17 April 2019

කුඩා අරුග්ගොඩ

මා කුඩා කළ හැදී වැඩුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ  වත්තලට නුදුරු එඩේරමුල්ල නම් ගම් පියසේ ය.පාසල් ගියේ ද එඩේරමුල්ල ශා. සෙබස්තියන් විද්‍යාලය ට ය. එසේම එදිනෙදා ඕනෑ එපාකම් වලට ආවේද එඩේරමුල්ල ට ය.

එහෙත් මා විරාශා හා සමග විවහා වූවාට පසුව මා උපන් දා සිටම ජීවත් වූ පරිසරයෙන් ඈත් වී කැළණි ගඟත් පැන බොල්ගොඩ ගඟින් එහා පැත්තේ වූ පානදුරේ නම් වූ නගරයට ඒමට සිදු විය. ඒ අප දෙදෙනා මිළදී ගත් ඉඩම පිහිටියේ පානදුරේ වූ නිසා ය.

ඇඟේ උපන් ගම මොරටුව ය.

මේ නිසාම ඈ අප මිලදී ගත යුතු ඉඩම තේරුවේ මොරටුවට ආසන්නවම ය. පානදුර නගරයේ සිට මොරටුවට කිලෝමීටර 6-7ක් වූවත් මා ඉපදුන ගමේ සිට පානදුරට කිලොමීටර් 40ක් පමණ තිබේ.

මේ නිසාම මා පානදුරට ඒම ගැන මගේ දෙමාපියන් එතරම් හිත හොඳකින් සිටියේ නැත. අපේ දෙමව්පියන්ට යන්න එන්න ලෙහෙසි පැත්තකින් ඉඩම ගත්තේ නැති නිසා මුලදි ඔවුන් මා හා උරණ වී සිටියෝ ය. එහෙත් කල් ගත වනවිට ඒ හිත් අමනාපකම් සියල්ලම කාළයේ වැලිතලාවට යට වී අකාමකා වී ගියෙ ය. මේ නිසාම ඔවුන් නිතර පානදුරේට එන්නට ද කැමති විය.

මා පානදුරේ යැයි කීවත් මා ඉඩම ගත්තේ පානදුරේ සිට හොරණ පාරේ කිලෝමීටර් 5ක් ගිය තැන හමුවන කුරුස හන්දියෙන් හැරී එතැනිනුත් ඉලෝමීටර් 2ක් පමණ ගියතැන හමුවන කුඩා අරුග්ගොඩ නම් ගමෙන් ය.

තවමත් අතීත ගමක තිබෙන ග්‍රාම්‍යය ලක්ෂන නොමැකී ඇති එහෙත් කෙමෙන් කෙමෙන් නාගරීකකරණයට හසුවන ගමකි, කුඩා අරුග්ගොඩ.

කුඩා අරුග්ගොඩ පරිසරය නිශ්කලංක ය. නිහඩ ය. ගමේ මිනිසුන් ද අහිංසක ය. අනුන්ගේ දේවල් සෙවීමට එතරම් කැමති අය නොවේ. එසේම ගමේ හොර හතුරන්ගෙන් සිදුවන හානි ය අවම ය.

මේ නිසාම මට මිලදී ජීවත් වූ එඩේරමුල්ලට වඩා කුඩා අරුග්ගොඩට ආසාවක් ඇති විය. ඒ ආසාව ඇතිවීමට මා සැදූ නිවසත් බලපෑමක් ඇති කළ බව මා කිව යුතු ය.

කුඩා අරුග්ගොඩ හා මහ අරුග්ගොඩ නමින් ගමේ නම කොටස් දෙකකට වෙන් වේ. මීට අමතරව කුඩා අරුග්ගොඩ ගම තුල දංකැටියවත්ත, මහගෙදරවත්ත හා කුරුන්ද නම් වූ කුඩා ගම් කිහිපයක් ඇත.

කුඩා අරුග්ගොඩ ගමේ පන්සලක් වෙයි. එය මහේන්ද්‍රාරාමය වේ. එසේම පානදුර මීසමට අයත් ජපමාල මාතා දේවස්ථානයද මේ ගමෙහිම පිහිටා ඇත.

මීට අමතරව කුඩා අරුග්ගොඩටත් මහ අරුග්ගොඩටත් මිණි පහණක් වූ දැයේ දරුවන්ගේ නැණස පාදන ශ්‍රී පරාක්‍රම මහ විද්‍යාලය පිහිටා ඇත. ගමේ නම අරුක්ගොඩ වීම සදහා ගම කෙලවරින් ගලන බොල්ගොඩ ගඟ හා එහි වූ රුක්ගහ තොටුපොළ හේතු වන්නට ඇත.

එකල රුක්ගස් ගොඩක් මේ ප්‍රදේශයේ පිහිටන්නට ඇති. මේ නිසාම රුක් ගස් ගොඩක් පිහිටි ප්‍රදේශය රුක්ගොඩ වී පසු කලෙක කටවහරේ යෙදෙන විට අරුක්ගොඩ වී දැන් තිබෙන අරුග්ගොඩ නාමය වනතෙක් විකාශනය වන්නට ඇත.

කුඩා අරුග්ගොඩ ජීවත් වන අපට එදිනෙදා ගමන් බිමන් යාමට බසයක් වෙයි එය පානදුරේ සිට රුක්ගහ තොටුපොළ වෙත දිවෙන මාර්ග අංක 452 නම් වන රුක්ගහ-පානදුර බසය වේ. උදෑසන පහ මාරට රුක්ගහ තොටුපොළෙන්  පටන් ගන්නා පළමු බස් ධාවනයේ සිට රෑ අට ට පානදුරෙන් පිටත්වන අන්තීම බසය තෙක් විනාඩුතිහකට හෝ හතලිස් පහකට වරක් බසයක් ගමන් ගනී.

මේඅවතරව කොප්පල සිට එන පානදුර-කොප්පල ලංගම බසය ද කුඩා අරුග්ගොඩ මිනිසුන්ගේ එදිනෙදා ගමන් බිමන් අවශ්‍යතා පිරිමසයි.

කුඩා අරුග්ගොඩ ජනතාව තම ඕනෑ එපාකම් පිරිමහ ගන්නේ කුරුස හන්දියෙනි. කුරුස හන්දියේ බැංකු කිහිපයක් වෙයි. මෙයට අමතරව සතොසක් හා සති පොළක් වෙයි. සති පොළ සෙනසුරාදා හවස පැවත් වේ. පොළෙන් එළවලු හා මාළු මිලදී ගන්නා ගැමියන් සතොසින් හාල් හා සීනි තේකොළ යනාදිය මිළදී ගනී. මේ දෙජාතියම මිළදී ගන්නා අයවළුන් රුක්ගහ තොටුපොළ පාරට වී රුක්ගහ බසය එනකන් කල් මරති.

රුක්ගහ බසය ආ කල ඒට ගොඩවී නිවස කරා ගමන් කරයි. එහෙමත් අයෙක් කුරුස හන්දියේ සිට ත්‍රී රෝද රථයක නැගී නිවස බලා ගමන් ගත්ත ද බොහෝ ගැමියන් දුප්පතුන් වූ බැවින් ඔවුන් බසයෙන් ගමන් කිරීමට පෙලබේ.

මේ ගම තුල දේවාල කිහිපයක් පිහිටා ඇත මෙයින් ප්‍රසිද්ධම දේවාලය මහගෙදරවත්ත මූලස්ථම්භ පත්තිනි දේවාලය වේ. මෙයට අමතරව කුඩා ප්‍රමාණයේ දේවාල කිහිපයක් වෙයි.

ගැමියන් තවමත් අණ විණ කොඩිවිණ හා තොවිල් පවිල් යනාදී යාග හෝම ගැන විශ්වාස කරන නිසාම බොහෝ දිනවල තුම්මං හන්දි වල මල් බුලත් තටු හා පෙරේත තටු දකින්නට පුලුවන.

ගමේ මිනිසෙකුට ලෙඩක් දුකක් හැදුන කලෙක බෙහෙත් ගැනීමට දොස්තර මහතෙක් සිටී. ඔහුගේ ඩිස්පැන්සරියේ කටයුතු කෙරෙන්නේ සවස් කාළයේ බැවින් බොහෝ සෙනගක් ඩිස්පැන්සරියට එයි. මෙයට අමතරව බෙහෙත් ගැනීම සදහා ගැමියන් පානදුර මූලික රෝහලට හෝ බණ්ඩාරගම දිසා රෝහලට යාමට පුරුදු වී සිටියි.

ගමේ සියළුම දෙනා පාහේ සිංහලයින් ය. ආගම් වශයෙන් වැඩි ප්‍රමාණයක් බෞද්ධයින් හා සුළු ප්‍රමාණයක් කතෝලිකයින් සිටියි. ඔවුන් සියළුම දෙනා සුහදතාවයෙන් හා එකිනෙකාට උදව් පදව් කරගෙන සතුටින් ජීවත් වෙයි.

මා ඉහත සදහන් කළේ ගමට ආ දා පටන් මා ඇසූ දුටූ සියල්ල ය. තව තවත් දේ කීමට ඇතත් මේ එයට කාළය නොවේ. 

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්.

උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.

ඒක සෙල්ලිපියක්.

මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ දියගම කියන ගමේ.

මම ගෙදරින් පිටත්වෙලා,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ > කෙසෙල්හේනාව > දොඹගොඩ > ගල්පාත > දියගම

පාර ඔස්සේ දියගමට ආවා.

15 April 2019

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.

දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.

අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.

මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි.

14 April 2019

සුබ නව වසරක් වේවා

අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2.09ට. ඒ කියන්නේ හවස 2.09ට.


එහෙනම් හැමෝටම ලබන්නාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සහජීවනය පිරි සුබ නව වසරක් වේවා !!

13 April 2019

පාළම් පාරුව අද නැත

හෙට සිංහල හින්දු අළුත් අවුරුදු දා ය.

ඒ නිසා බොහෝ නිවෙස්වල පිරිමින් ගෙවල් දොරවල් අස් පස් කිරීමේ ද ගැහැණුන් කැවිලි පෙවිලි සකස් කිරීමේ කටයුතු වලද නියැලී සිටිති. මා ජීවත් වන දෙල්ගහවත්තට ද අවුරුදු සරු ය. ළමා ලපටින් කෙළිදෙලෙන් ප්‍රීති වන කෑකෝ ගැසීම් හා සිනා හඩ ද විටින් විට මා සවනත වැකෙයි.

තවත් විටෙක කොහේ හෝ ගෙයක කුස්සියක ඉදෙන කැවුමක රස නහර පිනා යන සුවඳින් මා කුසගිනි අවුලවයි. මාත් මා ආදරණීය බිරින්දෑත් උපන් කතෝලිකයින් වූ නිසා ම සිංහල වුවත් අවුරුදු සමරන්නේ නැත. විටෙක අප උපන් සිංහලයින් වූවත් අනෙක් සිංහලයින් හා සමානවම අවුරුදු සමරන්නේ නැත්තේ ඇයි දැයි මගෙන්ම අසා ගනිමි.

එය මට ම උත්තර නැති ප්‍රශ්නයකි.කුඩා කළ මා අම්මාගෙන් මේ බව ඇසූ විට අම්මාගේ පිළිතුර වූයේ,

"අපි ඉතින් නත්තල් සමරනවනේ පුතේ" යන්නයි.

ඒ පිළිතුර මා ඉස් මුදුනින් ම පිළිගෙන සිටියා මිසක මා එතැනින් එහාට ප්‍රශ්න ඇසීමට නොගියෙමි. මේ නිසාම තවමත් ප්‍රශ්නය එලෙසම පවතී.

අවුරුදු සමරන්නේ නැති වුවත් මා උදේ සිටන ම ගෙවල් දොරවල් අස්පස් කිරිමේ කටයුතු වල නියැළී සිටියෙමි.