28 August 2012

මෙහෙම ට්‍රේනින් නම් එපා

මේ දවස්වල මට වැඩට යන එක එපා වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මට අපේ වැඩපොලෙන් දීලා තියෙන ට්‍රේනින් එක !

උපන්තේකට අහලා නැති ප්‍රෝග්‍රැමින් ලැංවේජ් එකක් තමයි මේ දවස් වල ඉගෙන ගන්ඩ තියෙන්නේ. අළුත් දෙයක් ඉගෙන ගන්ඩ තියෙන එක හොද දෙයක් උනාට මේ ට්‍රේනින් එක දෙන්න ඇවිත් තියෙන්නේ රැජිනගේ රටේ කෙනෙක් !

රැජිනගේ රටේ මිනිස්සු ගැන ආයේ අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ. මෙවුන්ට තියෙන්නේ සුපිරිම කඩ්ඩක් ! කඩ්ඩ විතරක් යෑ... උච්ඡාරණයත් හෙනම අමුතුයි !

මට කඩ්ඩෙන් තියෙන මොනවහරි දෙයක් අහලා තේරුම් ගන්නවාට වඩා ඒ දේ කියවලා තේරුම් ගන්නකොට ඉක්මනින් ධාරණය වෙනවා.මොනවහරි අළුත් දෙයක් අහලා තේරුම් ගන්නවා නම් සරලව කියන්ඩ ඕනේ.

ඒත් ඉතින් මුන්ගේ සරල පැහැදිලි කිරීමක් උනත් උච්ඡාරණයේ තියෙන වෙනස් කම හන්දම සෑහෙන අමුතුවට ඇහෙන්නේ. ඒ හින්දා උගන්වන දේට අමතරව භාශාවත් එක්කත් සෑහෙන සටනක් දෙන්ඩ සිද්ධ වෙලා තියෙනවා.කොටින්ම මේකෑ කටින් පිටවෙන ඉංග්‍රීසි වචනයක් අල්ලගන්ඩ මම් සෑහෙන ගේමක් දෙනවා.

හොඳම වැඩේ තමයි කට්ටිය ටික දෙනෙක් විතරක් ඉන්න හන්දා එපා වෙච්ච වෙලාවට නිදි කිරා වැටෙන්ඩත් බෑ... අන්තර්ජාලය පාවිච්චි කරන්ඩත් බෑ. අතරින් පතර විවේක කාලයකුත් නෑ.. කෑම පැයත් වෙලාවට හම්බවෙන් නෑ...

කොටින්ම උදේ අටේ ඉදලා පහ වෙනකන්ම මෙලෝ හසරක් තේරුම් ගන්ඩ බැරි දේවල් අහගෙන ඉදලා හවස් වෙනකොට ඔලුව පුපුරන්ඩ තරම් රිදෙන්ඩ ගන්නවා. මේ දවස් ටික ඉක්මනට ඉවර වෙනවනම් දාහෙන් සම්පතයි !!!

ඔන්න ඕක තමයි මේ දවස්වල මට මුහුන දෙන්ඩ වෙලා තියෙන කරදරේ !!! ඉතින් වැඩට යන එක එපා වෙන එක අහන්ඩත් දෙයක් යෑ.. !!!

24 August 2012

නාට්ටි දහයක් !

අද සිකුරාද දවසක් !
ඒ වගේම අපේ පැත්තට උදේ ඉඳන්ම සෑහෙන්ඩ වහිනවා. අද වැඩට යන්ඩ මාරම කම්මැලිකමේ හිටියේ... ඒත් ලෙඩ නිවාඩු ඇරෙන්ඩ වෙන නිවාඩු ඉතුරු වෙලා නැති හින්දා අකමැත්තෙන්ම හරි ගෙදරින් පිටත් වෙලා ආවා.

ගෙදරින් අකමැත්තෙන් ආවට මොකෝ වැඩපොලට ආවට පස්සේ වැඩ කරන්ඩ සෑහෙන උද්යෝගයක් තියෙන්නේ. ඇයි ඉතින් හෙට සෙනසුරාදා නෙව.

ඒ උනාට මම් කියන්ඩ ආව කාරණේ ඒක නෙමෙයි !

ඔන්න මේ සති අන්තයේ විවේකයක් තියෙනවා නම් බොරැල්ල YMBA ශාලාවට ආවොත් එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ නාට්ටි වගයක් බලාගත්තෑකි.. සරත්චන්ද්‍රයන්ගේ 16 වෙනි ගුණ සමරුව වෙනුවෙන් තමයි මේ නාට්ටි පෙන්වන්නේ.

18 වෙනිදා ඉඳන් දවස් දහයක් එක දිගට නාට්ටි 10ක් පෙන්වනවා. දැන් නම් නාට්ටි උලෙලේ අන්තිම හරිය යන්නේ. ඊයේ 'කපුවා කපෝති ' නාට්ටිය තිබ්බා. යාන්තන් ඊයේ නාට්ටිය නම් බලාගත්තා. කට්ටියත් එක්ක සෙට් වෙලා අදත් යන්ඩ හිතන් ඉන්නේ.

ඉදිරි දවස් ටිකේ නාට්ටි පෙල ගැස්ම මෙහෙමයි.

අගෝ. 24 - කදා වළලු, එලොව ගිහින් මෙලොව ආවා 
අගෝ 25 - හස්තිකාන්ත මන්තරේ
අගෝ. 26 - සිංහබාහු
අගෝ. 27 - මනමේ

නාට්ටි පටන් ගන්නේ හවස 6.30ට.   ඒ උනාට ටිකක් වේලපහ එන එක තමයි හොඳ. මොකද සීට් ගාන සෑහෙන සීමිතයි. (ටිකට් එක රුපියල් 100ක් වෙනවා).

එහෙනම් සියළු දෙනාට විනෝදයෙන් පිරුණු සති අන්තයක් !

23 August 2012

හා හොඳයි හොඳයි

අපට මේ දවස්වල පෑ තුනකට වඩා වැඩි කරන්ට් කැපිල්ලක් තියෙනවා. කරන‍්ට් කපපු ගමන් යූ. පි. එස්. එකෙන් විනාඩි තිහක් විතර අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ ඒකත් පන ඇදලා මැරිලා යනවා.

ඉතින් යූ.පී.එස් එකත් මලහම කරන්ඩ කිසිම වැඩක් නැති නිසා ඔහේ කියව කියව ඉන්නවා.

අපේ වැඩපොලේ ඉන්නවා ලංකාවට කම්පියුටර් ආපුම කාලේ ඉදන් වැඩ කරපු මනුස්සයෙක්.ඒ මනුසයා කියන විදිහට කම්පියුටර් ආපුම කාලේ කියන්නේ ඩොස් වල වැඩ කරන කාලේ ලූ .ඒ මනුස්සයා මුලින්ම වැඩ කරලා තියෙන්නේ ඩොස් වල ලූ (අර කළුපාට ස්ක්‍රීන් එක).

පස්සේ පස්සෙලූ වින්ඩෝස් වගේ ඔපරේටින් සිස්ටම් ආවේ.ඒ දවස්වල කම්පියුටර් ගැන කතා කරන්ඩ ඕනැන්නේ නෑනේ.. පෙන්ටියම් I,II වගේ කම්පියුටර් නේ තිබිලා තියෙන්නේ. අන්තර්ජාල පහසුකම ගැනත් කියන්ඩ ඕනැන්නේ නෑනේ.. 56K වගේ හයි ස්පීඩ් කනෙක්ශන් තමයි ලූ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ මනුස්සයා කලින් වැඩ කරපු තැන තරුණ පහේ හාදයෙක් ඉඳලා තියෙනවා කුමාර කියලා (හරිම නම මතක නෑ..)

දවසක් මේ කුමාරට යාළුවෙක්ගෙන් වැල සීඩී එකක් ලැබිලා. මූ සීඩී එකත් බෑග් එකට දාගෙන වැඩකරන තැනට ඇවිල්ලා. සීඩි එක බෑග් එකේ තිබ්බට මොකද ඒකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නකන් මූට ඉන්ඩම බෑලූ.

ඉන්ඩම බැරි තැන මූ කරලා තියෙන්නේ බොසා එළියට ගියපු ගමන්  සීඩි එක එලියට අරගෙන ඒක කොම්පීතරේට දාලා බලාගෙන ඉන්නවලූ.  කවුරුහරි එයි කියන බයට මූ ෆුල් ස්ක්‍රීන් නොදා හිටියලූ.

වීඩියෝ එකත් නැගලා යනවලූ. කෙල්ලයි කොල්ලයි ඇවිත් වැඩේට එන්ටර් වෙලා ටික වෙලාවකින් කෙල්ල ඇඳුම් ගලවන්ඩ පටන් ගත්තලූ. කෙල්ලට හැට්ටේ විතරයිලූ ගලවන්ඩ ලැබුනේ එකපාරටම එලියට ගියපු බොසා තකහනියෙම කුමාර ගාවට ආවලූ මොකද්ද වැඩකට !

කුමාරට කර කියා ගන්ඩ දෙයක් නැති උනාලූ. හදිස්සියට ප්ලේයර් එක ක්ලෝස් කලාට ක්ලෝස් නොවී ෆුල් ස්ක්‍රීන් මොඩ් එකෙන් වීඩියෝ එක ප්ලේ උනාලූ ! ඊට පස්සේ කී බෝඩ් එකේ දන්න දන්න කී ඔක්කොම ඔබපු හන්දා වීඩියෝ එකත් ස්ට්‍රක් වෙලා ලූ !

 වැඩේ කියන්නේ කෙල්ලගේ පපු ප්‍රදේශය මුළු ස්ක්‍රීන් එක පුරා තියෙන විදිහටලූ වීඩියෝ එකත් නැවතිලා තියෙන්නේ !

මූට කර කියා ගන්ඩ දෙයක් නැති වෙච්ච තැන අත් දෙකෙන් කෙල්ලගේ අහවල් මෙවුවා කවර් කරගෙනම "හරි හරි සර් ! මං එන්නං" කියලා කිව්වලූ.

මොනිටරේ පැත්තක් අත් දෙකෙන් වහගෙන හිටපු කුමාරව දැකපු බොසාත් "හා හොඳයි හොඳයි කරගෙන යන්ඩකෝ !" කියලා කට කොනකින් හිනා වෙලා යන්ඩ ගියා ලූ.
--------------------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල දිගට හරහට පාඩම් කරන නිසා ග්‍රීක කතා කියවන්ඩ උනේ නෑ..

19 August 2012

මෙඩූසා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුයි යක්ෂයොයි මහපොලව උඩ ජීවත් උනා. මෙන්න මේ කාලයේදි මහපොලවට අධිපති දෙවියගේ දුවයි මුහුදු වලට අධිපතියා දෙවියගේ පුතයි කසද බැඳලා ඒ දෙන්නට ලස්සන දූ කුමාරියක් ලැබුනා.

ඒ දූ කුමාරියට මේ දෙන්නා 'මෙඩූසා' කියලා ලස්සන නමකුත් දැම්මා. මෙඩූසා කියන්නේ ගොඩාක්ම ලස්සන දූ කුමාරියක්..



දෙමවුපියනුත් මේ දූ කුමාරියගේ ලස්සන ගැන වර්ණනා කලා. ඒ තරම් මේ දූ කුමරියත් සෑහෙන්ඩ ලස්සනයි. ටික ටික කල් ගත වෙලා මේ කුමාරිය වැඩිවියට පත් වෙනවා. ඒත් එක්කම එයැයිගේ ලස්සනත් බලාගෙන ඉන්නැද්දිම වැඩිවෙනවා.

දන්නවනේ කාන්තාවන් ගොඩක් ලස්සන උනහම ආඩම්බරකම ඉබේටම වගේ එනවා කියලා. මේ දූ කුමාරියටත් ආඩම්බරකම ඕනාවටත් වඩා තිබ්බා. මේයැයි හැමතිස්සෙම තමන්ගේ ලස්සන ගැන ආඩම්බර උනා. තමන්ගේ ලස්සන වර්ණනා කරන්ඩත් මේ මෙඩූසා කුමාරිය අමතක කලේ නෑ..

දවසක් මේ දූ කුමාරිය "මම තමයි මේ ලෝකේ ලස්සනම කුමාරිය ! මම ඇප්‍රොඩයිට්ටත් වඩා ලස්සනයි !" කියලා පුරසාරම් දෙඩෙව්වා. ඇප්‍රොඩයිට් කියලා කියන්නේ සුන්දරත්වයේ හා ආදරයේ දෙව්දුව !

මෙඩූසාගේ පුරසාරම් දෙඩවිල්ල ඇප්‍රොඩයිට් දෙවඟනටත් ඇහුනා.

ඉතින් මේ ඇප්‍රොඩයිට් දෙවඟන, මෙඩූසා කුමාරියට යෝජනාවක් කරනවා.

"අපි දෙන්නා මේ ලෝකේ ඉන්න කඩවසම් ම ආදරවන්තයෝ එක්ක යාළුවෙමු. ගොඩක්ම කඩවසම් ආදරවන්තයෝ වැඩියෙන්ම ඉන්න කෙනාට දිනුම ලැබෙනවා. බැරිවෙලවකවත් ඔයා දින්නොත් ඔයා ආදරයේ දෙවඟන වෙන්න මම මරණයට පත් වෙන්නම්... හැබැයි මම දින්නොත් ඔයාට මැරෙන්ඩ සිද්ද වෙනවා !!!! "

ඇප්‍රොඩයිට් දෙවඟනගේ මේ යෝජනාවට  මෙඩූසා එකපයින්ම කැමති වෙනවා.

දෙන්නම එක වගේ ලස්සන නිසා තරඟය සෑහෙන්ඩ තියුණු වෙනවා. දෙන්නගේම පලවෙනි බැල්මට කසවසම් කුමාරවරු වශී වෙනවා. නමුත් මෙඩූසාගේ තියෙන අහංකාරකමත් එක්ක ජීවත් වෙන්ඩ කිසිම කුමාරයෙක් කැමති වෙන්නේ නෑ..

නමුත් ඇප්‍රොඩයිට් දෙවඟන ලස්සන වගේම ඒයැයිගේ ආදරේට වශී වෙච්ච කුමාරවරු ගනන දවසෙන් දවස වැඩි එනවා.

කොහොමහරි අන්තිමේදි තරඟය අවසාන දවසට ලං උනහම ඇප්‍රොඩයිට් කුමාරියට  කසවසම් ආදරවන්තයෝ සිය ගාණක් ඉන්නවා. ඒත් මෙඩුසට හිටියේ එකම එක ආදරවන්තයෙක් විතරයි.... (කවුද දන් නෑ ඒ මෝඩයා...)

 මේ තරඟයෙන් ඇප්‍රොඩයිට් දෙවඟන දිනන නිසා මෙඩූසට මැරෙන්ඩ සිද්ධ වෙනවා.... ඒත් ඇප්‍රොඩයිට් දෙවඟනගේ තියෙන හොඳ හිත නිසා මෙඩූසව මරණයට පත් කරන්නේ නෑ.. ඒ වෙනුවට ජීවිත කාළයටම බලපාන විදිහේ සාප කරනවා.

ඒ සාපය තමයි මෙඩූසා දිහා බලන හැම එකාම ගල්වෙලා යන එකයි මෙඩූසට තිබ්බ ලස්සන කොණ්ඩය විශඝෝර නයි බවට පත් කරන එක !!

ඔන්න ඔහොම තමයි මෙඩූසගේ කොණ්ඩේ නයි බවට පත් උනේ.පහල පින්තූරේ ඉන්නේ සාපයට අහු වෙච්ච මෙඩූසා...


 මෙඩූසා

 -------------------------------------------------------------------
ප.ලි. - මේ කතාවේම ඇතීනා දෙවඟන සම්බන්ධ වෙච්ච කතාවකුත් තියෙනවා. නමුත් මම ආස මේ කතාවට නිසා ඒක පරිවර්තනය කලා.

17 August 2012

මවුන්ට් ලැවීනියා

අද කතාව මේකයි !

1805 අවුරුද්දේදි තෝමස් මේට්ලන්ඩ් කියන එංගලන්ත හමුදා ජෙනරාල්වරයා ලංකාවට ගොඩ බහිනවා. මේට්ලන්ඩ් ජෙනරාල්වරයා , ලංකාවට එන්නේ ලංකාවේ ආණ්ඩුකාරවරයා බවට පත් වෙන්න.

ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට නවාතැන් ගන්ඩ ලැබෙන්නේ එච්චර සුවපහසු නවාතැනක නෙමෙයි. මේ නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික පරිහරණයට සුවපහසු මන්දිරයක් ඉදි කරනවා. 1806 අවුරුද්ද වෙනකොට මේ මන්දිරයේ වැඩ කටයුතු නිමවෙලා ආණ්ඩුකාරවරයා මන්දිරයේ පදිංචියට යනවා.

මන්දිරයේ ජීවත් වෙන මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා, තමන්ගේ මන්දිරයට mestizo නැටුං කණ්ඩායමක් ගෙන්වනවා. මේ අයගේ නැටුම් බලලා ආණ්ඩුකාරවරයා සතුටු වෙනවා. ඒත් එක්කම නැටුම් කණ්ඩායමේ හිටපු ලැවීනියා අපෝන්සුවා කියන ලස්සන තරුණියකට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ඇහැ ගැටෙනවා.

 mestizo නැට්ටුක්කාරියෝ

ලැවීනියා අපෝන්සුවා කියලා කියන්නේ අර්ධ සිංහල අර්ධ පෘතුගීසි රොඩී කුළයේ තරුණියක්. කුළයෙන් හීන තරුණියක් !

 මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට මේ තරුණියගේ නැටුම් හිතට අල්ලනවා.කොච්චර හිතට ඇල්ලුවාද කියනවනම් ආණ්ඩුකාරවරයට මේ තරුණිය කෙරෙහි ආලවන්ත හිතක් පහල වෙනවා. මේ වෙනකොටත් අවුරුදු 46ක් වෙච්ච ආණ්ඩුකාරවරයා කසාඳ බැඳලත් හිටියේ නෑ ලූ.

ඉතින් මේ තරුණිය ගැන කරුණු කාරණා හොයලා බලනකොට ඒ කෙනත් පදිංචි වෙලා ඉන්නේ ආණ්ඩුකාරවරයගේ මන්දිරයට ගොඩක් ලඟින්.

නමුත් මේ තරුණිය කුළයෙන් අඩු කෙනෙක් නිසා කෙලින්ම ගෑල්ලමයගේ ගෙදරට ගිහින් හම්බ වෙන්ඩ බෑ. ආණ්ඩුකාරවරයාට මේ ගෑල්ලමයව හම්බ වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට හොද අදහසක් පහල උනා ලූ.

ඒ තමයි තමන්ගේ මන්දිරයේ බිම් මහලේ ඉදන් ඒ ගෑල්ලමයගේ ගෙදරට උමඟක් හාරන එක !. උමඟේ වැඩ ඉවර උනාට පස්සේ ආණ්ඩුකාරවරයා, තමන්ගේ පෙම්වතියව හම්බ වෙන්ඩ යනවා.

අවුරුදු හයක් තිස්සේ ආණ්ඩුකාරවරයා මේ උමඟ දිගේ ගිහින් ලැවීනියව හම්බ වෙලා එනවා.ලෝකයාට හොරෙන් මේ දෙන්නගේ ආදර කතාව උමඟ දිගේ හොර රහසෙම ගලාගෙන යනවා. ඔහොම කාලය ගත වෙනකොට මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ශරීර සෞඛ්‍යය දුර්වල වෙනවා.

මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයට තමන්ගේ මවු රටට යන්ඩ වෙනවා.

තමන්ගේ අදරයයි ඒ ආදරයට උදවු කරපු උමඟයි ඉතුරු කරලා මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා තමන්ගේ මවු රටට යනවා. ඒ යන්ඩ කලින් පොඩි කඳු මුදුනක් උඩ ඉදිවෙච්ච මේ මන්දිරයට "මවුන්ට් ලැවීනියා" කියලා නම් කරනවා.
 ගල්කිස්ස හෝටලය 

ගල්කිස්ස මුහුදු වෙරළේ ආසන්නයේම දිස් වෙන හෝටලය, මේ දෙන්නගේ ආදර කතාවට අදටත් සාක්ෂි දරනවා !

මේ සති අන්තයේ ගල්කිස්ස මුහුදු වෙරලට යනවා නම් මේ කතාව මතක තියාගෙන යන්ඩ හොදේ.. තමන්ගේ ආදරවන්තියට / ආදරවන්තයාට කියලා දෙන්ඩ බැරි යෑ... :)

හැමෝටම විනෝදයෙන් පිරුණ සති අන්තයක් !!!
-----------------------------------------------------------------

 ප.ලි. - මේ කතාව මතක් කරලා දීපු අමානිට (අමා ට) ස්තුතියි !

ප.ප.ලි - කතාව කලින් අහලා තියෙනවා නම් කොරන්ඩ දෙයක් නෑ.. කම්මැලිකමට ලියන්ඩත් දෙයක් තියෙන්ඩ එපායෑ... :)

14 August 2012

ඩාවින්සි දුටු අනාගතය

"මිනිසා විසින් නිෂ්පාදනය කළ සෑම නව නිර්මාණයක්ම මුලින්ම උපදින්නේ ඔහුගේ හිතේ ය. "

මම් ඉස්කෝලේ යන දවස්වල දවසේ ආදර්ශ පාඨය විදිහට පංතියේ කළු ලෑල්ලේ ඔහොම ලියලා තිබ්බා මතකයි. තමන්ගේ හිතේ උපදින සෑම සිතුවිල්ලක්ම නව නිර්මාණයක් කරගැනීම හැමකෙනාටම එකවිදිහට කරගන්න නම් බෑ. ඒකට උත්සහයත් කැපවීමත් ඕන කරනවා.

ඒ උනත් අඩුම තරමේ තමන්ගේ හිතේ උපදින හැම අළුත් සිතුවිල්ලක්ම චිත්‍රයට නගන්න පුලුවන් නම්, එතකොට කවදාහරි ඒ කෙනාට තමන්ගේ හිතේ මෙහෙම සිතුවිල්ලක් ඇති උනා ය කියලවත් සතුටු වෙන්ඩ පුලුවන්.

අපි නොදන්නවා උනාට තමන්ගේ හිතේ ඇති වෙච්ච හැම සිතුවිල්ලක්ම චිත්‍රයට නගපු මිනිස්සුත් ලෝකයේ ඉදලා තියෙනවා. එහෙම කෙනෙක් තමා ලියනාඩෝ ඩාවින්චි කියලා කියන්නේ.

ඔහු තමන්ගේ ජීවිත කාළයේදී හිතුන හැම දෙයක්ම වගේ චිත්‍රයට නගලා තියෙනවා. ඒත් ඒ හැම සිතුවිල්ලක්ම ඔහුගේ ජීවිත කාළය ඇතුලතදී නව නිර්මාණයක් වෙලා නම් නෑ...

 ඔහුගේ හිතේ ඇති වෙච්ච හොඳම සිතුවිලි දහයෙන් කීයක් නම් නිර්මාණයක් බවට පත්වෙලා තියෙනවද කියලා බලන්න.

1. බෝල බෙයාරිම් (Ball Bearing )










පහලින් තියෙන්නේ බෝල බෙයරිම් එකක පින්තූරයක්











2. පැරෂුට්( Parachute )












3. අහසින් පියාසර කළ හැකි ornithopter-(නූතන ගුවන් යානා වලට සමානය )










4. මැෂින් ගන් (Machine Gun)












5. කිමිදුම් ඇඳුම්


6. යුද්ධ ටැංකි











7. ස්වයංක්‍රීයව ක්‍රියා කරන කරත්ත












8.  අනාගත නගර සැලසුම්














9. වායුමය අවර පෙත්ත - නූතන හෙලිකොප්ටර් වලට සමානය











10. රොබෝ නයිට්වරු (රොබෝ මිනිසුන්)











එක අතකට ඩාවින්සි කියන්නේ නිකන්ම නිකන් චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙමෙයි වර්තමානයේදි අනාගතයේ ඇතිවිය හැකි දෑ නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියෙක් !

-------------------------------------------------
ප.ලි. - මේකත් අහම්බෙන් කියවන්න ලැබුන ලිපියක්. පරිවර්තනය කරන්න කම්මැලි නිසාම පින්තූර ටික විතරක් දැම්මා. :)

09 August 2012

ඇතෑන්ස්

කලින් ලිපියෙදි සියුස් දෙවියන්ගේ හිස දෙබෑ කරගෙන ඇතීනා දෙවඟන ඉපදුන කතාව කිව්වා මතක ඇති නේ. ඔන්න මේ දෙවඟන ටිකෙන් ටික තරුණ වියට එලඹෙනවා. මේ කාලෙදි පොසයිඩන් කියන මුහුදු වලට දෙවියයි ඇතීනයි  අතර අමුතු තරඟයක් ඇති වෙනවා.

ඒ තමයි තමන්ගේ නමින් නගරයකට නමක් දාන්න. !

කවුරුත් ආසයි නෙව තමන්ගේ නමින් නගරයක් තියෙනවා නම්.ඉතින් මේ පොසයිඩනුයි ඇතීනයි දෙන්නම කරට කර තරඟ කරනවා තමන්ගේ නමින් නගරය නම් කරගන්ඩ. ඉතින් මේ දෙන්නා අතර තියෙන තරඟය ගොඩක් උනුසුම් වෙනවා. කොටින්ම දේව සභාවෙත් මේ ගැන කතා වෙනවා.

අන්තිමේදි දෙවිවරු ඒක මතිකව තීරණය කරනවා මේ දෙන්නගෙන් කාට හරි දිනුම දීලා ඒ කෙනාගේ නමින් මේ නගරය නම් කරන්ඩ.

ඉතින් මේ දෙන්නටම කියනවා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්ඩ කියලා. මිනිස්සුන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දේ නිර්මාණය කරන කෙනාගේ නමින් නගරය නම් වේවි කියලා දෙවිවරු තීරණය කරනවා.

 දෙන්නම අභියෝගය බාර ගන්නවා !

මුලින්ම අහියෝගයට මුහුණ දෙන්නේ පොසයිඩන්. මෙයා තමන්ගේ  ත්‍රිශූලය පර්වතයක හිර කරලා එතනින් ජල ධාරවක් නිකුත් වෙන්ඩ සලස්වනවා. මිනිස්සු මේ ජල ධාරාව දැකලා සෑහෙන්ඩ සතුටු වෙනවා. ඒගොල්ලෝ වතුර ටිකක් අරගෙන බොන්න හදනවා. ඒත් බොන්න බෑ ලුණු රසයි... පොසයිඩන් කියන්නේ මුහුදු වලට අධිපති දෙවියා නිසා මුහුදු වතුර තමයි එවලා තියෙන්නේ.ඉතින් මිනිස්සුන්ට මේ නිර්මාණය එපා වෙනවා.

පොසයිඩන්


ඊට පස්සේ ඇතීනගේ වාරේ.එයා තමන්ගේ යෂ්ටිය බිම හිටවලා එතනින් ඔලිව් ගහක් හටගන්න සලස්වනවා. ඔලිව් ගහ දැකපු මිනිස්සු ගොඩක් සතුටු වෙනවා.මිනිස්සු මේ ඔලිවු ගහෙන් එක එක කෑම ජාති හදා ගන්නවා, දර, තෙල් වගේ දේවල් ලබා ගන්නවා.
 ඇතීනා

ඉතින් මේ දෙන්නගේ නිර්මාණ වලින් මිනිස්සුන්ට වඩාත්ම ප්‍රයෝජනවත් වෙන්නේ ඇතීනගේ නිර්මාණය නිසා මේ නගරය ඇතෑන්ස් කියලා නම් කරනවා. අදටත් ග්‍රීසයේ අගනුවර වෙලා තියෙන්නේ මේ ඇතෑන්ස් නගරයම තමා !

පහුකාලීනව මේ ඇතෑන්ස් නගරයේ ඇතීනා දෙවඟනටම වෙන් වෙච්ච දේවාලයක් හැදෙනවා. ඒක තමයි පාතිනන් දේවාලය කියන්නේ. !

08 August 2012

ඇතීනා

ඔන්න එකෝමත් එක කාලෙක දෙවිවරුන්ගේ රජ්ජුරුවෝ විදිහට ඉන්න සියුස් දෙවියෝ මෙටිස් (Metis) කියලා කුමාරිකාවක් සරණ පාවා ගන්නවා. මෙටිස් කුමාරිය කියන්නේ සෑහෙන බුද්ධිමත් කුමාරිකාවක් !

ඉතින් මේ කුමාරියයි සියුස් රජතුමායි සතුටින් ජීවත් වෙනවා. ටික කාලයකට පස්සේ මේ කුමාරිය දරුවෙක් පිළිසිඳ ගන්නවා. මේ කුමාරිය දරුවෙක් පිලිසිඳ ගන්න ආරංචිය අහපු සියුස් රජතුමා ඒ තරම් සතුටු වෙන්නේ නෑ.රජතුමා කලබල වෙනවා.

එහෙම කලබල වෙන්නේ බැරිවෙලාවකවත් කුමාරිය පුතෙක් බිහි කලොත් සියුස් රජතුමාට පුතාගේ අතින් මැරුම් කන්න සිද්ධ වෙන්ඩ වෙන නිසා.නමුත් සියුස් රජතුමා දන්නේ නෑ තමන්ගේ ආදරනීය බිරින්දෑට දූ කුමාරියක් ලැබෙන්ඩ හිටපු විත්තිය.! ඉතින් මේ රජතුමා තමන්ගේ දේව බලය පාවිච්චි කරලා  මේ ආදරනීය බිරින්දෑව චූටි කෘමියෙක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ රජතුමා තමන්ගේ ආදර නීය බිරින්දෑව ගිලිනවා.

තමන්ගේ ආදරනීය බිරින්දෑව ගිල්ලට පස්සේ සියුස් රජතුමාට දරාගන්ඩ බැරි තරමේ දරුණු හිසේරදයක් හැදෙනවා. ග්‍රීසයේ හිටපු හැම වෙදෙක්වම ගෙන්නුවත් මේ හිසේ රදය හොද වෙන්නේ නෑ.. කොටින්ම වෙදකමට අධිපති ඇපලෝ කියන දෙවියන්ටවත් මේ හිසේරදය හොද කරන්ඩ නම් ලබෙන්නේ නෑ..

අන්තිමේදි සියුස් රජතුමාට කරකියා ගන්න දෙයක් නැතිවෙනවා.ඊට පස්සේ සියුස් රජතුමා, කම්මල්වැඩවලට අධිපති හිපාක්ටස් කියන දෙවියන්ව කැඳවනවා. ඊට පස්සේ හිපාක්ටස්ට අණ කරනවා එක පොරෝපාරකින් තමන්ගේ ඔළුව දෙපළු කරන්ඩ කියලා.

සියුස් දෙවියන්ගේ අණ පිළිපැදපු හිපාක්ටස්, තමන්ගේ පොරොවෙන් සියුස් රජතුමාගේ හිස දෙපළු කරනවා.හිස දෙපළු කලාට පස්සේ නළල පැළුන තැනින් යුධ ඇඳුම් වලින් සැරසුන කුමාරිකාවක් එලි‍යට එනවා.එහෙම එලියට එන කුමාරිය තමයි ඇතීනා දෙවඟන කියන්නේ.

නළල පැළුන තැනින් ඇතීනා දෙවගන පැමිණීම

මේ ඇතීනා දෙවඟනට තමන්ගේ අම්මගේ බුද්ධිමත් කම නො අඩුව ලැබෙනවා. මේ නිසාම කුමාරිය පසු කාලිනව බුද්ධියට අධිපති දෙවඟන බවට පත් වෙනවා. තව දෙයක් තමයි යුධ ඇඳුමින් සැරසිලා පැමිණි ඇතීනා දෙවඟන යුධ උපක්‍රමවලට අධිපති දෙවඟන කියලත් හඳුන්වනවා.කොටින්ම ඇතීනා දෙවඟන කියන්නේ රූ සම්පත්තියෙන් අගතැන්පත් දෙවඟනක් !
ඇතීනා දෙවඟන
ඒ වගේම සියුස් රජතුමාත් තමන්ගේ දූ කුමරියට සෑහෙන්ඩ ආදරේ කරනවා. කොටින්ම තමන්ගේ උපදේශිකාව හැටියට දූ කුමාරියව පත් කර ගන්නවා. :)

ඔන්න ඔහොම තමයි බුද්ධියට අධිපති ඇතීනා දෙවඟන උපදින්නේ..
---------------------------------------------------------------------
ප.ලි. - හිපාක්ටස් කියන නම පරිවර්ථනය කලා හරිද මන්දා. හරිම නම තිබ්බේ මේ විදිහට Hephaestus

06 August 2012

ප්‍රශ්න වලට පිලිතුරු

මතකනේ මම එක ලිපියක කිව්වා බැබිලෝනියානු එල්ලෙන උයනක් ගැන. අන්න ඒ ලිපිය කියවපු සමහර අය එක එක ප්‍රශ්නත් අහලා තිබ්බා. ඒ අහපු එක ප්‍රශ්නයක් තමයි ඇත්තටම ඒ උයන එල්ලෙනවද කියලා.

සරලම උත්තරේ තමයි 'නැහැ' කියන එක ! ඇත්තටම මේ උයන එහෙම කිසිම දෙයකින් එල්ලෙන උයනක් නෙමේ.ඒක වෙලා තියෙන්නේ kremastos කියන ග්‍රීක වචනේ පරිවර්ථනය කරන කොට වෙච්ච වැරැද්දක් ලූ.  මේ උයනට ඇත්තටම 'එල්ලෙන' කියන වචනයට වඩා ගැලපෙන්නේ 'ලම්බක' කියන වචනෙලු.

 එතකොට මේ උයන පුදුමයක් වෙන්නේ මේ හැම තට්ටුවකටම ජලය ගෙන ගියපු තාක්ෂණය ලූ. ඒකට පාවිච්චි කරලා තියෙන්නේ චේන් පොම්ප , ස්කුරුප්පු පොම්ප වගේ තාක්ෂණයන් ලූ.

 
ඊලඟ ප්‍රශ්නේ තමයි දැන් එහෙම උයනක් තියෙනවද කියන එක.ඇත්තටම දැන් එහෙම උයනක් කියලා නෑ ලූ.මුළු බැබිලෝනියානු නගරයම එකම සුන්බුන් ගොඩක් වෙලා තියෙනවා. අන්න ඒ සුන්බුන් ගොඩෙන් එල්ලෙන උයන තිබ්බ තැන මෙතනයි කියලා හොයාගන්න පුරාවිද්‍යාඥයෝ වාද හිටන් කරලා තියෙනවා ලූ.



නගරයම මෙහෙම සුන්බුන් වෙලා තියෙනකොට උයනක් හොයලා වැඩක් නෑ කියලා කාටත් තේරෙනවනේ..

සියල්ල අනිත්‍යයි... අවසාන වශයෙන් මට හිතුනේ එහෙමයි..

---------------------------------------------------------
ප.ලි. - මේ දවස්වල මම් ඇතීනා දෙවඟනට පිස්සු වැටිලා ඉන්නේ. ඒ ගැන ඉදිරියේදි ලියවෙයි. :)

04 August 2012

ජෙරුසලමේ බිඳවැටිම..

මම කලින් ලිපියක කිව්වනේ නෙබුකත්නසාර් කියන්නේ බැබිලෝනියානු එල්ලෙන උයන හදපු කපටි රජෙක් කියලා. ඉතින් මේ රජතුමාට සෑහෙන්ඩ ආසයි තමන්ගේ බැබිලෝනියනු රාජ්‍යය සෑහෙන විශාල රාජ්‍යයක් කරගන්ඩ. ඒ කියන්නේ අහල පහල රාජ්‍යයන් අල්ලගෙන තමන්ගේ බලය ව්‍යාප්ත කරන්ඩ.

 ඔහොම තමන්ගේ බලය ව්‍යාප්ත කරන ගමනෙදි මේ රජතුමාගේ ඊලඟ ඉලක්කය වෙලා තිබ්බේ ජෙරුසලම් රාජ්‍යය !

මේ වෙනකොට ජෙරුසලම් රාජ්‍යය සෑහෙන්ඩ පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ දුශ්චරිතවත් සමාජයක් තමයි ඒ කාලේ ජෙරුසලමේ තිබිලා තියෙන්නේ.

ඉතින් මේ රජතුමා ජෙරුසලම යටත් කරගන්ඩ තමන්ගේ නෑදෑ කෙනෙක්ට බාර දෙනවා. මුන්දෑගේ නම ශෙදෙකියා ! එතකොට මේ ශෙදෙකියාට යන්තන් අවුරුදු 21ක් වෙනවා විතරයි.

මුන්දෑ මුලින්ම කරන්නේ ජෙරුසලම් රාජ්‍යය වටේ කඳවුරු බැදගන්න එක ! එතකොට ජෙරුසලම් රාජ්‍යයේ ජනතාවට එලි පහලියට බහින්න බැරි තත්වයක් උදා වෙනවා. මේ නිසාම ජෙරුසලමේ සාගතයක් ඇති වෙනවා. කොටින්ම යුද්ධ කරනවා තියා කඩුවක් උස්ස ගන්ඩ බැරි තරමටම මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ නැති වෙන්ඩම සාගතේ දරුණු වෙනවා.

මේ අල්ල පනල්ලේ නෙබුකත්නසාර් රජතුමා තමන්ගේ සේනාවත් කැටුව ජෙරුසලමට යනවා. ජෙරුසලම ගැන කිව්වොත් ඒක ලොකු පවුරකින් (තාප්පයකින්) වට වෙච්ච රාජ්‍යයක් ! ඉතින් මේ රජතුමා ජෙරුසලම් රාජ්‍යයේ පවුරක දුර්වල තැනකට පහර දීලා ඒක බිඳලා රාජ්‍යයට ඇතුල් වෙනවා !

 ඊට පස්සේ රජතුමාගේ සේනාව අහුවෙන අහුවෙන හැම එකාවම මරා දාලා වස්තුව කොල්ල කනවා. ඊට පස්සේ මුළු සෙරුසලම් රාජ්‍යයම ගිනිබත් කරනවා. ගින්නටයි බැබිලෝනියානු හේවායන්ගේ කඩුවටයි අහු වෙන්නේ නැතුව බේරිච්ච කට්ටිය ජෙරුසලම් රාජ්‍යයෙන් එලියට දුවනවා !

ඒත් මේ අය බැබිලෝනියානු හේවායන්ගෙන් බේරෙන තරම් වාසනාවන්ත වෙන්නේ නෑ.ඒ සේරම මිනිස්සු බැබිලෝනියානු දේශයට අරගෙන යනවා වහල්ලු හැටියට !

ඔන්න ඔය විදිහට තමයි ජෙරුසලම් රාජ්‍යය බිදවැටෙන්නේ... එවකට ජෙරුසලම් වැසියන්ගේ මුදුන් මල්කඩ වෙලා තිබ්බ සලමොන් රජතුමාගේ දේව මන්දිරයත් මේ ගින්නෙන් විනාශ වෙනවා.

ජෙරුසලම් ජනතාව බැබිලෝනියාවේ වහල්කමට ගෙනයන ගමනෙදි මහන්සියට බැබිලෝනියානු ගං තෙරේ වාඩි වෙනවා. මහන්සියෙනුයි බඩගින්නෙනුයි හෙම්බත් වෙලා ඉන්න ජෙරුසලම් ජනතාව බැබිලෝනිය රජතුමාට එක හඬින් සාප කරනවා.

බැබිලොනියාවේ ගං තෙරේ වාඩිවෙච්ච අපිට සියොන් කන්ද සිහි උනා ය.අපි හඬා වැලපුනා ය. අපිට බැබිලෝනියානුවන් පීඩා කලා ය. ජෙරුසලම් රාජ්‍යය අපට අමතක වෙන්නේ නෑ ය. අපට මේ කරපු දේට බැබිලෝනියාවට සාප වේවා ය.  කියලා එක හඬින් මොරගහන්න පටන් ගන්නවා.

අන්තිමේදි ජෙරුසලම් ජනතාව ගොවිතැන් කටයුතු වලටත්, මිදිවතු වල වැඩටත් යොදවනවා. ඊට පස්සේ මෙහෙම වහල්කම් වලින් දුක් විඳින ජනතාව තමන්ව ගලවගන්න දෙවියන් වහන්සේ කවුරුහරි කෙනෙක් ඒවයි කියන බලාපොරොත්තුවෙන් ජීවත් වෙනවා.

මෙන්න මේ සිද්ධිය  1970 ගනන් වලදී ආයෙමත් ලෝක ප්‍රජාවට මතක් වෙනවා. ඒ බොනියෙම් (boney M) කියන සංගීත කණ්ඩායම ගායනා කරන 'By the Rivers of Babylon' කියන ගීතයෙන්...

මේ ගීතයේ පද මාලාව මෙතනින් කියවන්න. ගීතය මෙතනින් බා ගන්න.

ප.ලි. - මගේ කලින් ලිපිය කියවපු අපේ මලයා තමයි මේ කතාව මතක් කරලා දුන්නේ. ඊට පස්සේ අන්තර්ජාලයෙනුයි මගේ කොල හැලිච්ච බයිබලයෙනුයි ඉතුරු විස්තර ටික හොයා ගත්තා.

ප.ප.ලි - කලින් පෝස්ට් එකේදි කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර ලඟදිම ලියන්නම්.

03 August 2012

කපටි රජෙක් හා බැබිලෝනියානු එල්ලෙන උයන

ක්‍රිස්තු පූර්ව 650 ගණන් වල බැබිලෝනියාවේ රජකමට පත් වෙනවා නෙබුකත්නසාර් කියලා රජ කෙනෙක්. රජෙක් කියලා කිව්වට නෙබුකත්නසාර් කියන්නේ අධිරා‍ජ්‍යයෙක් කියලා හැඳින්වුවාට වරදක් නෑ... ඉතිහාසය උනත් සාක්ෂි දරන්නේ යුද්ධ කරන්ඩ දස්කම් තියෙන රජෙක් හැටියට !!!

දවසක් මේ රජතුමාට හිතෙනවා තමන්ගේ බැබිලෝනියා රාජ්‍යයට උතුරින් තියෙන  'මෙඩ්ස්' (Medes) කියන රාජ්‍යය අල්ල ගන්ඩ.මෙඩ්ස් කියන රාජ්‍යය ගහ කොල පිරුණ කඳුවැටි වලින් ආරක්ෂිත රාජ්‍යයක්.  කොටින්ම බලන බලන හැම පැත්තම කොල පාටින් දිස් වෙච්ච රාජ්‍යයක් කිව්වොත් වරදක් නෑ.

ඉතින් නෙබුකත්නසාර් රජතුමා සුපුරුදු පරිදි මේ රාජ්‍යයත් එක්ක යුද්ධ කරන්ඩ යන්නේ නෑ. ඒ වෙනුවට රජතුමා අපූරු උපායක් පාවිච්චි කරනවා. ඒ තමයි,

මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාට ඉන්නවා 'අමිටිස්' (Amytis) කියලා රූ සම්පත්තියෙන් අගතැන්පත් දූ කුමාරියක්. නෙබුකත්නසාර් රජතුමා මෙඩ්ස් කියන රාජ්‍යයේ රජතුමාත් එක්ක සාකච්ඡා කරනවා රාජ්‍යයන් දෙකේම සහයෝගිතාව වර්ධනය කරගන්ඩ මෙඩ්ස් රාජ්‍යයේ දූ කුමාරිය සරණපාවා ගන්ඩ කැමතියි කියලා. (කොහොමද මේකෑ මොලේ !!)

කොහොමහරි මෙඩ්ස් රාජ්‍යයේ රජතුමා ඒ යෝජනාවට කැමති වෙලා අමිටිස් කුමාරියව නෙබුකත්නසාර් රජතුමාට සරණපාවා දෙනවා.

කුමාරියත් මේ රජතුමා එක්ක බැබිලෝනියාවේ පදිංචියට යනවා.

බැබිලෝනියාව ගැන කිව්වොත් ඒක එහෙම් පිටින්ම කාන්තාරයක්. ගහ කොලක් නෑ පේන තෙක්මානයේ . තනිකරම වැලි ගොඩක් !!!

බැබිලෝනියාවේ ටික කාලයක් ජීවත් වෙනකොට කුමාරියට හෝම් සික් (HomeSick) එක හැදෙනවා. ඒ කියන්නේ සාංකාවක් වගේ හැදෙනවා. තමන්ට හුරු පුරුදු වනගත පරිසරයෙන් ඈත් වෙලා වැලිකතරක ජීවත් වෙන්ඩ ලැබිච්ච එක ගැන කුමාරිය සෑහෙන්ඩ දුක් වෙනවා. රජ සැප තිබ්බත් මොකෑ හිතේ සතුටක් නැත්තං !!!

මේ ගැන හිතලම කුමාරිය ටිකෙන් ටික කෘෂ වෙනවා. මේක රජතුමා දැකලා කරුණු කාරණා අහනවා.කුමාරියත් සේරම විස්තරේ රජතුමාට කියනවා.

ඊට පස්සේ රජතුමා කන්දක හැඩයට හිටින්න ගොඩනැඟිල්ලක් හදනවා. ඒකේ එක එක ගස් වර්ග පලතුරු ජාති වවලා කුමරියට හුරු පුරුදු වනගත පරිසරය ගොඩනගලා දෙනවා. අන්න ඒ ගොඩනැගිල්ල තමා පස්සේ කාලෙක ලෝක පුදුමයක් වෙච්ච බැබිලෝනියානු එල්ලෙන උයන කියන්නේ !!!



 බැබිලෝනියානු එල්ලෙන කුළුණ

ප.ලි. - මේ දවස්වල කරන්ඩ වැඩක් නැතිකමට බැබිලෝනියානු ඉතිහාසේ ගැන හෙවුවා. එතකොට තමයි මේ කතාව කියවන්ඩ ලැබුනේ.