27 November 2013

ගුවන් විදුලි නාට්ටි

ගුවන් විදුලි නාට්ටි ගැන අපේ පරම්පරාවට වඩා හොඳින්ම දන්නේ අපේ අම්මලා අප්පච්චිලෑ පරම්පරාව. ඒ කාලේ රූපවාහිනියට වඩා ජනතාවට සමීප මාධ්‍යය වෙලා තිබුනේ ගුවන් විදුලිය.. සරලව කියනවා නං රේඩියෝ එක !

ප්‍රවෘත්ති දැන ගැනීම වගේම සිංහල ගීත හින්දි ගීත රසවිඳින්න ඒ දවස්වල තිබ්බ එකම මාධ්‍යය වෙලා තිබුනේ රේඩියෝව.. ! මේ හන්දම රේඩියෝ නාලිකා එක්ක අත්වැල් බැඳගත්ත ශ්‍රාවක පිරිසක් බිහිවෙලා තියෙනවා.. ඔය අතරින් ගම්පහ පත්මාවෝ මහේශ්වරී, ගාමා ගාමිණී සුබසිංහ වගේ නම් කිහිපයක් අපේ අප්පච්චි අදටත් මතක් කරනවා...

මං පොඩිම කාලෙදිත් අපේ ගෙදර තිබ්බා රේඩියෝවක්.. ඕකෙන් අපි උදේ දවල් ප්‍රවෘත්ති ඇහැව්වා.. එතනින් ගියහම උදේට උදේට දේශාභිමානි ගීතත් ඇහුවා... ඒ ඇරෙන්න සිංදු ඇහැව්වයි කියලා මතකයක් නං නෑ.. ඇයි ඉතිං බැටරිය ඉතුරු කරගන්ඩ එපෑ... !

ටිකක් හරි තේරෙන වයසට එනකොට  සඳුදා හවසට (මතක විදිහට 8.30ට) මුවන්පැලැස්ස නාට්ටිය ඇහැව්වා. සෙනසුරාදා හවස "සිපෙට්කෝ මහත්තයා" කියලා නාට්ටියක් ඇහැව්වා. ඔය නාට්ටි දෙකම ගියේ ලක්හඬ නාලිකාවේ !

දැන් නම් රූපවාහිනිය ජනප්‍රිය වෙලා හන්දා මිනිස්සු රේඩියෝ අහනවා අඩුයි.... ඒ හන්දමද මන්දා රේඩියෝ නාට්ටිත් අඩුයි !

ඉදලා හිටලා මල් නාට්ටියක් දෙකක් නම් තියෙනවා. ඒවා අහනවට වඩා හොඳා නිකා ඉන්න එක ! ඔන්න එක කොටසක් යනවා ඊට පස්සේ සිංදු තුන හතරක් යනවා... ආයෙම තව කොටසක් යනවා... සිංදු තුන හතරක් යනවා.... ඔහොම ගියහම නාට්ටිය කොතනින් ද නැවැත්තුවේ කියලා හිතාගන්ඩ බෑ.. !

තව නාට්ටි ජාතියක් තියෙනවා ඒවා පටන් ගන්නේ හවස හතේ ඉදන්. එකක් කියලා නෑ හැම නාලිකාවකම මේ ජාතියේ නාට්ටි යනවා. ඒකෙන් නං කරන්නේ කෙනෙක්ගේ දුකක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන එක... මං නං ඒවට කොහෙත්ම මනාප නෑ...

ඔන්න තව පොඩ්ඩෙං කියන්ඩ ආපු කාරණාවත් අමතක වෙනවා... මේ දවස් ටිකේ ෂර්ලොක් හෝම්ස් කතා ටික නාට්ටි විදිහට සිරස එෆ්. එම්. නාළිකාවේ යනවා. හැම ඉරිදාම රෑ 9ට !

ඕක හන්දම තමා මේ පෝස්ට් එකත් ලියන්ඩ හිතුනේ..!

පුළුවං කෙනෙක් ඉන්නවා නං අහලා බලන්ඩ... !

අහන්ඩ මිස් වෙච්ච කතාවක් තියෙනවා නං සිරසේ යූ ටියුබ් පිටුවට මෙතනින් ගිහින් අහන්ඩ...

කලින් වතාවකුත් මේ නාට්ටි සෙට් එකම ගියා... ඒවයින් ටිකක් මට ඩවුන්ලෝඩ් කරගන්න ලැබුනා. ඒ ටික මෙතනින් බාගන්න !

එහෙනං මං ගියාවේ !

30 comments:

  1. //ඉදලා හිටලා මල් නාට්ටියක් දෙකක් නම් තියෙනවා. ඒවා අහනවට වඩා හොඳා නිකා ඉන්න එක ! ඔන්න එක කොටසක් යනවා ඊට පස්සේ සිංදු තුන හතරක් යනවා... ආයෙම තව කොටසක් යනවා... සිංදු තුන හතරක් යනවා.... ඔහොම ගියහම නාට්ටිය කොතනින් ද නැවැත්තුවේ කියලා හිතාගන්ඩ බෑ.. // 100% ඇත්ත. ඕවයේ ඉන්න ගෑනු ළමයා අඬන විදියට කොල්ලා දාල යන එක පුදුමයක් නෙමෙයි. මම "මුවන්පැලැස්ස" අහලා නැති වුණාට කාලෙකට කලින් පොත කියෙව්වා. පොතත් ලස්සණ යි.

    මේ ඔයා කලින් ෂර්ලොක් හෝම්ස් අහලා තියෙන නිසා මේක අහන්නේ. ඒක අහන්න පුළුවන් තත්ත්වෙක තියෙනවා ද? මට අහන්න ආස යි :)

    ReplyDelete
  2. ඒ කාලෙ ගුවන් විදුලි ප්‍රේක්ෂකයෙක් ගැන ලස්සන කතාවක් තමයි කුරුලු හදවත නවකතාවෙ තියෙන්නේ...

    ReplyDelete
  3. දැන් යන එව්ව ඇහුවම හිතෙනවා මෙව්ව හදන අයට ද පිස්සු අපට ද පිස්සු කියලා.

    ReplyDelete
  4. ධාරා :
    ඕ.. මට නං වරදක් නෑ.. අහන්ඩ පුලුවං !
    මම දීපු දෙවෙනි ලින්කුවෙන් බාගෙන අහන්ඩ ! :)

    තරුරසී :
    කුරුළු හදවත නවකතාවක් ද ? හෑ... මම හිතුවේ කෙටි කතා සංග්‍රහයක් කියලා... ඌප්ස්..ඌප්ප්ස්... !! :O

    දිලිනි :
    හදන අයට කෝමත් පිස්සුනේ... :)
    කෝ අපට පාර්ටි නැද්ද නෝනා ?

    ReplyDelete
  5. මාලක දේවප්‍රිය ලියපු "නිහොන් සැප ලැබේවා" කියන විවාදාත්මක පොතේ තියෙන්නේ ගුවන් විදුලි නාට්‍ය ලෙස ලියපු පිටපත්. නමුත් ඒ පොතේ පෙරවදනේ ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසය ගැන වැදගත් තොරතුරු තියනවා. ඒ පොතේ සමහර නාට්‍ය නම් පොදු ගුවන් විදුලියකින් ඉදිරිපත් කරන්න අමාරු මට්ටමේ ඒවා (හැබැයි දැන් තියනව ඒවත් එහෙමලුනේ). හැබැ‍යි හොඳ නිර්මාණ කීපයක් තියනවා. ඔක්කොම වගේ දේශපාලන සමාජයීය කාරණා ගැන තියන නාට්‍යය.

    ReplyDelete
  6. ෂර්ලොක් හෝම්ස් කතා යනවා කියල මත දැනගත්තා එත් අහන්න හිතුනේ නෑ. මොකද සමහර වෙලාවට ඔය වගේ දේවල් වලදී අපි නව කතාව කියවලා මවාගෙන ඉන්න ගාම්භීරත්වය නැත්තටම නැතිවෙනවා. හොඳම උදාහරණය තමයි ෂර්ලොක් හෝම්ස් ටෙලි නාට්‍යය. මෙලෝ රහක් නෑ. මම එක කොටසයි බැලුවේ. එයාලා හිතන්නේ .පුළුවන් තරම් කළුවර කරාම නාට්‍යයට අර නවකතාවේ වගේ ඝාම්භීරත්වය ආරෝපණය වෙනවා කියලා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නැහැ ඉවාන් මේ ටික හොඳයි අහලා බලන්නකෝ ....

      Delete
  7. හවසට යන සමහර කතා අහනකොට කල කිරෙනව.මොකද ලව් කතා උනාට ඒවා ඇත්තටම එහෙම ඒව නෙවෙයි.ඒවගේ රගපාන එවුන් දෙබස් කියනවා නෙවෙයි අඩනව.

    ReplyDelete
  8. මාත් ඉස්සර නාට්ටි පිස්ස. තාත්තගෙ ටෝච් එකේ බැටරි බහිනකල් අහනව. මුවන්පැලැස්ස මුලින්ම ගියේ ගුවන්විදුලි සංස්ථාවෙ. ලක්හඬට ආවෙ ටිකක් පස්සෙ. සඳුද වගේම රුහුණු සේවෙ බදාදාත් තිබුන. අපි වැඩිම කැමැත්තකින් ඇහුවෙ බ්‍රහස්පතින්ද රෑ 8ට ස්වදේශීය සේවයේ තිබුන "මාරක කතාව"! "හරියටම රෑ දොලහට" කියල එකක් තිබුන.

    ReplyDelete
  9. මධූ මලේ උඹ මම කැමතිම මාතෘකාවලින් එකක් තමයි ඇදලා ගත්තේ. මටත් මතක් වෙනවා රේඩියෝවෙන් සදුඳා 8.30ට මුවන්පැලැස්ස අහපු හැටි. සිකුරාදා හවසට හන්දියේ ගෙදර වැරැදුදුවේ නෑ. ඒකේ හිටපු රංහොටී, ඩූලිට්ල් නෝනා, ඩයස් මහත්තය මට දැන් වගේ මතකයි. තව දෙමළ මහත්තයෙකුත් ඒකේ හිටියා. ඒවායින් අපට හාස්‍ය රසය මෙන්ම සමාජයට පනිවුඩයකුත් දුන්නා.
    අපි ප්‍රේමකීර්ති මහත්තයා, තිස්ස ජයවර්ධන මහත්මයා, රම්‍යා වණිගසේකර මහත්මිය වගේ නිවේදක නිවේදිකාවන්ගේ කටහඬවල් අහගෙන හිටියේ කං විතරක් නෙමේ කටවලුත් ඇරගෙන.
    මම ආසකරපු අනිත් එක තමයි චිත්‍රපට ගැන ගුවන් විදුලි වැඩසටහන්. චිත්‍ර පටිය බලලා ඒක අහන එක මගේ ප්‍රියතම විනෝදාංශය වුනා. ඒවා අහලා තමයි මට සිනමා ශාලා වල නම් අදාල ගමත් එක්කම කට පාඩම් උනේ. විජිත- රත්මලාන, මානෙල් - දෙමටගොඩ, එස් කේ සිනමා- මාතර වගේ.
    ඉතිං ඒ වගේම තමයි උදා ගී හා ඉරිදා දවල් ගිය බයිලා ගී රස විඳපු හැටි. " වැහි පොද වැටිලා.. බිම් මල් පිපිලා සුදු පාටින් මුතු කුඩ ඉහලාලා සුදු පාටින් මුතු කුඩ ඉහලාලා"
    ඔවැනි ගීත අහගෙන අවදිවු හැටි මට අද වගේ මතකයි.... උඹට ජය මලේ!!!

    ReplyDelete
  10. මමනම් රේඩියෝ එකේ ඇහැව්ව කතාවතමයි ඉරිදා දවාලේ ගිය ලාතාගේ කතාව .... දහම්පාසලෙන් හොරෙන් පැනලා එනවා ඕක අහන්නම

    ReplyDelete
  11. ඔබේ පෝස්ටුවත් සමග මතකය ගොඩක් ඈතට ගමන් කළා මධු.එකල රේඩියෝ අහපු අය එක හා සමාන රස වින්දනයක් ඇති අයදෝ කියලත් හිතුනා කමෙන්ට් ටික බලපුවම,මටත් කියන්න තියෙන්නෙ එච්චරයි.
    අර ඔබ කියූ ගාමා ගාමිණී සුබසිංහ මේ මෑතකදී මියගිය බව මම පත්තරේක දැක්ක.

    ReplyDelete
  12. අපි ඉස්සර ගෙදර ඔක්කොම එකතුවෙලා රැට රෙඩියො එකෙන් අහනව.ඉරිද් උදෙට කොමඩි කතා ටිකක් අහනව.මරු අප්පා

    ReplyDelete
  13. මුවං පැලැස්ස කිව්වම ඉතින් කාරණා දෙකක් එකවරම මතක් වෙනවා...

    1 ආරම්භක සංගීත ඛණ්ඩය එක්ක ඇහෙන වයලින් වාදනය
    2 චරිත කීපයකටම හඩ දීපු ගැමුණූ විජේසූරිය ශූරීන්...

    ඔහුගේ අභාවයත් එක්ක මුවන් පැළැස්සෙ කලඑළිය නැතුව ගියා....හරිම ලස්සන අතීතයක මතක සටහන් තමයි මේවා...

    ReplyDelete
  14. අපෝ දැන් යන ගුවන් විදුලි නාට්‍ය ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් ශර්ලොක් හෝම්ස් කියන්නෙ මගෙ වීරයෙක් නිසා ඉරිදාට සිරස පැත්‍තට යන්න ඕන.
    ඔත්තුවටයි අර පරණ ලින්ක් ටිකටයි තැන්කූ කියුවා.

    ReplyDelete
  15. මධූගේ පෝස්ට් එක නිසා මමත් මගේ පුංචි කාලෙට ආපහු ගියා වගෙයි දැනෙන්නේ. ඔය කියන බොහෝමයක් නාට්ටි මාත් අහලා තියෙනවා. සමහර එව්වා දැන් ටී වී එකෙන් දකිනකොට මොන මලවිකාරයක්ද පෙන්නන්නේ කියලත් නොහිතෙනවාම නෙමෙයි.

    ඇයි අපි ඉස්සර ආසාවෙන් අහන තවත් නාට්ටියක්නේ මර්වින් සේනාරත්න මහත්මයාගේ සුගන්ධිකා, ඇයි මොනරතැන්න. ඔය වගේ තවත් කතා කිහිපයක්ම තිබුණා. ඒ අතර ලතාගේ කතාව වගේම හන්දියේ ගෙදරත් ඇහුවේ බොහෝම ආසාවෙන්. දැන්නම් රේඩියෝවේ කතා අහනවාට වැඩිය හොදයි නිකන් ඉන්න එක. කතාවෙ මැද්දට හරියට සිංහලයි ඉංගිරිසියි දෙකම බැරි කෙලි පොඩ්ඩියෙක් පැනලා මොන මොනවදෝ කියෝනවා, පස්සේ පැයකින් විතර කතාවේ ඉතිරි ටික දානවා අනිච්චේ දුක්ඛේ!!!

    ගුවන් විදුලිය ගැන කියන්න නෙමෙයි පොතක් ලියන්න තරම් දේවල් තියෙනවා. මොකෝ අපි පුංචි කාලේ ඔය ටෙලිවිසොන් තිබුනේ නැහැ නොවැ. මොක වුනත් අතීතෙට එක්ක ගියාට බොහෝම පිං.

    ReplyDelete
  16. ෂා...මමත් හොඳ ගුවන් විදුලි නාට්‍ය රසිකයෙක්...
    *දෙගම්දොර අන්දරය(සිටි FM)
    *මුවන්පැලැස්ස(ලක් හඬ)
    *සෙංකඩගල මහා වියවුල(වෙළඳ සේවය)
    *රාසිං නම් වූ ඔහු (නම හරියට මතක නෑ...)

    ඕවා පට්ට නාට්‍ය. ඊට පස්සේ ආවනේ ශ්‍රී FM එකේ සාගරේ සේ ආදරෙයි. ඕකෙන් පස්සේ තමයි මං හිතන්නේ ඔය ලස්සන නාට්‍ය කලාව විනාස වුණේ...

    ReplyDelete
  17. මටනම් ඇත්තටම රේඩියෝ නාට්‍ය අහලා තියෙනවද කියලා මතකයක් නම් නෑ.. ඒත් හැබැයි අර මල් කතානම් ඔය ඉදලා හිටලා ඇහිලා තියෙනවා.. කිවුවත් වගේ ඒවා අහනවට වැඩිය හොදයි නිකන් ඉන්නවා..

    ReplyDelete
  18. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  19. ෂර්ලොක් හෝම්ස් යනවා කිවුවා..! බලමු අහලා...
    ස්තුතියි කිවුවට ඈ

    ReplyDelete
  20. ගුවන් විදුලි නාට්‍ය එක්ක මතකයන් ගොඩක් හිතට ආවා... එකක් තමයි මහින්ද අල්ගම මහත්මයා නිෂ්පාදනය කරපු ළමා පිටියෙන් විකාශය වුනු ළමා නාට්‍ය....

    ඉඩකඩක් ලැබුනොත් ඒ ගැන ලියන්නම්කෝ..

    දීපු තොරතුරටත් ස්තූතියි.. අහලා බලන්න ඕනේ..

    ReplyDelete
  21. මේ ගැන දවසක් අපි රයිගම් මන්ඩියේදී කතා කරා ... අනිත් අයත් කමෙන්ට් වලින් සෑහෙන දේවල් කියලා තියෙනවනේ.. හරිම රසවත් මධු ........

    ReplyDelete
  22. මමත් හරිම කැමතියි ශර්ලොක් හෝල්ම්ස් කතා ටිකට. ඒ වගේම ජනප්‍රිය කෙටිකතා වගේකුත් ගියා නේද? මතක හැටියට සිරසෙම වෙන්න ඕනෙ.

    ReplyDelete
  23. ඉස්සර වෙළඳ සේවය කියලා එකකත් කතා ගියා නේද? මට මතකයි ලලිත් එස් මයිත්‍රීපාල කියලා කෙනෙක්ගේ වැඩ සටහනක්. සඳුදා රෑට ගුවන් විදුලියේ මුවන් පැලැස්ස අහනවත් මතකයි. ඒත්මොනවා තිබුනද කියලා මතක නම් නෑ. ළමා කාලෙම ටී වී ආපු හින්දා ඒවට ඇබ්බැහි වුනානේ. මුවන් පැලැස්සේ ෆිල්ම් එකක් ආවා නේද? මට මතකයි ලාවට වගේ අපේ ගෙදර කට්ටියම ඉම්පීරියල් එකට ගියා ඒක බලන්න. මාව නම් වඩාගෙනද කොහෙද ගියේ. පොඩිම කාලේ වෙන්න ඕනේ.

    ReplyDelete
  24. තිසර :
    ඔය කියනකන් මම නම් ඔය නාටිය ගැන දැනගෙන උන්නේ නෑ... නිහොන් සැප ලැබේවා පොත ගැන විතරයි අහලා තිබුනේ.

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ඒ කාලේ එංගලන්තේ තිබ්බ පරිසරය ලංකාවේ හදන්න සෑහෙන අමාරුයි. ඒ වගේම සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඒ නිසා තමා ගොඩක් වෙලාවට නාට්ටිය චා වෙන්ඩ හේතු උනේ.. මේකේ රූප රචනා නැති නිසා ඒ පරිසරයෙම ඉන්න විදිහට රසවිඳින්න පුලුවං.. අහලම බලමුකෝ.

    රජ වීදිය :
    ඒක හරි.. රඟපෑමයි දෙබස් කියවීමයි කියන්නේ දෙකක් කියලා දැන් ඉන්න නළු නිළියෝ දන්නේ නෑ..

    රාජ් :
    මාරක කතා නම් අහලා නෑ.. ඔන්න දෙරණ එෆ් එම් එකේ රෑ 10ට යනවා හොල්මන් කතා වගයක්.. මතක විදිහට සඳුදා රෑට තමා යන්නේ...

    Chandana Gunasekera :
    ඒ කාලේ වගේ රේඩියෝ නාට්ටි අහන්ඩ තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් තියෙන ඒවා එක්ක බලනකොට ඒ කාලේ තිබ්බ නාට්ටි ඉස්තරම් කියලා හිතෙනවා..

    S. L. මැලේ රාළ :
    දහම් පාසලෙන් පැනලා එනකොට අහු උනේ එහෙම නෑ ?

    ReplyDelete
  25. Helapa kade :
    කොයි රසවින්දනයෙත් අභාවයද මන්දා.. දැන් තියෙන්නෙම බාල තත්වයේ කළා නිර්මාණමයි..

    Damith Gunawaredane :
    දැන් ඉතින් කොහෙද අප්පා එහෙම කොමඩි කතා අහන්නේ...

    සිරාගෙ කාමරේ :
    හ්ම්... ඒ මියුසික් එල ලස්සනයි... ගැමුණු විජේසූරිය කියන්නේ ප්‍රතිබාපූර්ණ කළාකරුවෙක් !
    ඒ දවස්වල ස්වර්ණවාහිනියේ ගියපු හොටෙල් ඩී කලබල නාට්ටියත් මරු !

    Chathuranga Priyashad :
    එහෙනම් අනිවා කතා අහන්න.. :)

    malmi :
    ඒක නේන්නං කතාව අමතක වෙනකන් ඉදලා තමා ඊලඟ කොටස දාන්නේ.. එපා වෙනවා එහෙම කතා අහන්න. ඒක නෙමේ මල්මි අක්කා ලියන්නේ එහෙම නැතෙයි ? මොකද මේ ටිකේම පේන්න නැත්තේ ?

    රන්දු :
    සාගරය සේ ආදරේ වගේම තමා ආදරේ අහස තරම්, අරලියා මං ආදරෙයි වගේ ඒවත්.. ශික් ඉතරක් !

    Dinesh :
    එහෙනං මල්ලිත් අහන්න ෂර්ලොක් හෝම්ස් කතා ටික.. සිරස එෆ් එම් එකේ සයිට් එකට ගියහම අහන්ඩ පුලුවං !

    ReplyDelete
  26. Yasiru Udana :
    උබට නං කියන සිංහල තේරෙන ජාතියේ කොල්ලෙක් නෙමේ.. එකම කමෙන්ටුව තැන් ගොඩකම අලවලා තියෙනවා දැක්කා !

    රෙහානි :
    අහලා බලන්ඩෝ ! :)

    තුශානි :
    ඒ ගැන ඉක්මනින්ම ලියයි කියලා හිතනවා. ඒ නිසා ඉක්මනින්ම ලියන්න තුශානි ! :)

    SilentSahan :
    රයිගම් මණ්ඩිය කිව්වේ මොකද්ද ? මූනුපොතේ ගෲප් එකක් ද ?

    හරී :
    ඔවු ඔවු.. සිරසේ තමා.. සිරස රඟ මඩල තමා වැඩසටහනේ නම !

    Il mondo di una povera pazza :
    හරි රංගි.. මුවන්පැලස්ස චිත්‍රපටියත් ආවා.. තාමත් නෙට් එකේ කරක් ගැහුවොත් ඒ චිත්‍රපටිය බලාගත්තෑකි.. :)

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. නියමයි ආහ් දිගටම කරගෙන යන්න සුබ පතනව මෙන්න එකතු වෙන්න පරිගණක ලෝකයත් සමග http://pclokayak.blogspot.com/

    ReplyDelete
  29. http://www.radioplay.lk/radioplays/
    දෘශ්‍ය කලාවන්ගේ සංවර්ධනය සමග රේඩියෝ නාට්‍යය යනු යල් පැනගිය හා අභාවිත කලාවක් යන අදහක් ජනපි‍්‍රය ප‍්‍රචාරණය මතු කළත් මෙම අර්ථ බිඳ දමමින් ඩිජිටල් සයිබර් අවකාශය තුළද සෙසු කලාවන් අභිභවා ප‍්‍රබල ලෙස රේඩියෝ නාට්‍යය මතුව ඇත. රේඩියෝ නාට්‍යය කන්ටෙම්පරරි කලාවක් ලෙස විවිධ තේමා, ආකෘති හා ශානර ඔස්සේ මහා සංස්කෘතියක් ජාත්‍යන්තරව සංවර්ධනයව පවතින වකවානුවක එය විකල්ප සන්නිවේදන අවකාශ ඔස්සේ සමාජගත කරමින් සමකාලීන ජන පරිකල්පනයල තාර්කික බුද්ධිය, සමාජ දේශපාලනික ගැටළු පිළිබළිබඳව විචාරාත්මකව සිතීමට යොමු කරවීම අප අරමුණයි.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.