21 July 2018

හැබෑවූ හීනය හෙවත් යකාගේ පඩිපෙළ -2 කොටස

ගමන පටන් අරන් මුල් හරිය එනකොට අපි දකින දර්ශනය සෑහෙන ලස්සනයි. වටේටම කඳු වලල්ලක් තියෙනවා. ඒ අතරින් පහත් බිමක අතුරපු දුඹුරු පාට සිහින් නූලක් වගේ ඇදෙන පාරක් තියෙනවා. කිසිම මිනිස් පුලුටක් දකින්න හම්බ උනේ නෑ.කිසිම යන්ත්‍ර සූත්‍රයක හඩක්, කිසිම වාහනයක හඩක් අහන්න ලැබුණේ නෑ. කොටින්ම අපි සෑහෙන්න ස්වබාවධර්මයට සමීප වෙලා තිබුණා. තව දෙයක් තමා උදෙන්ම අවදි වෙච්ච කුරුල්ලන්ගේ කිචි බිචි නාදයත් වටින් ගොඩින් ඇහෙන්න තියෙනවා.

රෑ තිස්සෙම පුංචි පුංචි පැලෑටි උඩට වැටිච්ච පිණි බිංදු ඒ වෙනකොටත් දකින්න පුලුවන් උනා. මේ හැම දර්ශනයක්ම කැමරා කාචයක සුන්දරව සටහන් කර ගන්න අපි සමර්ථ උනේ නෑ.





අපේ ඇස තරම් සුන්දර කැමරාවක් අපිට හොයා ගන්න ලැබුනේ නෑ. ඒ නිසා අපි ගත්තු පින්තූර වලට වඩා පියවි ඇහින් දකින පින්තූර සිය දහස් ගුණයක් සුන්දරයි.

ගහගෙන යන තරමේ සැඩ හුළඟකට එරෙහිව අපි ඉදිරියටම ගමන් කළා. පරිසරය රසවිඳිමින් යන ගමන නිසා ඒ තරම්ම මහන්සියක් දැනුනේ නෑ. ඒ වගේම හුළඟ නිසා අපිට දහඩිය දැමීමකුත් සිද්ධ උනේ නෑ. ඒ නිසා මේ ගමන අපි හිතපු තරම් මහන්සි ගමනක් උනේ නෑ.

සෑහෙන දුරක් ආවට පස්සේ අපිට උඩවේරිය ගම්මානය දකින්න හම්බ උනා. ඔය පහලින් පෙනෙන්නේ උඩවේරිය ගම්මානයේ තිබ්බ ලයිම් කාමර පේලියක්. අපි මෙහෙම ආසාවෙන් පරිසරය රසවිඳ විඳ සංචාරය කලාට ඒ මිනිස්සුන්ට මේ පරිසරයේ තියෙන රසවත් බව වින්දනය කරන්න කාළයක් නැතුව ඇති. දුප්පත්කම ඒ අතරමටම ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට කිදා බැහැලා තිබෙන්නට ඇති.

අටෝරාසියක් කතා මැද්දේ අපි මේ වෙනකොට සෑහෙන දුරක් පහලට ඇවිල්ලා තිබුණා. අපි ඔහියෙන් ගමන පටන් ගත්ත නිසා අපිට ගමනෙන් සෑහෙන දුරක් හම්බ වෙන්නේ බැස්මක්. කඳු නැගීමක් හම්බ උනේ එහෙමත් වෙලාවක. කළුපහනේ ඉදලා එන සංචාරකයෙකුට නම් ගමනේ වැඩි හරියක් හම්බ වෙන්නේ කඳු නැගීම්. අන්න ඒ නිසයි මම කිව්වේ ඔහියෙන් ගමන පටන් ගන්න එක නුවණට හුරුයි කියලා.

මේ වෙනකොට අපිට කුඩා දිය පහරක් හරහා වැටුනු පාළමක් දකින්න හම්බ උනා. මේ පාළම හදලා තිබ්බේ ලී කොටන් වලිනුයි කොංක්‍රීට් කණු වලිනුයි. ඒ නිසා මේ හරහා වාහනයක් ගමන් කරන එක ටිකක් පරිස්සමින් කළ යුතු වෙනවා.

යකාගේ පඩිපෙළ තරණය කිරීමට ෆෝ වීල් වාහන වලින් එන්න් පුලුවන්. පයින් යනවාට වඩා මේ පාරේ ෆෝ වීල් වාහන වලින් ගමන් කිරීම ගොඩක්ම ජනප්‍රියයි. ඒ ඇරෙන්න මෝටර් බයිසිකල් වලිනුත් සංචාරය කරන එක ගොඩක්ම ප්‍රචලිතයි.
ඔය පාළම පහු කරලා ආයෙම ටික දුරක් යනකොට පොඩි ගම්මානයක් හම්බ වෙනවා. එතන ගලක සංඥා පුවරුවක් දකින්න පුලුවන් උනා. ඒකට අනුව නම් අපි ඔහිය ඉදලා කිලෝමීටර් 10ක දුරක් ඇවිත් තියෙනවා. ඒ වගේම අපිට බඹරකන්ද ඇල්ල වෙනකන් කිලෝමීටර් 10ක දුරක් තරණය කරන්න ඉතුරු වෙලා තියෙනවා. මේ හින්දම අපි ගමන ඉක්මන් කලා. මොකද හවස් උනොත් පාරවල් හොයාගන්න බෑ.
මෙතැන ඉදලා තව දුරටත් දිගටම ගියහම V කට් කියලා තැනක් හම්බ වෙනවා. ඒක මේ ගමනේ ටිකක් විතර ප්‍රසිද්ධ තැනක්.


මේ වෙනකොට අපිට සෑහෙන බඩගින්නක් දැනෙන්න ගත්තා. මහන්සියක් දැනෙන්නේ නැති උනාට සීතල සුළං දහරාව කපාගෙන ගමන් කරන අපිට බඩගින්න ලෙසටම දැනෙන්න ගන්නවා. ඒ නිසා අපි නැවතිලා කල් තියාම සූදානම් කරගෙන ආපු සීනි සම්බෝලයයි පානුයි කන්න ගත්තා. 

ඒ ටික කාලා ඉවර වෙලා අපි ආයෙම ගමන පිටත් උනා. තවත් සැලකිය යුතු දුරක් ගියාට පස්සේ අපිට නාන තොටුපොළක් හම්බ උනා. වතුරේ පුදුම සීතලක් තියෙන්නේ. මේ හරියෙන් තමයි අපේ ගමන් මාර්ගය වැටිලා තියෙන්නෙත්. වැස්ස කාළයට මේ දිය පාර නිසා පාර අවහිර වෙනවාලූ. අපි ගිය දවසෙත් වැස්ස නැති උනට දිය පහරේ පිටාර ගිය වතුර පාරක් පාළම උඩිනුත් ගලාගෙන ගියා.
මෙතැන ඉදලා අපි පෑ බාගයක් විතර නෑවා. නාලා ආයෙම ගමන පිටත් උනා. මේ හරියේ ඉදලා බඹරකන්ද ඇල්ලට ගොඩක්ම ළඟයි. අපේ ගමන වැටිලා තියෙන්නෙත් බඹරකන්ද ඇල්ල හරහා නිසා අපි බඹර කන්ද ඇල්ල බලන්න ආවා. ඒ එන මගදි අපිට ගමේ කෙනෙක් කෙටි මාර්ගයක් පෙන්නුවා. ඒ පාරේ ගියොත් ලංකා ඇල්ල බලාගෙනම බඹර කන්දට එන්න පුලුවන් ලූ. 

ඒ නිසා අපි දෙපාරක් හිතන්නේ නැතුව ඒ පාරෙන් එන්න හැරුනා.

ඒ ටික ඊලඟ ලිපියෙන්ම කියවමු. 

එහෙනම් මම ගිහින් එන්නම්.

ඊට කලින් කියන්න ඕන මේ පරිසරය හරිම නොයිඳුල්. ඒ හින්දාම සංචාරය කරන ඔබ මේ පරිසරය විනාශ කරන්න දායක වෙන්න එපා. ඒක ලොකු අපරාදයක් !!!!

2 comments:

  1. දෙවෙනි කොටසත් කියවූවා. ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.