26 November 2016

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

ඊයේ දිනය (නොවැම්බර් 25) අපට රාජකාරි නිවාඩු දිනයක් වූ නිසා මා ඇතුළු අපේ කාර්යාලයේ මගේ සගයන් කිහිප දෙනෙක් එකතුවී චාරිකාවක් ගියෙමු. අප ගියේ වැඩි ඈතකට නොවේ. කොළඹ දිස්ත්‍රික්කයේ සුන්දරම කොටස වන අවිස්සාවේල්ල ප්‍රදේශයට ය.

ඒ අවිස්සාවේල්ල ප්‍රදේශය කිට්ටුව ඇති සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය නැරඹීමට ය. ඒ විස්තර පසුව ඉදිරිපත් කිරීමට මා පොරොන්දු වෙමි. උද්භිද උද්‍යානය නැරභීමෙන් පසු අප සියළුම දෙනා රන්මුදු ඇල්ල නැරඹීමට ගියෙමු.

රබර් යායකට මැදිව සුන්දරව ගලායන රන්මුදු ඇල්ල අතිශයින්ම චමත්කාරජනක දර්ශනයක් අප ඉදිරියේ මවන්නේ ය. අප ඒ චමත්කාරජනක දර්ශනයට සුළු මොහොතක් වශී වී සිටියෙමු.
අතෝරක් නැතිව නැගෙන හෝ හඬ මැදින් අප තව දුරටත් දිය ඇල්ල අසලටම කිට්ටු උනේ ඒ සුන්දරත්වය තව තවත් විඳිනු රිසියෙනි. එහෙත් අප දුටු දර්ශනයෙන් අපේ සිත් තුළ යම් රිදවීමක් ඇති කෙරුණි.

දිය ඇල්ල නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ ඇතිබව ඔවුන් කල කී ක්‍රියාකාරකම් වලින් මනාව පසක් විය. තැන තැන පොලිතින් මලු හා කැලිකසලද තවත් තැනක හිස් අරක්කු බෝතල් ද ඔවුන් දිය ඇල්ල අසල වන රොදවල දමා ගොස් තිබුණි.

තවත් සමහරෙක් හිස් අරක්කු බෝතල් දිය ඇල්ලේ ගල් කුළු වල ගසා බිද දමා තිබුණි. ඒ වීදුරු කටු දිය ඇල්ලේ තැන තැන වැලි පොලොවේ දකින්නට ලැබුණි.

මෙලෙස බිදුනු වීදුරු කටු කැබැල්ලක් මගේ යටිපතුලෙහිද ඇණිනි. වීදුරු කටුව ඇණුන ක්ෂණයේ මා පය ඉවතට ගත්තද ඒ වන විටත් වීදුරු කටුව මගේ යටි පතුල සිදුරු කර හමාර ය. මා වේදනාවෙන් යුතුව ගල් තලාව උඩ වාඩි උනෙමි.

ටික වේලාවකට පසුව මගේ යහළුවෙකු පැමිණ අසල තිබූ කිරිමදු වැලකින් කොට ටිකක් කඩා පොඩි කර ලේ ගලන තුවාලයෙහි තැබුවේ ලේ ගැලීම නවතීවී යන බලාපොරොත්තුවෙනි. එහෙත් බොහෝ වේලාවක් යනතුරු ලේ ගැලීම නැවතුනේ නැත.

ලේ ගැලීම නැවතුනු පසුව මා දිවා ආහාරය ගැනීමට පැමිණියෙමි. මා ඊයේ හවස් වරුවේ සිට මේ වන විටත් ඇවිදින්නේ යම් අසීරුතාවයකිනි.

අප වැනි සංචාරකයින් අදත් හෙටත් අනාගතයේදීත් මේ දිය ඇල්ල නැරඹීමට පැමිණේවි. මා ඒ සියල්ලන්ගෙන්ම ඉල්ලන්නේ මේ දිය ඇල්ල පමණක් නොව රටේ ඇති අනෙකුත් දිය ඇලි, ගංගා ඇළ දොළ, වනාන්තර ආදී නොයෙකුත් ස්වබාවික සෞන්දර්යෙන් අනූන තැන් නැරඹීමට යනවා නම් එහි සුන්දරත්වයට හානි වන අන්දමේ කිසිවන් සිදු නොකිරීමට වග බලා ගන්න.

"පා සටහන් හැර කිසිවක් තබා නො එන්න. ඡායාරූප හැර කිසිවක් රැගෙන නො එන්න."

මෙය මගෙත් රටෙත් ඉල්ලීම ය.


6 comments:

  1. ඉක්මනට සුවය ලැබේවා

    ReplyDelete
  2. මේ වගේ හැමතැනකට ම ගියාම දකින්න තියෙන දෙයක් තමා ඔය...... මේ මිනිස්සුද කියලත් වෙලාවකට සැක හිතෙනවා......

    ReplyDelete
    Replies
    1. ඒක තමා. මෙහෙම විනාශ කරන එක හරි අපරාදයක් !

      Delete
  3. ගොඩක් තැන්වල ඔහොමයි

    ReplyDelete
  4. අපේ මිනිස්සුන්ට තාමත් සංචාරක පුරුදු නැහැ. සංචාරෙ යන්නේ නරඹන්න නෙවෙයි, බීගන්න.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.