18 November 2017

නොවැම්බර් මාසය

මේ නොවැම්බර් මාසය යි. රෝමානු දින දර්ශනයට අනුව නව වෙනි මාසය නොවැම්බරය වේ. ලතින් බසින් නමවෙනි යන අරුත ඇතිව මේ මාසය නොවැම්බර් නම් වී ඇත.

සිංහල මාස ක්‍රමයට මේ මාසය ඉල් මාසය නම් වේ. එහි අරුත සීතය හෝ සිසිලස යන්නයි. මේ මාසයේ අන්තර් මෝසම් සක්‍රීය වීම නිසා මාසය පුරාම වාගේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි ය.

මේ නිසාම මේ වැස්සට ඉල් වැස්ස නම් වේ. ඉල් වැස්ස කිව් සැනින් මට ශසිකා නිසංසලා මහත්මියගේ ගීයක පද පේලි දෙකක් මතක් වෙයි.

"ඉල් මාසේ....
ඉල් මාසේ  නිල් වැස්සට ඉදලොලු පිපිලා
ඉරිඟු කරල් හේනේ ඉදන් මට අත වැනුවා
ඉන්නට බෑ බණ්ඩාරේ
මට දුක හිතුනා...//
"

ඉල් මස වහින නිල් වැස්ස එසේත් නැතිනම් පොද වැස්ස නිසාවෙන් ඉදලෝලු නම් වූ හතු විශේෂය පිපී ඇති බව ඈ දකී. ඒ පිපුන හතු නිසාවෙන් ඈට තම ආදරණීයයන් මතක් වේ. ඉදලොලු දුටු ඈට බණ්ඩාර මතක් වන්නේ බණ්ඩාර ඉඳලොලු කෑමට කැමැත්තක් දක්වන නිසා විය හැකි ය.

                                                                     ඉදලෝලු

ඉල් මස එහෙමත් නැත්නම් නොවැම්බර් මාසය කිතුනුවන් හදුන් වන්නේ මලවුන්ගේ මාසය කියා ය. ඔවුන් මුළු නොවැම්බර් මාසයම වෙන් කර ඇත්තේ මලවුන් සිහිකර දාන මාන දී පින් පැමිණවීම් කටයුතු කිරීමට ය. මේ නිසා ඔවුන් මේ මස මලවුන්ගේ මාසය කියා හදුන්වයි.

මලවුන්ගේ මාසය නිසාම කිසිම සුබ කටයුත්තක් විශේෂයෙන්ම  විවහා මංගල්ලයන් පැවැත්වීම කිතුනු බැතිමතුන් ප්‍රතික්ශේප කරයි. තව ද ඔවුන්ගේ දිනපතා යැදුම් මලවුන් වෙනුවෙන් ඔප්පු කිරීමක් ද සිදු කරන බව අප අමතක නොකළ යුතු ය.

මලවුන්ගේ මාසයේ මිනිවලවල් හේදිලා යන්න වහිනවා ය යන කියමනක් පැරණි කිතු බැතිමතුන් අතර පවතින්නේද නොවැම්බර් මස වහින අන්තර් මෝසම් වැස්ස නිසා විය යුතු ය.

ලෝ වැසි බොදුනු ජනතාවට මේ මාසය විශේ වන්නේ ඉල් පොහොය යෙදී තිබීම නිසා ය. බුදු හාමුදුරුවන් උරුවෙල් කාෂ්‍යාප, ගයා කාශ්‍යාප හා නදී කාශ්‍යාප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීමත් මතු බුදුවන මෛත්‍රී බෝසතුන්ට නියත විවරණ ලබා දීමත් සිදු වූයේ ඉල්පොහෝ දිනයක ය.

ඒ අනුව බලන කල නොවැම්බරය එසේත් නැත්නම් ඉල් මස බොහෝ දෙනෙකුට විවිධ වූ කරුණු කාරණා යෙදී තියෙන මාසයකි.

3 comments:

  1. ය ෙකා මුට ෙනාවැම්බර් අැවිත් තිෙයන්ෙන දැන් !

    ReplyDelete
  2. ඉඳලොලු හතු ටිකක් පුරුෂ ලිංගයේ හැඩයට සමානයි. ඇතැම් විට යට කී තරුණියට සිය ආදරවන්තයා වූ බණ්ඩාරේ මතක් වෙන්නේ සැඟවුණු අරුතකින් වන්නට පුළුවන්. ඒ කියන්නේ විවාහය ඉක්මන් කරන්න කියන අදහස.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.