18 February 2014

රත්නපුරාව පාරෙන් සිරිපා කරුණා කළෙමු - 2වන කොටස

අම්මා හදලා දීපු සීනි සම්බලයත් එක්ක අපි තුන් දෙනා පාන් කෑවට පස්සේ ලඟ පාත තිබුණු කඩේකින් තේත් බීලා ගමන පිටත් උනා. අතරමගදි සිරිපාද මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවත් හම්බ උනා. මං ඒ කිට්ටුව කඩේකින් නූලුයි ඉඳිකට්ටකුයි ගත්තා. මමනේ කිරිකෝඩුකාරයා :)

ඒ කඩෙන්ම අපේ තාත්තා මගින් මඟට කන්ඩ කියලා බුලත් විටකුත් ගත්තා.... මේ සේරම දේවල් කරගෙන හිමි හිමිහිට ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයට ආවා. මෙතන ඉදන් තමා අපේ වන්දනා ගමන පටං ගන්නේ.
                                                                       පලාබද්දල කීර්ති ශ්‍රි රාජසිංහ රජමහා විහාරය

පලාබද්දල කිට්ටුවේදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට පලා මැල්ලුමත්තෙක්ක බත් කන්ඩ ආසාවක් ඇති වෙලා තියෙනවා. ඒ ආසාව එහෙමත් නැත්තං දොල ඉශ්ඨ කරපු ගමට ගැමියෝ පලා+බත්+දොල කියලා කියන්ඩ ගත්තාලු.. පලාබද්දොල පස්සේ කාලෙක පලාබද්දල උනා කියලා තමයි සඳහන් වෙන්නේ.

අද වෙනකොට පලාබද්දල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නමින් විහාරෙකුත් තියෙනවා.අපි ඒ විහාරේ වැඳපුදා ගත්තා. විහාරෙත් වැඳපුදාගෙන කිසිම කරදරයක් නොවී සිරිපා කරුණා කරගෙන එන්ඩ ලැබෙන්ඩ කියලා විහාරෙට පඬුරුත් දාලා අපි විහාරෙන් එලියට ආවා.

මීලඟට තියෙන්නේ කඩ කීපයක් මැද්දෙන් අපේ ගමන පටන් ගන්ඩ. මේ හරියේ තමා ගෙවල් වලට ගෙනියන්ඩ ඕන කරන කළු දොදොල්,මස්කට්, බූන්දි වගේ නානාප්‍රකාර කෑම ජාති විකුණන්ඩ තියෙන්නේ. ඒ හරියත් පහු කරගෙන අපි පඩිපේලි දිගේ කන්ද ඉහලට කරුණා කලා.

සිරිපා කරුණා කරනකොට අපේ ගමන් මලු වලට කියන්නේ සැහැල්ලුව කියලාලූ. ඒක අපේ මලයා මට මතක් කලා. ඒ විතරක් නෙමේ අපි ගෙනාපු සැහැල්ලු වලින් සැහැල්ලුම සැහැල්ලුව මට දෙන්ඩත් ඌ හරිම කාරුණික උනා. (ඔය සැහැල්ලුව නිසා පඩි විස්සක් නැග්ගත් මට හති)

පඩි දිගේ ටික දුරක් යනකොට  කළු ගඟට වතුර ගෙනියන අතු ගංඟාවක් පහලට ගලන සද්දේ ඇහෙන්ඩ ගත්තා.අපිත් කාන්දමකට ඇදෙන්නා වාගේ ඒ පැත්තට ගිහින් ටික වේලාවක් ඒ හරියෙත් ගත කලා.
                                                                                              කළු ගඟේ අතු ගංගාවක්

කළු ගඟේ අතු ගංගාව කිට්ටුව ටික වෙලාවක් ගත කරලා අපි ආයෙම ඉහලට කරුණා කරන්ඩ ගත්තා. තව පඩි පෙල් සීයයක් දෙසීයක් විතර ගියතැන අපිට හම්බ උනා පවනැල්ල ගම්මානේ.. මේක තමා සිරිපාද වන්දනාවෙදි අපිට හම්බවෙන අන්තිම ගම්මානේ...
                                                                                             පවනැල්ල ගම්මානේ

ගම්මානෙත් පහු කරගෙන ටික දුරක් එනකොට පවනැල්ල විශ්‍රාම ශාලාවේ බත් දන්සලකුත් තිබුනා.අපි කට්ටිය යන ගමන නවත්තලා බත් ටිකක් කෑවා.බත් ටිකකුත් කාලා දන්සල දෙන්ඩ උදව් වෙච්ච කට්ටියට හිතින් පින් දෙන ගමන් ආයෙම ගමන පටං ගත්තා.
                                                                                           පවනැල්ල විශ්‍රාම ශාලාව

පවනැල්ල ගම ගැන කියනවා නම් ලිහිණිහෙලෙන් පැනලා මැරුන ලිහිණි අක්කගේ ගම. ඒ ඇරෙන්න වෙන කියන්ඩ නං දෙයක් නෑ..

පඩි පෙල් නගින ගමන් අපේ තාත්තා ගත්තු බුලත් විට ඉල්ලගෙන මාත් විටක් කෑවා. ඒක හප හපා අපි කට්ටිය කොකටියකන්ද පහු කලා. කොකටිය කන්ද පහු කරලා තවත් ගල් පඩි ගණනාවක් පහුකරපුවාම අපි ලිහිණි හෙලට ආවා.
                                                                                                          කොකටියකන්ද

ලිහිණිහෙලේදි අපට තිබ්බ ප්‍රශ්නයක් තමා ලිහිණි අක්කා සිරිපාදේ වඳින්ඩ යනකොට හෙලට වැටුනද කියන එක... ඒ ප්‍රශ්නෙට උත්තරේ තමා ලිහිණි අක්කා හෙලට වැටුනේ නෑයි කියන එක. තමන්ගේ මනුස්සයාගෙන් සිද්ධ උන හිරිහැර කරදර ඉවසගන්ඩ බැරුව පවනැල්ලේ ඉදලා ලිහිණි හෙලට ඇවිත් ලිහිණිහෙලින් පැනලා ලිහිණි අක්කගේ අන්තිම පනකෙන්ද සිරිපාද රක්ෂිතයට මුදා හැරපු එකයි සිද්ධ උනේ...

 එදා ලිහිණිහෙලින් පැනලා දිවි නසාගත්තු ලිහිණි අක්කා අමරණීය උනා. අපිත් ලිහිණිහෙල ලඟට ගිහින් "ලිහිණි අක්කේ... අපි යනෝ...!" කියලා යන්න අමතක කලේ නෑ.. ලිහිණි අක්කට අපි එක වතාවක් කතා කලහම ලිහිණි අක්කා දෙතුන් විඩක් උත්තර දුන්නා.
                                                                        ලිහිණිහෙල... ලිහිණි අක්කේ අපි යනෝ... !

ලිහිණිහෙලින් ලිහිණි අක්කට කතා කරලා අපි ආයෙම ගල් පඩි නැගලා සිරිපා කරුණා කරන්ඩ ආවා.ලිහිණිහෙලේදි ඇත්තටම වෙන්නේ අපේ සද්දේ අහල පහල කඳු වලල්ලේ හැප්පිලා දෝංකාරේ දෙන එක.. මේ දෝංකාරය අපේ මලයාගේ වීඩියෝ එකටත් ඇහෙනවා. :)

"මල්ලි, උඩහා බත් දන්සලක් දෙනවා... !" සිරිපා කරුණා කරගෙන එන අයියා කෙනෙක් අපිට ඔත්තුවක් දුන්නා. අපිත් පය ඉක්මන් කලා දන්සල වඳින්ඩ. දන්සල තිබ්බේ කටුකිතුලවංගුවේ. දන්සල දුන්නේ පානදුර දිබ්බැද්ද ගමේ ශ්‍රී සුමණ වන්දනෝපකාර සමිතියේ දායකයෝ පිරිසක්.

මේ අයටත් නම් සෑහෙන පිනක් අත්වෙනවා. මොකද මේ හරියට හාල් මිටි, ගෑස් සිලින්ඩර් උස්සගෙන එන එක ලේසි නෑ. සෑහෙන පඩි තොගයක් නගින්ඩ ඕන කටුකිතුල වංගුවට එන්ඩ. අපි මේ අයට පින් දිදී බත් කෑවා.. මේ දන්සල 13,14,15 කියන දවස් තුනේම දෙනවා.
                                                                                    කටුකිතුලවංගුවේ දාන ශාලාව

කටුකිතුල වංගුවේ දන්සැල නිසා අපේ දවල් බත සම්පූර්ණ උනා..

මේ වංගුවට කටුකිතුලවංගුව කියන්නේ කටු කිතුල් ගස්  තියෙන හන්දා වෙන්ඩ ඕන. කටු කිතුල් ගස් වල කඳේ ඉදලා අතු වලට යනකං එකාසීරුවට කටු තියෙනවා.රජකාලේ කටු ඉඹුලේ යවන දඩුවමටත් පාවිච්චි කරලා තියෙන්නේ කටු කිතුල් ගස්ලූ..
                                                                                                         කටුකිතුල්



කටු කිතුල වංගුවේ ඉදලා සිරිපා කරුණාව ඉතුරු ලිපියෙන් කියවමු...
සුබ රාත්‍රියක් !

---------------------------------------------------------------------
ප.ලි. - තව එකම එක ලිපියක් ලියන්ඩ තියෙනවා.. :)

24 comments:

  1. හොදයි,ඊලග වතාවේ වත් රත්නපුරෙන් කරුණා කරන්ඩ හිතෙනවා

    ReplyDelete
  2. මම හැටන් වලින් නැගලා පලා බද්දලින් පල්ලම් බැස්ස එකයි කළේ. ඒ උසස් පෙළ කරන කාලේ. මීට අවුරුදු ගණනකට කලින්.
    මධුරංග මල්ලිගේ විස්තරේ අහනකොට නැවත යන්න හිතෙනවා.

    ReplyDelete
  3. මෙයා දන්සැලුත් වැඳගෙන ගිහින්...:)

    සිරීපාදේ යන මේ වගේ ලස්සණ විස්තරයක් ඇහුවමයි. යන්ට ආසා හිතෙනවා. හිටියා නම් මාත් එනවනේ මධූලත් එක්ක යන්ට. ආසාවේ බෑ සැහැල්ලුවක් කරේ දාගෙන, දන්සැල් වැඳ, වැඳ.

    ReplyDelete
  4. අසාවෙන් කියෙව්වා.. ඊළඟ කොටසත් දාන්න. ජනකතා ගැන මධුරංගගෙ දැනුම ඉතා අගේ කරනවා.

    ReplyDelete
  5. අර අතු ගංගාවට සීත ගගුල කියලත් කියනව නෙව... ඒක තමා කුරු ගග. රත්නපුර පානදුර පාරෙ කුරු ගං මෝදරින් කළු ගගට සෙට් වෙනව නොවැ...
    මං දැක්ක රජී වසන්ත වෙල්ගම ලිහිණි අක්ක ගැන කවි සැට් එක්කුත් ලියල තියෙනව... ඒත් ඇත්තම කේස් එක දන්නෙ අද නෙව...

    ReplyDelete
  6. බෝම ලස්සනට ලියල තියෙනවා මධු. ඉතිරි කෑල්ල එනකං ඉන්නේ

    ReplyDelete
  7. වචන කීපෙකිං කිව්වට ඔය ටික යන්න මාර කට්ටක් කන්න ඕන.
    ඇත්තටම ඔය පාරෙ දන්සල් දෙන අයනං ලොකු පිනක් කරගන්නෙ.

    ReplyDelete
  8. නියමයි... ආපහු යන්න හිතෙනව.

    ReplyDelete
  9. මට නම් යන්න තියෙන ආසාව වැඩි වෙනවා වගේ මේක කියවත්දි.

    ReplyDelete
  10. නියම විස්තරය කොල්ලෝ,තව පිංතූර ටිකක් දැම්මනං බඩුම තමා

    ReplyDelete
  11. මාත් තව යාලුවො කිහිපදෙනෙක් එක්ක මේ මැතකදි රත්නපුර පාරෙන් අවාරෙ සිරිපා කරුනා කලා. මට මතක හැටියට මේ පාරේ පඩි 9600 ක් ද කොහෙද තියනව. මේ පාරේ පඩි තනිකරම අපේ වීරෝධාර රණවිරුවන් අතින් හදපුව තියෙන්නෙ. තව එකක් මේ පාරෙ තමයි ලන්කාවෙ ගගක් හරහ තියන පොඩිම පාලම තියෙන්නෙත්. ඒ කලුගග පටන් ගන්නා තැන. අපි රත්නපුර පාරෙන් කරුනාකරල මස්කෙලිය මරේ වත්ත පාරෙන් පල්ලම් බැස්ස. සිරිපාදෙ කරුනා කරන්න පාරවල් 5ක් තියනව. 4ක් ඔයා කියල තියනව අනික ත්මයි මරේ වත්ත හරහ තියන පාර. ඒක තමයි තියන කෙටිම පාර.

    ReplyDelete
  12. Anonymous :
    අනිවාර්යෙන් ඒ පැත්තෙනුත් කරුණා කරන්න..

    පොත් ගුල්ලා :
    යමු යමු යමු... මම නම් ඕන ගමනකට රෙඩි...
    මට පොඩිකාලේ යන්ඩ චෑන්ස් ලැබිලා නෑ නෙ... :(

    Podi Kumarihami :
    ඔවු.. අපි දන්සල් දෙකක්ම වැන්ඳා.... මාත් ආසයි සුදු ගෑල්ලමේක් එක්ක සිරිපාදේ කරුණා කරන්ඩ.. හික්ස් :)

    ReplyDelete
  13. තිසර :
    තැන්කුයි.. ජනකතා කියවන එක හොයන එක මගේ ආසාවක් නෙව :)

    Mahesh Rathnayaka :
    සීත ගඟුලට කලින් තමා ඔය හම්බ උනේ.. කුරු ගඟ තමා... කළු ගඟේ ශාඛාවක්ලූ මේ කුරු ගඟ..

    දේශක යා :
    අද හවසට ඒ කෑල්ලත් කියෝ ගත්තෑකි.. තව කෑලි දෙකක් එයිද මන්දා... :(

    ReplyDelete
  14. Praසන්ன :
    ඕ.. කියන තරම් ලේසි නෑ සිරිපා වඳින්ඩ... මේ ටික එන්ඩත් සෑහෙන කට්ටක් කන්ඩ ඕන.. :)

    ගාලු කොල්ලා :
    ආපහු යමු.. තාම වාරේ ඉවර වෙලා නෑ නේ... :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    යම්මු යම්මු... දෙන්නා දෙමහල්ලොත් එක්ක යන්ඩ බැරුව යෑ :)

    ReplyDelete
  15. Helapa kade :
    ඊලඟ එකේදි දාන්නම් එහෙනම්.. පින්තූර අඩු කලේ ලෝඩ් වෙන එක පමා වෙන නිසා...

    Prasanga Ukwatte :
    මරේවත්ත පාරෙන් බැස්සහම හැටන් වලට එන්ඩ බස් එහෙම තියෙනවද ? කොහොමද එහෙන් බැහැලා ස්ටේශමට එන්නේ ??? මම නම් ඒ පාරේ ගිහින් නෑ. මේ තමා මගේ කෝඩු ගමන :)

    ReplyDelete
  16. මෙවා කියවද්දි අය්යාට කියපු දේ අනිවාරෙයෙන්ම වෙන්න ඔනමයි කියලා හිතෙනවා. ඔන්න බැ කියන්න නම් එපා. ඉතුරු ටිකත් ගොඩක් ඉක්මනට හොදද අය්යා

    ReplyDelete
  17. ඉතිරි ටිකත් බලමු..

    ReplyDelete
  18. නියමයි සියල්ල දාමු

    ReplyDelete
  19. අපිත් කැම්පස් ඉන්න කාලේ බැචාල කට්ටිය එකතු වෙලා හැටන් පැත්තෙ නැගලා ඔය පැත්තෙන් බැස්සේ රසබර අත්දැකීම් ගොඩක් එක්ක. හෝල් එකේ කැන්ටිමෙන් රෑ කෑම කන ගමන් එකෙක් කීව යමුද සිරීපාදේ කියල. මෙන්න පහුවදා දවල් කොච්චියේ නැගල ගමන ගියා.

    ReplyDelete
  20. @ මධුරන්ග

    …මරේ වත්තෙන් මස්කෙලිය - හැටන් පාරට එන්න පුලුවන්

    ReplyDelete
  21. දේවා ගේ අඩවිය :
    ඔයාලා ගමන ලෑස්ති කරගෙන කියන්නකෝ.. මාත් එකතු වෙන්නම්..

    Pathum Herath :
    එක කොටසක් ලීවා. තව එක කොටසක් තියෙනවා...

    Damith Gunawaredane :
    ලියමින් ඉන්නේ... :)

    ReplyDelete
  22. chaminda wickramasinghe :
    මම තාම හැටන් පැත්තෙන් ගිහින් නෑ.. එහෙනුත් ගිහින් එන්න ආසයි.

    Prasanga Ukwatte :
    ඔය කියන්නේ ෆිෂින් හට් එක පැත්තෙන් යන පාර කියලා මගේ යාළුවෙක් කිව්වා. ස්තූතියි විස්තරේට.

    ReplyDelete
  23. මේ ගමන් විස්තරය දැක්කම ආශාවේ බෑ බන්...උඹ නොගිය කෙනෙක්ට ආශාව ඇති වෙන විදියට ලස්සනට ලියලා තියෙනවා...කටු කිතුල් දැක්කෙත් අදමයි.

    ReplyDelete
  24. සිරාගෙ කාමරේ :
    ඔහොම දෙයක් අහන්නත් සතුටුයි.... කටු කිතුල් ගස් ගොඩක් ඔය හරියේ තියෙනවා...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.