02 January 2015

ටිකිරි කතා අංක 01: කපටි පර්සි

ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක රටක පර්සි කියලා කපටි මනුස්සයෙක් හිටියා. මේ රටේ දුප්පත් ගම්මානෙකට හොරුන් රැලක් ගෙන් සැහෙන කරදර තිබුනා. කපටි පර්සි දිනක් මේ ගම මැදින් ගමනක් යද්දී මේ ගමේ මිනිසුන් සමඟ කතා කළා.කතා කරද්දී මේ මිනිසුන් ගේ ප්‍රශ්නය ගැන දැන ගත්තා. මෙහෙම කතා කර කර ඉද්දි මිනිස්සු ඇහුවා "ඔබට පුලුවන්ද අපිට උදව් කරන්න ?" කියා. පර්සි ගත් කටටම "ඔව් පුළුවන් හැබැයි මට ගමේ නායකයා වෙන්න ඕනේ නවාතැන් ඕනේ හොඳට කන්න බොන්න ඕනේ" කියලා උත්තර දුන්නා. ගමේ මිනිස්සුත් වැඩේට කැමති වෙලා පර්සිව ගමේ ගෙදරක නවත්තගෙන හොඳට කන්න බොන්න දීල සාත්තු සප්පායම් කළා.

පර්සි වැඩේ බාර ගත්තට මොකද හොරු රැල එලවන විදියක් ගැන හරි අදහසක් මුලින් තිබුනේ නෑ. ඔන්න ඉතිං දවසක් හොරු රැල පර්සි නැවතිලා හිටපු ගෙදරට පැන්නා. පර්සි මේ ගෙදර හිටපු ශක්තිමත් තරුණයෝ එක්ක එකතුවෙලා හොරු එක්ක සටන් කළා. පර්සි තොර තෝංචියක් නැතුව "ගහපල්ලා ගහපල්ලා!!!" කියලා කෑ ගහන්න පටන් ගත්තා.මේ ගාල ගෝට්ටිය ඇහුණාම ගමේ මිනිස්සුත් ඔක්කොම කැති පොලු අරගෙන උදව්වට ආව. වෙනදා නොතිබුණු ජවයකින් මිනිස්සු ඔක්කොම එකා වගේ සටන් කරද්දී හොරු ටික බයේ සී සී කඩ දිව්වා.

පසුවදා පටන්ම පර්සි හැම තැනම "දැක්කනේ මගේ වැඩ!! හොරු රැලෙන් මම ඔහෙලව බේර ගත්තා !!" කියමින් හැම තැනම උදම් අනන්න පටන් ගත්තා. ඇත්තටම හොරු රැල පන්නන්න ඔක්කොම දායක උනත් පර්සිගේ කට හින්දා අමුතු ජවයකුත් මේ මිනිසුන්ට ලැබුන නිසා මිනිස්සුත් පර්සි නොහිටින්න හොරු රැල එලවගන්න මෙදා කපේදී බෑ කියලා ගොඩක් දෙනෙක් විස්වාස කළා. ගොඩක් අය හිස් මුදුනෙන් මේ බව පිලි අරගෙන පර්සිට වන්දනා මාන පවා කළා. ඉතිං මේ අන්ද විස්වාසය තමන්ගේ වාසියට ගන්න කපටි පර්සි කල්පනා කළා.

පර්සි ඈත හිටපු තමගේ පව්ලේ අයයි නෑදෑයෝ ගොඩකුයි මේ ගමට ගෙන්න ගත්තා. මිනිස්සුත් ඉතිං හොරු එලවපු නායකයාගේ පවුලේ කට්ටියනේ කියලා ඔක්කොම ඉස් මුදුනෙන් පිළිගත්තා. ගමේ මිනිස්සු ඔක්කොම පර්සිලාට හොඳට සැලකුවා වවපු බව බෝග වලින් කොටසක් හැමෝම පර්සිලාට දුන්නා. පර්සියි පර්සිලාගේ හත්මුතු පරම්පරාවමයි ලොකු ගෙයක් හදාගෙන මේ ගමේම නැවතුනා පර්සිට ගොඩක් හිතවත් පිරිසකුත් පර්සි හදා ගත්තා. පර්සිට පහල වෙලා තියන ඉල්ලම දැකලා මහා කෑදර කමක් හට ගත්තා. පර්සි කපටි කමෙන් මිනිසුන්ගෙන් තව ටිකක් වැඩි පුර සම්පත් කඩා වඩා ගන්න ක්‍රමයක් ගැන කල්පනා කළා. මිනිස්සුත් දුප්පත් හින්දා පර්සිට වෙන ක්‍රමයක් ගැන කල්පනා කරන්න උනා.පර්සියි එහා ගමේ පොලි මුදලාලියි එකතු වෙලා අපූරු සැලසුමක් හැදුවා. සිදාදියේ තියන අරුමෝසම් බඩු ටිකක් ගෙනල්ලා මිනිස්සුන්ගේ බලෙන්ම ඇගේ ගැහුවා පොලී මුදලාලි ගිනි පොලියට මිනිස්සුන්ට ණය දුන්නා බඩු ගන්න. මිනිස්සු ගොඩක් රැවටිලා තමන්ට දරා ගන්න බැරි තරම් බඩු ගත්තා. මේ හැම වෙළදාමකින්ම පර්සියි එයාගේ කල්ලියයි තමන්ගේ කොටස පොලී මුදලාලිගෙන් ඉල්ලා ගත්තා. පර්සි බඩු ගන්න මිනිස්සු තව තවත් පෙළඹුවා. පර්සි පොලී මුදලාලි ලවා අරන් දෙන ණයෙන් කොටසක් පර්සි කොටා ගන්න බවත් ඒ කොටා කන්න ටිකත් ගෙවන්න වෙන්නේ තමන්ටම බවත් මෝඩ මිනිස්සු දැන ගත්තේ නැහැ. පර්සි කිව්වා මිනිස්සුන්ට ගම දැන් දියුණු වෙනවා කියලා.අපි හොරුන්ගෙන් බේර ගත්ත නායකයනේ කියලා පර්සි කියන හැම දේම මිනිස්සු විස්වාස කළා.මිනිස්සුත් හිතුවා ඉස්සලා තිබ්බේ නැති දියුණුවක් ගමට ආව කියලා.

කාලයක් යද්දී පර්සි ටික ටික දරුණු වෙන්න පටන් ගත්තා. පර්සිගේ වටේ ඉන්න කල්ලිය එක එක ජාවාරම් ගමේ පටන් ගත්තා. පර්සි මේ හැම එකට අනුබල දීල තමන්ගේ කොටස ඉල්ලා ගත්තා. පර්සියි පර්සිගේ පව්ලයි ටික කාලෙකින් හිතන්න බැරි තරම් විශාල ධනයක් එක් රැස් කරගත්තා. පර්සිගේ වැඩ ගැන ගමේ බුද්දිමත් මිනිස්සු ටිකකට තේරිලා ඒ ගැන කතා කරද්දී පර්සිගේ කල්ලියයි ගමේ පර්සිව ගොඩක් විස්වාස කරන මිනිස්සුයි " අපි හොරුන්ගෙන් බේර ගත්ත නායකයට මේ විදියට කතා කතා කරන්න උඹලට පිස්සුද?" කියලා ඇහුවා.

ටික කාලයක් යද්දී ගමේ වතුර අපිරිසිදු වෙලා ප්‍රශ්නයක් ආවා. ගමේ මිනිස්සු මේ ගැන පර්සිත් එක්ක කතා කරන්න ගියාම පර්සි මේ මිනිස්සුන්ට ගහලා එලවගත්තා."කමක් නෑ අපි හොරුන්ගෙන් බේර ගත්ත නායකයනේ" කියලා ගමේ මිනිස්සු නිහඩ උනා.ගමේ සුදු ඇඳ ගත්ත බුද්දිමත් කාන්තාවක් හිටියා එයා තමා ගමේ හැම ප්‍රශ්නයක්ම සාධාරණව විසඳුවේ. මේ කාන්තාව තමන්ගේ වැඩ වලට කරදරයක් කියලා පර්සිට තේරුනා. දවසක් පර්සි බොරු ප්‍රශ්නයක් ඇදලා අරගෙන ගමේ මිනිස්සු ඔක්කොම ඉන්න තැන මේ ගැහැණු කෙනාට පහර දීල එළවලා දැම්මා. මේක දැකලා ගොඩක් මිනිස්සු ගොඩක් කම්පා උනත් ගොඩක් කට්ටිය කිව්වේ "අපි හොරුන්ගෙන් බේර ගත්ත වීරයනේ කමක් නෑ" කියලා.

ඉතිං මෙන්න මේ විදියට පර්සි ගොඩක් කල් මේ ගම පාලනය කළා.

කාලයක් යද්දී ගිනි පොලියට ගත්තු ණය නිසා මිනිස්සුන් ගේ බඩුයි දෙපලයි සින්න උනා. ගමෙන් බාගයක් එහා ගමේ පොලී මුදලාලිට අයිති උනා ඉතුරු බාගේ පර්සිටයි එයාගේ කල්ලියටයි අයිති උනා. ගමේ මිනිස්සු ඔක්කොටම පාරට බහින්න සිද්ධ උනා. පර්සිට ඒ දවස් වල වැඳගෙන හිටපු මිනිස්සුන්ට ඇත්ත තෙරෙද්දී පරක්කු වැඩියි.

ඉතිං දුවේ පුතේ මේ කතාවෙන් පුංච් අපිට ගන්න තියන ආදර්ශය තේරෙනවනේ කපටි මිනිස්සු ඉන්න තැන හොඳ සිහි බුද්දියෙන් ඉන්න ඕනේ. එදා ගමේ හිටපු බුද්දිමත් මිනිස්සු කියපු දේ අහලා පර්සිව ගමෙන් පිට මං කළා නම් මහා විනාශයකින් බේරෙන්න තිබ්බා.

---------------------------------------------------------------------
ප.ලි. - මේක මම ලියපු කතාවක් නෙමේ. මේ කතාව මූණු පොතේ අපේ යාළුවෙක් දමපු කතාවක්. හොදයි කියලා හිතුන නිසා  බ්ලොග් එකේ පළ කලා.

27 comments:

  1. මේකෙ තව කෑල්ලක් මම ලියන්නං.

    පර්සි ඇතුළු කොල්ලො ටික එකතු වෙලා විනාශ කල හොරුන්ගෙ තණ්ඩායමේ තවත් පිරිසක් ඉන්නව එහා ගම් වල. මේ ගොල්ල කියනව අනේ අපි හොරු නෙවේ ඒත් පර්ස් අපිට ගහනව ඒ නිසා අපට ගමට යන්න බෑ කියල. අනේ ඒ ගම්වල ඉන්න මිනිස්සුත් පවුනෙ මෙයාල කියල එයාලට කන්න බොන්න දෙනව. ඒ අතරෙ පර්සි අර එහා ගම් වල ඉන්න හොරු පෙන්නල ගමේ එවුන්ට කියනව මම ගම දාල ගියොත් පිට ඉන්න හොරුටික මෙහේ ඇවිල්ල උඹලට ආයෙ කරදර කරයි කියල. පිට ඉන්න හොරුත් කම්බ හොරු උන් දන්නව ඒ ගම්වල මිනිස්සු පර්සි ඉන්නකල් උන්ට කන්න දෙනව කියල. දැන් වෙලා තියෙන්නේ මේ දෙගොල්ලට දෙගොල්ල නැතිව පවතින්න බෑ. පර්සි එලෙව්වොත් පිට හොරුන්ට අවුල්. හොරු නැතිවුනොත් පර්සිට අවුල්. මාර හුට්ටප්පරයක් තමයි වෙලා තියෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. ඒ ටිකත් කතාවට අමුණ ගත්තා නම් මරු ඈ..
      රාජ්ටත් මරුවට කතා ගොතන්ඩ පුලුවන් නෙව. :)

      Delete
  2. ඔය පර්සිගේ නමේ වාසගම මොකද්ද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. වාසගම කුමක්දැයි නොදනිමි.. එහෙත් පර්සි යනු ගෞතම බුදුන්ගෙ සහ දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ ලේ නෑයෙක් ය කියා "පනාපුත්‍ර" නම් වන්දිභට්ටයෙක් සපථ කර කියූ බව නම් දනිමි.

      Delete
    2. වාසගම නම් දන්නේ නෑ මැලේ... :)

      Delete
    3. ඇනෝ:
      ඒක හරි. මාත් ඒ කතාව අහලා තියෙනවා... :)

      Delete
  3. meka deshapalanaya una katha wakda kiyalath hithuna. namuth ganna thiyana denam godayi.

    kalekin awe.... sinhalath na a nisa singlish una.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ.. දේශපාලන කතාවක් නෙමේ..ළමා කතාවක්...
      සෑහෙන කාලෙකින් සිත්තමී නංගිව දැක්කේ..

      Delete
  4. අප්පේ මාර කතාවක්...... පවු අර ගමේ ඉන්න අහිංසක ජනතාව............ පර්සි පන්නා දමමු............ ඒක්වෙමු....................

    ReplyDelete
  5. අල්ලපු ගම්වල අයගේ එකම වැඩේ වුනේ දිවා රෑ නොබලා එයාට විරුද්ධව කුමණ්ත්‍රනය කිරීම නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු.. ඒවට කියන්නේ විජාතික කුමන්ත්‍රණ කියලා.

      Delete
  6. මෛත්‍රී පාලනයක් උදෙසා සටන් බිමට බැස ඇති ධීර වීර බ්ලොග් කරුවන් අතරට ඔබතුමාවත් සාදරයෙන් පිළිගනු ලබනවා. එන්න අපි අපේ සවිය පෙන්නමු.
    -හරිත වර්ණ සයිබර් සංසදය

    ReplyDelete
    Replies
    1. අම්මෝ බයෙත් බෑ.... අන්තිමේදි ඇඩ්‍රස් නැතිවෙයිද දන්නේ නෑ..

      Delete
  7. මේ කතාවේ ලොකු අඩුවක් තියෙනවා.. ඇයි පර්සි ගේ පදේට ගමේ මිනිස්සු ඉස්සරහ නටපු අර වංශවත් වීර රිලාහාමි ගැන නිකං වත් ලියල නෑනේ.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. වීර සංගිලි රිලා පනික්කියා නේද?

      Delete
    2. ඒ ගැන ලියවෙන තිබුනා නෙහ්

      Delete
    3. ඇනෝ :
      හා..හා..හා.. කට කට කට..

      Delete
  8. මරු කතාව. පර්සි රාජපස්ස ඇතුළු හොර පවුල භංග වේවා..

    ReplyDelete
  9. කාලේට ගැලපෙන කතාවක් වගේ හි..හි..

    ReplyDelete
    Replies
    1. ඔවු.. කාලෙට ගැලපෙනවා..

      Delete
  10. අම්මෝ ටොකු අයිනවා කියලා මෙහෙමතක් අයිනවද?

    ReplyDelete
  11. මං අහල තියෙන හැටියට හයිය ඇති බය නැති කොල්ලෙක් හොරුන්ට බැටේ දෙන්න බාර ගත්තම තමයි පර්සි කාරයාත් කෑගහන්න ගත්තෙ..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.