27 April 2019

උඩ දියළුම ඇල්ල

එදා සිකුරාදා දිනයක්. අපේ බදුල්ල ගමන් ගොඩක් වෙලවාට අපි යන්නේ සිකුරාදා දවසේ රෑ. මොකද බදුල්ල පැත්තට යන්නම පෑ හයක් විතර ගත වෙනවා. එතකොට උදේක ගියත් ගමනෙන් බාගයක්ම ඉන්න වෙන්නේ බස් එකේ. එහෙම ගිහිල්ලත් උදේ කෑම කාලා බලන්න යන තැනට සෙට් එනකොට දවස ගත වෙලා ඉවරයි.

මෙන්න මේ කරදරයෙන් මිදෙන්න තමා අපි බදුල්ලේ යනවා නම් සිකුරාදා රෑ යන්න තීරණය කරන්නේ. සිකුරදා රෑ බස් එහෙක නැගලා බදුල්ල කිට්ටු වෙනක්කොට උදේ පහ හය වගේ වෙලාවට බහින්න පුලුවන්. එතකොට මුළු දවසම වගේ ඉතුරුයි.

මෙදාපාර අපි යන්න හිතාගෙන හිටියේ උඩ දියළුමයි පහන්තුඩාව ඇල්ලයි ඇඩිසම් බංගලාවයි. එකිනෙකට වෙනස්ම පැති තුනක්.

මේ ගමන යන්න අපේ ඔපිස් එකෙන් මමයි තව එක්කෙනෙකුයි වෙනම අපේ තව යාළුවෝ දෙන්නෙකුයි එකතු උනා. ඊට අමතරව මගේ ආදරණීය බිරින්දෑත් එකතු උනා. ඔක්කොම කට්ටිය පහයි.

අපේ උන්දෑ මේ වාගේ ගමන් වලට ආසයි. ඒත් එයාට වැඩිය කටු කන්න බෑ. කොටින්ම ටිකක් වැඩියෙන් දුරක් ඇවිදින්න අමාරුයි. ටික වෙලාවක් යද්දි කුණු කුණු ගානවා. ඒ වගේම කඳු වල ඇවිදින්න එහෙම අමාරුයි.

මේ ගමන කොහොමහරි යනවමයි කියලා හිතලා තමා අපි එක්ක ආවේ.


අපි සෙට් එකම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ආවා. එතැනින් පළතුරු ටිකක් , බිස්කට් ටිකක් දාගෙන බස් පෝලිමට සෙට් උනා. සිකුරාදා හවස කියන්නේ බස් වලට සෑහෙන පෝලිමක් තියෙන දවස්. මේ වගේ ගමනක් සිකුරාදාම යනවා නම් ටිකට් බුක් කරලා යන්න. ඒක තමයි හොඳම දේ.

බස් පෝලිමේ ඉදලා ඉදලා බැරිම තැන අපි ඒසී බස් එකකවත් යනවා කියලා ආවා. කොහොමහරි ඒ සී බස් එකකට ගොඩ උනා. ඒ බස් එකේ යනවා නම් කවුරු උනත් බණ්ඩාරවෙලටම ටිකට් ගන්න ඕන. බලංගොඩින් බැස්සත් බණ්ඩාරවෙලට ටිකට් ගන්න ඕන. එක අතකට මේක මිනිස්සුන්ගේ සල්ලි සුරා කෑමක්.

ඒත් අපි මොනවා කරන්නද ? අපිත් බණ්ඩරවෙලට ටිකට් අරගත්තා. බස් එක 3:30 වගේ වෙනකොට බෙරගල හන්දියට ආව. අපි එතැනින් බැහැලා කඩේකින් තේ බීලා බෙරගල හරහා වැල්ලවායට යන බස් එකක් එනකන් හිටියා.

බෙරගල හරහා වැල්ලවායට යන පළවෙනි බස් එක බෙරගලින් යන්නේ උදේ 7:30ට විතර. ඒ වෙනකන් අපි බෙරගල හන්දියේ කාලය ගත කලා. අපිට අපරාදේ කාළය කියලත් හිතුනා.

කොහොමහරි බෙරගල හන්දියේ ඉදලා අපි කොස්ලන්දට ආවා. එතැනින් බැහැලා කොස්ලන්ද පූනාගල බස් එකට නගින්න ඕන. කොස්ලන්ද - පූනාගල බස් තියෙන්නේ එකයි. ඒකත් ගමන් වාර කිහිපයක් විතරයි. ඒ නිසා උදෙම්ම එනවා නම් තමා හොඳ.

අපි කොස්ලන්ද-පූනාගල බස් එකේ නැගලා මකල්දෙණිය හන්දියෙන් බැහැගත්තා. එතැන ඉදලා ගමන පයින්. අපි ගියේ පායන කාළේ නිසා ඒ පලාතට පෑවිල්ල බොහොම සැරේට අල්ලල තිබුණා. ගස්කොළං බොහොම මලානික ස්වරූපයක් තමයි දිස් උනේ.

මකල්දෙණියේ ඉදලා ටික දුරක් ගියහම උඩ දියළුම ඇල්ල පැත්තට හැරෙන පාර හම්බ වෙනවා. මේක ප්‍රසිද්ධ පාරක් නෙමෙයි. මිනිස්සු ගිහින් ගිහින්ම හැදිච්ච අඩි පාරක්. ඒ නිසා හොඳම දේ ගම්මුන්ගෙන් අහගෙන යන්න.

ගම්මුන්ගෙන් ඇහුවට කමන් නෑ. ගම්මුන්ව ගයිඩ් කරගෙන ගමන එන්න එපා. ටිකක් වැඩි ගානක් ඒ අයට දෙන්න වෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙලා තියෙන්නේ ඒ ගම්මු දුප්පත් නිසා වෙන්න ඇති.

ටික දුරක් ගියහම අපිට එළිමහන් තැනක් හමු උනා. ඒත් එක්කම ඈතින් උඩ දියළුම ඇල්ල දකින්න හම්බ උනා. උඩ දියළුම ඇල්ල කියන්නේ අපි දකින දියලුම ඇල්ලේ උඩ හරියට.


දියළුම ඇල්ලට, පූනා ඔයෙන් පෝෂණය වෙන ඇල්ලක්. ලංකාවේ දෙවෙනියට උසින් වැඩිම ඇල්ල විදිහටත් මේ ඇල්ල හන්දුන්වනවා.

එහෙනම් උඩ දියළුම ඇල්ලේ පින්තූර බලලා ඉම්මු.



උඩ දියළුම ඇල්ල තට්ටු කිහිපයකින් යුක්තයි. ඒ නිසා නාගන්න සුදුසු තටාක කිහිපයක් දකින්න පුලුවන්. ඒත් කොයි තටාකයේ නෑවත් තමන්ගේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් අය ප්‍රධාන ඇල්ල වැටෙන තැන නාන්න උත්සහා කරනවා. එතන ටිකක් අවදානම්. ඒ නිසා ඒ තැන ඇරෙන්න වෙනත් ආරක්ෂිත තැනක නානවා නම් හොඳයි.

අපි ඇල්ල බලන්න ගියේ සෙනසුරාදා දවසක් නිසා ගම්මු කිහිප තැනක පොඩි කඩ වගයක් දාලා තිබ්බා. එවායේ පොල් රොටි නාරං බීම, ප්ලේන්ටි වගේ සුළු සුළු කෑම විකුණන්න තියෙනවා.

ගම්මු නම් කියන්නේ කෑම්ප් ගහන්න එන අයගෙනුයි දේශීය සංචාරකයින්ගෙනුයි ඇල්ලේ පරිසරයට හානි වෙනවයි කියලා. ඒ නිසා ඇල්ලේ සුන්දරත්වයට හානි කරන්න එපා.

අපි ඇල්ල බලලා ඇල්ලෙන්ම නාලා ආපහු පල්ලම් බැස්සා.ඒ බෙරගල වැල්ලවාය පාරට. එතැන ඉදලා අපි දියළුම ඇල්ල දිහාත් ටික වෙලාවක් බලාගෙන හිටියා. වහින කාළෙට දියළුම ඇල්ලේ වතුර පාර මීදුමක් වගේ පාර පුරාම වතුර ඉහෙනවා. ඒ දර්ශනය හරිම ලස්සනයි.

මේ පායන කාළය නිසා දියළුම ඇල්ල හොඳටෝම කෘෂ වෙලා.


ඇල්ල බලලා නාලා එනකොට හවස 2ට කිට්ටු වෙලා. අපි ඇල්ල ගාවින්ම බස් එකක නැගලා බෙරගල හන්දියට ආවා. බෙරගල හන්දියෙන් කොළඹ පැත්තට බස් එකක නැගලා ආයෙම බෙලිහුල් ඔය හන්දියෙන් බැහැ ගත්තා. අපේ මීළඟ ගමනාන්තය තමයි පහන්තුඩාව ඇල්ල බලන එක.

එහෙනම් අපි පහන්තුඩාවෙන් හමු වෙමු. !!

3 comments:

  1. හොඳ චාරිකා සටහනක් !

    ReplyDelete
  2. තවුසෙ රට වටෙ ඇවිද ඇඇවිද ඉන්නවා. හහැක්

    ReplyDelete
  3. විස්තරය කියෙව්වාම යන්න ආසා හිතෙනවා. කොහේද ඉතින් මේවට වෙලාවක්.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.