02 April 2020

මගේ දිය රොටි හැදිල්ල

මෙ කොරෝනා කේස් එක නිසා අපි දැන් සති තුනක් තිස්සේම ගෙදර ඉදන් වැඩ කරන්නේ. එක අතකට මේක ටිකක් අමාරු සීන් එකක් තියෙන්නේ. ඒකට හේතු කිහිපයක්ම බලපානවා. එකක් තමා කාර්යාලීය පරිසරය ගෙදර නැතිකම. අනිත් එක තමා පොඩි එක්කෙනාත් එක්ක වැඩ කරගෙන යන්න අමාරු වීම.

මේ දේවල් අස්සේ කොහොමින් කොහොමහරි වැඩ ටික කරගෙන යනවා.

දවසක් හැන්දෑවරුවක මම මූණුපොතේ තිබ්බ එක පෝස්ට් එකක් දැක්කා. මේක කී රොටි හදන හැටි ගැන කෙනෙක් දාපු පෝස්ට් එකක්. ඉතින් මටත් ආස හිතුනා කී රොටි හදන්න. අපේ උන්දැලාගේ පැත්තේ මේවට කියන්නේ දිය රොටි කියළා ලූ.

හරි මොන නම කිව්වත් කමන් නෑ හදලා බලන්න මට හෙන ආසාවක් ආවා. මේ වැඩේ කරන්න අපේ උන්දැට දුන්නේ නෑ. මමම තමයි ගේමට බැස්සේ.


එහෙනං ඉස්සෙල්ලාම අහගන්ඩකෝ ඕන කරන ජාති කලමනා ටික.

1. පාන් පිටි
2. පොල් කිරි
3. සීනි ටිකක්
4. ලුනු ටිකක්
5. ඕනම නම් කහ චුට්ටක් විතර. (මම නම් කහ දැම්මේ නෑ)
6. බිත්තරයක්.

ඔය කිව්ව කළමනා ටික සූදානම් කරගෙන ලොකු හට්ටියක් ඕන කරනවා. මම නම් ඇළුමිනියම් මැටිකෝප්පය තමා ගත්තේ. ඒකට පිටි ටික දාගන්න.

ඊට පස්සේ පිටි ටිකටම ලුනු ටිකක් එකතු කරගන්න. මදිපාඩුවට පස්සේ ලුනු දාගන්න පුලුවන්.දැන් පොල් කිරි ටික ටික පිටි වලට එකතු කරගෙන පිටි අනාගන්න. ගොඩක්ම දියට පිටි ටික ඇනෙන්න ඕන. ඒ නිසා පොල් කිරි එකපාරටම එකතු කරන්න එපා. ටික ටික එකතු කරලා පිටි කැට ගැහෙන්නෙ නැති වෙන්නම් අනගන්න.

පිටි ටික අනාගත්තට පස්සෙ බිත්තරක් කඩලා පිටි එකට දාලා හොදටම අනන්න. ඒකටම සීනි ටිහිකුත් එකතු කරන්න. සීනි ගොඩක්ම දාන්නත් එපා. එතකොට නිකන් පැණි රහ ගතියක් එයි.

ඕන් දැන් ලුනු මදිපාඩුවට ලුනු ටිකකුත් එකතු කරගත්තාට කමන් නෑ.
(කැමති නම් කහ චුට්ටකුත් දාගන්න. )

දැන් එහෙනම් පිටි ටික සූදානම්. රොටී කබල හරි පෑන් එකක් හරි රත් වෙන්න දාන්න. රත් උනාට පස්සේ තුනිවට පොල් තෙල් ටිකක් ගාන්න. නැත්තං කිරි රොටිය කබලේ ඇලවෙයි. :)

හොදටම කබල රත් උනාට පස්සේ පොල්කටු හැන්දෙන් පිටි දියර ටිකක් කබලට දාලා රොටිය වාගේ තුනී කරන්න. රොටියේ හැඩය ගැන හිතන්න එපා. මොකෝ අපි ඕවා කඩවල් වල විකුණන්ඩ දාන එකක් යෑ. :)

තුනී කරලා විනාඩි දෙක තුනක් රොටිය කර වෙන්න ඉඩ හරින්න. ඊට පස්සේ රොටිය ගලවලා අනිත් පැත්ත දාන්න. දෙපැත්තම යහමින් කර උනාට පස්සෙ පිගානකට දාන්න.

ඔන්නොහොම මම රොටී 10ක් විතර හදාගත්තා.

මේ රොටී කන්න නම් ලුනු මිරිසක් තමයිලූ ගැලපෙන්නේ. මම ආයෙ ලුනු මිරිස් හදන්න මහන්සි උනේ නෑ. දවල් උයපු මිරිස් මාළු බොරේත් එක්ක රොටි ටික කාලා දැම්ම.

ඇත්තටම ඒ පෝස්ට් එකේ කිව්වා වගේම කී රොටි ටික ලස්සනට රහට ආවා. මම ඉතින් සිංහල හමට දැනෙන්නම රොටි කෑවා.

ඔයාලාත් දවසක හදලා බලන්න.

එහෙනම් මම ගියාවේ. ජය වේවා.

6 comments:

  1. ස්වයන් නිරෝධායන කාලයේ පහසුවෙන් සාදා ගතහැකි අතුරුපසක් !

    ReplyDelete
  2. okata api kiyanne "Kiri Roti" kiyala

    ReplyDelete
  3. ලිවිමේ අපුරු සුන්දරත්වයක් තියෙනවා සිරිපා ගමන ගැන ලියු සටහනින් තමා මේ අඩවියට පා තැබුවේ. හරිම අපුරුයි.

    ReplyDelete
  4. මමත් හදන්න හිතා ගත්තා.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.