳින්ඩම ඕන සුන්දර දර්ශනයක් !
මේ පේනවා නේද අපේ පරා කන්දේ එක පැත්තක ඉන්න අපූරුව..


කන්දේ සුන්දරත්වයත් විඳගෙන ගිමන් නිවාගෙන අපි ටික වෙලාවකින් පල්ලම් බහින්ඩ ගත්තා.අපි පල්ලම් බැහැලා නුවර පාරට එනකොට වෙලාව හයට කිට්ටු වෙලා. නුවර පාරෙදි මමයි අපේ මලයයි තාත්තයි පරා ලෑ වෑන් එකෙන් බැහැලා.. උතුවන්කන්ද බස් නැවතුමට ආවා කොළඹ නුවර බස් එක එල්ල ගන්ඩ..

අපි ඒ බස් එකේ පෑ දෙකහමාරක් විතර යනකොට කිරිබත්ගොඩට ආවා. එතන ඉදලා අපේ ගමට පයින් ගෑටුවා. ගෙදර එනකොට සෑහෙන මහන්සියි...

ඔන්න ඔහොමයි කඳු නැගපු මාඔයෙන් නාපු සුන්දර දවසක් ගෙවුනේ.. මේ සුන්දරත්වයයි රස කතායි සතියක් යනකන් අපේ කන්තෝරුවේ අය කිය කියා රසවින්දා..... !

--------------------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල බෝගම්බර හිරගේ මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා හන්දා ඒක බලන්ඩ යන්ඩ මායි අපේ අප්පොච්චයි ලක ලෑස්ති වෙනවා. හෙට (සිකුරාදා) තමයි යන්ඩ ඉන්නේ.. ගිහිං ඇවිත් ඒ විස්තරත් කියන්නං කෝ !

17 comments:

  1. මේ පින්තූර ටික දැක්කාම මට හිතෙන්නේ අපි ඉන්නේ වෙනත් කාලෙක කියනේ. එක ගලක් හරියට යටි පතුලක් වගේ පේනවා . ඒක දැක්කද?

    මධූ මේ දවස්වල ගමනේමයි නේද? :)

    ReplyDelete
  2. මධූ වත්තල නෙමේද ඉන්නේ?

    අර කන්ද උඩ ඉදන් අරන් තියන ෆොටෝ ටිකනම් ඇත්තටම මරු.

    බෝගම්බර ගිහින් ඇවිත් ඒකෙ ඓතිහාසික වටිනාකම් තියෙන තැන් ගැන් ලිපියක් ලියමු.

    ReplyDelete
  3. යකෝ උඹ ගමන් ගිහින් ගහින් නිවාඩු තිබ්බෝත්ද රස්සාව කරන්නේ ඈ

    ReplyDelete
  4. පරිප්පුයි, පොල්සම්බෝලයි, තලන බටුයි, සීනි සම්බලයි, බතුයි.. යකෝ නියම කෑමක්නෙ.

    අන්තිම ෆොටෝ ටික ලස්සනයි.

    ReplyDelete
  5. මධු.. උඹ සෑාහෙන්න සාර්ථක සංචාරක ලියන්නෙක් වෙලා ඉවරයි.. දැං නියම ටෝන් එක පේනවා මේවයි.. මටත් ආසයි බොල ඔය වගේ කදු නගින්න. ඒත් ඉතිං බඩ තඩිය කදු පාමුල තියල තමා යන්න වෙන්නේ.. හැක්

    ReplyDelete
  6. කන්ද මුදුනෙ ගල් ගුහාවක් තියනව නේද?

    ReplyDelete
  7. හොඳයි හොඳයි ට්‍රිප්ම පලයංකෝ...

    ReplyDelete
  8. යන්න ඇති තැන් ඔක්කොම දැන්ම යන එක හොඳයි.. පවුල් පන්සල් උනදාට ඔක්කොම හබක්.. "අඥේ මච නං අව්වේ යන්න බෑ කඳු නගින්නත් බෑ,.. ඔව්වයෙ කූඩැල්ලොත් ඇති කියල කිව්වම චැප්ටර් ක්ලොස්ඩ්

    ReplyDelete
  9. මට හිතිච්ච දේ ඔන්න ඉවාන් කලින්ම කොටලා ගිහින්. අම්මපා ඔය තරම් ඇවිදින්න වෙලාවයි, සල්ලි තියෙන්න පින් කරන්න ඕනා.

    ReplyDelete
  10. කන්ද මුදුනේ තියෙන ගල් ගුහාවෙ නිදානෙකුත් ඇති නේද,හොයල බැලුවේ නැද්ද.

    ReplyDelete
  11. ගහක් ගලක් අතහරින්න එපා, එලම කිරි

    ReplyDelete
  12. වටින අත්දැකීමක් පට්ට ලිපියක්...
    රජා කලිං දාල තිබ්බෙ මේ ගැනද

    ReplyDelete
  13. දාමු දාමු බෝගම්බර ගැනත්

    ReplyDelete
  14. Podi Kumarihami :
    මේ ටිකේ තමා ඉතින් නිදහසේ ඇවිදින්ඩවත් තියෙන්නේ.. පස්සේ කාලෙක වගකීම් එහෙමත් වැඩි වෙයි නෙහ්..

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    වත්තල තමා. කිරිබත්ගොඩින් බැහැලා 983 කිරිබත්ගොඩ-වත්තල බස් එකේ යන්නේ.. ඒකේ ගියහම ළඟයි !

    ඉවාන් පවුලූශා :
    ඒ වගේ තමා වෙලා තියෙන්නේ.. මේ ටිකේ ගමන්මයි !

    ReplyDelete
  15. Praසන්ன :
    නියම කෑමක් නේන්නම්... බඩ ගින්නට එක බත් ඇටයක්කත් ඉතුරු නොකරම කෑවා..

    දේශක යා :
    දේශකයා කියන්නේ මහත බඩෙක් දෑ.. අපෝ අපෝ.. අඩුකරගන් අඩුකරගන් !

    Pra Jay :
    පොඩිවට එකක් නං හම්බ උනා... !

    ReplyDelete
  16. දිනුක :
    මොකෝ මොකෝ... :)

    සරත් ලංකාප්‍රිය :
    අන්න ජයියා අයියා තමා ගානට පොයින්ට් එකට ආවේ.. ඔන්න ඔය නිසා තමයි මේ ටිකේ ඇවිදලා යන්න පුලුවන් හැම තැනකම ගිහින් බලන්නේ... ඊලඟ අවුරුද්දේ නං ඒ සෙල්ලං බැරි වෙයි වාගේ..

    වීරේ :
    ලොකු සල්ලියක් යන ගමන් නං යන්නේ නෑ සහෝදරයා.. බස් එකේ නුවරට යනවටත් වඩා අඩු ගානක් ගියේ.. පරාගේ වෑන් එක අහම්බෙන් සෙට් උනේ :)

    ReplyDelete
  17. Helapa kade :
    අපෝ නිධන් එපා.. ඕවට බහිරවයෝ ඉන්නවා.. !

    යක්ෂයා :
    අනිවාර්යෙන්ම... !

    Mahesh Rathnayaka :
    අන්න හරි.. රජායි මායි තමා මේ ගමන ගියේ.. !

    සයුරි :
    ඒකත් දාන්නම්... තාම ලිව්වේ ඈ ඒක..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.