21 October 2011

මගේ වේදිකාගමනය

එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.

එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට එක්කන් ගියා.

"පුතාලා අපි ඕගොල්ලන්ව නාට්ටියක චරිත වගයකට ගත්තා. ඔයාලට තියෙන්නේ මේ අක්කලා අයියා කියන විදිහට වැඩ කරන්න !!!" කියලා අපිව එක්කන් ආපු ටීචර් කෙනෙක් කීවා.

ඒ නාට්ටිය කෑලෑවක කතාවක් !!! නම නම් මතක නෑ.

අපි කට්ටියව ගොඩවල් වලට වෙන් කලා. එක කට්ටියක් හාවොයි තව කට්ටියක් මුවොයි උනා. මාත් එක්ක හිටපු කට්ටිය කුරුල්ලෝ !!!!

ඔන්න එදා ඉදන් නාට්ටියේ පුරුදු වීම්. අපිට දෙබස් එහෙම මුකුත් නෑ. මට තිබ්බේ ජවනිකාව ඉවර වෙනකන් තටු ගහන්න. මොකද මම් කුරුල්ලෙක් නේ... ආහ් ... නෑ පුංචිම පුංචි කුරුළු පැටියෙක් !!!. මාත් පන යනකන් තටු ගැහැවුවා.

දවස් දෙකක් තුනක් ඔහොම පුරුදු වීම් යන අතරේ අපිව පුහුණු කරපු ටීචර්ලා අපි දිහා ඈත ඉදන් බලාගෙන හිටියා. එක දවසක් ඔහොම තටු ගගහා ඉන්නකොට එක ටීචර් කෙනෙක් මට තටු ගහන එක නවත්තන්න කියලා පැන පැන හිටපු හාවෙකුවත් නැවැත්තුවා !!!

"ඔය පුතා අද ඉදන් හාවා වෙන්න. මේ පුතා අද ඉදන් කුරුල්ලා වෙන්න" එහෙම කියලා ඒ ටීචර් අපේ චරිත දෙක මාරු කලා.අපේ අම්මා නම් කිව්වේ මම් තටු ගැහැවුවා කැතයි කියලා ටීචර් මාරු කලා කියලා.

කුරුල්ලා වගේ නෙමෙයි හාවා වගේ පනින එක මාරම අමාරුයි. අත් දෙක කන්දෙක වගේ තියාන හොද හුස්මක් අරන් එකපාට්ට පනින්න ඕනා. හාවෙක් වෙලා ටික දවසක් පුහුණුවීම් කරලා පස්සේ අපේ අම්මට කියලා තිබ්බා හා ඇඳුමක් මහන්නෙයි කියලා.

අපේ බාප්පා හා ඇඳුම මහලා ඉවර කලා. ඒ උනාට හාවා කියන්නේ සුදු පුළුන් වගේ බූල් තියෙන සතෙක් නෙව. ඒ නිසා බූල් අලවන්න ඕනා. ඒකට අපේ අප්පච්චි රෑ එළි වෙනකන් බයින්ඩර් ගගා බූල් අලවනවා.

"ඒයි !!! අපේ ලොකු එකා හාවෙක් උනාට වඩා හොදයි කුරුල්ලෙක් උනා නම් !!! එතකොට මේ වදවල් කරන්න ඕනේ නෑ නේ !!!"

අපේ අප්පච්චි බැරිම තැන එහෙමත් කියලා තියෙනවාලූ. අම්මා කියනකන් ඒ වගක් මම් දන්නේ නෑ. උදේ ඇහැරිලා බලනකොට බූල් ගොඩක් තියෙන හා ඇඳුමක්. ලස්සනේ බෑ...

කොහොමහරි එදා මම් නාට්ටියේ අපේ ජවනිකාව ඉවර වෙනකන් හාවෝ පැන්නා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මම වේදිකාවක ඉදිරිපත් කරපු එකම එක ඉදිරිපත් කිරීම.එතනින් එහාට ඉදලා හිටලා තෑග්ගක් ගන්න එක ඇරුනම ස්ටේජ් එකකට නැඟලා නෑ.

18 October 2011

චූටි කවි

අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ

කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ

දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා

කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා

ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි

----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)

කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.

16 October 2011

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා.

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම් ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම් ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදරය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.

----------------------------------------------------------------------
ප.ලි. - මේකත් මට මේල් එකකින් ආපු සංකල්පනාවක්.

ප.ප.ලි - මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!

14 October 2011

ඔච්චරටම මෝඩ ද

දවසේ බ්ලොග් ටික කියවලා නිදාගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ටීවි එක දැම්මා. එතකොට ලස්සන වැඩසටහනක් විකාශනය උනා. වැඩසටහනේ 'මොංගල සිහිනය' වගේ නමක් තියෙන එකක්. ඒ වැඩසටහන තරඟයක් !!! තරඟ කරන්නේ බදින්න ඉන්න, වෙඩිම ගන්න සල්ලි නැති කපල් !!! තරඟයෙන් දිනපු ජෝඩුව නොමිලේම බන්දලා දෙනවා. සෝක් වැඩසටහනක් !!!!

මම ටීවී එක දාපු වෙලාවේ එක කපල් එකක් තරඟ කරනවා. එයාලට දීලා තියෙන්නේ ගඩොල් කපන්න!!! එකක් දෙකක් නෙමෙයි ගඩොල් පනහක් කපන්න ඕනා. කොල්ලා මැටි ගොඩට වතුර දානවා. කෙල්ල මැටි ගොඩ උඩ නැගලා මැටි අනනවා. මැටි අනලා ඉවර උනාම කෙල්ල අච්චුව අල්ලගෙන ඉන්නවා. කොල්ලා මැටි දාලා ගඩොල ගානට කපනවා. ආස්.....සාවේ බෑ !!!!

කෝම හරි උන් දෙන්නා 'සට සට' ගාලා ගල් ටික කපා ගත්තා. උන්ට මාර පලපුරුද්දක් තිබ්බේ. මම් උන්දෙන්නා ගඩොල් කපන හැටි දිහා නියෝ නියෝ බලාන හිටියා.

ඊට පස්සේ ඊලඟ කපල් එක !!!
උන් දෙන්නට තිබ්බේ ෂූට් කරන තැන ඉදලා පොලොන්නරු ටවුමට බස් එකේ ගිහින් එතන ඉදලා ඉතුරු ටික පයිනුත් ගිහින් මහපරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට යන එක. මුන් දෙන්න කෝමහරි පොලොන්නරු යන සීටීබී එකකට ගොඩ උනා. එතන ඉදලා ඩ්‍රැයිවර් අයියට වදේ !!!

"අයියේ ඉක්මනට යන්කෝ !!" කිය කිය කෙල්ල, ඩ්‍රැයිවර් එක්ක තොදොල් වෙනවා. කොම හරි බස් එකෙන් බැහැගත්තා කියහන්කෝ. කෙල්ලයි කොල්ලයි එතන ඉදලා පරාක්‍රම සමුද්‍රයේ බන්ටෙක දිගේ අඬ අඬ දුවනවා.

කෙල්ල :
" අනේ බබී අපි කෝමහරි දිනන්න ඕනා බබී. අපේ මැරිච්ච ලොකු තාත්තා අපිට ශක්තිය දෙයි බබී "

කොල්ලා :
"හරි රත්තරන් අපි කෝම හරි දිනමු !!!! බයවෙන්නෙපා සුදූ අපි කෝමහරි දිනනවා"

ඔහොම කිය කියා දෙන්නා දුවනවා. මහ පරාක්‍රමබාහු රජතුමාගේ පිළිමය ගාවට ආවට පස්සේ දෙන්නා බදාගෙන 'හිටු' කිය කිය උම්මා දීගන්නවා.මට නම් ඒවා පෙනුන් නෑ. කොටු කොටු ටිකක් විතරයි පෙනුනේ. මම් ටාර් ගාලා සරම පැත්තකින් උස්සලා ඇස් දෙකේ තියාගෙන තමයි එතනින් එහාට්ට බැලුවේ.

හොද වෙලාවට විනාඩි 10ක් යනකොට ප්‍රවෘත්ති විකාශයට වැඩසටහන නැවැත්තුවා. මම් ටීවී එක ඕෆ් කරලා නිකා හිටියා.

දෙන්නට දෙන්නා ආදරේ කරලා හොද වෙඩිමක් අරගෙන කසාද බඳින්න සල්ලි නැත්නම් දෙයියනේ කියලා දෙන්නම නෑදෑයොත් එක්ක කච්චේරියට ගිහින් පොතේ අස්සන් කරලා කසාද බඳින්න. මේ වගේ ජන මාධ්‍ය වලින් ලංකාවේ ඉන්න හැමෝටම ෆන් දෙන්න හදන්නෙපා !!! ඒ වගේම තමන්ගේ ආදරේ, මාධ්‍යයක් ඉස්සරහා හෑල්ලු කරන්නෙපා !!!

තමන් අවුරුදු තුන හතරක් එහෙමත් නැත්නම් ඊට වැඩි කාලයක් ආදරේ කරලා දෙන්න කසාද බඳින මොහොත ලස්සනට ගන්න මොන කෙල්ලත් හීන දකිනවා. කොයි කෙල්ලත් කොල්ලත් ආසයි.ඒත් මෙහෙම මාධ්‍ය වලට පේන්න අඬ අඬ ඒ මාධ්‍ය වල අතකොලු වෙන්න හදන්නෙපා !!!!

"වහ කොහොම කෑවත් මැරෙනවා "

ඒ වගේ තමයි දෙන්නා කසාද බැඳලා එක වහලක් යටට යනෙක එක නම් අන්තීම ප්‍රථිපලය හැටියට වෙන්නේ ඒක කොහොම උනත් මොකෝ !!!

පැනලා ගිහින් කසාද බැන්ඳත්, කච්චේරියට ගිහින් පොතේ ලියලා කසාද බැන්ඳත්, රට්ටුන්ට පේන්න වෙඩිමක් අරගෙන බැන්ඳත් අන්තිමේදි වෙන්නේ දෙන්නා කසාද බැඳලා එක පවුලක් වෙන එක. ඒක තේරුන් ගන්න බැරි තරම් අපේ රටේ මිනිස්සු එච්චරම මෝඩයි ද !!!!

ඔළුව පාවිච්චි කරන්න !!!!

11 October 2011

බණ පදයක්...

පින්වතුනි...

සංයුත්ත නිකායේ දුක නිපාතයේ කියවෙනවා සතුටින් ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ගැන. එක්කෙනෙක් තමා ලැබෙන ලැබෙන දේවල් ඉතුරු කරන කෙනා. අනිත් කෙනා තමයි ලැබෙන ලැබෙන දේවල් වියදම් කරන කෙනා.

හැමදේම ඉතුරු කරන කෙනාට කොච්චර දුන්නත් මදි. ඉතුරු කරනවා.ඒ වගේම හැමදේම වියදම් කරන කෙනාට කොච්චර ලැබුනත් මදි. ඒ හැමදේම වියදම් කරනවා.ඒ නිසා අපට ලැබෙන දේවල් මධ්‍යස්ථව වියදම් කරන්නත් මධ්‍යස්ථව ඉතුරු කරන්නත් පුරුදු වෙන්නෝන.


--------------------------------------------------------------
ප.ලි.- මේ ලියමන මට කියවන්න ලැබුනේ ෆෝටෝකොපි ගහන්න ගිය තැනක බිත්තියේ අලවලා තිබිලා. කියවන්න හම්බ වෙච්ච වාර ගණන හන්දා මේක මට හොදටම මතකයි