01 July 2018

මාකෙළි ඇල්ලට ගිය ගමන

ගිය මාසේම හැම සති අන්තයකම මම කළුතර දිස්ත්‍රික්කයේ එකේක පැති වල ඇවිද්දා. කොළඹට ගොඩක්ම ළඟින් කැලෑවක් හරි දිය ඇල්ලක් හරි බලන්න යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකට කළුතර දිස්ත්‍රික්කය කියාපුම පැත්තක්. ඒ තරමටම සුන්දර පරිසරයක් තමයි කළුතර තියෙන්නේ.

කළුතර කියන්නේ මතුගම බදුරලිය පැලවත්ත අගලවත්ත වගේ පැති. ඒ පැති වලට කොච්චර ගියත් එපා වෙන්නේ නෑ. මං පාහියංගල ගිය දවසේම මාකෙළි ඇල්ල බලන්න යන්න ඕන උනත් අපේ උන්දෑගේ බර බරේ හන්දා එහේ යන්ඩ උනේ නෑ. ඔන්න ඒ නිසා මම ඊලඟ සතියේ ඒ පැත්තේ ගිහින් එන්ඩ ඕන කමක් තිබ්බා.

මාකෙළි ඇල්ල ගැන මම මුලින්ම දැක්කේ පානදුරේ ස්ටේෂන් එකේ තිබ්බ බෝඩ් එකකින්. ඒ බෝඩ් එකේ තිබ්බ මාකෙළි ඇල්ල පින්තූරේ නිසා මට එහේ යන්ඩ ආසාවක් තිබ්බා. නමුත් යන්ඩ එන්ඩ විදිහක් නැති නිසා ඒ ආසාව කල් දාන්ඩ උනා. ඒ ආසාව ආයේ දළු දාලා වැඩෙන්න ගත්තේ මට බයික් එක හම්බ උනාට පස්සේ.

මාකෙළි ඇල්ල පිහිටලා තියෙන්නේ පැලෑද එහෙම නැත්නම් පාලින්ද නුවර ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ. පාලින්ද නුවර රජකම් කරපු වීදිය බණ්ඩාර කුමරුන් දිය කෙළි ඇල්ල නිසා මේ ඇල්ලට "මා කෙළි ඇල්ල" විදිහට නම් ලැබිලා තියෙනවයි කියලා තමා සදහන් වෙන්නේ.

ජූනි මාසේ 9 වනදා අපි දෙන්නා උදේ දහයට විතර අළුබෝමුල්ලෙන් පිටත් උනා. අපි දෙන්නයි කිව්වේ මායි අපේ උන්දැයි. අළුබෝමුල්ලේ ඉදලා එච්චර දුරක් නැති නිසයි අපි ඒ වගේ වෙලාවක පිටත් උනේ. නැත්තං උදේ දහය කියන්නේ ට්‍රිප් එකක් යන්ඩ හොඳ වෙලාවක් නෙමේ.


අළුබෝමුල්ලේ ඉදලා බණ්ඩාරගම හරහා අපි හොරණට ආවා. හොරණ ටවුමෙන් අඟුරුවාතොට පාරට හැරෙව්වා. ඒ පාරේ කිලෝමීටර් තුනක් විතර යනකොට බැල්ලපිටිය කියලා හන්දියක් හම්බ වෙනවා.

ඒ හන්දියෙන් වමට තියෙන පාරෙන් බුලත්සිංහලට එන්න ඕන. බුලත්සිංහල ඔරලෝසු කණුව ගාවින් ආයෙම වමට හරවන්න ඕන. ඒ මෝල්කාව පාර. මෝල්කාව පාරෙන් මෝල්කාව හන්දියට එනකොට අපිට පයක් විතර යන්න ඇති. මම හිතං හිටියේ මෝල්කාව කියන්නේ ටිකක් ලොකු ටවුමක් කියලා. බැලින්නං මෝල්කාව කියන්නේ පොඩි ටවුමක්. කඩ හය හතක් විතර ඇති.

මෝල්කාව ටවුමෙන් පාරවල් දෙකක් තියෙනවා. ඔන්න ඔතනදී මට පාර වැරදුනා. මෝල්කාව ඉදලා මාකෙළි ඇල්ලට යනව නං වම් පැත්ත පාරට හරවලා යන්ඩ ඕන.  මම එහෙම හරවන්නේ නැතුව කෙලින් පාරේ ගියා. ඒ පාර මෝල්කාව - ලත්පඳුර පාර.

ඒ පාරත් හරි අපූරු ලස්සන පාරක්. මම ඒ පාරේ කිලෝමීටර් 5ක් විතර ආවා. ඒ පාර හරිම පාළුයි. ඒ නිසා පාරක් අහගන්නවත් මනුස්සයෙක් නෑ. මෝල්කාව ලත්පඳුර පාරේ කිලෝමීටර් පහක් විතර ආවට පස්සේ මටම තේරුනා පාර වැරදුනයි කියලා.

මම ඊට පස්සේ පොඩි ටවුමක් සෙට් වෙනකන් ගිහින් මනුස්සයෙක්ගෙන් ඇහුවා මාකෙළි ඇල්ලට යන පාර මේකද කියලා.

ඒ මනුස්සයා ගත් කටටම කියපි,

"අපොයි මහත්තය මේ පාර නෙමේ. ඔයා මෝල්කාව හන්දියට ගිහින් අනිත් පාරේ යන්ඩ ඕන" කියලා.

අකමැත්තෙන් උනත් මම ආයෙම බයිසිකලේ හරවගෙන මෝල්කාව හන්දියට ආවා. යන්ඩ කිලෝමීටර් 5යි එන්ඩ කිලෝමීටර් පහයි. ඔක්කොම කිලෝමීටර් 10ක් !!!

අයියෝ සල්ලි !!!

ඊට පස්සේ මෝල්කාව හන්දියෙන් හරිම පාරට හරවලා අපි දිය ඇල්ල ගාවට ආවා. ඒ පැත්ත හරිම පාළුයි. ඒ වගේම දිය අල්ල බලන්න කවුරුවත් ඒ වෙනකොට ඇවිල්ලා හිටියේ නෑ. දිය ඇල්ල තියෙන හරියේ ලස්සනට වාහන පාර්ක් කරන්න තැනක් එහෙමත් හදලා තිබුණා. අපි එතැන බයිසිකලේ නැවැත්තුවා.
ඒ කිට්ටුවෙන්ම පාලින්ද නුවර ප්‍රදේශීය සභාවෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා.
ඔය බෝඩ් එක ගහලා තියෙන හරියෙන්ම ප්‍රාදේශීය සභාවෙන්ම හදපු පඩි පෙළක් තියෙනවා. දිය ඇල්ල බලන්න නම් එතැනින් පහලට බහින්ඩ ඕන. ඒ පඩිපෙළ නම් යකාගේ පඩි පෙළක් ! පඩියක් හෙන උසයි !


පඩි පෙළ බැහගෙන ගියාට පස්සේ වේදිකාවක් වගේ තැනක් හම්බ වෙනවා. එතන ඉදලා තමයි දිය ඇල්ල බලන්ඩ තියෙන්නේ. ඒ වේදිකාව නැත්නම් අපේ මිනිස්සු දිය ඇල්ලට බැහැලා නාන්න බැරි නෑ. අපි ගියේ වැස්ස තිබ්බ කාලෙක නිසා දිය ඇල්ල බොහෝම සරු සාරයි.

ලොකූ සද්දෙකින් පහලට කඩා හැළෙනවා. බලන් ඉන්ඩ ආසාවේ බෑ.එහෙනං පින්තූර කෑලි දෙක තුනක් බලලා ඉම්මු.



අපි ගියේ වැස්ස තිබ්බ කාලෙක උනත් අපි ගියපු දවසේ වැස්සක ඡායාවක් වත් තිබ්බේ නෑ. ඒ නිසා හිතේ හැටියට දිය ඇල්ල බලාගත්තා. වැස්ස නැති කාලෙක අපි ආපු පාර මෙන්න මේ වගේ ලස්සනයි.
ලොකු වැස්සක් වැහැලා පායපු වෙලාවක නම් මේ පාරම මීදුමෙන් වැහිලා යනවා. හරියට අපි කඳුකරේට ගිහින් හිටියා වගේ. මේ ගමනම මම ආයේ යළුවෙකුත් එක්කත් ගියා. එදා නම් කඩින් කඩ වැස්ස තිබ්බ දවසක්. එදා මේ පාර මීට වඩා ලස්සනයි. ඒ පින්තූර දෙකක් මම පහලින් දාන්නම්.

මේ දිය ඇල්ලෙන් නාන එක අවදානම්. ඒ වගේම මේක එච්චර ප්‍රසිද්ධ දිය ඇල්ලක් නොවන නිසාත් මිනිස්සුන්ගෙන් දිය ඇල්ලට වෙලා තියෙන පරිසර හානිය අඩුයි. මේක නාන්න පුලුවන් ඇල්ලක් උනා නම් මිනිස්සු සේරම විනාශ කරලා එන්නේ. එහෙම නම් ඉතින් අඩියක් තියන්න බැරි තරමටම පොළිතිනුයි බෝතල් කටුයි බලා ගන්න තිබ්බා.

දිය ඇල්ල බලන්න යන ඕන කෙනෙක්ගෙන් මම ඉල්ලන්නේ දිය ඇල්ල බලන්න ගියාට කමන් නෑ. ඒ අවට පරිසරය විනාශ කරලා නම් එන්න එපා !!!

එහෙනම් මම ගියාවේ.



20 comments:

  1. ඔය ඉන්නෙ අපේ ජාතියේම එකෙක්.

    මද්ද ට නම් වන්ඩේ ටුවර් ආස නෑ අෆ්පා

    ReplyDelete
    Replies
    1. මාත් ආස නෑ. ඒත් තනියම යනකොට දවස් දෙකක් යන්න බෑ නේ.

      Delete
  2. +++++++++++++++++++++++

    ReplyDelete
  3. ඔය අපේ ගං පළාතට ටිකක් එහා. මම මුළින්ම මාකෙළි අල්ලේ ගියේ 7 වසරේදී, අපේ පුංචි අම්මගේ ලොකු පුතා සහ මගේ වයසේම හිටපු එයාගේ මල්ලි සහ අපේ මලය එක්ක, ඒ කාලේ ඔය පාරවල් කිසි දෙයක් නැහැ. ඒ 1992 දී...
    ඒ දවස් වල ඔය කුඩා ගඟ ට දකුණු පැත්තෙන් මිදුල් උඩින්, කැලෑ අස්සෙන් යන අඩි පාරක් තිබුනේ...
    ඇල්ල බලන්න පහලට බහින්න තිබුනේ උඩ පැත්තෙන් ඈවිත් ගස් වැල් වල එල්ලිලා...
    දුෂ්කර බව නිසාම මිනිස්සුත් නැහැ, අපි පාන් කාල වතුර බිව්වෙත් ඇලේ වතුරමයි...
    ඊට පස්සේ අමතර ඇඳුම් නැති නිසා ඔය දිය ඇල්ල වැටෙන මහ වලේ බැහැල හෙළුවෙන්ම නෑවත් එක්ක...
    පස්සෙත් දිය ඇල්ල වැටෙන වලේ වගේම උඩ තියෙන තැන් කීපයකම ඇති පදම් නාල තියෙනවා...
    පස්සේ කැම්පස් කාලේ කැම්පස් එකේ හොරණ සෙට් එකක් මාකෙළි ඇල්ල බලන්න යනවා කියල මට කතා කලා. මට කම්මැලි හිතිලා බැහැ කිව්වා. එදා ගමනේදී උන්ගෙන් දෙන්නෙක් වතුරේ ගිලිලා මැරිලා තිබුනා...
    එදා උන් නාල තිබුනේ වතුර ගොඩක් වැඩි කාලෙක. අපි එහෙම ඒ වගේ කාල වලට බහින්න හිතන්නෙවත් නැහැ...

    අනික පාර දෙකට බෙදෙන තැන නෙමෙයි නියම මෝල්කාව හංදිය...
    දැන් ගුගුල් මැප් එකේ මෝල්කාව පහල හන්දිය කියල පෙන්නන තැන, ඉස්සර මෝල්කාව බස් ගියේ එතනට. කෙළින්කන්ද බස් ගියේ අත්වැල්තොට පහුවෙලා ඉස්සරහට යද්දී කොඩිප්පිලිකන්ද පහුවෙනවත් එක්කම වමට තිබුන පාරෙන්...
    දැන් මෝල්කාව කියල වෙනම බස් යන්නේ නැහැ, එන්නේ කෙලින්කන්ද බස්. ඒ වගේම ඒවා නියම මෝල්කාව හංදියට හරහා යන්නෙත් නැහැ, අර පරණ කෙළින්කන්ද පාරේත් බස් යන්නේ නැහැ...
    මාකෙළි ඇල්ල බලලා තව ඉස්සරහට ගියාම දකුණට හැරෙන පාරකින් තමයි එහෙට යන්න පුළුවන්. තරමක් යන්න අමාරු පාරක්...
    හැබැයි ඒ පැත්තෙන් ගියානම් ඔයිට වැඩිය සුන්දර පරිසරයක් බලා ගන්න තිබුනා. එහෙමත් නැත්තන් කෙලින්ම ඉස්සරහට ගියානම් ඩෑම් එක හරහා කොඩිප්පිලිකන්දට වැටෙන පාරත් පුදුම සුන්දරයි...
    මිනිස් පුළුටත් හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්...

    අනික ඉස්සර බුලත්සිංහල පැත්තට බස් යන්නේ නැහැ. මෝල්කාව බස් එකේ එන අය හන්දියෙන් දකුණට තියෙන පාරේ ටිකක් ඉස්සරහට ගිහින් පාලම පාරුවෙන් එගොඩ වෙලා යන්න ඕනේ...
    ඒ වෙලාවටම බුලත්සිංහල යන බස් එකක් ඇවිත් ගඟේ එහා පැත්තේ නතර කරගෙන ඉන්නවා...

    ඒ පාලම් පාරුව තාමත් තියෙනවා, මම දැනට ටික කාලෙකට කලින් ඒකෙන් එගොඩ වෙලා එහා පැත්තට ගියා යාලුවෙක් ගේ වැඩකට...

    ReplyDelete
    Replies
    1. අපූරු විස්තරයක් ලොකු පුතා. මෙහෙම විස්තර එකතු කරනවට ගොඩක් ස්තූතියි. එතකොට පෝස්ට් එකට ලොකු වටිනාකමක් එකතු වෙනවා.

      Delete
  4. මෝලකාව පාර වරද්දගන්නේ එහෙමත් මෝලෙක් තමා.. හැක්.

    අපුරු විස්තරේ. ඒ උනාට හොරෙන් නාන්න තැනක් ඇති බං... තව දුරටත් ඔය පළාතේ තියෙන දියඇළි දියකෙළි ගැන විස්තර දාහං. මටත් දොළදුකක් ආවා ඒ පැත්තේ රවුමක් ගහන්න මේවා බලලා.

    මරු විස්තරේ මඩුවා

    ReplyDelete
    Replies
    1. රිදීවිට/තඹදොළ ඇල්ල
      තුඩුගල ඇල්ල

      Delete
    2. අත්වැල්තොට ඇල්ල, කහබත් ඇල්ල, කුරුපොඩි ඇල්ල, දුවිලි ඇල්ල (මේක කුඩා දිය ඇල්ලක්) සහ තව ගොඩක් අප්‍රකට දිය ඇලි ගොඩක් එහෙ තියෙනවා...

      Delete
    3. විස්තර වලට ස්තූතියි. මම ආයේ දවසක ඔය පැත්ත කවර් කරන්නම්.

      Delete
  5. ලස්සන තැනක්. අපිත් ගිහින් තියෙනවා. පරිසර සුන්දරත්වය විදින්න අපූරුයි.

    ReplyDelete
  6. සුන්දර තැනක් ගැන ලස්සන සටහනක්!

    ReplyDelete
  7. මාකෙළි ඇල්ල කියද්දී ඉතින් පට ගාල මතක් වෙන්නේ ලොකු පුතය තමයි.. ඕක දැන් සෑහෙන කාලෙක ඉඳල අපිව ඔය ඇලි බලන්න එක්ක යනවා.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔය කොලු පුතයා දීලා තියෙන්නේ දොඹෙන් යන්න !

      Delete
  8. I am supposed to let you know that the following blog entry reminds me of such a nice and pleasant adventure. It's incredibly awesome!

    ReplyDelete
  9. ලොකු පුතා ඔය කියන ඇල්ලට කෙළියට පස්සෙ මේ දැකපු දෙවෙනි බ්ලොග් පොස්ට් එක, දැන් නම් යන්නම වෙනව :)

    ReplyDelete
  10. This road is very deserted, so there is no one who could listen to the path that will have to be done in order to see the beauty and power of the waterfalls.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.