25 October 2011

කොළඹට සේන්දු වීම

මේ සතියේ ඉදලා මට වැඩ පටන් ගත්ත නිසා උදෙම්ම ඇහැරිලා කොළඹ දුවන්න වෙනවා. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා ආයේ ගෙදර දුවනවා.ඉස්සරහට සතියේ දවස් පහම ගෙවන්න වෙන්නේ ඔහොමයි. අපේ ගෙදර ඉදලා මම් වැඩ කරන තැනට යන්න අඩුම තරමේ පෑ දෙකක්වත් යනවා.

ඒ දුර නිසාම නෙමෙයි මගින් මගට වාහන තදබදේට අහුවෙලා කාලේ නාස්ති වෙන හන්දා. ( දුරත් නැත්තෙම නෑ.) වාහන තද බදය නිසා වෙලාවකට සංසාරේ එපා වෙනවා.

රස්සාව පටන් අරන් දවස් දෙක තුනක් උනාට බස් එකෙන් බහින තැන් එහෙම තාම මීටර් නෑ. එක්කෝ මම් බහින තැනට හෝල්ට් දෙකක් කලින් බැහැගන්නවා. එක්කෝ හෝල්ට් එක පහුවෙලා බහිනවා.ඒ කොයික වෙතත් අන්තිමේ වෙන්නේ සෑහෙන දුරක් පයින් යන්න වෙන එක.

අද බස් එකේ එනකොට මට හිතුනේ අපේ ෆැකල්ටියෙන් අවුට් වෙච්ච බැච් එකම වගේ රස්සාවල් වලට කොළඹ එනවා. සමහරු අනුරාධපුර පොලොන්නරු වගේ පිට පලාත් වලින් කැම්පස් ආපු අය. මේ අය කොළඹ රස්සාවල් කරනවනම් අනිවා බෝඩ් වෙන්න සිද්ද වෙනවා.

ඔය වගේ තව තව කැම්පස් වලින් රස්සා කරන්න කොළඹ එනවා. ඒ අයටත් සිද්ද වෙන්නේ බෝඩින් ජීවිත ගත කරන්න.එහෙම බලාගෙන ගියාම කැම්පස් වලින්ම විතරක් අවුරුද්දකට දහදාහක විතර සෙට් එකක් කොළඹ එනවා.

කැම්පස් එකෙත් අවුරුදු හතරක් කට්ට කාලා රස්සාව කරනකොට කොළඹ බෝඩ් වෙලා ඒ කට්ටම ආයේ පාරක් කන්න වෙනවා. බෝඩින් ජීවිත කියන්නේ ආයේ සුර සැප විඳිමක් ඈ.

එහෙම එන එවුන් ටික කාලයක් යනකොට කසාද බැඳලා කොළඹ අවටින් ගෙයක් අරන් ජීවත් වෙනවා. එතකොට වෙන්නේ සදාකාලිකව කොළඹ ජීවත් වෙන්න වෙන එක. ඔහොම බලාගෙන ගියාම අවුරුදු 10ක් විතර යනකොට කොළඹ ඇඟිල්ලක්වත් ගහන්න ඉඩක් නැති වෙයි. මං හිතන්නේ දැනටත් එහෙම තමා.

මේ කෝක උනත් අන්තිමේදි වෙන්නේ තමන් උපන් ගමෙන්, අම්මා අප්පච්චිලාගෙන් දුරස් වෙන්න සිද්ද වෙන එක. !! ඒ විතරක් යෑ තමන්ගේ දෙමවුපියන් බලන්න ගමේ යන්න වෙන්නෙත් මාසෙකට හමාරකට එක දවසක්. දෙමවුපියෝ දෙන්නා නැති වෙච්ච දාකට ඒ දුරස් බව තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නැති වෙයි.

මොනා කරන්නද ජීවිතේ හැටි තමා !!!!

23 October 2011

නැටුම

රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපිය කියෙව්වම මටත් රැග් කාලේ පොඩි කතාවක් මතක් උනා. ගොඩක් කට්ටිය මේ දවස්වල රැග් කතා ලියන නිසා මාත් ඔන්න ඔහේ එකක් ලියනවා.

ගොඩක් වෙලාවට අපට රැග් එක සෙට් වෙන්නේ හොස්ටල් එකේ කාමර වල. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් ඉන්න නිසා රැග් දෙන්නත් ලේසියි.

මේක නැටුමක් !!!! ආහ් නෑ... නැටුම් වර්ග තුනක් !!!

පලවෙනි එක තමයි පොල් ටැප් ඩාන්ස් එක !!

ගොඩක් වෙලාවට මේ නැටුම පාවිච්චි වෙන්නේ DJ වලට එහෙම. මොකද මේක පොෂ් නැටුමක් !!

මෙහෙමයි ඒක කරන්නේ.අපේ වම් අත ටිකක් උස්සනවා. වැලමිට හරියෙන් ඉස්සුවාම හරි. ඊට පස්සේ ඒ අතින් පොල් වල්ලක පොල් ගෙඩියක් කරකවලා කඩනවා වගේ අත මැණික් කටුව හරියෙන් කරකවනවා.

දැන් දෙවෙනි ස්ටෙප් එක.දකුණු අත පහලට දාලා අපේ ඉන ගාවට උස ටැප් එකක් අරිනවා (හෝ වහනවා) වගේ දකුණු අතේ මැණික් කටුව හරියෙන් අත කරකවනවා.

දැන් අන්තිම ස්ටෙප් එක !!! බිම දාපු සිගරට් කොටයක් තමන්ගේ වම් කකුලෙන් පාගනවා වගේ කකුළේ මැනික් කටුව හරියෙන් පොඩ්ඩක් කරකව කරකවා පාගන්න ඕනා !!! ඔන්න ඔය ස්ටෙප් තුනම එකපාර කලාම තමයි පොල් ටැප් ඩාන්ස් එක හරියට කෙරෙන්නේ. ස්ටෙප් තුනයි !!! වැඩේ හරි ලේසියි !!!

පොල් ටැප් නැටුම කියලා කියන්නේ පොල් ගෙඩියක් කඩන විදිහයි ටැප් එකක් වහන විදිහයි නිරූපණය කරන නිසා.

දෙවෙනි නැටුම තමා සවල් නැටුම !!!

මේක කරන්නේ මෙහෙමයි. තමන්ගේ ඉස්සරහා ලොකු වැලි ගොඩක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. ඊට පස්සේ තමන්ගේ අතේ සවලකුත් තියෙනවා කියලා හිතලා ඒ සවලෙන් වැලි ටික ටික අරගෙන තමන්ගේ උරහිස්සට උඩින් විසි කරන්න ඕනා. තේරුනාද වැඩේ ???

එහෙනම් අන්තිම නැටුම !!! මේක තමයි ඔරු නැටුම !!!

මේක කරන්න පුලුවන් සරමක් ඇඳගෙන ඉන්නකොට විතරයි. සරමේ පහල කෙලවර අත් දෙකෙන් අල්ලගෙන බෝට්ටුවක් විදිහට එක අතක් තමන්ගේ ඉස්සරහට වෙන්නත් අනිත් අත පිටිපස්සට වෙන්නත් සරම අල්ලගන්න ඕනා. දැන් බෝට්ටුව යන විදිහට සරම පද්ද පද්ද නටන්න ඕනා.
(පහල රූපය බලන්න)


යන්තන් නෙට් එක පීරලා එකම එක පින්තූරයක් හොයාගත්තා. මේ නැටුම ගවුම් ඇඳගෙනත් කරන්න පුලුවන් ඇති. බලාගෙන ගියාම මේවා ජන නැටුම් නේ. හික්ස් :)

------------------------------------------------------------------
ප.ලි.- රූ සිරිනි අක්කගේ බ්ලොග් එක කියවන්න යනවා නම් මෙන්න පාර. මෙතනින් ගිහින් කියවන්න. ගොඩක් වටින බ්ලොග් එකක් !!!

21 October 2011

මගේ වේදිකාගමනය

එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටීචරුත් එක්ක ටික වෙලාවක් කතා කළා. ඊට පස්සේ අපේ පැත්තට හැරිලා අපේ මූනූ දිහා බලාගෙන බලාගෙන ගියා.

එහෙම ටික වෙලාවක් අපේ දිහා බලන් ඉදලා එකපාරට මාවත් එක්කම තව දහ දෙනෙක් විතර තෝරගත්තා. මොකටද කියලා කිව්වේ නෑ. අපිව එක්කන් ලොකු ඉස්කෝලේ (මහ විදුහල් අංශය) සංගීත කාමරේට එක්කන් ගියා.

"පුතාලා අපි ඕගොල්ලන්ව නාට්ටියක චරිත වගයකට ගත්තා. ඔයාලට තියෙන්නේ මේ අක්කලා අයියා කියන විදිහට වැඩ කරන්න !!!" කියලා අපිව එක්කන් ආපු ටීචර් කෙනෙක් කීවා.

ඒ නාට්ටිය කෑලෑවක කතාවක් !!! නම නම් මතක නෑ.

අපි කට්ටියව ගොඩවල් වලට වෙන් කලා. එක කට්ටියක් හාවොයි තව කට්ටියක් මුවොයි උනා. මාත් එක්ක හිටපු කට්ටිය කුරුල්ලෝ !!!!

ඔන්න එදා ඉදන් නාට්ටියේ පුරුදු වීම්. අපිට දෙබස් එහෙම මුකුත් නෑ. මට තිබ්බේ ජවනිකාව ඉවර වෙනකන් තටු ගහන්න. මොකද මම් කුරුල්ලෙක් නේ... ආහ් ... නෑ පුංචිම පුංචි කුරුළු පැටියෙක් !!!. මාත් පන යනකන් තටු ගැහැවුවා.

දවස් දෙකක් තුනක් ඔහොම පුරුදු වීම් යන අතරේ අපිව පුහුණු කරපු ටීචර්ලා අපි දිහා ඈත ඉදන් බලාගෙන හිටියා. එක දවසක් ඔහොම තටු ගගහා ඉන්නකොට එක ටීචර් කෙනෙක් මට තටු ගහන එක නවත්තන්න කියලා පැන පැන හිටපු හාවෙකුවත් නැවැත්තුවා !!!

"ඔය පුතා අද ඉදන් හාවා වෙන්න. මේ පුතා අද ඉදන් කුරුල්ලා වෙන්න" එහෙම කියලා ඒ ටීචර් අපේ චරිත දෙක මාරු කලා.අපේ අම්මා නම් කිව්වේ මම් තටු ගැහැවුවා කැතයි කියලා ටීචර් මාරු කලා කියලා.

කුරුල්ලා වගේ නෙමෙයි හාවා වගේ පනින එක මාරම අමාරුයි. අත් දෙක කන්දෙක වගේ තියාන හොද හුස්මක් අරන් එකපාට්ට පනින්න ඕනා. හාවෙක් වෙලා ටික දවසක් පුහුණුවීම් කරලා පස්සේ අපේ අම්මට කියලා තිබ්බා හා ඇඳුමක් මහන්නෙයි කියලා.

අපේ බාප්පා හා ඇඳුම මහලා ඉවර කලා. ඒ උනාට හාවා කියන්නේ සුදු පුළුන් වගේ බූල් තියෙන සතෙක් නෙව. ඒ නිසා බූල් අලවන්න ඕනා. ඒකට අපේ අප්පච්චි රෑ එළි වෙනකන් බයින්ඩර් ගගා බූල් අලවනවා.

"ඒයි !!! අපේ ලොකු එකා හාවෙක් උනාට වඩා හොදයි කුරුල්ලෙක් උනා නම් !!! එතකොට මේ වදවල් කරන්න ඕනේ නෑ නේ !!!"

අපේ අප්පච්චි බැරිම තැන එහෙමත් කියලා තියෙනවාලූ. අම්මා කියනකන් ඒ වගක් මම් දන්නේ නෑ. උදේ ඇහැරිලා බලනකොට බූල් ගොඩක් තියෙන හා ඇඳුමක්. ලස්සනේ බෑ...

කොහොමහරි එදා මම් නාට්ටියේ අපේ ජවනිකාව ඉවර වෙනකන් හාවෝ පැන්නා. ඔන්න ඕක තමයි මගේ ජීවිතේ මම වේදිකාවක ඉදිරිපත් කරපු එකම එක ඉදිරිපත් කිරීම.එතනින් එහාට ඉදලා හිටලා තෑග්ගක් ගන්න එක ඇරුනම ස්ටේජ් එකකට නැඟලා නෑ.

18 October 2011

චූටි කවි

අපේ ගෙදර මල් වත්තේ
මල් පිපිලා හැම පැත්තේ
සමන් පිච්ච මල් අත්තේ
පුංචි කැදැල්ලක් ඇත්තේ

කුරුළු ගීත නද අතරේ
පැටවුන් දෙදෙනෙකි මිතුරේ
මාපිය දෙදෙනගේ අදරේ
පැටවුන් හිත් තුල පැතිරේ

දින සති කල් ගත වූවා
පැටවුන් නිති කල් යැවුවා
කිචි බිචි හඬ නැති වූවා
පැටවුන් නැති බව දුටුවා

කැලයෙහි පලවැල නෙලනා
කුරුළු මව යි පිය දෙදෙනා
පැටවුන් නැති දුක් සොවිනා
නෙතඟින් කඳුලැලි වැටුනා

ගහ මුල පොඩි පිහාටුවයි
කුරුළු මවගේ නෙත ගැටුනයි
කුරුළු ලොවේ දුක් සුසුමයි
පුංචි අපේ හිත් රිදුනයි

----------------------------------------------------------------------
ප.ලි. - අපේ නංගිලෑ සිංහල පාඩමකට ගායනා කරන්න පුලුවන් කවි ටිකක් ලියාන එන්න කියලා තිබුනා. අමාරුවෙන් කවි ටිකක් ලියා දුන්නා. මේ කවි ටික මොන තාලෙකට ගායනා කලාද කියලා නම් දන්නේ නෑ. :)

කවි ලියන්න මම් අළුත්. ගිම්හානි අක්කා නිසයි කවි ලියන්න ගත්තේ. මේ කවි වල අඩුපාඩු තියෙනවනම් කියන්න.

16 October 2011

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ?

"ඇයි අම්මා අඬන්නේ ?" කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම් ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා.

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම් ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම් ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදරය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.

----------------------------------------------------------------------
ප.ලි. - මේකත් මට මේල් එකකින් ආපු සංකල්පනාවක්.

ප.ප.ලි - මේවා කියලා ගෑනු උඩ යයි ද මන්දා !!!!