08 February 2017

ලංකාවේ පාලම් - 1 වෙනි කොටස

ලංකාවේ තියෙන සැතපුම් කණු ගැන ලිව්වට පස්සේ මට හිතුනා පාලම් ගැනත් පොඩිවට මොනාහරි ලිව්වොත් හොඳයි කියලා. ඉතිං අද ලිපිය වෙන් වෙන්නේ ලංකාවේ එදාමෙදාතුර තිබ්බ පාලම් වෙනුවෙන්.

ගොඩක් වෙලාවට පාලමක් ඉදිවෙන්නේ ගඟක් හරහා හෝ දොළ පාරක් හරහා. ඊට අමතරව පාරක් හරහාත් පාලම් ඉදිවෙන අවස්ථා තියෙනවා.  ඒදණ්ඩක් කියන්නේ පාලමක ප්‍රාථමික අවධිය විදිහට හඳුන්වන්න පුලුවන්. පොඩි දිය පහරක් හරහා  පුවක් කොටයක් හරි පොල් කොටයක් හරි හරහට දාලා එහා ඉවුරේ ඉදලා මෙහා ඉවුරට  යන්න පුලුවන් වෙන විදිහට තමා ඒදණ්ඩක් නිර්මාණය වෙන්නේ.

ඒදණ්ඩකින් එහා මෙහා යනකොට සමබරතාවය ඉතාම වැදගත්. පොඩ්ඩක් හරි එහා මෙහා පැද්දුනොත් කෙලින්ම වතුරට වැටෙන්නේ. ඒ නිසාමද මංදා "පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්ඩ බෑ" කියලා කියමන අපි අතරට ආවේ.
පළල් ඉවුරු ආශ්‍රිත ගංගා හරහා ඒ දඩු නිර්මාණය වෙන්නේ හරි අඩුවෙන්. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ සමබරතාවය රැකගෙන ගඟ තරණය කිරීමට ඇති අපහසුව වෙන්ඩ ඕන. ඒ නිසාම ඒදඩු ගොඩක්ම නිර්මාණය වෙන්නේ කුඹුරු ආශ්‍රිතව.

ලී දඩු වලට අමතර කලු ගලින්ද නිර්මාණය වෙච්ච ඒදඩු තියෙනවා. මේ ලිපියේ ඒ වගේ ගල් ඒදණ්ඩක් ගැන සදහන් වෙනවා. මීට අමතරව මට මතක් වෙන්නේ පහළ කරගහමුණ ගල් ඒදණ්ඩ රජමහා විහාරය. ඒ පන්සල ආශ්‍රිතවත් ගල් ඒදණ්ඩක් ඒ දවස්වල තිබුණයි කියලා සදහන් වෙනවා.

වාහනයක් යන්ඩ පුලුවන් දොළ පාරක් ගලාගෙන යනවා නම් ඒ දියපහරේ ගලා යාමට බාධා නොවන විදිහට බෝක්කුවක් තුළින් දිය පහර ගලායාමට සලස්වනවා. මේකත් පාලමක ප්‍රාථමික අවධියක් විදිහට හදුන්වන්න පුලුවන්.

පහලින් තියෙන්නේ පාර හරහා ඉදි කර තිබෙන බෝක්කුවක පින්තූරයක්. මේ බෝක්කුව මට දකින්න හම්බ උනේ සීතාවක තෙත්බිම් උද්‍යානයේදී. බෝක්කු නම් අනන්තවත් දැකලා තිබුනට ඒවෑ පින්තූර නම් මා ලඟ තිබුනේ නෑ.
සමහර පොඩි දිය පහරවල් පායන කාළයේදී හිදී යනවා. ආයෙම වැස්ස කාලේදී මතු වෙනවා. ඒ වගේ දිය පහරක් පාර හරහා ගියොත් ඒ පාර හරහා සපත්තු පාලමක් ඉදි කිරීම සිදු වෙනවා. වැස්ස කාළයේදි සපත්තු පාලම ජලයෙන් යට වීම සිද්ද වෙනවා. එතකොට පාරේ ගමන් කරන වාහන දිය පහර හරහා යා යුතු වෙනවා.



සපත්තු පාලමක් අපේ ගමේ දී මම දැකලා තියෙනවා. එහේ ගිය වෙලේක පින්තූරයක් අමුණන්නම්.

 අතීතයේ දී කැළණි ගඟ තරණය කරන්න පාරු පාළමක් තිබිලා තියෙනවා. පාරු, ලඟින් ලඟින් එකිනෙක ගැට ගහලා ඒ මතින් ලෑලි අතුරලා පාලමක් හදලා තියෙනවා. උතුරේ ඉදලා ආපු වෙලෙන්දෝ මේ පාරු පාලම තරණය කරලා කොළඹ ආවයි කියලා සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුවකත් තියෙනවා.

පාරු පාලමෙන් කොළඹට
ගැල් පේලිය සැපත් උනා
ගෑස් පහට ලංවෙනකොට
අපි හොඳටම හවස් උනා



කාළයක් යනකොට ඔරු දිරාපත්  වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඔරුව පාලමෙන් ගලවලා අයින් කරලා වෙන ඔරුවක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ දිරා ගියපු ඔරුව ගඟෙන් එගොඩහ වත්තක ගොඩ ගහලා තියනවා. ඒ වත්ත පහු කාලෙක ඔරුගොඩවත්ත කියලා හඳුන්වනවා.

පාලම් ඉදිවීම මෑත අතීතයේ ඉදලා සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. අනුරාධපුර යුගයේ ඉදලා පාලම් ඉදි වෙලා තියෙනවා. ඒකට හොඳම සාක්ෂිය විදිහට මහ කනදරා වැව ආසන්නයේ තියෙන ගල් පාලම හඳුන්වන්න පුලුවන්. මීට අමතරව තවත් ගල් පාලම් ගැන මේ ලිපියෙන් කියවන්න පුලුවන්.

පහලින් තියෙන්නේ මහ කනදරා වැව ආසන්නයේ තියෙන ගල් පාලමක පින්තූරයක්.
මේ ගල් පාලම දන්නේ නැති උනාට වෙන ගල් පාලමක් ගැන කවුරුත්  දන්නවා ඇති. ඒ ෂර්ලොක් හෝම්ස් හරි අපූරු අභිරහසක් විසදපු ගල් පාලමක් ගැන. ගල් පාලමේ අභිරහස කියවලා ඇති නෙහ්. :)

කලු ගලින් හදපු පාලම් වගේම අතීතයේ ලී වලිනුත් පාලම් ඉදි කරලා තියෙනවා. වර්ථමානයේ එවැනි ලී පාලම් දෙකක් දකින්න හම්බ වෙනවා. එක පාලමක් තියෙන්නේ පිළිකුත්තුව රජමහා විහාරයේ. පිළිකුත්තුව රජමහා විහාරය ගැන මම කලින් ලිපියක ලියලා තියෙනවා. ඒක මෙතනින් කියවන්න. දවසක් ගත කරලා එන්න පුලුවන් අපූරු තැනක් තමයි පිලිකුත්තුව රජමහා විහාරය කියන්නේ.

මීට අමතරව බෝගොඩ ලී පාළම හඳුන්වන්න පුලුවන්. මෙම පාළම දිගින් මීටර් 1.5ක් වෙනවා. මේ පාලම ඉදි වෙලා තියෙන්නේ ගල්ලන්ද ඔය හරහා.

මේ පාලම් දෙකේම දකින්න පුලුවන් පොදු ලක්ෂණය වෙන්නේ පාලම් දෙකටම වහලයක් නිර්මාණය කර තිබීමයි. කල් ගතවීමේදි වතුරෙන් ලීයට සිදු විය හැකි හානි අවම කිරීමට මෙම වහල ඉදි කළා විය යුතු ය.

ඉතුරු පාලම් ටික ගැන ඊලඟ ලිපියෙන්ම කියන්නම්.

මතු සබැඳි....

දෙවන කොටසට මෙතනින්.

2 comments:

  1. වටිනා ලිපි මාලාවක 1. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ගොඩක් වටින ලිපියක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.