17 April 2020

ඇල්ල ගමන - 2 කොටස

අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.
අපි  හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්‍රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.



අපි ත්‍රීවීල් එකෙන් පුංචි සිරීපාදේ පටන් ගන්න කිට්ටුවටම ආවා, ඊට පස්සේ ටික දුරක් ඇවිදන් යනකොට මෙන්න මේ බෝඩ් එක හම්බ උනා.
මේ හරියේ පඩි පේලි ගණනාවක් තියෙනවා. ඒ ටික නැගලා ගියහම අපිට පුංචි සිරිපාදේ මැදක් හරිය වෙනකන් එන්ඩ පුලුවන්. එතැන ඉදලා ටිකක් විතර අමාරු පාරක තමයි ගමන් කරන්න තියෙන්නේ.

වැස්ස නිසා තව ටිකක් ගමන අමාරුයි.

අපි කොහොමින් කොහොමහරි කන්ද මුදුනටම ළඟා උනා. වටේටම තිර රෙදි ඇද්දා හා සමානවම සුදු පාට මීදුමෙන් වැහිලා ගිහින්. විටින් විට වැහැපු වැහි නිසා අපි හොදටම තෙතබරිත වෙලා හිටියේ. මීදුමත් එක්ක එන හුළං පාර නිසා ඇඟේ හීගඩුත් පිපෙන ගානයි. ඒත් පරිසරය හරිම සුන්දරයි. සුවදායකයි.


අපි කන්ද උඩ ටික වෙළාවක් හිටියා. යාන්තන් වැස්ස තුරල් වෙලා මීදුම් තිර ටික ටිකක් විතර මෑත් උනා. එතකොට තමයි අපි පහළ දැක්කේ. ඒකත් හරි අපූරු දර්ශනයක්. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති භූමි දර්ශනයක් තමයි අපේ ඇස් ඉදිරිපිට මැවුනේ.


ඔය උඩ පින්තූරේ නූලක් වාගේ පේන්නේ ප්‍රධාන පාර. වාහන යන හැටිත් හරි අපූරුවට පේනවා. අපි පුංචි සිරීපාදේ උඩ ටික වෙලාවක් ඉදලා ආපහු හෝටලයට එන්න පල්ලම් බැස්සා.

මේ වෙනකොට අපේ ඇල්ල ගමනින් භාගයක් විතර අපි ආවරණය කරලා තියෙනවා. වැස්ස කියලා බලන් හිටියා නම් අපිට පුංචි සිරීපාදේ යන්ඩ වෙන්නේ නෑ. ඒත් අපි වැස්සෙම ආපු නිසා යාන්තන් පුංචි සිරීපාදේට ඒ ගත්තා.

අපි මේ ඔක්කොම කරලා හෝටලයට එනකොට හවස 2-3 වගේ වෙලා. අපේ වෙලාවට දවල් කෑම අස් කරලා තිබ්බේ නෑ. අපේ අනිත් කට්ටිය නම් හෝටලයට වෙලා මධුවිත තොල ගගා හිටියා.

අපි නම් ආපු ගමන් ඇඟපත හෝදගෙන කෑම ටික ගිල දැම්මා. ඊට පස්සේ අපි කට්ටිය එක කාමරයකට එකතු වෙලා ආගිය තොරතුරු කතා කර කර හිටියා.

එහෙම්මම හවස් වෙච්ච නිසා රෑ කෑමත් කාලා වීලාසනම නින්දට වැටුනා.

පහුවදාට අපි උදෙම්ම ඇල්ල රොක් එක බලන්ඩ යන්න තමයි හිතාගෙන ඉන්නේ. උදෙම්ම ගියොත් ඇල්ල රොක් එකට ඉර උදා වෙන හැටි බලන්ඩ පුලුවන්. ඒකත් හිතේ තියාගෙනම අපි නින්දට වැටුනා.

එහෙනං ඊළඟ ලිපියෙන් ඇල්ල රොක් එකේදි හමු වෙමු.

1 comment:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.