05 October 2017

අභ්‍යවකාශයේදී අපේ උස වැඩි වේද ?

මම කලින් පෝස්ට් එකකත් කියලා ඇති නේ ඩයරි ඔෆ් අ විම්පි කිඩ් කියලා පොත් සෙට් එකක් මම කියවලා තියෙනවා කියලා. මේ පොත් සෙට් එකේ රොඩ්‍රික් කියලා කොළු ගැටයෙක් ඉන්නවා. මේ කොල්ලා හරිම කම්මැලි කොල්ලෙක්.

මේකාට විද්‍යාව උගන්නන ගුරුවරයා ඇගයිමක් ලියන්ඩ කියලා දෙනවා. මූ ඇගයිමට තෝර ගන්නේ පොඩි පරීක්ෂණයක්. ඒ පරීක්ෂණය තමා අභ්‍යවකාශයේදී  මනුස්සයෙක්ගේ සාමාන්‍ය උසට වඩා උස ටිකක් වැඩි වෙනවයි කියන එක පරීක්ෂණාත්මකව ඔප්පු කරන එක.

මේකාට අභ්‍යවකාශයට යන්ඩ බැරි හින්දා මේකා කරන්නේ මාසයක් තිස්සේම ගෙයි සැටියක් උඩ නිදාගෙන ඉන්න එක. මේ ඇගයිම දෙන්නේ නිවාඩු මාසේ හින්දයි මේකාට මෙච්චර නිදාගන්ඩ ලැබෙන්නේ. නිදාගත්තහම මේකා හිතන්නේ ගුරුත්වාකර්ශණය බිංදුව වෙයි කියලා.


ඔය පල්ලෙහා පින්තූරේ නිදාගෙන ඉන්නේ රොඩ්‍රික් කියන කොල්ලා.

ඒ හින්දා මූ මාසය පුරාම නිදාගෙන ඉන්නවා. ඔන්න ඕකයි උගේ පරීක්ෂණය. !

ඇත්තටම අභ්‍යවකාශයේදී අපේ උස වැඩි වෙනවා ද ?

මේ පොත කියවපු මටත් මේක ප්‍රශ්නයක් වෙලා තිබ්බා. නාසා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් මේ පරීක්ෂණය කරලා තිබ්බා. ඇත්තටම අභ්‍යවකාශයේදී මිනිසෙකුගේ එහෙම නැත්නම් පෘශ්ඨ වංශිකයෙකුගේ උසෙහි වැඩිවීමක් දකින්න පුලුවන් ලූ.

ඊට හේතු වෙන්නේ පොඩි කාලේ ඉදලම අපේ සිරුර හැඩගැහිලා තියෙන්නේ පෘථුවියේ ගුරුත්වාකර්ශනයට අනුව. ඒ නිසා අපි පෘථුවියේදි අයත් කරගන්න නියමිත උසක් තීරණය වෙලා තියෙනවා.

අභ්‍යවකාශයේදී ගුරුත්වාකර්ශනය ශුන්‍යය වෙන නිසා අපේ කොඳු ඇට පෙල ලිහිල් වීමක් සිද්ද වෙනවා. පෘතුවියේ ගුරුත්වය යටතේ ඇදීමකට ලක් වෙච්ච කොඳු ඇට පෙල අභ්‍යවකාශයේදි ලිහිල් වෙනවා.

මේ නිසා අපේ උස යම් පමණකින් වැඩි වීමක් සිද්ධ වෙනවා. ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 3%ක උස වැඩි වීමක් දකින්න පුලුවන් වෙනවා. කොටින්ම අඩි 6ක් උස මනුස්සයෙක් අභ්‍යවකාශයේදී අඟල් 2කින් විතර උසෙහි වැඩි වීමක් දකින්න හම්බ වෙනවා.

මේ උසෙහි වැඩිවීම තාවකාලිකයි කියලා තමා විද්‍යාඥයින් කියන්නේ. ඒ කියන්නේ අපි ආපිට පෘතුවියට ආවොත් මාස කිහිපයක් ඇතුලට ලිහිල් වෙච්ච කොඳු ඇට පෙල ආයෙම පෙර තිබ්බ විදිහට පත් වෙනවා. මේ නිසා අභ්‍යවකාශයේදී වැඩි වෙච්ච උස, පෘතුවියේදී අඩුවෙන්න ගන්නවා.

ඒ වගේම අපට වඩා ගුරුත්වය වැඩි බ්‍රහස්පති වගේ ග්‍රහලෝකයකදී අපේ උස අඩු වීමක් බලාපොරොත්තු වෙන්ඩත් පුලුවන්. බ්‍රහස්පති ග්‍රහලෝකයේදී අපේ කොඳු ඇට පෙල ගොඩක් ඇදීමකට ලක් වෙනවා. මේ ඇදීම, පෘතුවියේ ගුරුත්වයෙන් කෙරෙන ඇදීමට වඩා වැඩි නිසයි උස අඩු වීමක් පෙන්නුම් කරන්නේ.

බලාගෙන ගියහම රොඩ්‍රික් කොල්ලාගේ පරීක්ෂණයෙනුත් අපට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. :)



2 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.