23 September 2017

මගේ පොත් කියැවීමේ ඉතිහාස කතාව

මගේ පොත් කියැවීමේ නොනිමි ආසාව ඇති කිරීමෙහි ලා මූලිකවම කටයුතු කලේ අපේ අම්මා යැයි කීවොත් මා වැරදි නැත. ගමේ පල්ලියේ පියතුමා ඉදිරියේ අයනු ආයනු ඇයි මුලකුරු කියැවූ දින පටන් මගේ කියවීම ලිවීම දියුණු කරවීම සදහා ඈ නොගත් උත්සහයක් නැති තරම් ය.

කුඩා කල පටන් චූටි තරු, බිංදු, හපනා වැනි සතිපතා නිකුත් වන ළමා පුවත්පත් ඈ මාහට ගෙනත් දෙන්නීය. ඒ විතරක් නොව මා ඒ පුවත් පත් වල විවිධ වූ ක්‍රියාකාරකම් හරියාකාරව කරන්නේදැයි විටින් විට පරික්ෂා කරන්නීය.

මා යම් ප්‍රශ්නයකට හෝ යම් ක්‍රියාකාරකමක වැරදි දෙයක් කර ඇත්නම් එය නිවැරදි කරන ලෙස ඈ තරවටු ස්වරූපයෙන් කියන්නීය. එවිට මා මකනයෙන් අදාල කොටස මකා නිවැරදි පිළිතුර එහි ලියන්නෙමි.

දිනෙන් දින සතියෙන් සතිය කල් ගත වී මගේ කියැවීමේ දියුණුව දුටු ඈ මා හට කඩමාලි නම් වූ ළමා කතා පොත ගෙනැවිත් දුන්නා ය.

මා එය ඉමහත් ආසාවෙන් කියැවූ නිසා පසු කාලෙකදී සුදු කපුටා පොතත් ඉන් නොනැවතී අවුරුදු ඇඳුම, හොඳම පුතා, ඇලඩින්ගේ පුදුම පහන යන පොත් ද ගෙනැවිති මගේ කියැවීමේ ආසාව දියුණු කලා ය.

ඇලඩින්ගේ පුදුම පහන පොත මා කියැවූයේ යම් කිසි වූ බියකිනි. ඇලඩින් අත වූ පහන පිරිමදින විට එහි වූ භූතයෙකු එලියට එන නිසා මා ඒ පොත ඒ දිනවල කියවූයේ කිසියම් බියක් තැති ගැන්මකින් යුතු වූ සිතකිනි.

පසු කාලීනව නොයෙකුත් පොත් කියැවීමට මා හුරු වූවෙමි. මගේ කියැවීම දියුණු කිරීමට එඩේරමුල්ලේ ශාන්ත සෙබස්තියන් විදුහල් පුස්තකාලය මට නිවන් දොරටුවක් විය.

සාහිත්‍යය මාසයේ ස්වර්ණ පුස්තකය

මේ ගතවන්නේ සාහිත්‍යයට ආදර කරන්නවුන්ගේ සාහිත්‍යය මාසයයි. සාහිත මස, සාහිත්‍යය ගැන යමක් නොලිව්වොත් එය එක්තරා අන්දමේ අඩුපාඩුවක් යැයිමට සිතේ. එහෙයින් ඒ අඩුව පුරවනු වස් මා මේ ලිපිය ලියා තබමි.

සාහිත මාසයේ ප්‍රධානතම උළෙල වන්නේ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනය හා ඊට සමගාමීව පැවැත්වෙන කලින් වසරේදි එලි දක්වන ලද පොත් වලට සම්මාන ලබා දෙන සම්මාන උළෙලයි. ඒ සම්මාන උළෙලවල් අතරින් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ප්‍රධාන තැනක් ගනී. බොහෝ පාඨකයෝ හා ලේඛකයෝ මෙම මස නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මේ වසරේ කුමන පොත සම්මානය දිනා ගනීවිදෝ යි කියායි.

05 August 2017

මාදු ගඟේ බෝට්ටු සවාරිය -2

මමත් මගේ කාර්යාල සගයෝ ටිකත් එක්ක මාදු ගඟේ බෝට්ටු සවාරියක් ආවා මතක ඇතිනේ. ඒ යන ගමන් මාදු ගඟ කියන්නේ රැම්සා තෙත් බිමක් ය කියලා මම තවත් තැනක කිව්වා මතක ඇති නෙහ්.

අන්න ඒ තුන්වෙනි රැම්සා තෙත් බිමේ පොඩි බෝට්ටු සවාරියක් යන්නයි අපි සූදානම. මාදු ගඟේ මේ වෙනකොට දූපත් පහලොවක් විතර තියෙනවා. ඒ ටික මතක් කලොත් කොත්දූව, දක්දූව, මාදූව, මෙ‍මා දූව, හොන්දූව, දිමිදූව, නයි දූව, මුවන් දූව,සත පහේ දූව, මේරල දූව, ගල්මන් දූව, කටුදූව, මදදූව, ගෝනදූව හා තිනිය දූව.

මේ දූපත් වලින් කොත් දූව තමයි මාදු ගඟේ තියෙන ලොකුම දූපත. සත පහේ දූව කියලා  කියන්නේ මාදු ගඟේ පොඩිම දූපත.

කොත් දුවේ තියෙන විශේෂත්වය තමයි පන්සලක් පිහිටා තිබීම. ඒ දූපතට ඒ නම ලැබිලා තියෙන්නෙත් ඒ නිසාම වෙන්ඩ ඕන.

07 July 2017

බැමිණිතියාසාය

මේ දවස්වල රූපවාහිනී නාලිකාවල වැඩිමනක්ම සදහන් වෙන්නේ රටේ දැනට පවතින කාළගුණික විපර්යාස ගැන සහ ඒ විපර්යාස නිසා කෘෂිකර්මාන්තයට සිදුවෙලා තියෙන හානි ගැනයි.

කොටින්ම ඉදිරි කාළය තුළ නියඟයක ලකුණු පහල වෙලා තියෙන බවයි ප්‍රවෘත්ති වල සදහන් වෙන්නේ. උදේට ඇට මිදුළු වලටම කාවදින සීතලකුයි, දවාලට දැඩි රස්නයකුයි විඳින්න වෙලා තියෙනවා.

මේ කාළගුණික විපර්යාස නිසා ජල හිඟයක් ඇති ඇතිවෙන බවට සලකුණු තියෙනවයි කියනවා.  මේ නිසාම වගා පාළුවෙලා ආහාර හිඟයකුත් ඇති වෙන නිසාම කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙනවා ක්‍රෝටන් කොළ, කොස් දළු එහෙම කන්නයි කියලා.හොදි මාළු නං මොනාහරි කරගන්ඩ පුලුවන් ඒත් හාල් එහෙම නැති උනොත් අයේ කොස් කොළ කන්ඩ කියලා යෑ... :(

මේ අල්ල පනල්ලෙම "ආලෝකෝ උදපාදි" කියල චිත්‍රපටියකුත් තිරගත වෙන්ඩ තියෙනවා.ඒකේ පෙන්නන්නේ වලගම්බා රජතුමාගේ කතාව. වලගම්බා රජතුමාගේ කාලෙත් ඔය ජාතියේම සාගතයක් ඇති උනා කියනවා නෙව.

ඒකට ලස්සන නමකුත් තියෙනවා. "බැමිණිතියාසාය" කියලා. සමහරු ඕකට "බැමිනිටියාසාය" කියලත් කියනවා.

කවුරුත් දන්න දුටුගමුණු රජතුමාගෙන් පස්සෙ සද්ධාතිස්ස රජතුමා රජ වෙනවා. මේ රජතුමාට දරුවෝ හතර දෙනෙක් උන්නා. ඒ දරුවෝ හතර දෙනාම සද්ධාතිස්ස රජතුමාගෙන් පස්සේ රටේ රජකම ගන්න සටන් කළා. මේ නිසාමේ ඒ කාලේ රටේ තිබ්බේ එච්චර හොඳ පාළන ක්‍රමයක් නෙමේ. මේ නිසාම තීය කියලා බ්‍රාහ්මණයෙක් රටේ බලය ගන්න සටන් කලා. මේ සටන ටිකක් ප්‍රබල එකක්.

ඒ නිසාම රටේ කෘෂිකර්මාන්තය අඩාල උනා. ඒ නිසාම මිනිස්සුන්ට කන්න නැති උනා. රටේ රජතුමා පැනලා ගිහින් වන ගත උනා. රජතුමා හිටපු හිටපු තැන් තැන් වල පස්සේ කාලේ විහාර ඉදි උනා.

තීය කියන බමුණා නිසා ඇතිවෙච්ච සාගත නිසා බමුණුතියාසාය නැත්නම් බැමිණිටියාසාය කියලා නමක් පට බැඳුණා.

මේ කාලෙදි රජතුම සේනා සංවිධානය කරනවට අමතරව එතුමා දැක්කා ත්‍රිපිටකය කට පාඩමේ තියාගෙන උන්නු රහතන්නාන්සේලා එක්කෙනා දෙන්නා අපවත් වෙනවා කියලා.

මේ නිසාම රජතුමාගේ මැදිහත්වීමෙන් ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කෙරුනා. එදා ඒ විදිහට ත්‍රිපිටකය ලියැවුනේ නැත්නම් අද වෙනකොට අපට ත්‍රිපිටකය කියලා දෙයක් සදහටම නැති වෙන්ඩ තිබුණා.

මම කලින් කියපු සාගතය සෑහෙන ලොකු කාළයක් තිබ්බා.

මේ දවස්වල රටෙත් අපෙත් ප්‍රාර්ථනාව ඉක්මනින් වැහි ලැබෙන්ඩ කියලා. සමහර පැති වල වැස්ස ලැබෙන්ඩ කියලා වැහි පිරිතත් කියනවා. 

01 June 2017

මගේ උපන්දින තෑග්ග

අද මගේ උපන්දිනේ. ගිය වතාවේ නම් අපේ උන්දෑ මට අරන් දුන්නේ හොරොව්පොතානේ පලවෙනි ඩියාරෝ කියලා පොතක්. ඒ වතාවේ අපේ උන්දෑට ලොකු රස්සාවක් තිබ්බේ නෑ. ඒ නිසා මට එක පොතක් විතරක් අරන් දුන්නා. මේ වතාවේ අපේ උන්දෑ කොළඹ ලොකු කන්තෝරුවක රස්සාවක් කරන නිසා පොත් කිහිපයක් අරන් දුන්නා.

මුලින්ම අපේ උන්දෑ හිතාගෙන උන්නේ මගේ උපන්දිනේට කේක් එකක් ගෙනත් පොඩි පහේ පාර්ටියක් දානවා ය කියලා. නමුත් මගේ බලවත් පෙරැත්තය උඩ පාර්ටිය අවලංගු කර ගත්තා.

පාර්ටියේ කේක් ගෙනල්ලා කාලා බීලා ඉවර වෙනවා. ඒ වගේ යෑ පොතක් ගෙනල්ලා දුන්නා නම් ඒ පොත ජීවිතේ තියෙන තුරාවටම තියාගෙන ඉන්නවා නෙව. අනික මං වගේ පොත් පිස්සෙක්ට පොතක් ඇරෙන්න වෙන දෙයක් වටීවි යෑ.

මෙදාපාර අපේ උන්දෑ මට ගෙනත් දුන්නේ කේ. ජී. කරුණාතිලක මහත්තයා පරිවර්ථනය කරපු මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතාව.