29 August 2014

අතැඟිල්ලට රන් මුදුවක් නොවෙද අගේ...

පහුගිය ටිකේ අපේ කන්තෝරුවේ වැඩ ටිකකට හිර වෙලා උන්නු නිසා බ්ලොග් අවකාශය පැත්තේ එන්න උනේ නෑ.. ඒ නිසා පරණ බ්ලොග් ලිපි ටික කියවන්නත් උනේ නෑ.. අද ඒ ලිපි ටික කියවගෙන යන්න හිතාගෙන ඉන්නේ.

පහුගිය ටිකේ වැඩ කටයුතු වලට මහන්සි උන නිසාමද මන්දා ලියන්ඩ දේවල් හිතට එන්නෙත් නෑ..

මේ අගෝස්තු මාසේ... වෙන අවුරුදු වල වගේ නෙමේ මේ අවුරුද්දේ අගෝස්තු මසය උදා උනේ මගේ ජීවිතයේ පොඩි වෙනසකුත්තෙක්ක.

ඒ තමා මගේ විවහා ගිවිස ගැනීම සිද්ධ උනෙත් මේ මාසේ දෙවෙනිදා (සෙනසුරාදා)

ලොකු උත්සවයක් නැතුව බොහොම චාමෙට තමා මේක සිද්ධ කලේ..වෙඩිමටයි විවහා ගිවිස ගැනීමටයි ලොකු වියදම් දෙකක් දරණ එක අපරාදේ නිසයි මෙහෙම චාමෙට ගත්තේ. අපේ ගෙදරින් අපි හතර දෙනයි අපේ අම්මගෙයි තාත්තගෙනුයි නෑදෑයෝ හතරදෙනෙකුයි තමා මේ උත්සවේට ගියේ. ඒ ගොල්ලන්ගෙනුත් මේ වගේම ටිකදෙනයි ඇවිල්ලා තිබුනේ.

කතෝලික ක්‍රමයට බඳින නිසා පල්ලියේදිමයි මේ කටයුතු සිද්ධ උනේ.පල්ලියේ කටයුතු ඉවර වෙලා අපේ උන්දෑගේ ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබුනා.



දවක් කෑම ඉවර උනායින් පස්සේ ඉදිරියේදි කරන්න ඕන කටයුතු ගැන කතාබහ කලා. ඊට පස්සේ අපේ මාමා ස්තූති කතාවක් කලා.

මං ගැනයි මගේ පවුල් පසුබිම ගැනයි මගේ ගතිගුණ ගැන වගේ දේවල් තමා කතාවෙන් කිව්වේ. අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මා එච්චර පැහැදුනේ නෑ.. නමුත් මාමණ්ඩි නම් බොහොම කැමති උනා මේ කතාවට.

අපේ මාමගේ ස්තූති කතාව ගැන නැන්දම්මගේ හිතේ තිබ්බ නොසතුට, විවහා ගිවිස ගැනීමෙන් පස්සේ සෑහෙන දවසක් යනකන් තිබුනා.

මට නං තාම හිතා ගන්න බෑ ඇයි ඒ කතාව එයාට එච්චර නොරිස්සුවේ කියලා.ඒවයින් කාරි නෑ.. කොහොමහරි මේ කටයුතු ටික අඩුපාඩුවක් නැතුව සිද්ධ වෙච්ච එකම මදෑ..

ඔන්න ඔය විදිහට තමා මගේ අතට මුද්දක් වැටුනේ... ඉතින් මේ සිදුවීම කාට නැතත් මට වටින නිසයි පස්සේ කාලෙක බලන්න පෝස්ට් එකකට ඇතුලත් කලේ..

ඔය පල්ලෙහා පින්තූරේ ඉන්නේ අපි කට්ටියම. වමේ ඉදන් ගත්තහම අපේ තාත්තා, මම, මගේ එක්කෙනා, අපේ අම්මා, මල්ලි !!

22 August 2014

අයිස් බාල්දි අභියෝගය

පහුගිය දවස්වල මූනුපොත පුරාම වගේ දකින්න හම්බ උනේ වාරියපොළ ගෑල්ලමේක් තමන්ට විහිලු කරපු කොල්ලෙක්ට අතුල් පහර දෙන වීඩියෝව. ඒ වීඩියෝ පටය සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කලාට පස්සේ එක එක මති මතාන්තර අදහස් වලින් මුනු පොත පිරී ගිහින් තිබුනා.

තාමත් ඒ සිද්ධියේ උනුසුම ගිහින් නැතුවා වගේ ඒ ගැන කතා කරන අයත් මූනුපොතේ ඉන්නවා.දැන් නම් ඇත්තටම මේ සිද්ධිය අහලා අහලම එපා වෙලා තියෙන්නේ.

මේ අල්ල පනල්ලේ තමයි අයිස් බාල්දි අභියෝගය ලෝකේ පුරාම ජනප්‍රිය වේගෙන ආවේ.

මුලින්ම තරඟයේ නීති රිති මතක් කරගෙන ඉමුකෝ...

අයිස් බාල්දි අභියෝගය එහෙමත් නැත්නම් තේරෙන විදිහට කියනවා නං අයිස් බකට් චැලේන්ජ් එකට සහභාගි වෙන කෙනා මේ අභියෝගයට සහභාගි උනාට පස්සේ ඩොලර් 10ක මුදලක් ALS සංගමයට ගෙවන්න ඕන.

අභියෝගයට සහභාගි වෙන කෙනා කරන්න තියෙන්නේ අයිස් කැට දමපු වතුර බාල්දියකින් නාගන්න එක විතරයි..අයිස් බාල්දියකින් නෑවට පස්සේ ඒ කෙනාට පුලුවන් තව කිහිප දෙනෙක්ව (තුන්දෙනෙක් විතර) නම් කරන්න.

ඒ නම් කරපු තුන් දෙනා පෑ විසි හතරක් ඇතුලත අයිස් බාල්දි අභියෝගයට මුහුණ දෙන්න ඕන. මුහුණ දීලා වීඩියෝ ගත කරලා ඒ වීඩියෝ දර්ශන යූ ටියුබ්, වෙයින්,ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කරන්න ඕන.

අභියෝගයට නම් කරපු කෙනෙක් මේ අභියෝගය බාර ගන්නේ නැතුව මඟ අරිනවා නම් ඒ කෙනා ඩොලර් 100ක මුදලක් ALS සංගමයට දිය යුතු යි !

පිස්සු නේ ?

ඔවු ඇත්තටම පිස්සු වැඩක්...!

මේ පිස්සු වැඩේට මූලිකවම හේතුව උනේ ALS සංගමයේ අරමුදල් තර කරගන්න. සංගමය මූලිකම අරමුණ වෙන්නේ Amyotrophic Lateral Sclerosis කියන රෝගී තත්වයෙන් ලොව පුරා ජීවත් වෙන මිනිස්සුන්ව බේර ගන්න ඕන කරන පර්යේෂණ වලට අවශ්‍ය අරමුදල් රැස් කරගන්න.

ALS කියන රෝගී තත්වයෙන් මූලිකම හානිය සිද්ධ වෙන්නේ ස්නායු පද්ධතියටලු. ස්නයු පද්ධතියට හානි උනාට පස්සේ සදාකාලික අංශබාග තත්වයට ගොදුරු වීමක් සිදු වෙනවා. මේ රෝගී තත්වයට ගොදුරු වෙච්ච කෙනෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු දෙකේ ඉදලා පහ දක්වා අඩු වෙනවලු. ඒ වගේම මේ වෙනවිටත් මේ රෝගී තත්වය නිට්ටාවට සුව කරන්න බෙහෙත් හොයාගෙන නෑලු.

දැනට මේ රෝගීන්ට දෙන බෙහෙත් වලින් කරන්නේ රෝගය උග්‍ර වීමේ සීග්‍රතාව අඩු කරන එකලු. ඒ වගේම විවිධ බෙහෙත් වර්ග අත්හදා බලමින් ඉන්නවා කියලයි ALS සංගමය කියන්නේ.

මේ නිසයි ALS සංගමය මේ රෝගය ගැන පර්යේෂණ සිදු කරන්නේ. ඒ පර්යේෂණ වලින් පස්සේ මේ රෝගය නිට්ටාවට සුව කරන්න පුලුවන් වෙන විදිහේ ඖෂධයක් සොයා ගන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මෙන්න මේකයි අයිස් බකට් අභියෝගයේ අරමුණ !!!

ලංකාවේ ඉරාජ් වීරරත්න, මල්ශා කුමාරණතුංග එහෙමත් මේ අභියෝගයට මුහුණ දුන්නා....ඉදිරියේදි තවත් අයත් මේ අභියෝගයට මුහුණ දේවි කියලා හිතනවා ... :)

එහෙනං මං ගියාවේ !!! ජය වේවා !

17 August 2014

පුංචි බයිබලයක්

අද නිවාඩු දවසේ ගෙදර ඉන්න කම්මැලි නිසා මම අපේ ලොකු නංගිලෑ දිහාට්ට ටිකක් ගොඩ උනා. ලොකු නංගි කියන්නේ අපේ නැන්දෑ ලොකු දුව. එයා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ පෙලට වාඩි වෙනවා. ඒ නිසා පාඩමක් දෙකක් කියාදෙන්නත් පුලුවන්නේ කියලා හිතලයි ඒ පැත්තේ ගියේ.

ගිය හැටියේ නඟා මට තේකක් එහෙම හදා දුන්නා. මම ඒයැයිගේ පාඩම් වැඩ ගැන අහලා උපදෙස් ටිකක් එහෙම දීලා අමාරුයි කියලා කියපු ගණන් ටිහිකුත් කියලා දුන්නා.

ඒ ටික කියලා දීලා නිවාඩු පාඩුවේ ඉන්නකොට තමා මම මේ චූටි බයිබලේ දැක්කේ...

මේ ජාතියේ චූටි බයිබලයක් මම දැක්ක පලවෙනි වතාව මේක. එහෙනං බයිබලේ බලලා ඉමුකෝ..

ඕං ඕක තමා බයිබලේ...ඇඟිලි පුරුක් දෙහෙකට වඩා දිග නෑ..
මේක කීටැග් බයිබලයක්...ලස්සන කේස් එකකුත් තියෙනවා..
පිටු 168ක් තියෙනවා...ඒ උනාට මේකේ අකුරක්වත් අපේ පියවි ඇහැට බලාගන්ඩ බෑ.. එක අතකට මෙහෙම පොතක් ප්‍රින්ට් කරපු එකත් අපරාදේ කියලා හිතෙනවා.ඇයි ඉතිං පොතක් නං ඒක කියවගන්න පුලුවන් වෙන්ඩ එපෑ..
එහෙනං මං ගියාවේ..

14 August 2014

යාළුවෙක් හදපු ඇන්ඩ්‍රොයිඩ් ඇප් ටිකක්

මේ ටිකේ මම ලිපි ලියාගෙන යන රටාවට පොඩි විරාමයක් තියලා අපේ යාළුවෙක්ට පොඩි අවස්ථාවක් දෙන්න හිතුවා. මේ ලිපියෙන් පස්සේ අයෙම පරණ ලිපි සෙට් එක නවත්තපු තැනින් පටන් ගන්නවා.

කැළුම් මේශාන්ත ප්‍රනාන්දු

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ පරිඝණක ඉංජිනේරු විද්‍යාව හදාරපු කොල්ලෙක්. ඒ වගේම හැබැම දක්ශයෙක්.. කැලුම් ගැන තව දුරටත් කියනවා නම් මීගමුවේ ජීවත්වෙන මීගමුව ශාන්ත පීතර විද්‍යාලයෙන් සරසවි වරම් ලබලා පේරදෙණියට ආපු කොල්ලෙක්.

අපිත්තෙක්ක පේරාදෙණිය සරසවියේ හිටපු දවස්වලත් එක එක මෘදුකාංග නිර්මාණයේ යෙදුනු කෙනෙක් තමයි කැලුම් කියන්නේ. කැලුම් ඒ දවස්වලත් දුරකතන වැනි ජංගම උපාංග වලට මෘදුකාංග නිර්මාණය ගැන සෑහෙන උනන්දුවකින් හිටියා.

ඒ නිසාම ඔහු ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ මෘදුකාංග නිර්මාණය කරන්න පෙළඹුනා. අද ලිපියෙන් ඔහු අතින් නිර්මාණය වෙච්ච මෘදුකාංග තුනක් දෙන්නයි මේ සූදානම.

මේ මෘදුකාංග තුනම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලට ඕන කරන ලයිව් වොල්පේපර් මෘදුකාංග... !

ඔයාලත් බාගත කරගෙන පාවිච්චි කරලා බලන්ඩකෝ !

01. Sunflower Live Wallpaper

02. Natural Leaf S4 Live Wallpaper

03. Natural Lake S5 Live Wallpaper

ඔය උඩ තියෙන සබැඳි වලට ගිහින් ඒවා පාවිච්චි කරලා බලන්ඩකෝ..
එහෙනම් මම ගියාවේ...

ඊලඟ ලිපියෙන් බිලින්ග්ස් ක්‍රමය ගැන ලියන්නම්.... එතෙක් ජය හා සතුට ! 

12 August 2014

පෝය පංති

කලින් ලිපියේ දි මම කිව්වා නෙහ් අපි දෙගොල්ලෝ දිස්ත්‍රික්ක දෙකක නිසා රෙජිස්ටාර්ලා අතරේ පෝරම් කොළ හුවමාරු කලා කියලා.ඔය පෝරම් කොළ හුවමාරුවෙන් පස්සේ රෝස පාට කොළ දෙකක් දෙන්නටම දෙනවා.අන්න ඒ කොළ දෙක ගන්ඩ ඕන.

ඒ කොළ දෙකයි පෝය පංති ගිහින් ලැබෙන සහතිකයේ පිටපතයි ෆාදර්ට දෙන්ඩ ඕන. එතකොට තමා ෆාදර් කසාදය ලියාපදිංචි කරන්නේ. ඒ ලියාපදිංචිය කරන්නේ විවහා පූජාවෙන් පස්සේ.

මොකද්ද මේ පෝය පංති කියන්නේ ? මොනවද ඒකෙන් කෙරෙන්නේ..? අද ලිපිය ඒ ගැන ලියන්න කියලා හිතුනා.

පෝය පංති කියලා කටට හුරුවට කිව්වට මේ පංතියේ හරිම නම වෙන්නේ "විවහා අපේක්ෂක සමුළුව" කියන එක...ඉස්සර ඉදලා පංතිය තියලා තියෙන්නේ පෝය දවසේ.. කාටත් නිවාඩු දවසක් නෙහ්... ඒ නිසයි මිනිස්සු කටට හුරුවට පෝය පංති කියලා කියන්නේ.

දැන් නම් පෝයට විතරක් නෙමේ හැම ඉරිදාවකම එක එක තැන් වල මේ පෝය පංති පැවැත්වෙනවා... මමයි අපේ උන්දැයි ගියේ මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාම ශාලාවේ තිබ්බ පංතියට.. මේක මොරටුවේ තියෙන ගෑල්ලමයින්ගේ ඉස්කෝලයක් ! මූදු වෙරල ගාව තියෙන ලස්සන ස්කෝලයක් !

හරි ඒවයින් වැඩක් නෑ..

මේ පෝය පංතියෙන් කෙරෙන්නේ විවහා වෙන්න ඉන්න දෙන්නට ඉදිරි ජීවිතය ගෙනියන්න ඕන කරන උපදෙස් දෙන එක...

පෝය පංතියට සහභාගි වෙන්න කලින් විවහා පූජාව තියෙන පල්ලියේ ෆාදර්ගෙන් ලියුමක් ගන්ඩ ඕන. ඒ ලියුමේ තියෙන දුරකතන අංක වලට කතා කරලා පංතියට දිනයක් දාගන්ඩ ඕන. මම දාගත්තේ අගෝස්තු 10වෙනිදා...(පෝය දවසේ). දිනයක් දාගෙන ෆෝරමය පුරවලා ඒ පංතිය තියෙන දවසේ උදේට ගේන්ඩ ඕන.

පංතියට එනකොට බයිබලයක්, සටහන් පොතක්,පෑනක්,දවල් කෑම, ජාතික හැදුනුම්පත එහෙම ගෙනියන්න ඕන.පංතිය තියෙන්නේ උදේ 8.30 ඉදලා හවස 5.30 වෙනකන්. මට මුලදි හිතුනේ ඔච්චර වෙලා වාඩි වෙලා ඉන්න එක සෑහෙන අමාරු වෙයි කියලා. ඒත් ඉතිං මොනා කරන්නද කට්ට කාගෙන හරි ඉන්නවා කියලා හිත හදාගත්තා.

අපි දෙන්නා උදේ අටහාමාර වෙනකොට ඉස්කෝලේ ඇතුලට ආවා... ඒ වෙනකොටත් අපි දෙන්නා වගේ බඳින්න යන ජෝඩු කිහිපයකුත් ඇවිත් උන්නා. උදේ නමය වෙනකොට දේශන ශාලාවේ වාඩි වෙන්න කිව්වා. මේ සම්පූර්ණ පංතියට ජෝඩු 20ක් ඇවිත් උන්නා.

පංතිය දේශන හතරක් තියෙනවා. උදේ දෙකයි... දවල් කෑමෙන් පස්සේ දෙකයි. ඒ හැම දේශනයකටම ආවේ දේශකයායි එයාගේ නෝනයි.. ජෝඩුවක් තමා දේශනය කලේ.

දේශන 01- කතෝලික විවාහයේ බයිබලීය පැතිකඩ
ඔය වගේ නමක් තමා දේශනයේ තිබ්බේ. මේකෙන් කෙරෙන්නේ විවහා ජීවිතයට ඕන කරන ආගමික පසුබිම පැහැදිලි කරලා දෙන එක. බයිබල් පාඨයක් කියවලා තේරුම් කරවන එක තමා මේකෙන් කෙරුනේ.. මට නං ශෝක් එකට නින්ද ගියා.

දේශන 02 - කතෝලික විවාහයේ මනෝවිද්‍යාත්මක පැතිකඩ
මේ දේශනය නං මරු.... මේකෙන් කෙරෙන්නේ දෙන්නගේ මානසික මට්ටම තේරුම් ගන්නේ කොහොමද දෙන්නා අතරේ ගැටුමක් ඇති උනහම ඒවා නිරාකරණය කරගන්නේ කොහොමද වගේ මානසික පැත්තෙන් මතුවෙන දේවල් ගැන කියලා දුන්නා.

දේශකයාගෙයි එයාගේ නෝනගෙයි පවුල් ජීවිත වලින් උදාහරණත් දාලා ලස්සනට දේශනය කලා.ඒ අයට ආපු ගැටුම්, ඒවා නිරාකරණය කලේ කොහොමද වගේ දේවලුත් මේ දේශනයෙන් කිව්වා.

දේශන 03 - කතෝලික විවාහයේ කායික පැතිකඩ
මේකේ නම් තනිකරම කියවෙන්නේ ලිංගික ජීවිතය ගැන.කොහොමද විරුද්ධ ලිංගිකයාව තේරුම් ගන්නේ. එයාගේ ඕනෑ එපාකම් පිරිමහන්නේ කොහොමද ස්වබාවික උපත්පාලනය වගේ දේවල් සරලව විස්තර කලා. තව ගබ්සාව ගැනත් ලොකු විස්තරයක් කලා.

මෙතනදිත් සාමාන්‍ය ජීවිතයේ එයාලා මූන දීපු ගැටලු උදාහරණෙට අරගෙන විස්තර කලා..

මේ දේශනයේදි මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමා කතෝලික සභාව කෘතිම උපත් පාලන අනුමත කරන්නේ නැත්තේ ඇයි කියලා.කෘතිම උපත් පාලනය කියන්නේ කොන්ඩම්, ලූප්, සැත්කම්, එන්නත්, පෙති වගේ දේවල්... !!

ඒ වෙනුවට එයාලා (කතෝලික සභාව) හදුන්වා දෙන්නේ බිලින්ග්ස් ක්‍රමය ලූ.. ! ඒ ගැන පසුවට කියන්නම්.

දේශනය 04 -කතෝලික විවාහයේ සමාජීය පැතිකඩ
මේ දේශනයෙන් කරන්නේ විවහාපත් යුවලකගේ ජීවිත වලට තුන්වෙනි පාර්ශ්වයකගේ බලපෑම ගැන.නැන්දම්මා ලේලි ගැටුම් ගැන එහෙමත් මේ දේශනයෙන් විස්තර කලා. ඒ වගේම තමා දෙන්නගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් යාලු මිත්‍රාදින් නිසා විවහා ජීවිතය තුල සිදු වෙන්න පුල්වන් බලපෑමත් විස්තර කලා.

ඔය ටික තමා පෝය පංතියෙන් කලේ. දේශන හතරම ඉවර වෙලා හවස අපිට සහතික පත් දුන්නා. ඒ සහතිකය දෙන්නේ පෝය පංතියට සහභාගි උනා කියලා ඔප්පු කරන්න. මේ ජාතියේ දේශන තියලා දැනුවත් කිරීම් කරන එක නම් හොඳ වැඩක්..

සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුන දේශන මාලාවක්. දේශනයෙන් දේශනයට විවේක කාලයක් දෙන නිසා කම්මැලිකමක් හිතුනේ නෑ...

අපි දෙන්නා දේශන ඉවර වෙලා මොරටුව ස්ටේශන් එකට ආවා.එයා බස් එහෙක නැගලා ගෙදර ගියා. මම මොරටුවෙන් කොළඹ කෝච්චියක එල්ලුනා !

ඔන්න ඔහොමයි ඒ දවස ගෙවුනේ !