04 November 2014

ලක්ෂ දෙකක හිට්ස්

ඊයේ සම්මුඛ පරීක්ෂණය ගැන පෝස්ටුව දාලා අද උදෙම්ම බ්ලොගයට ගොඩ උනේ කමෙන්ට් ටික කියවන්ඩ. එතකොටම තමයි දැක්කේ මගේ බ්ලොගයේ හිට්ස් ගාන ලක්ෂ 2කට පොඩ්ඩක් වැඩි වෙලයි කියලා.

මේ හිට් ලක්ශ දෙක ගන්න මට අවුරුදු හතරාමාරක් විතර බ්ලොග් එක කරගෙන යන්න සිද්ධ උනා. මේ වෙනකොට එක එක වර්ගයේ ලිපි 388ක් විතර ලියන්ඩ සිද්ධ උනා.

කොහොම උනත් බ්ලොග් අඩවියේ හිට්ස් ගාන වැඩි වෙලා නෙව. ඒක සෑහෙන සතුටක්. ඒ හිට් ගාන වැඩි කරගන්ඩ මම ලියන එවුවා අමාරුවෙන් හරි කියවන පාඨකයින්ට නොසෑහෙන්ඩ ස්තූතියි.

මොකෝ ඉතින් ඒ අය නැත්නම් මේ තරම් හිට් ගානක් ලේසියකට ගන්ඩ පුලුවන් කියලා යෑ.. ඒ වගේම තමා මගේ බ්ලොගය පස්සෙන් පන්නන අය 551ක් වෙලා තියෙනවා.

ඒ වගේම තම පුලු පුලුවන් විදිහට අහන්න දකින්න කියවන්න ලැබෙන දේවල් දිගටම ලියන්ඩ තමා මගේ බලාපොරොත්තුව.

එහෙනං සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතියි.

කවදාහරි මතක් වෙන්ඩ කියලා ලක්ශ දෙකේ හිට් කවුන්ටරේ පොඩි පින්තූර කෑල්ලකුත් පහලින් එල්ලනවා.


එහෙනං මං ගියාවේ... අද පල කරන්ඩ කියලා හිතාගෙන ලිය ලියා හිටපු ලිපිය හෙට හරි අනිද්දා හරි දාන්නම්.
සියලු දෙනාට ජය වේවා !

03 November 2014

දත් බුරුසුව සහ සම්මුඛ පරීක්ෂණය

හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා අද බ්ලොග් අඩවිය පැත්තේ ආවා. පහුගිය ටිකේ වැඩ කටයුතු නිසා ලිපි ලිවීම අතපසු වෙලා තිබුනේ. ඒකටත්තෙක්ක අද ලියන්ඩ බැරි යෑ.. :)

මීට සති කීපයකට කලින් සෙනසුරාදා දවසක මායි අපේ උන්දැයි නුගේගොඩ ටවුමට ආවා. ඒ ආවේ අපේ උන්දැට ඉස්කෝලෙක ගුරු පත්වීමකට තිබ්බ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්ඩ.

ඒ ඉස්කෝලේ පුද්ගලික අංශයට අයිති ඉස්කෝලයක්. අපේ උන්දෑ ඉල්ලලා තිබුනේ ඉංග්‍රීසි ගුරු තනතුර. ඒකේ සම්මුඛ පරීක්ෂණය තමා එදා තිබුනේ.

මායි අපේ උන්දැයි එන්ඩ කියලා තිබුන වෙලාවටම ඉස්කෝලේ ගාවට ගියා. අපි දෙන්නා ඉස්කෝලේ පිලිගැනීමේ අංශයේ තිබුනු පුටුවල වාඩි වෙලා අපේ වෙලාව එනකන් උන්නා.

අපේ එක්කෙනාගේ වාරේ ආවහම එයා නැගිටලා ගිහින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා.පිලිගැනීමේ අංශයේ පුටුවල වාඩි වෙලා ඉන්න කෙනෙක්ට සම්මුඛ පරීක්ෂණයේ අහන ප්‍රශ්න සේරම ලාවට ලාවට වාගේ ඇහෙනවා. ඒ තරමටම පිලිගැනීමේ අංශයට ලඟ තැනකයි සම්මුඛ පරීක්ෂණය සිදු කෙරුනේ. මමත් කන ටියුන් කරගෙන උන්නා මොනවද ඒ සම්මුඛ පරීක්ෂණයේ අහන්නේ  කියලා දැනගන්ඩ.

ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ එක එක ප්‍රශ්න ඇහුවා. ඒ අතරේ මගේ හිතේ රැදිච්ච එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ තමා,

ඉංග්‍රීසි භාෂාවෙන්  දතට කියන්නේ 'ටූත්' (tooth) කියලා.දත් වලට කියන්නේ 'ටීත්' (teeth) කියලා. නමුත් දත් ගොඩක් මදින දත් බුරුසුවට ඉංග්‍රීසියෙන් කියන්නේ 'ටූත්බ්‍රෂ්' (tooth brush) කියලා. ඉංග්‍රීසියෙන් දත් බුරුසුවට ටීත් බ්‍රශ් නොකියා ටූත් බ්‍රශ් කියන එකට හේතුව මොකද්ද කියලයි සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු කෙනා ඇහුවේ.

අපේ උන්දැට මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ගැට ගහගන්ඩ බැරි වෙලා තිබුනා. බොරු කියන්ඩ ඕන යෑ මම නම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දන්නේ නෑ.. අපි දෙන්නම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු එකාට බැන බැන බස් එකේ ගෙදර ආවා.

පස්සේ ගෙදර ඇවිත් අන්තර්ජාලය පීරනකොට යාන්තන් සරල උත්තරයක් හම්බ උනා.  මේ සංසිද්ධියට හේතු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන සංයුක්ත නාම පද ලූ (Compound Noun). සංයුක්ත නාම පද කියන්නේ නාම පද දෙකක් එකතුවෙලා හැදෙන තනි නාම පදේකට.

එහෙම නාම පද දෙකක් එකතු වෙලා හැදෙන තනි නාම පදයක මුල් නාම පදය ඒක වචනයෙන් (singular) තියන්න ඕන ලූ. ඒ තනි වචනයෙන් තියන නාම පදය නාම විශේෂණයක් බවට පත් වෙනවාලූ.

උදාහරණෙකට

tooth brush යන සංයුක්ත නාම පදයේ tooth කියන්නේ නාම විශේෂණයලූ. ඒ නිසා ඒ පදය ඒක වචන වෙන්න ඕන ලූ. ඔය වගේමයි බිත්තර ගොඩක් අසුරන බිත්තර පෙට්ටියකට ඉංග්‍රීසියෙන් කියන්නේ egg carton කියලා. මේ වචනයේ egg කියන්නේ නාම විශේෂණය ලූ. ඒ නිසා ඒක වචන වෙන්ඩ ඕන ලූ.

ඔය නීතිය නිසා දත් බුරුසුවට ටීත්බ්‍රශ් (teeth brush) කියලාත් බිත්තර පෙට්ටියට එග්ස් කාර්ටන් (Eggs carton) කියලාත් උච්ඡාරණය කරන්ඩ බෑ....

අපේ උන්දැගේ සම්මුඛ පරීක්ෂණයෙන් මාත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් තව දුරටත් මේ ප්‍රශ්නය බේරුමක් කරලා දෙන්ඩ..
  එහෙනං මං ගියාවේ.... !!!

18 October 2014

ජීවන ගමනේ තවත් එක් සංධිස්ථානයක්

අද දවස මගේ ජීවිතයේ වෙනසක් ඇති කරපු දවසක්. ඒකට මූලිකම හේතුව වෙන්නේ මගේ විවාහය සිද්ධ වෙන්නේ අද වීමයි.  මගේ විවාහය සිදු වෙන්නේ මොරටුව විල්ලෝරාවත්ත කාර්ලෝ බ්‍රෝමියෝ දේවස්ථානයේදි.

උදේ 8ට තමයි දේව මෙහෙය පැවැත්වෙන්නේ.

03 October 2014

පුංචි කාලේ අහපු ගීයක්

පහුගිය මාසේටම ලියන්න උනේ එකම එක ලිපියක් විතරයි. ඒ තරමටම අපේ ඔපීසියේ වැඩ තිබුනා. අලුත් පරිගණක භාෂාවක් ඉගෙන ගන්න සිද්ධ වෙච්ච නිසා ඒ කාලය ඉගෙනීමේ කටයුතු වලට වැය කරන්න සිද්ධ උනා.

දැන් ආයෙම පොඩි විවේකයක් ලැබුනා. ඒ නිසා මොනවා හරි බ්ලොග් එකේ කුරුටු ගාන්න ඕන කියලා මේ පැත්තට ගොඩ උනා.

ඒති ඉතිං ලියනවයි කිව්වට ලියන්නත් මොනවහරි දෙයක් තියෙන්න එපා ය. ඔහොම හිත හිත ඉන්නකොට තමයි ගොසිප් අඩවියක තිබා මෙන්න මේ ලිපිය දැක්කේ.

මතකද අපි පොඩි දවස්වල ගායනා කරපු මොනවද මුත්තේ මොකද අරන්නේ ගීය.... ? මුලින්ම ඒ ගීයේ පද ටික මතක් කරගෙන ඉමුකෝ.. මෙන්න එහෙනම් මේ ගීයේ පද මාලාව.



ළමයා - මොනවද මුත්තේ මොකද කරන්නේ
            මොකටද ඔබ ඔය බිම හාරන්නේ
සීයා - නුඹටත් ලමයෝ නොපෙනේ නොසිතමි
         අඹ ඇටයක් සිටුවන්නට හාරමි
ළමයා - දුකසේ සිටුවා අඹ ඇටයක් අද
           එක අඹයක්වත් කන්න ලැබේවිද
සීයා - මම ලමයෝ මින් අඹයක් නොපතමි
         යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
ළමයා - තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
            කරන්න හැකිදේ නොම තේරෙයි මට
සීයා - පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස
        හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස
ළමයා - පෙර උන් අය සිටවූ අඹගස් වල
           ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල
සීයා - අපෙන් පසුව එන අයටත් එම ඵල
         ලැබෙන්න සැලසුම අපගේ යුතුකම
ළමයා - ඒ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
           ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ඒ දවස්වල අපි හරි ආසාවෙන් ගායනා කලා මතක ඇති නේ. ඒ ගීයේ පද මාලාව හරිම සරලයි. ඒ වගේම ගායනා කරන්න්නත් ලේසිම තාලයක් තියෙන්නේ. ඒ වගේම මේ ගීය ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවන්ගේ ගේය පද රචනයක්.

පොලොව හාරමින් ඉන්න මුත්තව දකින්න මුනුපුරා මුත්තා ඉන්න දිහාවට යනවා. ගිහින් අහන්නේ මොනවද මුත්තේ මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒ දෙන්නා අතරේ ගලා යන සංවාදය තම මේ ගීයෙන් ඉදිරිපත් කෙරෙන්නේ.

මේ ගීය සරල උනාට ඒ ගීය තුලින් ඉදිරිපත් කරන අදහස සුලුපටු නෑ..

තමන්ට කවදාවත් මේ අඹ පැලයෙන් අඹ කන්න ලැබෙන්නේ නෑ කියලා හිතලා අඹ පැලය නොහිටවා උන්නා නම් කවදාවත් අනාගත පරපුරට අඹ ගහක් ලැබෙන්නේ නෑ.. නමුත් මුත්තා තමන්ට නොලැබුනත් අනාගතය බාර ගන්න එන කවුරු හරි මේ ගහෙන් ප්‍රයෝජන ගනියි කියලා හිතලා තමන්ගේ යුතුකම ඉටු කරනවා. මේ ගීයෙන් ඉදිරිපත් කරන අදහසත් මේකමයි.. තමන්ට නොලැබුනත් තමන්ගෙන් රටට විය යුතු යුතුකම් ඉටු කරන්න කියන පුංචි ඉල්ලීම මේ ගීය පුරාම තියෙනවා.

කාලෙකට පස්සේ මේ ගීයේ වචන ටික ඇහුවත් ඒ දවස්වල විඳපු රසයම තාම මේ ගීයේ ඉතුරු වෙලා තියෙනවා. යුතුකම් ගැන කියවෙන මේ අපූරු ගීය ඔයාලත් පොඩි දවස්වල අහලා ඇති...

එහෙනම් මම ගියාවේ. වෙලාව තියෙන හැටියකට ලියන්න කියවන්න එන්නම්. ජය වේවා !!

15 September 2014

උලමගේ රාත්‍රිය

මේ සැප්තැම්බර් මාසය... වෙනත් විදිහකට කියනවා නම් සාහිත්‍යය මාසයයි.

සාහිත්‍යය මාසය වෙලත් පොතක් ගැන ලිපියක් ලියවුනේ නැත්තං ඒක ලොකු අඩුවක් කියලා හිතුන නිසා අද ලිපිය පොත් වලට වෙන් කලා.පොත් කියලා බහු වචනයෙන් කිව්වට මම අද ලියන්න යන්නේ එක පොතක් ගැන.

පොත තමයි භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයාගේ උලමාගේ රාත්‍රිය. මේ පොත විතරක් නෙමේ එතුමා ලියපු අනිත් භීෂණ නව කතා ටික මම කාලයක් තිස්සේ හොය හොයා හිටියේ.

ඒ පොත් සෙට් එකෙම පිටපත් සේරම අලෙවි වෙලා අවසන් නිසා කොහෙන්වත් හොයාගන්න බැරි උනා. ඉතින් මම භද්‍රජි මහත්මයාට ඊ මේල් පණිවිඩයක් යවලා ඇහුවා මේ පොත් සෙට් එක ආයේ මුද්‍රණය කරන්නේ නැද්ද කියලා.

මගේ ඊමේල් පණිවුඩයට එතුමා ප්‍රතිචාර දක්වලාත් තිබුනා. ඒ ප්‍රතිචාරයේ තිබුනේ ඒ පොත් සෙට් එකම නැවත මුද්‍රණය කරන්ඩ අදහසක් තියෙනවාය. ඒත් ඒක ළඟදි කරන්න පුලුවන් වේද දන්නේ නෑයි කියලා. අයේ ඉතින් මොනා කරන්නද... කවදාහරි ඒ ටික හොයාගන්ඩ පුලුවන් වෙයි කියලා හිතාගෙන උන්නා.

භද්‍රජි මහින්ද ජයතිලක මහත්මයා ගැන යමක් කියනවා නම් එතුමා විවිධ ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා පෙන්නපු පුද්ගලයෙක්.. චිත්‍ර කළාව, සංගීතය වගේම ලේඛන කළාව වගේ විවිධ කුසලතා ගණනාවක් තියෙන පුද්ගලයෙක්. කොටින්ම රටට පහල වෙච්ච සම්පත්ධාරි පුද්ගලයෙක්.

භද්‍රජි මහත්මයාව මම මුලින්ම හදුනාගත්තේ ඉස්කෝලේ යන දවස්වල කියවපු බඹරවිලේ හොල්මන කියන පොතෙන්. ඒක එතුමා සදහන් කරන විදිහට භීෂණ නවකතාවක්. අපේ වචනයෙන් කියනවා නම් භය හිතෙන කතාවක්.

මේ කතාව ලියලා තියෙන රටාව නිසා එක හුස්මටම පොත ඉවර වෙනකන්ම කියවන්න හිතෙනවා. ඒ වගේම ලොකු කුතුහලයකින් කියවගෙන යන්න හිතෙන විදිහේ කතාවක්. මේ කතාව කියෙව්වට පස්සේ මට එතුමා ලියපු අනිත් භීෂණ නවකතා ටික හොයගෙන කියවන්න තරම් ආසාවක් ඇති උනා. ඒ නිසා මමයි අපේ මලයයි ඒ පොත් ටික හොය හොයාගෙන කියෙව්ව.

ඒ දවස්වල මේ පොත් ටික කියවපු ආසාවටම තමා මම මේ පොත් ගන්න තියෙන්නේ කොහෙන්ද කියලා හෙව්වේ.

ඕං ඒ ආසාව ආයේ ඉශ්ඨ වෙන ලකුණු පහල වෙලා තියෙන්නේ.

ඒ දවස්වල අපි ආසාවෙන් කියවපු භද්‍රජිගේ භීෂණ නවකතා සේරම ටික ආයේ මුද්‍රණය කරන්න අරගෙන තියෙන්නේ. ඒ ටික මුද්‍රණය කරන වගකීම බාරගෙන තියෙන්නේ චාමිකර ජයශංඛ කරුණාරත්න.

මේ වෙනකොට ඒ පොත් සෙට් එකෙන් උලමගේ රාත්‍රිය කියන පොත විතරයි මුද්‍රණය වෙලා තියෙන්නේ. අනිත් පොත් ටික ඊලඟ අවුරුද්දේ ජනවාරි වෙනකොට මුද්‍රණයෙන් එලි දකීවි. පහලින් තියෙන්නේ උලමගේ රාත්‍රිය නවකතාවේ අලුත්ම මුද්‍රණයේ පිටකවරය.

මම වගේ භද්‍රජි පාඨකයින්ට ඒක සතුටට කාරණයක් වේවි !

මෙදාපාර නිකුත් වෙච්ච උලමගේ රාත්‍රිය කියන පොත මම මෙදාපාර පොත් ප්‍රදර්ශනයේ නිම්සා ප්‍රකාශකයන්ගෙන් ගත්තා. ගෙදර ආපු ගමන්ම කියවන්න ගත්තේ ඒ පොත. පොත සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරලයි අනිත් පොත් දිහා බැලුවේ..

ඊලඟ ලිපියෙන් කියන්නම්කෝ මම ගත්තු පොත් මොනවද කියලා.