03 November 2014

දත් බුරුසුව සහ සම්මුඛ පරීක්ෂණය

හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා අද බ්ලොග් අඩවිය පැත්තේ ආවා. පහුගිය ටිකේ වැඩ කටයුතු නිසා ලිපි ලිවීම අතපසු වෙලා තිබුනේ. ඒකටත්තෙක්ක අද ලියන්ඩ බැරි යෑ.. :)

මීට සති කීපයකට කලින් සෙනසුරාදා දවසක මායි අපේ උන්දැයි නුගේගොඩ ටවුමට ආවා. ඒ ආවේ අපේ උන්දැට ඉස්කෝලෙක ගුරු පත්වීමකට තිබ්බ සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙන්ඩ.

ඒ ඉස්කෝලේ පුද්ගලික අංශයට අයිති ඉස්කෝලයක්. අපේ උන්දෑ ඉල්ලලා තිබුනේ ඉංග්‍රීසි ගුරු තනතුර. ඒකේ සම්මුඛ පරීක්ෂණය තමා එදා තිබුනේ.

මායි අපේ උන්දැයි එන්ඩ කියලා තිබුන වෙලාවටම ඉස්කෝලේ ගාවට ගියා. අපි දෙන්නා ඉස්කෝලේ පිලිගැනීමේ අංශයේ තිබුනු පුටුවල වාඩි වෙලා අපේ වෙලාව එනකන් උන්නා.

අපේ එක්කෙනාගේ වාරේ ආවහම එයා නැගිටලා ගිහින් සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නා.පිලිගැනීමේ අංශයේ පුටුවල වාඩි වෙලා ඉන්න කෙනෙක්ට සම්මුඛ පරීක්ෂණයේ අහන ප්‍රශ්න සේරම ලාවට ලාවට වාගේ ඇහෙනවා. ඒ තරමටම පිලිගැනීමේ අංශයට ලඟ තැනකයි සම්මුඛ පරීක්ෂණය සිදු කෙරුනේ. මමත් කන ටියුන් කරගෙන උන්නා මොනවද ඒ සම්මුඛ පරීක්ෂණයේ අහන්නේ  කියලා දැනගන්ඩ.

ඉංග්‍රීසි භාෂාවට සම්බන්ධ එක එක ප්‍රශ්න ඇහුවා. ඒ අතරේ මගේ හිතේ රැදිච්ච එක ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේ තමා,

ඉංග්‍රීසි භාෂාවෙන්  දතට කියන්නේ 'ටූත්' (tooth) කියලා.දත් වලට කියන්නේ 'ටීත්' (teeth) කියලා. නමුත් දත් ගොඩක් මදින දත් බුරුසුවට ඉංග්‍රීසියෙන් කියන්නේ 'ටූත්බ්‍රෂ්' (tooth brush) කියලා. ඉංග්‍රීසියෙන් දත් බුරුසුවට ටීත් බ්‍රශ් නොකියා ටූත් බ්‍රශ් කියන එකට හේතුව මොකද්ද කියලයි සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු කෙනා ඇහුවේ.

අපේ උන්දැට මේ ප්‍රශ්නයට හරි උත්තරයක් ගැට ගහගන්ඩ බැරි වෙලා තිබුනා. බොරු කියන්ඩ ඕන යෑ මම නම් මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දන්නේ නෑ.. අපි දෙන්නම සම්මුඛ පරීක්ෂණය මෙහෙයවපු එකාට බැන බැන බස් එකේ ගෙදර ආවා.

පස්සේ ගෙදර ඇවිත් අන්තර්ජාලය පීරනකොට යාන්තන් සරල උත්තරයක් හම්බ උනා.  මේ සංසිද්ධියට හේතු වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ එන සංයුක්ත නාම පද ලූ (Compound Noun). සංයුක්ත නාම පද කියන්නේ නාම පද දෙකක් එකතුවෙලා හැදෙන තනි නාම පදේකට.

එහෙම නාම පද දෙකක් එකතු වෙලා හැදෙන තනි නාම පදයක මුල් නාම පදය ඒක වචනයෙන් (singular) තියන්න ඕන ලූ. ඒ තනි වචනයෙන් තියන නාම පදය නාම විශේෂණයක් බවට පත් වෙනවාලූ.

උදාහරණෙකට

tooth brush යන සංයුක්ත නාම පදයේ tooth කියන්නේ නාම විශේෂණයලූ. ඒ නිසා ඒ පදය ඒක වචන වෙන්න ඕන ලූ. ඔය වගේමයි බිත්තර ගොඩක් අසුරන බිත්තර පෙට්ටියකට ඉංග්‍රීසියෙන් කියන්නේ egg carton කියලා. මේ වචනයේ egg කියන්නේ නාම විශේෂණය ලූ. ඒ නිසා ඒක වචන වෙන්ඩ ඕන ලූ.

ඔය නීතිය නිසා දත් බුරුසුවට ටීත්බ්‍රශ් (teeth brush) කියලාත් බිත්තර පෙට්ටියට එග්ස් කාර්ටන් (Eggs carton) කියලාත් උච්ඡාරණය කරන්ඩ බෑ....

අපේ උන්දැගේ සම්මුඛ පරීක්ෂණයෙන් මාත් නොදන්න දෙයක් ඉගෙන ගත්තා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් තව දුරටත් මේ ප්‍රශ්නය බේරුමක් කරලා දෙන්ඩ..
  එහෙනං මං ගියාවේ.... !!!

14 comments:

  1. ඕකට උත්තර දෙන්න පැරා ගෙන්නගනිං..

    ඒක නෙමෙයි බං අපේ උන්දැ.. අපේ එක්කෙනා.. තව මොනවැයි තියෙන නං..

    ReplyDelete
  2. //හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරි උන නිසා //

    ඔව් ඔව් අපි දන්නවලු...:P

    ReplyDelete
  3. Oka gena jale peerala,A-Z hoyagena eeta passe para deewi Atti helenna.

    ReplyDelete
  4. සිංහලෙන් ඕකට දත බුරුසුව කිවුවනං ඉවරයිනෙ.

    ReplyDelete
  5. සුදු නෝනා.. අපේ උන්දැ විය! තව එකක් කියන්නම් කොලුවෝ.... ඔය ඉන්ටව් වලට යනකොට ඔයා පේන්ඩ යන්ඩ එපා.. ඒක හොඳ දෙයක් නෙවේ.. තනියම් වැඩක් කරගන්ඩ බැරි කෙනෙක් වගේ පේනවා... ඔයා ඒ ළඟ පාතක ඉන්ඩ ... ආයතනය ඇතුලට යන්ඩ එපා...

    ReplyDelete
  6. මඟුලේ ෆොටෝ ටිකක් දාපිය!

    ReplyDelete
  7. ඔය වගේ අපබ්‍රංස වැඩ හින්දනේ අපි එකාලේම ඉංග්‍රීසි ඉගෙන ගැනිල්ල අතැරලා දැම්මේ ...

    ReplyDelete
  8. ලියනකොට tooth brush කියලා දෙකට කඩලා ලියන්නෑනෙ. ලියන්නේ toothbrush කියලානෙ.

    ReplyDelete
  9. හි..හි... මේ ඇවිත් ඉන්නේ කාලෙකින් දත් බුරුසුවකුත් අරගෙන...

    ReplyDelete
  10. හා හා එහෙනම් දත කට මැදගෙන ලෑස්ති වෙන්න, මේක ආයෙ ලියන්න තියනවා. :D

    ReplyDelete
  11. ඉන්ටවිව් එකට මොනා උනාද කියල කිව්වෙ නෑනෙ.

    ReplyDelete
  12. දේශක යා :
    පැරා කිව්වේ කවුද ? බ්ලොග් ලියන පැරා ද ?

    Podi Kumarihami :
    ශ්.....ශ්...ශ්... සද්ද කරන්ඩ එපෝ.... !

    Anonymous :
    එහෙනං පරා දෙනකන් බලාගෙන ඉන්නවා.

    Praසන්ன :
    ඒකනේ.. එහෙම කිව්වා නං ලේසියි.. !

    ReplyDelete
  13. Maneka :
    අපේ උන්දෑ තනියම යන්ඩ බයයි කියපු නිසයි මම එක්කං ගියේ. පස්සේ පස්සේ හුරු වෙන්නේ නැතෑ. අර කිව්වත් වගේ මම ටිකක් එහාට්ට වෙලා උන්නා නං හරි.
    පින්තූර හම්බ වෙච්ච හැටියෙම දාන්නම්...

    Pathum Herath :
    ඒකනේ... මාත් ආස නෑ ඉංග්‍රිසි වලට...

    Anonymous :
    ඔවු.. ඇනෝ හරි.. තනි පදයක් විදිහට ලියන්නේ.

    තුශානි :
    ආවා ආවා.. කාලෙකට පස්සේ ආවා.

    Chandana :
    හරි හරි.. අපි ලියමු එහෙනං..

    Helapa kade :
    ඉන්ටර්විවු එක අල උනා. ඒකෙන් තේරුනේ නෑ. තව ඉන්ටර්විවු යන්ඩ සිද්ධ උනා.

    ReplyDelete
  14. මගේ උන්දෑ වෙනුව අපේ උන්දෑ කියා බහු වචන භාවිතා වෙද්දී-
    බහුවචන දත් බුරුසුව ඒඛ වචන දතේ බුරුසුව හෙවත් ටූත් බ්‍රෂ් වී ඇත!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.