12 October 2017

වැඩ සහ පොත

අද බ්‍රහස්පතින්දා දිනකි. සතියේ වැඩ කරන දිනකි. මා අදත් වෙන දා මෙන් කොළඹ යා යුතු ය. උදේ අටයි තිහේ කණිසමට මා කොළඹ සිටීමට නම් පානදුරෙන් හතයි තිහේ සාගරිකා සීග්‍රඝාමී දුම්රියට යා යුතු ය. ඊට පෙර මා අපේ ගමෙන් පිටත් වන හයයි හතලිහේ බස් රථයෙන් පානදුර දුම්රිය පොළ වෙත ආ යුතු ය.

අදත් සුපුරුදු පරිදි මා පානදුර දුම්රිය නැවතුමට ආවේ ජිවන තරඟයේ තවත් එක් දිනක් ආරම්භ කිරීම සදහා ය. නමුත් අද වෙනදා මෙන් මා දකින සුපුරුදු  මුහුණු කිසිවක් දුටුවේ නැත.

අනිත් දින වල මෙන් ඇවිස්සුනු කුහුඹු ගුලක් සේ එහා මෙහා දිව යන මගීන්ගෙන් පිරුණු දුම්රිය නැවතුම් පොලක් මම අද නොදැක්කෙමි. ඒ වෙනුවට පාළුව රජ යන අතහැර දමන ලද දුම්රිය නැවතුම් පොලක් මෙන් පානදුරේ දුම්රිය නැවතුම පාළුවට ගොස් තිබුණි.

හේතුව දුම්රිය සේවක වැඩ වැරුමකි.
ඔවුනොවුන් තම තමන්ගේ අයිතීන් උදෙසා අද වැඩ වරති. ඒ ඔවුන්ගේ අයිතින් ය. සටන ඔවුන්ගේ අයිතීන් උදෙසා ය. ඔවුන්ගේ වැඩ වැරුම නිසා අසරණ වූ මගී ජනයෝ විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් සොයා ගියහ.

මා ද අසරණ වූ අනෙකුත් මගීන් සමඟ එක් වීමට ගාලු පාරට ආවෙමි. ගාලු පාරේ දුර ගමන් සේවා බස් නවත්වන බස් නැවතුම එකම හිස් ගොඩකි. වෙනදාටත් වඩා අද මේ බස් නැවතුම මගීන්ගෙන් ගහණ ය.

පානදුරට ලඟාවන සියළුම දුර ගමන් සේවා බස්, මගීන්ගෙන් පිරී ඉතිරී යයි. ලිඳක වතුර කුප්පියකට පුරවන්නට පොදිකන කොන්දොස්තර තැන, තව තවත් මගීන් බස් රියට නංවා ගැනීමට තැත් කරන අයුරු මා බලා සිටියේ බස් මගීන් කෙරෙහි උපන් අනුකම්පාවෙනි.

මා විනාඩි දහයක් හෝ විස්සක් පමණ බස් නැවතුම්පොලෙහි නැවතී සිටියෙමි. සෙනග යම් තරමෙක අඩු බස් රථයක හිටගෙන හෝ යාම සිහිනයක් වන බව මා පසක් කර ගත් නිසාවෙන් ආපසු නිවෙස බලා යාමට පාර මාරු උනෙමි.

වෙනදාට දුම්රිය නැවතුම් පොල වෙතටම යන ලංගම බස් රථ සියල්ලම අද පිට පාරෙන් බස් නැවතුම් පොලවල් වෙත යයි. ලහි ලහියේම දුම්රිය නැවතුම් පොල වෙත දිව එන මගීන් ද පිට පාරෙන්ම බස් නැවතුම් පොල වෙත ඇදෙයි. දොර දෙකේ ද සෙනග එල්ලී සිටින බස් එකින් එක පානදුරෙන් කොළඹ බලා දිවෙයි. මේ සියල්ල චිත්‍රයක් මෙන් මගේ ඇස් ඉදිරියේ මැවී මැකී යයි.

මා තවත් පානදුර ටවුමේ ටැග් ගැහි ගැහි නොහිද නිවෙස බලා අවෙමි.

නිවෙසට ආ හැටියෙම මා අද නිවසේ සිට රාජකාරි කටයුතු කරන බව කාර්යාලයට දන්වා සිටියෙමි. ඉන් පසු මා සුපුරුදු පරිදි වැඩ පටන් ගත්තෙමි.

මා පෑ දෙකකට ආසන්න වේලාවක් එක දිගට වැඩෙහි නිරත වූවෙමි.උදේ දහයත් දොළහත් අතර වේලාවක   සීතල සුළං දහරාවක් සමග අනෝරා වැස්සක් ඇද හැලීමට පටන් ගත්තේ ය. සීතල සුළං ධාරාවෝ මා ගත හීගඩු නැංවී ය. මා ජනේලයෙන් වැස්ස දෙසත් ඉන් පසු කාමරයේ ඇඳ දෙසත් වරින් වර බැලීමි.

මා පෙරදින රාත්‍රියේ කියවා නිම නොකළ පොතත් ඇඳ මත තිබුණි. අනෝරා වැස්සත්, කියවන්නට අස හිතෙන පොතකුත්, සීතලට ගුලි වී සිටිය හැකි ඇඳත් දැක දැක වැඩ කිරීම අසීරු ය. පරිගණකය අතහැර ඇඳෙහි දිගාවී පොත කියවන්නට ද සිතේ. නමුත් මා නිම කළ යුතු වැඩ ද බොහෝ ය. ඒ නිසා වැඩ කිරීමට ද සිදුවේ.

මා මද වේලාවක් කල්පනාවක නිමග්නව සිටියෙමි.

පොඩි එකෙකු රසකැවිලි ගොඩකින් කුමක් කන්නේ දැයි කල්පනා කරන්නාක් මෙන් මාද කල්පනා කරන්නට විය. මේ ඇසිල්ලේම නිවසේ වැඩ නිමවා නැති බිත්ති සියල්ල  මා  දුටුවෙමි. ඔවුන් මා දෙස රවාගත් අයුරින් බලා සිටින්නේ දැයි මට මොහොතකට සිතුණි. ගෙයි වැඩ සියල්ල අහවර කර ගැනීමට නම් මා වැඩ කළ යුතු ය.

ඒ නිසා මා ඇඳත් පොතත් අමතක කර වැඩෙහි නිරත වූ වෙමි.




2 comments:

  1. පිස්සෙක්.. හොදට වහින වෙලාවට අඩියක් ගහල නිදාගන්නේ නැතිව වැඩ කරනවා. හැක්..

    උඹලට කෝච්චි නැති වෙන්නම ඕන බ්ලොග් මතක් වෙන්න නේද?? චියර්ස්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.