23 September 2017

මගේ පොත් කියැවීමේ ඉතිහාස කතාව

මගේ පොත් කියැවීමේ නොනිමි ආසාව ඇති කිරීමෙහි ලා මූලිකවම කටයුතු කලේ අපේ අම්මා යැයි කීවොත් මා වැරදි නැත. ගමේ පල්ලියේ පියතුමා ඉදිරියේ අයනු ආයනු ඇයි මුලකුරු කියැවූ දින පටන් මගේ කියවීම ලිවීම දියුණු කරවීම සදහා ඈ නොගත් උත්සහයක් නැති තරම් ය.

කුඩා කල පටන් චූටි තරු, බිංදු, හපනා වැනි සතිපතා නිකුත් වන ළමා පුවත්පත් ඈ මාහට ගෙනත් දෙන්නීය. ඒ විතරක් නොව මා ඒ පුවත් පත් වල විවිධ වූ ක්‍රියාකාරකම් හරියාකාරව කරන්නේදැයි විටින් විට පරික්ෂා කරන්නීය.

මා යම් ප්‍රශ්නයකට හෝ යම් ක්‍රියාකාරකමක වැරදි දෙයක් කර ඇත්නම් එය නිවැරදි කරන ලෙස ඈ තරවටු ස්වරූපයෙන් කියන්නීය. එවිට මා මකනයෙන් අදාල කොටස මකා නිවැරදි පිළිතුර එහි ලියන්නෙමි.

දිනෙන් දින සතියෙන් සතිය කල් ගත වී මගේ කියැවීමේ දියුණුව දුටු ඈ මා හට කඩමාලි නම් වූ ළමා කතා පොත ගෙනැවිත් දුන්නා ය.

මා එය ඉමහත් ආසාවෙන් කියැවූ නිසා පසු කාලෙකදී සුදු කපුටා පොතත් ඉන් නොනැවතී අවුරුදු ඇඳුම, හොඳම පුතා, ඇලඩින්ගේ පුදුම පහන යන පොත් ද ගෙනැවිති මගේ කියැවීමේ ආසාව දියුණු කලා ය.

ඇලඩින්ගේ පුදුම පහන පොත මා කියැවූයේ යම් කිසි වූ බියකිනි. ඇලඩින් අත වූ පහන පිරිමදින විට එහි වූ භූතයෙකු එලියට එන නිසා මා ඒ පොත ඒ දිනවල කියවූයේ කිසියම් බියක් තැති ගැන්මකින් යුතු වූ සිතකිනි.

පසු කාලීනව නොයෙකුත් පොත් කියැවීමට මා හුරු වූවෙමි. මගේ කියැවීම දියුණු කිරීමට එඩේරමුල්ලේ ශාන්ත සෙබස්තියන් විදුහල් පුස්තකාලය මට නිවන් දොරටුවක් විය.


කිසියම් නිදහස් කාල පරිච්ඡේදයක් ලද විගස මා නවතින්නේ පුස්තකාලයෙනි. එවකට පුස්තකාලාධිපතිනියව සේවය කල සුභාෂිණි විජේනායක මෙනවිය (එවකට මෙනවිය නම් විය. :) ) මට ලබා දුන් සහයෝගය මෙතකැයි කියා නිම කළ නොහැක.

වසරකට වරක් විදුහල් පුස්තකාලයට අළුත් පොත් ගෙන ඒම සිදුකරයි. ඒ පොත් ගෙන ආ පසු මුලින්ම කරන්නේ පිටකවර දැමීම ය. පොත් වල පිට කවර දමන තුරු කිසිම සිසුවෙකුට ඒ පොත් කියවීම තහනම් විය. නමුත් පුස්තකාලාධිපතිය හා මිතුරුව සිටි මා හට නම් මෙ තහනම වලංගු වූවක් නොවේ. අළුත් පොත්පත් පුස්තකාලයට ලද විගස ඈ අපට ඒවා කියවන්නට දුන්නාය. මේ කියැවීම නිසා මට මගේ ආදරණීය ලේඛකයාවත් මුන ගැසීමට හැකි විය.

මා කලින් ලිපියක සදහන් කල මගේ ප්‍රියතම ලේඛකයා ඔහු ය. ඔහු නමින් භද්‍රජි මහින්ද ජයතිලකයන් ය !

ඔහුගේ මා කියවූ විශිෂ්ඨ නවකතා කිහිපයක් ගැන මා ඉදිරි ලිපියකින් සදහනක් කරන නිසා මේ ලිපිය ඒ සදහා ඉඩ වෙන් නොකරමි.

සෙබස්තියන් විදුහලේ පුස්තකාලයට සමු දෙනවිට මා එහි වූ සියලුම පරිවර්තන පොත් හා නවකතා කියවා තිබුණි. ශාන්ත සෙබස්තියන් විදුහල පිහිටි එඩේරමුල්ල ගමට මා සමු දුන්නේ උසස් පෙළ සදහා මා ශාන්ත අන්තෝනියට ගිය පසු ය.

උසස් පෙළ අධ්‍යාපන කටයුතු නිසා පොත් කියැවීමට තාවකාලික විරාමයක් තැබුවත් අතරින් පතර ඉඩ ලද දිනෙක පොතක් දෙකක් කියවීමට ඉඩ වේලාව වෙන් කර ගැනීමට මා අමතක නොකළෙමි.

වසර දෙක හමාරක පොත් කියැවීමේ ඉඩෝරයකට මා හසුවිමි. උසස් පෙළින් පසු මා ගෙදර සිටි කාලය තුලදී අහල පහල ගෙවල් වලින් ලද පොත් පත් කියවූවත් "හිතට දැනෙන" පරිදි පොතක් කියවීමට වරම් නොවී ය.

ඉඩෝරයට හසු වෙමින් පැවති මගේ පොත් කියැවීමට අනෝරා වැසි ඇද හැලුනේ මා පේරාදෙණිය සරසවියට තේරුණු පසුවය. පේරාදෙණි සරසවි පුස්තකාලය මහල් සයකින් සමන්විත එවකට ලංකාවේ විශාලම පුස්තකාලය ව තිබූ යාපනය පුස්තකාලයට පමණක් දෙවැනි වූ පුස්තකාලයකි.

මා එහි සිටි සිවු වසර තුළ සියළුම පොත් කියවීම නොහැකි වූවත් සෑහෙන පොත් ප්‍රමාණයක් කියැවීමට හැකි විය. සිවු වසරින් පසු මා පේරාදෙණි සරසවියට සමු දුනිමි.

ඉන් පසු මා කළ රැකියාවෙන් ලද වැටුපෙන් මාසිකව පොතක් දෙකක් ගෙන කියැවීමට හුරු වූවෙමි. මේ නිසා මා සතුව යම් පොත් ප්‍රමාණයක් ඉතුරු වී තිබේ. ඒ මා සතු උතුම්ම ධනයයි. !

අවසන් වශයෙන් මා කිව යුත්තේ මෙපමණ කාලයක් පොත් කියැවූවත් මා තුළ පවතින කියැවීමේ ආසාව නිම වී නැත.

"කියැවීම මිනිසා සම්පූර්ණ කරයි."

බොහෝ අය අසා ඇති කියමනක් වූ මෙය, මා අනේක වර අත් විඳ ඇත්තෙමි.

4 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.