28 August 2011

අතුරුදහන් වී සිටියෙමි.


හුග දවසකට බ්ලොග් එක පැත්ත පළාතේ එන්න ලැබුනේ නැහැ. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය මාස තුනකට විතර පස්සේ ඉවර වෙලා ආයෙම අපේ විභාග පටන් ගන්න දිනයක් නියම වෙලා. ඉතින් එකට පාඩම් කරන්න සිද්ද වෙච්ච නිසයි බ්ලොග් එක පැත්තෙවත් එන්න උනේ නැත්තේ. පහුගිය විභාගේ කාලේ නම් මගේ කම්පියුටර් එක හොස්ටල් එකේ තිබ්බ හන්දා පාඩම් කරලා මහන්සි උනාම බ්ලොග් පෝස්ට් එකක් කියවන්නවත් පුළුවන් උනා. දිග නිවාඩුවක් ලැබුන නිසා මගේ කොම්පියුටර් එක ගෙදර ගෙනිච්චා. ඒ නිසා බ්ලොග් කියවන්නත් නෑ.

සදුදා ඉදන් අපට විභාග පටන් ගන්නවා. මේක තමයි මගේ අන්තිම විභාගේ !!!! ඒ නිසා විභාගේ ලොකු රිසල්ට් එකක් දාගන්න තමයි උපරිම ට්‍රයි එක දෙන්නේ. (ලොකු රිසල්ට් එකක් කියන්නේ A එකක් එහෙම නෙමෙයි. මට A එක මිස් වෙලා ගොඩක් කල්. !!!! ඔය ඊට පල්ලෙහා තියෙන රිසල්ට් එකක් දාන්න තමයි උත්සාහය. එහෙම බලාගෙන ගියාම C එකත් ලොකු රිසල්ට් එකක් තමයි. )

ඔන්න ඕක තමයි රංජනී පහුගිය ටිකේ බ්ලොග් ලිය ලියා හිටපු එකාට උනේ. එහෙනම් කට්ටිය නාස් වලට රෙද්දක් බැදගෙන එහෙම මකුළු දැල් ටික කඩන්න උදව්වක් දුන්නා නම්.......

එහෙනම් කට්ටිය ටාර් ගාලා වැඩේ පටන් ගන්න. මම තේ ටිකක් එහෙම බිලා එන්නම්.ඔන්න මම එනකම් කට්ටිය ටාර් ගගා ඉන්නවා එහෙම නෙමෙයි !!!!

උදව්වට එන හැමෝටම මම ගානේ පහේ කිට් කැට් එකක් තෑගි දෙනවා. ඉක්මන් කරන්න. ඔබේ කිට් කැට් එක දැන්ම වෙන් කරවා ගන්න.

ඕක තමයි මේ දවස්ටිකේ අතුරුදහන් වෙලා ඉන්න සිද්ද උන හේතුව !!!

පාඩම් කර කර ඉන්න ගමන් යාලුවෙක්ගෙ ලැප් එකක් හම්බ උනා නෙටුත් එක්ක. ඉතින් විනෝදයට වගේ පෝස්ට් එකක් දාන්න හිතුවා. එහෙනම් ගිහින් එන්නම්.

සියලු දෙනාටම (මටත් එක්කම) ජය වේවා !!!!!


20 August 2011

අධ්‍යාපන චාරිකාව

අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට සති දෙකක් විතර පන්ති තහනම් කරලා. අපේ අම්මා මීට සති කිහිපයකට උඩදි මට ඔය කතාව කිව්වම මම් ඇහුවේ මොකද එහෙම උනේ කියලා.

කතාව මේකයි. ඔය මල්ලි මීට සති කිහිපයකට උඩදි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිහින්. මට මතක හැටියට ට්‍රිප් එක ගියෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ලෙන් විහාර වලට හරි දළදා මාලිගාවට හරි. ඒක එච්චරම මතක නෑ.කොහොමහරි මූත් ඔය කියන ට්‍රිප් එක ගිහින්.

මුන්ගේ පංතියේ කොල්ලො ටිකක් ඒ ට්‍රිප් එකේදි බොන්න සෙට් වෙලා. කවුරුත් දන්නවනේ ඉස්කෝලේ ට්‍රිප් එකක් ගියහම එලිපිට බොන්න බෑනේ. මුන්ගේ මොළේ කියන්නේ මුන් කොකාකෝලා මෙගා බෝතලයක් අරගෙන ඒකෙන් භාගයකට කෝක් දාලා ඉතුරු හරියට අරක්කු දාන්න. එතකොට වැඩෙත් මාට්ටු නෑ. බොන්නත් පුලුවන් නේ.

කොහොමහරි වැඩේ ක්‍රියාත්මක කළා කියමුකෝ.කට්ටිය ට්‍රිප් එක මඟක් දුර ගියහම අර කොකාකෝලා බෝතලේ අරගෙන බොන්න ගත්තා.ටීචර්ලත් හිතන්නේ මුන් කොකාකෝලා බොනවා කියලා. ඔය අල්ල පනල්ලේ අපේ එකාටත් ඕනවෙලා කොකාකෝලා බොන්න.මූ ඒක බොන්න ගන්නකොටම වගේ සර්ලට ඉව වැටිලා මූව අල්ලගත්තා ලූ.

ඊට පස්සේ අර බෝතලේ රාජසන්තක කරලා මේ කේස් එක ඉස්කෝලෙට ගියහම විසදනවා කියලා කට්ටියම ට්‍රිප් එක ගියාලු. පහුවෙනිදා තමයි සීන් එක !!!! බීපු කට්ටියට එන්න කියලා මූටත් එන්න කිව්වා.

"පුතා මීට කලින් ගෙදරදි බීලා තියෙනවද ?" කියලා මුගෙන් ඇහුවා ලු. මොකද මේකානේ බොනකොටම මාට්ටු වෙච්ච එකා.

මූත් ගත් කටටම "ඔවු. මං අවුරුද්දට අපේ තාත්තා ගෙනාපු බෝතලයක තිබ්බ ටිකක් බීලා තියෙනවා !!!" කියලා කිව්වලු.තාත්තගේ රෙදි අත්තනගලු ඔයේ ලූ !!!!

"එහෙනම් හෙට අම්මට එන්න කියාපිය !!!" සර්රුත් කිව්වා. පහුවෙනිදා ඒකාගේ අම්මා ඉස්කෝලේට ගියාම තමුන්ගේ මනුස්සයාට බොන්න බැරිනම් නාගන්න !!! ඒත් ළමයින්ට මේවගේ දේවල් පුරුදු වෙන්න තියන්න එපා කියලා ලොකු දේශනයක් තියලා මූට සති දෙකක් විතර පන්ති තහනම් කලා ලූ.

මූගේ අම්මා පරසක්වල ගහනවලු තමන්ගේ මනුස්සයා බොන්නේ නෑ. ළමයින්ට එහෙම අරක්කු අහුවෙන්න තියන්නේ නෑ කියලා. ඒත් ගුරුවරු පිලිගන්නේ නෑ. මොකද මූගේ කටින්ම කිව්වනේ ගෙදරදි බීලා තියෙනවා කියලා. එදා ගෙදර ආවට පස්සේ මූගේ තාත්තා ගහලා ගහලා අහලා තියෙනවා ඇයි එහෙම කිව්වේ කියලා.

මූ කියලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙන නිසයි එහෙම කිව්වේ කියලා. මූ දන්නේ නෑ කොකාකෝලා වලට අරක්කු දාලා තියෙන සීන් එකක්. අපි උනත් ගෙදරදි කොකාකෝලා ඉතුරු වෙලා තියෙනකොට ගෙදර එවුන්ට හොරෙන් ඕකට වැඩේ දෙනවනේ. ඒවගේ මේ යකා හිතලා තියෙන්නේ ගෙදරදි කොකාකෝලා බීලා තියෙනවද කියලා ඇහුවයි කියලා. මූ ගොන් රජෙක් !!!!!!
-----------------------------------------------------------

ප.ලි. - මේ සිද්ධිය මට වෙච්ච එකක් නෙමේ. ඒ නිසා මේකේ කථානායකයාට මාව ආදේශ කිරීමෙන් වලකින්න.



17 August 2011

අතීතය, අනාගතය, වර්තමානය

අතීතය...
දුටුවා වූ සිහින රාශියකි
අනාගතය...
හෙට උදාවන්නා වූ සත්‍යකි
වර්තමානය...
එම කටුක වූ සත්‍යය
මිහිරියාවක් බවට
පත් කර ගැනීමට
කැපකළ යුතු දවසකි.


15 August 2011

කුලියාපිටි ගමන

ඉස්සර මම් පොඩි කාලේ අපේ මාමා සිල්ලර කඩයක් කලා. ඒ දවස්වල කඩේ වැඩ කරන්න මාමත් එක්ක එකට වැඩ කරපු ගෝලයෙක් හිටියා. ඒකාට ඒ හැටි වයසක් නැති හන්දා ඒකා අපිත් (මායි අපේ මලයයි) එක්ක මාරම ෆිට්. අපිත් ඉතින් නිවාඩු වෙලාවක් අහු වෙච්ච හැටියෙම මාමලෑ කඩේට ගිහින් ඉන්නවා.

මාමලෑ කඩේ වැඩ කරපු එකා කුලියාපිටිය පැත්තේ කිරිමැටියාන කියන ගමේ එකෙක්. ඒකා දවසක් ගමේ යන්න ලෑස්ති වෙනවා. අපිටත් මාරම ආසයි ඔය පැත්තේ ගිහින් එන්න. මොකද කවදා ගිහින් තියෙන හරියක් යෑ. ඉතින් මායි මලයයි අපේ අම්මගෙන් ඇහුවා ගිහින් එන්නද කියලා. අම්මත් කිව්වා එක දවසින් එනවනම් අවුලක් නෑ හැබැයි දවස් දෙකක් නම් යන්න දෙන්නේ නෑ කියලා.

වැඩේ කියන්නේ මූ යන්නේ දවස් දෙකකට ලූ. මමයි මල්ලියි අම්මට කන්නලවු කලත් හරි ගියේ නෑ. ඒ නිසා ගෙදෙට්ට හොරෙන් ගමන යන්න ලෑස්ති උනා. කොහොමහරි එදා අම්මා සමෘද්ධි රැස්වීමකට ගිහින්. මමයි මල්ලියි ලෑස්ති වෙලා ඒ අයියලෑ දිහාවේ යන්න පිටත් උනා.කොහොමහරි කුලියාපිටි බස් එකට ගොඩ වෙන්න කලින් ඒ අයියව අපිට සෙට් උනා. කට්ටියම සෙට් වෙලා ඒ අයියලෑ ගෙදර ගියා.

එදා දවල්ට ඒ අයියලෑ ගෙදරින් කෑම කාලා හවස් අතේ ගම පුරාම ඇවිද්දා.දවසම විනෝදෙන් හිටියා මිසක්කා අපට ගෙදර ගැන ගානක්වත් තිබ්බේ නෑ. කොහොමින් කොහොමහරි අපි රෑටත් කාලා නිදාගත්තා. වැඩි වෙලා නිදාගන්න ලැබුනේ නෑ. ඒ ගේ ඉස්සරා එකපාරටම වාහනයක් නවත්තන සද්දේ ඇහුනා. මෙන්න බොලේ අම්මයි ලොකු අම්මයි මාමයි වෑන් එකක් හයර් කරගෙන ඇවිල්ල !!!!!

එකපාරටම අපේ අම්මා පැනපු ගමන් ඇඳ යට තිබ්බ විකට් පොල්ලක් (ස්ටම්ප් එකක් ) ඇදලා අරගෙන නෙලන්න ගත්තා. අම්මා ගහයි ස්ටම්ප් එකෙන් කිව්වලු !!!! දෙක වදිනකොට මම් වෑන් එක ඇතුලේ !!!! මල්ලිත් අඬ අඬ වෑන් එකට නැග්ගා. ඊට පස්සේ අපට නොසෑහෙන්න බැනලා අපි ඒ ගෙදරින් පිටත් උනා.

එන ගමන අම්මා මගින් මගට බනිනවා ඉවරයක් නෑ. මාත් ගොනා වගේ අහගෙන ඉන්නවා. කොහොමහරි මහබාගේ කිට්ටුව නයිට් කඩයක් ලඟ වාහනය නවත්තලා තේ බොන්න ලෑස්ති උනා.

"ලොකු පුතාට මතකද දවසක් අපි වැලිසර ඉස්පිරිතාලේ යනකොට මේ කඩෙන් තේ බිව්වා !!!!" අම්මා මං දිහාට හැරිලා කිව්වා. මට කාපු කැවිල්ලේ හැටියට ඒ කිසිම එකක් මතක තිබ්බේ නෑ. මං යන්තම් හිනා උනා.කොහොමරි ඒ කඩෙන් තේ බීලා ගෙදර ආවා. ගෙදර ආපු හැටියෙම මම් ඇඳ බදාගෙන නිදා ගත්තා. ඇයි වදේ ආයෙම බැනුම් අහන්න පුලුවන් යෑ.

කොහොමහරි මේ ගමනෙන් කාපු තරමක් ගුටි කෑවේ මම්. හරියට අපේ මලයව මම් වඩාගෙන මේ ගමන එක්කන් ගියා වගේ !!!! දවස් දෙකක් යනකන් බැනිල්ල නම් තිබ්බා.අන්තිමේදි අම්මා ෂේප් උනා.

මේ කරපු පිස්සු වැඩෙන් දුක හිතුනේ එදා ඒ වෑන් එකේ හයර් එකට සල්ලි ගෙව්වේ අපේ අප්පච්චි කලින් දවසේ නයිටක් කරලා ගෙදර ගෙනාපු සල්ලි වලින් බව දැනගත්තට පස්සේ. හිතන්නකෝ අපේ අප්පච්චි මුලු රෑක් පොහොර මිටි කරගහලා හොයා ගත්තු රුපියල් 1800ක් මේ වගේ පිස්සු වැඩකට යොදවන්න උනා කියලා. ඒක නම් අපි කරගත්තු ලොකු පවක් !!!!!

කොහොමරි එදායින් පස්සේ මම නම් මේ වගේ ගමන් යන්නේ නෑ කියලා හිතාගත්තා. හැබැයි කැම්පස් ආවට පස්සේ නම් මේ වගේ ගමන් යන්න ගෙදරින් අවුලක් නෑ. දවස් දෙක තුන උනත් ඕන තැනක ඉදලා ආව හැකි.

13 August 2011

උපන්දින තෑග්ග

පහුගිය ජුලි මාසේ මම් අදුනන ගෑනු ළමයෙක් ගේ උපන්දිනයක් තිබ්බා.උපන්දිනේට කලින් දවසේ මට කෝල් එකක් දීලා කිව්වා එයත් එක්ක උපන්දිනේ දවසේ පන්සල් යන්න එනවද කියලා. උපන් දිනේ දවස නිසා එන්න බෑ කියන්නත් බෑ. අනිත් එක පන්සල් යනවා වගේ හොද වැඩකට එන්න කියන්නේ. ඔක්කෝටම වඩා කෙල්ලෙක් එන්න කියන්නේ. ඉතින් නොගිහින් කෝම !!!!

මාත් එන්නම් කියලා කිව්වා. කොහොමහරි උපන්දිනේ දවසේ එන්න කිව්ව අදාල බස් ස්ටෑන්ඩ් එකට ගියා. දෙන්නම බස් එකට නැඟලා වාඩි උනා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් උනා. මම් දෙන්නටම ටිකට් ගත්තා (මේකි ටිකට් ගන්නවා කිව්වට ගත්තේ නෑ.)

මෙන්න බොලේ මේ කෙල්ල අඬනවා. බස් එකේ එවුන් ඇස් කටේ තියාගෙන බලන් ඉන්නවා හරියට මම් මොනාහරි කරලා වගේ.ශේප් එකේ මම් ඇහුවා මොකෝ අඬන්නේ කියලා. මෙන්න එකපාරටම ඒකි කියපි "උපන්දිනේ දවසේ තෑග්ගක් ගන්න තාත්ති බැංකු පොතට සල්ලි දාලා නෑ." කියලා. ඉතින් මම් කිව්වා තාත්තට අමතක වෙන්න ඇති කියලා. මෙන්න ඒක කිව්වා විතරයි ඇඬිල්ල තව වැඩි උනා.

"මට කවදාවත් උපන්දිනේක මෙහෙම වෙලා නෑ. මට හැම උපන්දිනේ දවසකම තෑගි ලැබිලා තියෙනවා. අද විතරයි ලැබුනේ නැත්තේ" කියලා ආයෙමත් හොටු හූර හූර අඬන්න ගත්තා. මහපොල වාරික ටිකත් ඉවර වෙලා හන්දා තෑග්ගක් අරන් දෙන්න මා ලඟ වැඩිපුර කීයක්වත් තිබ්බේ නෑ.

කොහොමහරි පන්සල් ගිහින් එනකන් එකාසීරුවටම මේකි ඇඬුවා. මට සංසාරේ එපා උනා. ඇයි වදේ දෙමව්පියෝ දරුවන්ට පොඩිකාලේ ඉදන් පුරුදු කරලා තියෙන විදිහ නේ. මට නම් උපන්දිනේ දවස කියලා කියන්නේ එක දවසක් විතරයි. අපේ අප්පච්චිට සල්ලි තිබ්බොත් විතරක් එදාට කේක් එකක් ගේනවා. නැත්නම් ඒකත් නෑ.

තෑග්ගක් කියලා නාමයක් ලැබිලත් නෑ. දෙමව්පියෝ දෙන්න උත්සහ කරලත් නෑ. දෙන්න පුලුවන් කමකුත් නෑ. අපට ඕනෙත් නෑ. අම්මයි අප්පච්චියි අපිට මේ ජීවිතය දීපු එකත් ලොකු තෑග්ගක්. මෙච්චර දුරට උගන්වපු එකත් ලොකු තෑග්ගක්. ඒ ඇතිනේ.

අම්මෝ ආයේ නම් උපන්දින වලදි කෙල්ලොත් එක්ක ගමන් නෑ !!!! ඉල්ලගෙන මාමයිට් ගාගන්නවා කියන්නේ මේකට වෙන්න ඇති. !!!