21 November 2013

මැල්ලුම් ගැන

නිරෝගී ජීවිතයකට වතුර බීම අත්‍යවශ්‍යයි, දවසකට ප්‍රමාණවත් වතුර ශරීරයට ලැබෙන්ඩ ඕනේ, ඒ නැත්නම් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්ඩ සිදුවෙනවා කියන කරුණු කාරණා ඇස්පනාපිටම ඔප්පු වෙලා පෙනුන කාළයක් මේක. ඒ අපේ කාර්යාලයේ වැඩ කරපු අයියා කෙනෙක්ට මුත්‍රා ගල් වලට බේත් ගන්ඩ වෙලා.

ඉතින් උන්දෑ අපට කියනවා හොඳට වතුර බීපල්ලා කියලා.

මුත්‍රා ගල් තියෙන කෙනෙකුට කියාපුම සිංහල බේත තමා අක්කපාන කොළ මැල්ලුම. ඒ උනාට අක්කපාන කොළ මැල්ලුමක් එක වතාවක් හරි ආසාවට කාපු එකෙක් නං දන්නවා මැල්ලුම කොච්චර රහද කියලා. දවසක් මාත් අපේ අම්මට කියලා ආසාවට මැල්ලුම හදෝ ගත්තා. හදාගත්ත නිසා කෑවා මිසක්කා ඊට පස්සෙං පහු කනවා තියා මැල්ලුමක් දිහා බලන්ඩවත් හිත නෑ..... තිත්තම තිත්තයි !

අඟුණකොළ මැල්ලුමට වඩා තිත්තයි. ඒ අතින් බලාගෙන ගියහම අඟුණකොළ මැල්ලුම කිසි ගින්නක් නැතුව කෑ හැකියි. අඟුණකොලවලත් කිරි අඟුණකොළ මැල්ලුම් හැදුවහම තිත්ත ගතියක් නෑ.. කිරි අඟුණ තනිකරම මැල්ලුම් හදනවට වඩා හොඳයි කලවං මැල්ලුමක් හදනවා නං.

කිරි අඟුණ කලවං මැල්ලුමයි පරිප්පු හොද්දකුයි සාළයෝ මාළුයි සම්බා හාලේ බතුයි කියන්නේ මගේ ප්‍රියතම කෑම. කොච්චර කෑවත් ඇති වීමක් නෑ...අපේ අම්මත් ඒක දන්න හන්දම මැල්ලුම් හදපු දාට සෑහෙන මැල්ලුම් තොගයක් මගේ පිඟානට බෙදනවා. :)

ගොටුකොළ මැල්ලුම් කන එක පීනසටත් හොඳා ලූ. ඒ නිසා කාළයක් අපේ අම්මා මට හීනිවට ලියාගත්තු රතුලූණු ගොඩකුත් දාලා අනපු ගොටුකොළ මැල්ලුම් දුන්නා.

මේ මැල්ලුම් ජාති ඇරුනහම මම ආසම කලවං පලා මැල්ලුමට. කෝප්ප කොළ, පැශන් දළු, මඥ්ඥොක්කා දළු, ජපන් බටු දළු එකතු කරලා මැල්ලුමක් හැදුවම මාර රසයි. ඒ මැල්ලුමට හරියන්ඩ පරිප්පු ටිකක් උයලා, කීරමින් සාළයෝ කරවල ටිකක් අල කෑල්ලකුයි තක්කාලි කෑල්ලකුයි දාලා උයලා ගත්තහම පංකාදු පහයි ! තව බැදපු මිරිස් කරලක් තිබ්බා නම් තවත් ගති !

හැමදාම කන ජාතියක් හන්දා මුකුණුවැන්න මැල්ලුම ගැන නං කියන්න යන්නේ නෑ...

තව ජාතියක් තමා ගොනිකා කොළ මැල්ලුම.  ඒ මැල්ලුම ගොඩක්ම හොඳ කැඩුම් බිඳුම් වලට බේත් කරන අයට. කැඩුම් බිඳුම් වලට ගුණදෙන ගතියක් ඒ මැල්ලුමේ තියෙනවා.

ඕක ගොනිකා කොළ කිව්වට හරිම නම ගොනු කෑ කොළ වෙන්ඩ ඕන !

ඒකට නම හැදිලා තියෙන විදිහට අපූරු කතාවක් තියෙනවා.

ඉස්සර හරක් අයිතිකාර මනුස්සයෙක් තමන්ගේ ගොන් බාන දක්කගෙන කැලෙට යනවා. ගිහින් එහේ ගාල් කරලා එනවා. ආයේ උන්ව එක්කන් යන්නේ හවස. ඔන්න දවසක් මේ මනුස්සයා හරක් ටික දක්කගෙන එන්න කියලා කැලෑවට ආවා.එනකොට එක ගොනෙක් පොඩි කඳු ගැටේකින් වැටිලා කකුලක් කොර ගහනවා.

පොඩ්ඩක් හොයලා බලනකොට  උගේ කකුලක් ඇමට්ටිවෙලා. (හෝ කැඩිලා) මූව දැං අරන් යන්න බැරි නිසා තව දෙතුන් දෙනෙක් එක්ක හෙට ඇවිල්ලා මූව අරං යනවා කියලා හිතලා උන්දෑ ඉතුරු හරක් ටිකත් දක්කාගෙන ගෙදර යනවා.

කොහොමින් කොහොමහරි මේ මනුස්සයාට පහුවෙනිදා උදේ එන්න අමතක උනා. මේ මනුස්සයා ආපහු ආවේ දවස් දෙක තුනකට විතර පස්සේ. මේ මනුස්සයා ඇවිදින් ගොනාව හොයනකොට මෙන්න මූ යස අගේට ඇවිදිනවා. ඇමට්ටි වෙච්ච ගතියක්වත් නෑ ලූ.

මේ මනුස්සයාට හරි පුදුමයි ලූ !

මූගේ කකුල හොඳ උනේ කොහොමද කියලා පොඩ්ඩක් විපරම් කරලා බලනකොට මේ මනුස්සයා දැක්කලු මේ ගොනා ලඟපාත තිබ්බ වැලකින් කොළජාතියක් කාලා තියෙනවා කියලා. ඒ කොළ ජාතිය කාපු නිසා හොඳ උනා කියලා හිතපු මේ මනුස්සයා ඒ වැල් වර්ගයට ගොනු කෑ වැල් කියලා නම් කලා ලූ.

පස්සේ කාලෙදි ගොනු කෑ වැල්, ගොනුකා වැල් වෙලා ගොනිකා වැල් උනා ලූ. අන්න ඒ ජාතිය තමා මිනිස්සුත් ගොනිකා කොළ කියලා හඳුනා ගන්නේ !

බලාගෙන ගියහම සත්තුන්ටත් මිනිස්සුන්ට වඩා හොඳට මොළේ තියෙනවා නෙව !

මුත්‍රා ගල් වලිං පටන් අරං ලියාගෙන ආපු ලිපිය මැල්ලුම් ගැන ලියවිලා.. හිහ් :)
එහෙනං මං ගියා වේ !

34 comments:

  1. විවිධ වර්ගවල මැල්ලුම් කෑම ඇඟට හොඳයි. තිත්තයි කියල කන්න බැරි දැං. ගල් හැදුනොත් නං තිත්ත බලන එකක් නෑ.

    ReplyDelete
  2. මැල්ලුම් ගැන දාන ගමන් ලියල තිබුන කෑම වට්ටෝරු ටිකට බඩගිනි හැදෙනවනෙ අප්පා... කෙලත් ගිලෙනව.

    ReplyDelete
  3. කියන්න ආව එකත් අමතක උනා නෙව ...

    ReplyDelete
  4. මම ගෙදර එන බව කිව්වම අපේ ගෙදර නම් ඉස්සරල ම කරන්නෙ බොන වතුර මුට්ටියක් උණු කරන එක!

    ReplyDelete
  5. කොතන හරි වැරදීමක් වෙලා තියෙනවා මල්ලි.. අක්කපාන කොල තිත්ත නැහැ කොයිම විදියකින්වත්.. ඒකෙන් එන්නේ ඇඹුල් රසයක්.. බොහෝම ප්‍රනීත ඇඹුල් රසයක්.. මල්ලි කාලා තියෙනවද ඇඹරැල්ලා දළු අමුවෙන්..? ආන්න ඒ රසයට බොහෝමත්ම සමානයි... මං හිතන්නේ අම්මා ඕක හදනකොට මොකාක් හරි අවුලක් කරලා තියෙන හැඩයි... එක්කෝ දෙහි ඇඹුල් ගමකට දාලා වෙන්න පුළුවන්... ස්භාවයෙන්ම ඇඹුල එකට දෙහි වැඩි කලොත් තිත්තක් එන්න පුළුවන්... ඒ ඇර අක්කපාන කොල මැල්ලුම් හදන්නේ නැහැ අමු සම්බලයක් හැටියට මිස.. මොකද ඕකේ වතුර ගතිය අධික හින්දා මලවන්න ගියොත් තෙත උනලා චොර වෙනවා... ඒ හින්දා සාමාන්‍යෙයන් කරන්නේ කොල ටික හොදට හෝදලා හීනියට ලියලා ඒකට ලුනු ගම්මිරිස්.. අමු මිරිස්.. රතුළුණු සහ උම්පලකඩ එකතු කරන එකයි.. උවමනා නම් පොල් ඉතා ස්වල්පයක් එකතු කලාට කමක් නැහැ.. හැබැයි නැති උනත් අවුලක් නැහැ... අක්කපාන කොල තිත්තයි කියලා කිව්වම මං පුදුම උනා..යකෝ මාත් මාස තුන හතරකට වතාවක්වත් කොහොම හරි හොයං කන ජාතියක්නේ.. මොකද මටත් ඔය කිව්ව ලෙඩේ දෙපාරක්ම ඇවිත් පට්ට දුකක් වින්ද හින්දා...

    අනිත් එක තමා මල්ලි මේකට මැල්ලුං කියලා දාලා තිබුනට මල්ලිට මැල්ලුනුයි කොල සම්බලයි පැටලිලා කියලා මට හිතුන එක... අක්කපාන වගේම ගොටුකොලත් හොඳ සම්බලයට මිස මැල්ලුමට නෙවෙයි... ගොටුකොල මැල්ලුං හැදුවමත් වැඩේ ටිකක් චොර වෙනවා.. හැබැයි අක්ක පාන වගේ නෙවෙයි මැල්ලුං හැටියටත්.. තෙල් දාලත්... බැදලත්... ඔම්ලට්වලට දාලත් ආදී වශයෙන් ගොටුකොල වලින් සෑහෙන කෑම ජාති හැදියැකි...

    ReplyDelete
  6. අපිට වැඩිය කන්න වෙන්නේ නැති ජාතියක් ..මෙහෙ මැල්ලුම් කොළ අඩුයි...ඇති ඉතින් අපිට ලැබුනේ නැතුවට ...වෙන වෙන ක්‍රම වලට හදන හරි අමුවෙන් හරි කන එක තමයි කරන්න වෙලා තියෙන්නේ. මැල්ලුම් වලට අපිත් ආසයි...අඟුණ කිරි අඟුණ නම් මල්ලුමට වඩා සම්බෝලේ තමයි අපි කෑවෙ .

    ReplyDelete
  7. අනිත් දේ තමා ගොනිකා කොල ප්‍රසිද්ධම තවත් වැඩක් තමා පොලිසියෙන් ගුටි කෑව අයට දෙන සාත්තුවක් හැටියට... :D
    ගැහිල්ල සාමාන්‍යයිනං වැනිවැල් ගැට තම්බලා පොවනවා...
    සරුවටම නෙලලනං ඉතිං ගොනිකා කොල කැඳ හදලා පොවනවා.. :D :D :D

    ReplyDelete
  8. @ මාරය & මධු

    මධු කාලා තියෙන්නේ අක්කපාන නෙවේ වෙන වැරදි කොළ ජාතියක්... මම මේ කිව්වම ගිහින් කොළයක් කඩාන කෑවා..කිසිම තිත්තක් නැහැ කහට ගතියක් මිස.. හොඳට බලන්න ඔයා කාපු කොළ ජාතියේ මාංසල ගතියක් තියේද කියලා.. කුණු බක්කියේ හරි ඉතුරු කොළ කෑල්ලක් තියේද බලන්න..ඒ කොළ කෑල්ල පොළොවේ යට කරන්න. අක්කපාන නම් පැළ වෙන්න ඕනේ දවස් 3 ක් යද්දී...

    ReplyDelete
  9. ගොනු කෑ කතාව හරි මාමත් ඔය කතාව අහලා තියෙන්නේ ඔය විදිහටමයි.

    ReplyDelete
  10. දැන් මැල්ලුම් කතා දැකලා මේ හදිස්සි වැඩක් කර කර හිටිය ගමනුත් දුවගෙන ආවේ...
    ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න.
    මුත්‍රා ගල් කියන්නේ මොකක්ද?
    අක්කපාන කොළ කියන්නේ මොන වගේ කොළද? ගොනිකා කොළ කියන්නෙ මොනවද? මට තේරෙන විදියට මැල්ලුම් එක්ස්පර්ට් කෙනෙක් වෙන මම මේවා කාලා නෑ වගේ. හොඳට හොයලා බලලා කන්න ඕනේ.
    අඟුණ කොළ මැල්ලුම් හදනවා කියන්නේ ලිපේ තියලා ගන්න එක නේද? අපරාදෙනේ ඒවගේ රස කොළයක් එහෙම කන එක. මේ ළඟදි මගේ එක්ස්ගේ අම්මා මොනවද එවන්න ඕනේ ඇහුවම මම අම්මේ කොළ ටිකක් එවන්නකෝ කීවාම අඟුණ කොළ එවලා තිබුනා. මම නම් සුමානයක් විතරම ඒවා ලුණු මිරිස් හදලා කෑවා. ඒවා කොහෙද හලෝ තිත්ත වෙන්නේ? අනික එහෙම නම් ඔයාලා අපි කන red chicory රෙඩ් චිකරි වගේ ඒවා කෑවොත් මොනා කියයිද? තිත්ත රස තියෙන එළවළු වල වැඩි විටමිනුත් තියෙනවා. මම නම් සැලඩ් ජීවියෙක්. මොනා කෑවත් මට සැලඩ් කෑවා වගේ හරියන්නෙ නෑ. ලංකාවෙදි හෙම මගෙ අයාළුවෝ මාත් එක්ක කන්න ගියාම වැඩිපුර සැලඩ් බෝල් දෙකක් තුනක් ඉල්ලනවා.
    සමාවෙන්න ඕනේ මම සැලඩ් මැල්ලුම් ඔක්කොම කියන්නේ ඉතින් කොළ වලට තමයි.
    පුළුවන් නම් අර කියපු කොල ජාති වල පින්තූර දාන්න මධු. ඔයා කියපු කොළවලින් මම දන්නේ කොළ කිහිපයයි.

    ReplyDelete
  11. මැල්ලුම් කෑවම හොදට ඇස් පේනවලු..

    ReplyDelete
  12. කෝප්පකොල නම් මගෙ ජනප්‍රිය මැල්ලුමක් කාලතියෙන්නෙ අම්ම ලඟ හිටි කාලෙ තමයි.. දෙන් ඉතිං කොහෙ හොයන්නද ? මෙහේ තියෙනවා ගො‍ටුකොල මුකුණුවැන්න ජපන් බ‍ටු කොල එහෙම.. මැල්ලුම් වැඩිය කෑවාම බඩේ ගෑස් හැදෙනවා කියලා ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් කිව්වා.

    ReplyDelete
  13. Il mondo di una povera pazza :
    මම දන්න විදිහට මුත්‍රාශයේ හැදෙන ගල් ජාතියකට තමා මුත්‍රා ගල් කියන්නේ. වතුර අඩුවෙන් බීවහම මුත්‍රා පෙරෙන එක හොර වෙනවා. එතකොට අපද්‍රව්‍ය එකතු වෙලා කුඩා ගලක් හැදෙනවා. අන්න ඒක තමා මුත්‍රා ගල් !

    අක්කපාන කියන්නේ පත්‍රයේ දාර තියෙන කොළ ජාතියකට !

    ReplyDelete
  14. මමත් අක්කපාන හා ගොනිකා කොළ ඇරැනුකොට අනික් ඔක්කොම වගේ කාලා තියෙනවා. මධු මල්ලි කෑම විස්තර කරන කොට කටට කෙළත් ඉනුවා. ඒත් අපිට මහෙදි ගන්න තියෙන්නේ මුකුණුවැන්න, ගොටු කොළ , කතුරැ මුරැංගා හා කංකුන් විතරයි. මාරයටත් ස්තූතියි අක්කපාන ගැන පැහැදිලි කරාට. ඊළඟට ලංකාවට ගියාම අක්කපාන සම්බෝලයක් කන්නම ඕනේ.

    ReplyDelete
  15. ලියල දැම්ම කොළ මැල්ලුම රසවත් වගේම ගුණවත්..

    මාර අයියත් කියලා තිබුනා වගේ අක්කපාන කොළ මැල්ලුම තිත්ත නම් නෑ... ආපහු සැරයක් හදලා කාලා බලන්නකෝ...

    ReplyDelete
  16. බඩගිනියි කාලා එන්නම්

    ReplyDelete
  17. මැල්ලුම් කිවුවම ඉතින් පොල් මැල්ලුමත් නරකම නැ.උබෙ පොස්ට් එකයි මාරයගෙ කොමන්ටුවයි දෙකම මරු

    ReplyDelete
  18. මාත් ගොනිකා කොල කාලා නෑ. හොයන් කාලා බලන්න ඕන. අගුණ කොල නම් මාත් කැමතිම කෑමක්.

    ReplyDelete
  19. mam nam aguna kola walata kamati raahaaaai ewa.mukunu wanna nam asa na

    ReplyDelete
  20. aguna kola walata tel chuttak dala malewwama rahai thawath.podi aya kanna kamathi ehema.

    ReplyDelete
  21. kidney stones can form within the kidney,ureter,or bladder,they can b in different shapes and sizes,frm microscopically till the size of potatoes,causes of stone formation is unknown but smtms it may result of over usage of some medicines such as diuretics,,and sme inflammatory diseases of kidney,if there is any blockage of filtration of urine in kidney will lead to clumping of small crystals in the urine together and formation of stones,,symptoms include sudden onset of pain in groin and frequent urinary infections...drink plenty of water and plz consult ur doctor if symptoms continue,,,

    ReplyDelete
  22. ජලය වැඩිපුර පානය කරනවා නම් මුත්‍රා ගල් හැදෙන අවධානම සෑහෙන්න අඩු වෙනවලු...අන්න ඒ නිසාම තමයි මමත් සෑහෙන්න වතුර බොන්නෙ...අපේ ඔපීසියෙ නුවර එළි සිසිල සෑහෙන්න වැඩියි...සමහර කෙල්ලො සීතලට අදින ජර්සි පවා ඇදගෙන වැඩ කරන්නෙ...එහෙම තත්වයක් යටතේ සුළු දිය පිට කරන්න දවසට කීප වතාවක්ම යන්න එන්න වෙන එක තමයි ඉතිං තියෙන අවුල...

    ReplyDelete
  23. අපෝ මට නං ඔය මැල්ලුම් ජාති කොයිවත් අරහං! ගො‍ටුකොල නම් උයලා කන්ඩ කැමති! බට් නොට් මැල්ලුං! අපේ අම්මා මට මැල්ලුං කවන්ඩ හෙන යුද්දයක් කරන්නෙ එදා ඉඳලම.... අඟුණකොළ හදලා තිබ්බොත් මං අහනවා .. අහවල් එහෙකටද අගුණකොල කන්නේ කියලා! ඒකේ ගුණ නැති හන්දනේ අගුණකොළ කියන්නේ! හෙහෙ ඔන්න මගේ කෙස් පැලෙන තර්ක! හික් හික්

    මධු ගො‍ටුකොල උයලා කාල තියනවද? මේක ගොඩ දෙනෙක් නොදන්න එකක්!

    ReplyDelete
  24. මං කැමතිම මැල්ලුම් මුකුණුවැන්න මැල්ලුම.. ගොටුකොල ලුනුමිරිසකට නියමයි උම්බලකඩ දාලා.. අනික් මැල්ලුම් නම් කනෙ නෑ.. අක්කපාන කොල කන්න පුලුවන් කියල ඇහුවෙත් අදමයි..

    තෙබු ගැන අහල තියනවද ?

    ReplyDelete
    Replies
    1. තෙබු කොළත් යාන්තමට මාංසල ගතියක් තියෙනවා.. කඳත් එහෙමයි.. සීනි වැඩි අයට හොඳයි කියලා කියනවා.. ( සතියකට 3 පාරකට වඩා කන්න හොඳ නැහැ..ලේ වල සීනි නැති වෙලා කලන්තේම දානවා ) .. සම්බෝලේ හැදුවම මිහිරි රසක් නම් නැහැ.. බෙහෙතට හොඳයි.. අඟල් 4 ක් විතර කොළේ දිගයි.. ලා පාටයි.. කඳ ඇවිල්ලා ලා කහ/දුඹුරු පාටයි..

      පොටෝ එකක් ගහලා බ්ලොගේ දාන්නම්කො මන් ...

      Delete
  25. මැල්ලුම් කන එක කෝකටත් හොදයිනේ.. ඒකනේ අපි අමාරුවෙන් හරි ලංකාවේ කඩේකට ගිහින් කොළ ටිකක් උස්සන් එන්නේ..

    ReplyDelete
  26. ගොටුකොල මැල්ලුම්? ඔය කියන්නේ සම්බෝලේ ගැන නේද?

    ReplyDelete
  27. ඔය මොන මැල්ලුම් තිබුණත් මම නං ආස කතුරුමුරංගාවලට. කතුරුමුරංගා කිරි හොද්දටත් ආස යි! ඊට පස්සේ තමයි අනිත් ඔක්කොම මැල්ලුම් ජාති එන්නේ. ඔය "ගොනු කෑ කොළ" කතාව මමත් අහලා තියෙනෝ.

    ReplyDelete
  28. රාජ් :
    හ්ම්... ඒකනේ... :)

    සිඟිති :
    වෙලාවක ඒ පැත්තේ ආවහම හදාගෙන කමු... දෙන්නම් එන්ඩලාකෝ .

    SilentSahan :
    අර මොකෝ... ?
    එදා හදපු විදිහටද මන්දා.. සෑහෙන තිත්ත ගතියට දැනුනා.

    දිලිනි :
    උනුවතුර විතරමද බොන්නේ ? ඒක හොඳා..

    මාරයාගේ හෝරාව :
    ඒක වෙන්ඩ ඇති.. ගියපාර කැබැල්ල දළු මැල්ලුමට උනා වගේ සීන් එකක් වෙල තිත්ත ගතියක් ආවද දන්නේ නෑ.. කොයිහැටි වෙතත් ගොඩ දෙනෙක් කියන නිසා ආයෙම වතාවක් හදවගෙන කාලා බලන්ඩ ඕන..

    මැල්ලුම් සම්බෝල අවුල හදන්නම් :)

    Bindi :
    කිරි අගුණ සම්බෝල නම් මම කාලම නෑ.. එහෙම කන්ඩ ආස නෑ..

    ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ඉස්සරම සිංහල පොතක තිබුනා වාගේ මතකයි... කොයි පංතියේද කියලා නිච්චි නෑ. :(

    Il mondo di una povera pazza :
    අහපු සමහර ප්‍රශ්න වලට මින් විසිතුරු උත්තර දීලා තියෙන්නේ. අර කිව්වත් වගේ මම පින්තූර ටිකක් හොයලා දාන්නම්. නෙට් එකෙත් හෙව්වා ඒ උනාට එච්චරම හොඳ පින්තූරයක් හම්බ උනේ නෑ.

    ReplyDelete
  29. රජ වීදිය :
    අපේ අම්මත් කිව්වා.. :)

    සරත් ලංකාප්‍රිය :
    ඒ මොකෑ ඒ ගෑස් හැදෙනවයි කිව්වේ.. මම නම් ඒ කතාව අහලා නෑ.. වෙදමහත්තයෙක්ගෙන් අහලම බලන්ඩ ඕන.

    මින් විසිතුරු :
    පිලිතුරු කමෙන්ටුවට ස්තූතියි මින් විසිතුරු !
    දිගටම මේ පැත්තේ එන්න.

    sandunsevana.blogspot.com :
    කාලා බලන්ඩ... සමහරවිට තිත්තක් නැතුව ඇති.. එදා කෑවට පස්සේ නං මට තිත්තයි කියලා හිතුනා.

    තුශානි :
    හොඳයි තුශානි. හදලා කාලම බලමු !

    S. L. මැලේ රාළ :
    හා..ගිහින් එන්න !

    Damith Gunawardane :
    හ්ම්.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් !

    Chathuranga Priyashad :
    අඟුණකොළ වලට මාත් සෑහෙන ආසයි !

    නදී :
    ඔයාලෑ දුවලා දෙන්නා කන්න ආස එහෙමද ? අපේ අම්මට කියලා ඒ ක්‍රමේට හදවගෙන බලන්න ඕන. ඒ උනාට අපේ අම්මා නං කැමතිම නෑ අගුණකොළ මලවනවට :(

    ReplyDelete
  30. Anonymous :
    කමෙන්ටුවට බොහොම ස්තූතියි !

    සිරාගෙ කාමරේ :
    ඔවු වතුර වැඩියෙන් බොන්න ඕන.. එතකොට හොඳට මුත්‍රා පෙරෙනවා !
    ඉස්සර නුවර ඉන්න කාලෙදි නම් ඔහොම්මමයි.. සීතලට වතුර බොනවා චූ කරලා ඉවරයක් නෑ.. :)

    Maneka :
    අපේ අම්මා නං ගොටුකොළ උයන්න දෙන්නේ නෑ.. ගුණේ අඩු වෙනවා කියලා. ඔන්න මැල්ලුං කෑවහම ඇස් හොඳට පේනවලු. ඒ නිසා මනේත් හොඳට මැල්ලුම් කන්න.

    සමී :
    අපොයි ඔවු.. අපේ තාත්තා වෙලකින් කඩාගෙන ඇවිත් දවස් දෙක තුනක්ම කෑවා.. තෙබු වගේම ගෙද කියලා ජාතියකුත් තියෙනවා.

    Dinesh :
    අන්න මැල්ලුම් වල අගේ දන්න කෙනෙක්.. හිහ් :)
    මදාරාව බැන්ද කාලෙක හොඳට මැල්ලුම් කෑවෑකි එහෙනම්

    සයුරි :
    ඕ... සම්බෝල ගැන තමා.

    ධාරා :
    ඌෂ්ණෙට කට පැලෙන එකට කියාපුම කෑම තමා කතුරුමුරුංගා. :)


    SilentSahan :
    තෙබු ගැන මතක් කරන්න එපා. අපේ තාත්තා වෙලකින් කඩාගෙන ඇවිත් උයලා දුන්නා. හරි අමාරුවෙන් කෑවේ :(

    ReplyDelete
  31. අගුණ කොළ වලට මමත් ආසයි.. ඇයි තෙබු රසයි නේ? සම්බෝල හදලා...

    ReplyDelete
  32. අගුණ කොළ මැල්ලුම අපේ ආච්චි මට හදල දෙනවා ලංකාවට ගියාම. මෙහෙදිනම් මොන අගුණ කොලද?

    ReplyDelete
  33. ඇයි ලංකාවෙන් අපනයනය කරනව නේද හැම දෙයක්ම

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.