17 November 2016

කවි සංවාද

දනාගේ මිහිරි නද මැද කවි පන්තියට ඔහුගේ යෙහෙළියෝ පිළිතුරු කවි ලීවෝය. ඒ හැම කවි සිතුවිල්ලකටම දනා පිළිතුරු කවියක් ද ලීවේය. ඔහු හා ඔහුගේ යෙහෙළියන් අතර ඇතිවූ කවි දෙබස  පහතින් දක්වා ඇත.

දිනූෂා නවරත්නගේ කවිය.

නුවන් පෙම් බැඳි...
නදින් හඳ රැඳි....
හදේ රුව ඇඳි....
මල සොයනු සකි....


දිනූෂාගේ කවියට දනාගේ පිළිතුරු කවිය.

මලට පෙම් බැඳි..
බඹරු නෙක ඇති...
නමුත් නොදනිති
හිරුගේ නිමැවුම....

මිහිරි නද මැද

නුවන් පෙම් බැඳි
පිපුණු කුසුම ද
අදත් යන මග පිබිදුනේ

සවන් පිනවන
මිහිරි නද මැද
අදත් සවනත පිනවුයේ

මෙවන් මිහිරක්
ගෙනෙන කවියද
අදත් නුඹ මේ ගොතනුයේ

--------------------------------------------------------------------------------
ප. ලි. - ධනංජය චන්ද්‍රසේකරගේ (දනාගේ) කාව්‍ය සංකල්පනාවක්

16 November 2016

ගි කියන්න නුඹ නමින්

තරුත් නැති අහසේ
කලුවරයි අද රිසිසේ
සඳකි නුඹ අහසේ
පායා එන්න රිසිසේ

කවුලු පියන් හැර තබන්න
නුඹ අවුදින් අත වනන්න
මට රහසින් පියාඹන්න
පියා පතක් තබා යන්න

රැහැයි නඳත් එයි සැනින්
හමන සුළං සිසිලසින්
මටම මිහිරි පද වලින්
ගි කියන්න නුඹ නමින්

----------------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

11 November 2016

ගෙවල් හැදිල්ල

ගෙවල් හදනවා කියන්නේ ලොකු වලක් කපලා ඒ වලට සල්ලි දානවා වගේ වැඩක්. කොච්චර සල්ලි වියදම් කලත් මදි.

මාත් පොඩිවට ගේ කෑල්ලක් හදන්න පටන් ගත්තා. මේ අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා තමා සුබ නකතින් ගෙපැල කපන්න පටන් ගත්තේ. මේ වෙනකොට ටිකෙන් ටික වැඩ කරලා ගෙයි සම්පූර්ණයෙන්ම වාගේ වැඩ ඉවරයි.

අන්තිමේදී ෆිනිෂින් වහලෙකුත් ගැහැව්වා.

අම්බෝ ඒකට තමා ලොකුම වියදම ගියේ. ලීවලට සෑහෙන ගානක් ගියා. ඉතුරු වියදම් සේරම ගියේ පේන්ට් බඩු වලටයි ෂීට් වලටයි.

ලී වලට යන වියදමයි ෂීට් වලට යන වියදමයි ඇරුනහම ලොකුම වියදම ගියේ බාස් කුලියට. අපේ පැත්තේ බාස් කෙනෙක් වහලේ වර්ග අඩියකට රුපියල් 110ක් ගන්නවා.

ඔය වැඩ සේරම ටික ඉවර වෙනකොට මම පොඩි ණය කාරයෙක් වෙලා. ඒත් ඉතින් කමන් නෑ... ගෙයි වැඩ ගොඩක් කෙරුණා නෙව.

මගේ මහන්සියෙන්ම ගොඩනගපු ගේ නේද කියලා හිතෙනකොට හිතේ ලොකු සතුටක් දැනෙනවා.

මේ අවුරුද්ද ඉවර වෙන්ඩ කලියෙන්ම කාමර කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ඩ ඉන්නේ.

කුලී ගේක ඉන්නවට වඩා තමන්ගේම ගේක ඉන්න එක කොච්චර නම් සැපක් ද ?

බදු ගෙවමු රට හදමු

ටික දවසකට පස්සේ බ්ලොග් අඩවිය පැත්තේ එන්න හිතුනා. අළුත් තැනක රස්සාව පටන් ගත්තු නිසා පහුගිය දවස් ටිකේම අළුත් තැනට හුරු වෙන්න සිද්ද උනා. අළුත් පරිගණක භාෂාවක් එක්ක වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා ඒකට හුරු වෙන්නත් පහුගිය දවස් ටිකේම ටිකක් මහන්සි වෙන්න සිද්ධ උනා.

දැන් නං ටිකක් නිදහස් !

කම්මැලිකම යන්නත්තෙක්ක මූණු පොතට ගොඩ උනාම තමා දැක්කේ මෙදා අයවැයේ රඟේ. ආයේ ඉතින් අන්තර්ජාලෙට ගොඩ වෙන්නත් ලොකු බද්ධක් ගෙවන්ඩ සිද්ද වෙනවා !

වෙන රටවල් වල නං මිනිස්සුන්ව තාක්ෂණයට මුහු කරන්න ඕන කියලා ඒ වගේ දේවල් වලට ගහන බද්ද අඩු කරලා දෙනවා. ඒකට අපේ රටේ !

මේ ආණ්ඩුව බදු වලින්ම ගේම ගහන්න හදන බවක් තමා පේන්න තියෙන්නේ. රේඩියෝ එකේ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හැම එකකම වාගේ විඩින් විඩේ කියන්නෙම "බදු ගෙවමු රට හදමු " කියලා

මිනිස්සු නම් බදු ගෙවයි... රට හැදෙන එක ගැන තමා ප්‍රශ්නේ !