09 March 2023

මාතර කොටුව

 මාතර තානායමේදි උදේම නැගිට්ටා.කීයට නිදියෑවත් උදේ හය වෙද්දි වගේ අනිවාර්යෙන්ම මට ඇහැරෙනවා. එතනින් එහාට ඉතින් ආයේ නින්ද යන්නෙම නෑ. නැගිටලා උදේ තේ එකකුත් බීලා ඊට පස්සේ ටවුම පැත්තේ පොඩි රවුමක් දාලා එන්න ආවා. ඒ වෙනකොට පොඩි පහේ මීදුම් ගතියකුත් තිබුනා. ඒ මුහුද ළඟ හන්දා වෙන්ඩැති.

පන්ති යන්ඩ ආපු ළමයි කිහිපදෙනෙක් එහෙම බස් ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. ඊට අමතරව ඉතින් දුර ගමන් සේවා වල සෙනග ලෝඩ් කරන බස් ටික පෙලට ස්ටෑන්ඩ් එකේ නතර කරලා තිබ්බා.

මම ස්ටෑන්ඩ් එකට ගිහින් අනිත් රවුම කොටුව පැත්තට ආවා. ගාලු කොටුව තරම්ම මාතර කොටුව ජනප්‍රිය නොවුනට මාතරත් ලන්දේසින් විසින් ගොඩනගපු කොටුවක් තියෙනවා. ඒ කොටුවේ ඔර්ලෝසු කණුවකුත් තියෙනවා.

වෙලාව හම් හරියට වැඩ කරන්නේ නෑ. :)

මේ පින්තූරය අන්තර්ජාලයෙනි.

08 March 2023

මාතර තානායමේ ගෙවු දිනක්

 කුශ්ඨරාජගල බලලා ආයෙම ගාළු පාරට එනකොට වෙලාව හැන්දෑවේ දෙක විතර වෙලා තිබුණා. ඊට පස්සේ අපි ගාළු පාරේ මාතර දිහාවට එනකොට පාර අයිනේම තිබ්බ පොඩි කඩේකින් දවල්ට කෑවා. දැන් ඉස්සර වගේ නෙමේ කඩේකින් පොඩි දෙයක් කෑවත් රුපියල් 500ට එහා ගානක් යනවා.

දවල්ට කාලා අපි කෙලින්ම ආවේ මාතර තානායමට. මාතර තානායම තියෙන්නේ ටවුන් එකේමයි. හරියටම මාතර - කොළඹ හයිවේ බස් නැවතුම්පොළ කිට්ටුවෙන් තියෙන්නේ. තානායම මුහුද කිට්ටුවෙන්ම තියෙන නිසා මුහුදෙන් නැගෙන අතොරක් නැති රල හඬ හැම වෙලේම ඇහෙනවා. ඒත් එක්කම මුහුදු හුළඟ නිසා කොච්චර රස්නයක් තිබ්බත් ඒක වැඩිය දැනෙන්නේ නෑ. ටවුන් එක කිට්ටුවෙන්ම තිබ්බත් ටවුන් එකේ තියෙන ලොකු ඝෝෂාවක් නම් මේ තානායමට ඇහෙන්නේ නෑ.


 

07 March 2023

කුශ්ඨරාජගල

 අපි මාතර යන ගමනේදි මට ඕනකමක් තිබුණා වැලිගම හරියේ තියෙන කුශ්ඨරාජගල බලලා එන්ඩ. ඒක තියෙන්නේ ගාල්ල - මාතර පරණ පාරේ. ගාල්ල පැත්තේ ඉදලා එනකොට කුඹල්ගම දුම්රිය ස්ථානය පහු කරල ටික දුරක් වැලිගම පැත්තට එන්ඩ ඕන.

මේ ගල ට කුශ්ඨරාජගල කියලා නම වැටිලා තියෙන්නේ හතරවන අග්බෝ රජතුමාට වැළදුන කුශ්ඨ රෝගයක් සුව වෙන්න කියලා මේ ආසන්නයේම තිබ්බ අග්‍රබෝධියට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරය වෙලා තියෙන්නේ තමාට වැළදුන කුශ්ඨ රෝගය සුව උනොත් මේ පර්වතයේ නාථ දෙවියන්ගේ පින්තූරයක් කරවනවයි කියලා. කොහොමහරි රජතුමාගේ රෝගය සුව උනාට පස්සේ දැන් තියෙන ගලේ නාථ දෙවියන්ගේ පින්තූරයක් ඇඹෙව්වාලු.


 

කුශ්ඨය හැදුන රජතුමා බාර වූ ගල පස්සේ කාලෙක කුශ්ඨරාජගල උනා ලූ. මේ කුශ්ඨරාජගලේ තියෙන්නේ මහායාන බුදු දහමට අදාල අවලෝකිතේශ්වර බෝසත් පිළිමයක් ලූ.

06 March 2023

මාතර යන ගමන් ගාළු කොටුවේදී

 සෑහෙන කාළයකට පස්සේ සති අන්තයේ දීර්ග නිවාඩුවක් ලැබුන නිසා පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කලා. එක එක තැන් ටිකක් යෝජනා කරගෙන එයිනුත් අන්තිමේදි තීරණය කර ගත්තේ දකුණු රටට ගිහින් එනවයි කියලා. දකුණු රටේ මාතරට ගිහින් දවසක් එහේ ඉඳලා එන්න තමයි අන්තිම අදහස උනේ.

හයිවේ එකේ නිකන්ම මාතරට ගිහින් එනවට වඩා ගාල්ලේ ගිහින් ගාළු කොටුවත් බලලා එතනත් ටික වෙලාවක් ඉඳලා මාතර එමුයි කියලා මම යෝජනා කළා. ඒකට අපේ උන්දැත් කැමති උන නිසා අපි උදෙන්ම හයිවේ එකට දාලා පින්නදූවෙන් ගාල්ලට ආවා.

ඒ එනකොට උදේ හත හමාර වගේ උනා. ඒ වෙලාවට නම් අවුව අඩු නිසා ගාළු කොටුවේ ඇවිදින එකේ අමුතු ගතියකුත් තියෙනවා. ගාළු කොටු බැම්මේ ඉඳලා ඈත මුහුද බලාගෙන ඉන්න එකත් මරු හැබැයි. ඒත් ගාළු කොටුව ඇතුලේ තියෙන පාරවල් වල ඇවිදින කොට නම් හිතෙන්නේ වෙනම රටකට ගියා වගේ. හැම පාරකම තියෙන ගොඩනැගිලි පැරණි ඕලන්ද සම්ප්‍රදායට හදපුවා.

ඒ වගේම තමා පාරවලුත්  ඇතිරුම් ගල් අල්ලලා වෙනස්ම ක්‍රමයකට හදලා තියෙන්නේ. සාහිත්‍ය පොත් වල තියෙන විදිහේ අපූරු සැලැස්මක් තමයි ගාළු කොටුව ඇතුලේ තියෙන්නේ. මේ කාලෙට සංචාරකයෝ අඩුවෙන් එන කාළයක් නිසාද මන්දා ඒ තරම්ම කට්ටියක් අපිට දකින්න හම්බ උනේ නෑ.

03 March 2023

ගුරු වර්ණනා

 අපේ පුතාගේ මොන්ටිසෝරියෙන් දෙමව්පියන් සේරම එකතු කරලා වට්සැප් ගෲප් එකක් හදලා දීලා තියෙනවා. ඒක නිසා ටීචර්ට එක එක නිවේදන නිකුත් කරන්න හරි පහසුයි. මේ හින්දම කොළ වල ලියලා දැන්වීම් පුවරුවේ දාන්න කරදර වෙන්න ඕන නෑ. කෙලින්ම වට්සැප් මෙසේජ් එකක් දැම්මහම ඇති.

ඒ වගේම තමා දෙමව්පියන්ට තමන්ගේ දරුවට අදාල දිනට මොන්ටිසෝරි එන්න වෙන්නේ නැත්නම් ඒකත් මේ ගෲප් එකට මෙසේජ් කරලා ටීචර්ට දැනුම් දෙන්න පුලුවන්. එතකොට ටීචරුත් දන්නවා මේ දරුවා මෙදාට මොන්ටිසෝරි එන්නේ නෑයි කියලා.

මීට අමතරව මොන්ටිසෝරියෙන් කෙරෙන පොඩි පොඩි ඉවෙන්ට් වල පින්තූර එහෙම දානවා. එතකොට දෙමව්පියන් විදිහට අපිත් දන්නවා මේ දේවල් මොන්ටිසෝරියේ සිද්ධ උනා ය කියලා.


ඔය වාගේ අටෝරාසියක් දේවල් මේ ගෲප් එක හරහා සන්නිවේදනය වෙනවා. ඒක හොඳ දෙයක් !