14 December 2011

ආදරය සහ කාළය

ඔන්න චූටි දුවේ පුතේ එකෝමත් එක කාලෙක අපූරු රටක් තියෙනවා සියළුම මනුස්ස හැඟීම් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන. සතුට, දුක දැනුම, ආදරය වගේ මානුෂික හැඟීම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔහොම කලක් ගත වෙනකොට මේ අය හිටපු එකෝමත් එක රට, ගිලෙන්න යනවා.

මෙහෙම මේ රට ගිලෙන්න යනකොට ආදරය ඇරෙන්න අනිත් හැමෝම බෝට්ටු වල නැඟලා වතුර පාර දිගේ පාවෙවී යනවා. ඉතින් මේ ආදරය, තමන්ගේ උපරිම වෙර වීරිය දානවා කොහොමහරි බේරෙන්න. ඒත් ආදරය, ටිකෙන් ටික දිය පහරේ පහලට ගහගෙන යනවා.

ඉතින් මෙහෙම ගහගෙන යනකොට ආදරය, ධනවත්කම කියන කෙනාගේ බෝට්ටුව ගාවට කිට්ටු වෙනවා.තමන්ව බෝට්ටුව ඇතුලට ගන්න කියලා කිව්වත් මේ ධනවත්කම කැමති නෑ ආදරය බෝට්ටුව ඇතුලට ගන්න. මොකද තමන්ගේ බෝට්ටුව සල්ලි වලින් රත්තරන් මුතු මැණික් වලින් පිරිලා. ඒ නිසා ඉඩක් නෑ.

ඊට පස්සේ ආදරය ආයෙමත් දිය පහරේ පහලට ගහගෙන යනවා.මේ වෙලාවේ කිට්ටු වෙන්නේ ලස්සන බෝට්ටුවක නැඟලා යන ආඩම්බරයාගේ බෝට්ටුව ලඟට. කලින් වතාවේ වගේ මේ වතාවෙත් තමාව බේරගන්න කියලා ඉල්ලුවත් ආඩම්බරයා නෙමෙයි ආදරය දිහා ඇහැක් ඇරලා බැලුවේ.

මේ විදිහට සතුටගේ බෝට්ටුව ලඟටත් දුකගේ බෝට්ටුව ලඟටත් ගහගෙන යනවා. මේ එක්කෙනෙක්වත් ආදරයව බේරගන්න කැමති නෑ.

ආදරයා තමන් ජීවත් වෙන බලාපොරොත්තු අතෑරගන්නවා.ඔහොම තව ටිකක් දිය පහරේ පහලට ගහගෙන යනකොට අහම්බෙන් වගේ වයසක මනුස්සයෙක් ජල පහරේ ගහගෙන ගියපු ආදරයාව බෝට්ටුව ඇතුලට ගන්නවා. ආදරයාත් මේ මනුස්සයා එක්ක ගොඩබිමක් හොයාගෙන යනවා.

මේ දෙන්නා හිටපු බෝට්ටුව ගොඩබිමේ නැවැත්තුවාම අර වයසක මනුස්සයා බැහැලා යනවා. කලබලේට තමන්ට උදවු කලේ කවුද කියලා අහගන්න බැරුව යනවා.

මේ ආදරයා තමන් ලඟ හිටපු දැනුම ගාවට කිට්ටු වෙලා,

"මට අර උදවු කරපු කෙනා කවුද ?"

"ඒ තමා කාළය !!" දැනුම උත්තර දෙනවා.

"ඇයි එයා විතරක් මට උදවු කරන්න ආවේ ?" ආදරයා ආයෙමත් ඇහුවා.

"කාළයට විතරයි ආදරය තේරුම් ගන්න පුලුවන් ! ඒකයි එයා ඔයාට උදවු කලේ !!" දැනුම උත්තර දුන්නා.

ආදරය තේරුම් ගන්න කාළයට ඉඩ දෙන්න !!
-----------------------------------------------------------------------
ප.ලි. - වැඩ කරන අතරතුරේ කියවන්න ලැබුන අපූරු සිතුවිල්ලක් සිංහලයට පරිවර්තනය කලා.

09 December 2011

ඇතා සහ කඹය

දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ඒ ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා.

"මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා තිබ්බේ මේ ජාතියෙම කඹේකින්. ඒ කාලේ නම් කඹේ කඩාගෙන යන්නත් හැදුවා. ඒත් ඌට ඒ කාලේ කඹේ කඩාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඉතින් ඌ ලොකු ඇතෙක් උනත් උට තාම විශ්වාසයි තමන්ට මේ කඹේ කඩාගෙන යන්න බෑ කියලා. ඒ නිසා මුට පුලුවන් උනත් මූ කඹේ කඩාගෙන යන්නේ නෑ." කියලා ඇත්ගොවුවා කිව්වා.

අර මනුස්සයා විස්මය පල කරලා එතනින් යන්න ගියා.

කතාවේ ආදර්ශය - තමන්ට කොයි දේත් බෑ කියලා හිතන්නේ නැතුව තමන්ට තියෙන හැකියාවන් අඳුන ගන්න ඕනා.
-----------------------------------------------------------------------
ප.ලි.- වැඩ කරන අතරේ ලැබුන පොඩි විවේකය අතරතුරේ කියවපු පුංචි කතාවක් සිංහලයට පරිවර්ථනය කළා.

08 December 2011

ආදරය අන්ධයි(ද)

"මචං ආදරේ අන්ධයි නේද බං ?" යාළුවා දිහාට හැරිලා මම් කිව්වා.

"ඈ යකෝ !!! මෙච්චර වෙලා හොදට හිටපු උඹට එකපාරට මොකෑ උනේ ? උඹට ඔල්මාදෙ ද ?" යාළුවා උත්තර දුන්නා.

"එහෙම එකක් නෙමේ බං. අර කෙලවරේ වාඩි වෙලා ඉන්න කපල් එක නහුතෙට තොල් විකා ගන්න එක උන් හිතන්නේ අපට පේන්නේ නෑ කියලා නේ !!"

"කෝ .... බං !!"

"අර පෙම් මුල්ලේ වාඩි වෙලා ඉන්නේ. උඹ ඇස් කටේ දාගෙනද ඉන්නේ ?"

"අඩේ හැබෑමයි නේ බං. උඹට ඉතින් කොහෙං හරි කැරිකිලා ඕවා නම් පේනවා !!!"

වෙනදා වගේම නුගේගොඩ ඉදන් බස් එකේ ඇවිත් ආමර් වීදියෙන් බහිනකොට මට අතීජාත මිත්‍රයෙක් හම්බ උනා. ඌත් එක්ක කදේ වැටිලා ටික වෙලාවකින් අපේ ගමට යන බස් එකට ගොඩ උනා. එතකොට තමයි ඔය කියන ජෝඩුව දැක්කේ.

ඒ වෙලාවේ බස් එක පිරෙන්නම වගේ සෙනඟ හිටියත් අන්තීම සීට් එකේ කෙලවරක වාඩිවෙලා හිටපු ජෝඩුවක් ඔය විදිහට ආදරෙන් අන්ධ වෙලා හිටියා (පවු නේ.) මාත් ඔය සිද්ධිය අහම්බෙන් වගේ දැකලා මං ලඟ හිටපු යාළුවාට පෙන්නුවා.


මේ සිද්ධිය දැක්කම හිතුනේ ඒ කොල්ලයි කෙල්ලයි පුරුදු කාරයෝ දෙන්නෙක් කියලා.

ඔහොම ටික වෙලාවක් යනකොට බස් එකේ හිටගෙන හිටපු එක එකාගේ ඇස් අර ජෝඩුව දිහාවට යොමු උනා. ඒත් උන් දෙන්නට නෙමෙයි ගානක්වත් තිබුනේ.
මේ සිද්ධිය දැකපු සමහර මැදි වයසේ අය නම් "මුන්ට විලි ලැජ්ජ නෑ" කියලා තමන්ට විතරක් ඇහෙන්න බැන ගත්තා.

තවටික වෙලාවක් යනකොට මේ සීන් එක ඉහින් කනින් ආරංචි වෙලා සීට් වල වාඩිවෙලා හිටපු එක එකා චුට්ට චුට්ට ඉස්සිලා ඒ දෙන්නා දිහා බලන්න ගත්තා.
කොටින්ම බස් එකේ හැම එකාගෙම අවධානය ඒ දෙන්නා පැහැර ගත්තා කිව්වොත් මම වැරදි නෑ.

මේ වගේ දේවල් පිටරටවල් වල අරුමයක් නැති උනාට අපට නම් අළුත් දේවල්. AC බස් වල මෙහෙම ඒවා වෙනවා කියලා දැනගෙන උන්නට සාමාන්‍ය බස් වලත් මෙහෙම වෙනවා කියලා මම් දැනගත්තේ අදමයි.

කොහොමහරි මේ දෙන්නා පෑලියගොඩ පහුවෙනකොට බැහැලා ගියා. මේ දෙන්නගෙ නිදහස නේ කියලා හිතලා වෙන්නැති කවුරුවත් මුකුත් කියන්න ගියේ නෑ.
ඊට පස්සේ මමයි අරුයි බස් එකෙන් බහිනකම් දවසේ විස්තර කතා කර කර ගියා.

වෙනදට වාහන තදබදයට අහුවෙලා සෙනඟ අතරේ තෙරපිලා යන ඒකාකාරි අතෘප්තිකර බස් ගමන සුන්දර කලාට මේ දෙන්නට ස්තුතියි කියමු !!!

-------------------------------------------------------------
ප.ලි. - අපේ දිල් අක්කා හිටියා නම් මෙලහකට බැනලා පෝස්ට් එකක් දාලා. ඔන්න මම මේ වැරැද්ද සිද්ධිය සාධාරණිකරණය කළා. :)

06 December 2011

ගුරු පඩුරු

දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී දූගේ උපන්දිනේ ලූ. කේක් කපන්නේ ඉස්කෝලේ ළමයි එක්ක බෙදාගෙන කන්න ලු.

"මොකෑ පුංචිඅම්මේ කේක් පොඩිවට කපන්නේ ?" මම් නිකන් ඉන්න බැරුවට ඇහුවා.

"නැත්නම් කොහොමද කියහන්කෝ කේක් ග්‍රැම් 750ක් කෑලි 40කට කපන්නේ ?" පුංචි අම්මා කිව්වා.

"ඉතින් ඕකට කේක් කිලෝ එකක් විතර ගත්තා නම් ඉවරයි නේ ?"

"කේක් කිලෝ එකක් තමයි ගත්තේ. දෙසිය පනහක විතර කෑල්ලක් කපලා තියාගත්තා ටීචර් ට දෙන්න. මේ තියෙන්නේ ඒක බ්‍රවුන් පේපර් එකක ඔතලා." පුංචි අම්මා එහෙම කියලා බ්‍රවුන් පේපර් එකකින් ලැමිනේට් කරපු කේක් කෑල්ලක් පෙන්නුවා.

"ටීචර්ටත් ලොකු කේක් කෑල්ලක් දෙන්න ඕන් ද ?"

"නැත්නම් !!!! අනිවාර්යෙන්ම ටීචර්ට දෙන්න ඕනා. නැත්නම් විසුමක් වෙන්නේ නෑ. ටීචර් හැමදාම රෙජිස්ටරේ බලලා ලඟ දවසක උපන්දිනේ තියෙන අයගේ පොත් වල ලියනවා කේක් ගේන්න කියලා. "

"ඉතින් කේක් නැතුව එන මොනහරි යැවුවනම් ඉවරයි නේ !!!" මං කිව්වා.

"අපෝ බෑ !!!! කේක්ම ගේන්න කිව්වා. ගියපාර උපන්දිනේට කිට් කැට් 40ක් යැවුවා කියලා. මේපාර කිට් කැට් නම් එවන්න එපාම කියලා පොතේ ලියලා එවලා !!!!"

"එතකොට උපන්දිනේ සමරන්නේ ටීචර්ට කේක් කන්නද ?" මම් ඇහුවා.

"ඉස්සර වගේ නෙමේ ලොක්කෝ !!! දැන් ටීචර්ලාට අනිවාර්යෙන්ම සලකන්න ඕනේ. නැත්නම් ළමයට එක එක වෙනස්කම් කරනවා. ඉස්සර තමයි ටීචර්ලා මුකුත් දුන්නට බාර ගන්නේ නැත්තේ. දැන් එහෙම නෑ. අවුරුද්ද අන්තිමට අම්මලා එකතු වෙලා ටීචර්ට තෑගි එහෙමත් අරන් දෙන්න ඕනේ. එකේ පංතියේ ඉදලා තුන්වෙනි පංතිය වෙනකන් ඉන්නේ එකම ටීචර් හන්දා ටීචර්ව ෂේප් එකේ තියාගන්න ඕනා. !!!!"

------------------------------------------------------
ප.ලි. - අම්මෝ බලාගෙන ගියාම පුදුම ටීචර්ලා තමයි දැන් ඉන්නේ.

03 December 2011

කාර්ය බහුල සතියක්

පහුගිය සතියේ පුදුම වැඩ කන්දරාවක් තිබුනේ. අනිත් එක තමා රස්සාවට ගොඩක්ම අළුත් නිසා දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි කියලා හිතුනා.ඒ නිසා ඒ දේවල් ඉගෙන ගන්නත් කාළය යොදවන්න සිද්ද උනා. කැම්පස් එකේ උගන්නපු සීමාවෙන් එහා දේවල් තමයි වැඩ කරන කොට ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන එකත් නියමයි.

ඒත් සමහර එවුවා තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යන එක තමා අවුල.

ඒ වැඩ අතරෙම හදිස්සියේ නුවරඑළියේ මලගෙදරක යන්න සිද්ධ උනා. අපිත් එක්ක වැඩට ආපු අපේ බැච් එකේ කෙනෙක්ගේ අප්පච්චි තමයි නැති වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ වකුගඩු අමාරුවකින් වේදනා විඳලා අන්තිමේදි ජීවිතය දාලා ගිහින්.

අපිත් එක්ක ඉගෙන ගත්තු අපේ බැච් එකේ කෙනෙක්ගේ නිසා අනිවාර්යෙන්ම යන්න එපැයි. ඒ නිසා අපි ලොක්කට කියලා නිවාඩුවකුත් අනුමත කර ගත්තා. ලොක්කාත් අත දිග ඇරලා 'දවසක්ම' නිවාඩු දුන්නා ගිහින් වර කියලා.

කැම්පස් එකේ හිටපු දවස් වල නම් මලගෙයක් උනාම නයිටක් ගහන එක අනිවාර්යෙන්ම කරනවා. ඒත් දැන් එහෙම නිවාඩුවක් නෑ. ඒ නිසා එක දවසින් ගිහින් අනිත් අතට එන්න හිතන් අපි නුවරඑළි ගියා. AC බස් එකක යන්නම පැය හයක් ගියා. ඔය AC බස් වල ගමන මරු. මරු මරු සීනුත් දැක්කා.(ඒවා පසුවට)

නුවරඑළි ටවුමෙන් බැහැලා ඊට පස්සේ මල් ශාලාවක් හෙවුවා ලොක්කා දීපු සල්ලි වලින් මල් වඩමක් ගන්න. කිව්වට විශ්වාස කරන එකක් නෑ. අච්චර මල් තියෙන නුවර එළියේ එක මල්වඩමක්වත් හොයාගන්න තිබ්බේ නෑ. මල් හොයලා අපි මලා !!!

ඊට පස්සේ මලගෙදර ගියා. ගිහින් අපිට එහේ ඉන්න උනේ විනාඩි විස්සයි. අනෙක් අතට එන්න පිටත් උනා. මොකද පහුවෙනිදා වැඩට එන්න එපැයි.

යන්න පෑ හයයි එන්න පෑ හයයි. ඔක්කොම පැය දොලහක්. !!!! ගෙදර එනකොට පාං කියා ගන්න බෑ.

පහුවෙනිදා වැඩට ආවම මැෂින් එක ඉස්සරහා නින්දත් යනවා. නිදි කඩ කඩ තමා වැඩ කලේ. ඔහොම තමා පහුගිය සතියම ගෙවුනේ.

කට්ටිය බිසී බිසී කියලා කිව්වට බිසී කියන වචනේ තේරුම හරියටම දැන ගත්තේ ගිය සතියේ. ඒ සතියේ බ්ලොග් කියෙව්වෙත් හරි අඩුවෙන්. කියවන්න හිතුනට මහන්සි වැඩියි. :)